හෘදය සාක්ෂියට එකඟව දේශපාලනය කරන්න අම්මප මොකටද ලැජ්ජා වෙන්නේ ? – විමල් කැටිපෙආරච්චි

 

  • එන ඡන්දෙට ඉල්ලනවා කියල ආරංචියි මොකද්ද මේ කතාව..?

ඒ කතාව ඇත්ත. ජාතික ජන බලවේගයෙන්, කොළඹ දිස්ත්‍රික්කයට, මේ මහමැතිවරණයේදී මම තරග වදිනවා.

  • ඔබ කලක් ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙක්, යන මාර්ගය අවුල් නිසාම එතැනින් පිටත්ව පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ වුනා.. අනතුරුව ධනේෂ්වර කදවුර නියෝජනය කරමින් උදව් පදව් වුනා.. ඒ නිසාම තනතුරු ලැබුනා.. ඔබ නැවතත් ජවිපෙට සම්බන්ධව මැතිවරණයට එනවා.. මොකද්ද මේ විපර්යාසය ?

ටිකක් දිග උත්තරයක් දෙන්න වෙනවා. ඔබ එය සම්පූර්ණයෙන් පළ කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා. පෙනුමෙන් විශාල විපර්යාසයක් ලෙස පෙනුනත්, හරයෙන් මේ එකම දේශපාලන ගමනක්. ඔව්, මම කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියා. ඉන් අනතුරුව එහි සිදු වූ දේශපාලන ඛණ්ඩනයේදී පෙසප තුළ වැඩ කළා. යම් යම් දේශපාලන කරුණු මත එයින් ද ඉවත් වුණා. එහෙත්, ප්‍රගතිශීලී දේශපාලන ස්ථාවරයන් අප වෙනස් කළේ නැහැ. වාම ප්‍රගතිශීලී කඳවුරේ සමගිය පිළිබඳ සටන් පාඨය අප අත්හැරියේ නැහැ. කාලය ඔය විදිහට ගත වුණා. අපි විවිධ කලා සංස්කෘතික හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ වැඩකරමින් සිටියා. එය මගේ වෘත්තීය.

දැන් අපි ඔබේ ප්‍රශ්නයේ `ධනේෂ්වර කදවුර නියෝජනය කරමින් උදව් පදව් වුනා` කියන තැනට ආවොත්, එයින් අදහස් කරන්නේ 2015 ජනාධිපතිවරණය ගැන විය යුතුයි. එහිදී, එවකට රෙජීමයට විරුද්ධව ආ පොදු අපේක්ෂකයාට අප උදව් කළ බව ඇත්ත. එය දේශපාලනයේ විශේෂ මොහොතක්. වාම ප්‍රගතිශීලී සංවිධාන කැඩී බිඳී විසිරී ගොස් සිටියදී, බොහෝ ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාර පවා දේශපාලනයේ `මැනුවල්` ක්‍රියාකාරීත්වයක් වෙනුවට එක්තරා ආකාරයක `ඔටෝ මෝඩ්` එකකින් ඒකාධිපති රෙජීමය පරාජය වන්නට ඉඩ හැරි ,මොහොතක් ඒක. මා පමණක් නොවෙයි බොහෝ සමාජ ක්‍රියාකාරිකයන් එවැනි තත්ත්වයක් තුළ වැඩකළේ ඒකාධිපති වියරුව එක දශමයකින් හෝ ඉස්සරහට නොයන සේ කටයුතු කරන්නයි. ඒ නිසා ඒ ගැන අංශු මාත්‍රයක පසුතැවීමක් නැහැ.

හැබැයි, ඔබ කිව්ව විදිහට, `උදව් පදව් වුනා.. ඒ නිසාම තනතුරු ලැබුනා` කියන කොටසෙන් සත්‍යය මග හැරෙනවා. පැවති රෙජීමය පළවා හරින්න උදව් පදව් කළේ කිසිවක් පෞද්ගලිකව බලාගෙන හෝ ලබාගෙන නෙමෙයි. උදව් කරපු නිසා තනතුරු ලැබෙනවානම් ලැබෙන්න ඕන ආණ්ඩු පෙරළිය සිදුවූ ගමන්මයි. එහෙත්, ඔබ ඔය `තනතුර` ලෙස හඳුන්වන `ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධුරය` මට යෝජනා වුණේ ආණ්ඩුව පිහිටුවා වසර දෙකකට පස්සේ. එම වගකීම මම භාරගත්තේ ජනමාධ්‍ය වගකීමක් හැටියට මිසක් දේශපාලන කොන්ත්‍රාත්තුවක් හැටියට නෙමෙයි. මොකද, මගේ වෘත්තීය ජනමාධ්‍යය. අනික එහෙම දේශපාලන කොන්ත්‍රාත් එකක් භාරගත්තා නම්, මා දැන් ඉන්න ඕන එවකට බලය හෙබවූ කඳවුරේ. එම වගකීම භාරගෙන කළ පළමු සාකච්ඡාවේදීම මම සඳහන් කළා මම ආණ්ඩුවේ දේශපාලන හුරතලෙක් නොවන බව සහ මගේ අභිලාෂය එම ජනමාධ්‍ය ආයතනයේ කිසියම් ගුණාත්මක වෙනසක් කිරීම පමණක් බව. ඒ අනුව, එවකට සිටි සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා සමහ එක්ව අපට හැකි වුණා එම නාලිකාවේ වෙසෙස් සලකුණක් තබන්නට. අප එහි සිටි කාලය තුළ, ජාතිවාදයට ආගම්වාදයට මිත්‍යාවට එරෙහිව මිසක්, ඒවාට පක්ෂව එකදු නාදයක් රූපයක් එම මාධ්‍ය ජාලයේ කිසිදු නාලිකාවකින් විකාශය නොකළ බව සහතික කර කියන්න අපට පුළුවන්. කෙසේ වෙතත් දින පණස් දෙකේ දේශපාලන කුමන්ත්‍රණ කාලය නිමාවීමෙන් පසු මම ඒ පරිච්ඡේදයට සමු දුන්නා.

ඊළඟට, දේශපාලනය දෙසට යළිත් ආවොත්, පසුගිය ජනාධිපතිවරණයේදී මම සහයෝගය පළ කළේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට. ඒක වෙන්නෙ මෙහෙමයි. පක්ෂවලින් ඉවත් වුණාට ඒවා සමග ඉළව් මගුල් අතහරින්න අවශ්‍ය නැහැ කියන තැන මම ඉන්නවා. එහෙම කොහොමද වමේ සමගිය හදන්නේ ? එවැනි ගම්මැදි භාවිතාවන් එක්ක කොහොමද සමගියේ දේශපාලනයක් කරන්නේ ? වාම ප්‍රගතිශීලී පක්ෂවලට මාධ්‍යකරුවෙක් සන්නිවේදකයෙක් ප්‍රචාරකයෙක් හැටියට මගේ උදව් අවශ්‍ය වූ හැම මොහොතකම මම ඒ දායකත්වය දුන්නා. එය ජවිපෙද පෙසපද වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක්ද කියා බැලුවේ නැහැ. ඒ වගේම මේ හැම පක්ෂයකම මට ඉතා හිතවත් සහෝදර සහෝදරියන් බොහෝ ඉන්නවා. දේශපාලන ස්ථාවරයන් සමග ගැටීම නයි වෛර බැඳීමට හේතුවක් වෙන්න ඕන නැහැ. ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන්, ජවිපෙද සහිත ජාතික ජන බලවේගයේ දේශපාලන ස්ථාවරයන් මගේ දේශපාලන ස්ථාවරයන් සමග සැසඳුනා. ඉතින්, මේ රට වෙනස් කිරීමේ විභවයක් සහිත ප්‍රයෝගික ප්‍රතිපත්තියක් සමග එක්වීම මරණීය පාපයක් නෙමෙයි නේද ? ඔබ කියූ `විපර්යාසයේ` දේශපාලන ඇත්ත කතාව කෙටියෙන් ඔන්න ඕකයි.

  •  විමල් කැටිපෙආරච්චි අවස්ථාවාදියෙක් කිව්වොත්.. ?

මම හිතනවා, කලින් ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් මේ ප්‍රශ්නයේ සෑහෙන කොටසක් ආවරණය වෙනවා කියා. දේශපාලනයේ අවස්ථාවාදීත්වයන් තෝරාගත්තා නම්, දින පනස් දෙකෙන් පසු අපට නැවතත් ඒ තනතුරු භාරගන්නැයි කළ ඉල්ලීමට එකඟ වෙන්න තිබ්බා. අප එහෙම කළේ නැහැ. එතැන් සිට එවකට පාලක පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ වෙන්න තිබ්බා. අප එහෙම කළේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී එවකට පාලක පක්ෂයේ අපේක්ෂකයාට සහාය දෙන්න තිබ්බා. අප එහෙම කළේ නැහැ. ඒ වෙනුවට අපි වඩාත් දුෂ්කර මාවත තෝරාගත්තා. ජාතික ජන බලවේගය එක්ක පෙළගැහුනා.

  • ඉතිං සත්‍යය දන්නා බොහෝ දෙනා ජාතික ජන බලවේගය හා ජවිපෙ සම්බන්ධය දන්නවා. ඔබ වඩාත් හොදින් දන්නවා.. ඉතිං කියන්න. මානවඩු සහෝදරයාගේ මළ ගෙදරදී කන පැලෙන්න ගහන, මරණයකටවත් ගෞරව කරන්න ඉඩක් නොදුන් තැනක, දකින දකින තැන ඔරවන ගොරවන පක්ෂයක් විදියට ඔබත් දුටු අත්දැකීම් සහිතව නැවත මේ ක්‍රියාකලාපය.. හිතට එකගව ගත්තද්ද නැතිනම් ජනප්‍රියවාදි රැල්ලට හසුවීමක්ද ?

ඔබ ඔය උදාහරණයම ගත්ත එක බොහොම හොඳයි. මම කළිනුත් කිව්වා වගේ, දේශපාලන ස්ථාවරයන්ගේ ගැටුම භෞතික ප්‍රහාර දක්වා ආවත්, නිවැරදි දේශපාලන නිමේෂයේදී ඒ අතීතය පසෙක තබන්න අපට පුළුවන් වෙන්න ඕන. නැත්නම්,අර කළින් කිව්ව ගම්මැදි ඉළව් මගුල් අතහරින මට්ටමට වැටෙනවා. ඔබ දන්නවා, අසූ අට අසූ නවයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය හා සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර තිබූ ගැටුම් ගැන. ඒවා මීට වඩා බරපතළ තත්ත්වයන්. හැබැයි ඉතිහාසයේ දේශපාලනික මොහොතවල් තුළ දෙපිළ බෙදී මරාගත් ඒ සහෝදරවරුන් පවා පසුකාලයක එක වම් ඉවුරක මුණගැහෙනවා. ඒ නිසා, අපට නම් දේශපාලනය කියන්නේ හුදු පෞද්ගලික ආත්මීය රිදවුම් සමහන් කරගැනීමේ ලාලසාවක් නෙමෙයි. එය ඊට වඩා සීරියස් සමාජ වැඩක්. එය අප කරන්නේ හිතට සම්පූර්ණයෙන් එකඟව. ජනප්‍රියවාදී රැල්ල කියන්නේ මේකට නොවෙයි. මේ තමයි දුෂ්කර මාවත. දුෂ්කරය කියා නොයා සිටිය නොහැකි මාවත. ඉතින්, අවලාද අපහාස මැදින් වුව, අප ගත් මග අප යනවා.

  • ඔබගේ කළණ මිතුරන් බොහෝ දෙනෙකු මේ තීරණය සමග එකඟ නෑ.. එහෙත් මිතුරුකම් බිඳ දැමීමට දේශපාලනික තීරණ බලපෑම් කරන්නේ නෑ.. ඒකට අපි බොක්ක කියල කියන තැනකදී… ඔබ මේ දේශපාලනික පවුඩර් මත යැපීම මත යමක් බේරාගැනීමට තීන්දු වුවහොත් ග්‍රාම්‍ය උරණවීම් ඉස්මතු නොවේ යැයි විශ්වාස කළ හැකිද ?

කළණ මිතුරන් බොහෝ දෙනෙකු මේ තීරණය සමග එකඟ නෑ` කියන්නට බැහැ. ඇතැමුන් එකඟයි. ඇතැමුන් වෙනස් අදහසක් දරනවා. ග්‍රාම්‍ය උරණවීම් මතුකළ යුගය අවසන්. දැන් ලෝකය වෙනස්. මා සිතන්නේ නැහැ කිසිවකුට එවැනි දේ කරන්නට අවශ්‍යයි කියා. මනුෂ්‍යත්වය පෙරට තබා දේශපාලනය කරමු. පවුඩර් අවශ්‍ය නැහැ. අපේ ඇත්ත මුහුණු විවෘතව තබා ගමු. ඒක නේද වෙන්න ඕන?

  • අම්මපා කැටයට ලැජ්ජ නැද්ද කියල අහන මිතුරන් වැඩියි… ඒ දේශපාලනිකව ඔබ කියවන්නන්ට වඩා මිත්‍රත්වය සහිතව ඔබ කියවන්න අය නිසා කිව්වොත් මේ කවර පැත්තේ සිටද උත්තර දෙන්නේ..?

හෘදය සාක්ෂියට එකඟව දේශපාලනය කරන්න අම්මප මොකටද ලැජ්ජා වෙන්නේ ? මම මගේ වටිනාකම් පාවා දෙනවානම් – මම මගේ දේශපාලන ස්ථාවරයන් අතහරිනවානම් තමයි ලැජ්ජා වෙන්න ඕන. අම්මපා මම ඒ තැනට වැටෙන්නේ නැහැ.

  • ඔබ මධුවිතක් රස බලන, මිත්‍ර සම්භාෂණයට ප්‍රිය චරිතයක්.. ඔබ මේ වන විට නියෝජනය කරන දේශපාලනික වටපිටාව තුළ එවැනි සංස්කෘතිකත්වයක් නෑ.. මොකද කරන්නේ ඉතිං නැවත සිල්වත් වෙනවාද ? නැතිනම් දේශපාලනික වාමවාදී සංස්කෘතියේ වැට බිදිනවාද ?

බොහෝ දේවල් වෙනස් වී තිබෙනවා. දේශපාලන විනය සහ ඊනියා සිල්වත් වෘතයන් යනු එකක් නොව දෙකක් බව හැම දේශපාලන ව්‍යාපාරයක්ම අද්දැකීමෙන් වටහා ගෙන තිබෙනවා. දුරින් නොඉඳ ළඟට එන්න. මේක දැන් ඔබ හිතනවාට වඩා සොඳුරු වැඩබිමක්.

  • ජාතික ජන බලවේගය වැසි ආවරණයක් ලෙස හිතුවොත් ඇතුලත පවතින ශරීරය ගැන ඔබට වගේම බොහෝ දෙනාට අදහසක් පවතිනවා.. ඉතිං යම් යම් කාලවලදී ගොඩ නැගෙන රාජ්‍ය බලය සදහා වන උපක්‍රමික අර්ථයන් සම්බන්ධයෙන් කියවීමක් ඔබට තිබෙනවා.. මේ උපක්‍රමික නැඹුරුව වාමවාදී බලයක් ගොඩ නැගීමට පාරක් කපනවාද ?

ජාතික ජන බලවේගය යනු මුවාවට හදාගත් ආවරණයක් කියන කතාව දේශපාලනිකව නිවැරදි නැහැ. එය යම් නවීකාරක ක්‍රියාවලියක සංක්‍රමනීය වැඩකොටසක් ඉටුකරන, පොත්තක් පමණක් වෙනුවට මදයකුත් ඇති සංවිධානයක්. මේ රටේ ඊළඟ දේශපාලන වෙනස වෙනුවෙන් පෙළගැසෙන පුළුල් එකමුතුව ඒක. සංදර්භයන්ගේ සාන්ද්‍රණයන් වෙනස් කරන්න මැදිහත්වීම්වලට පුළුවන් කියා මා විශ්වාස කරනවා. දේශපාලනය කරන්න දේශපාලන විශ්වාසය අවශ්‍යයි. එය බහුජන ක්‍රියාකාරීත්වයෙන් පෝෂණය විය යුතුයි. පෝෂණය කළ හැකියි. රාජ්‍ය බලය කරා යන මාවත වැටෙන්නේ සමගියේ නිම්නය දිගේ පමණයි.

  • අවසාන අර්ථයේදී කැටිපෙ ධනේෂ්ර කඳවුර තල්ලු කොට දැමූ ජනප්‍රිය වාදී ප්‍රපාතයෙන් ගොඩ එන්න ජවිපෙ ලණු පොටක එල්ලුනා කිව්වොත්… ඒ අමාරුම තත්වයෙන් ගලවා ගැනීමකට වඩා ජනප්‍රිය තත්වය ඩැහැ ගැනීමක් නොවේද ?

අපොයි, අප ආත්මීයව එතරම් පිරිහී නැති බව පමණක් කීම මේ ප්‍රශ්නයට පිළිතුර ලෙස ප්‍රමාණවත්.

  • ඔබ සමග මෙවර මැතිවරණයේදී සහයෝගයට එකතු වන මිතුරන් ජවිපෙ හැර ගිය පිරිස් වීමේ සම්භාවිතාවය වැඩියි.. එසේ වුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව ඔබ තහවුරු කරනවාද ?

ඔබේ මේ සමස්ත ප්‍රශ්න මාලාව තුළම තිබෙන්නේ ජවිපෙ සම්බන්ධ අඳුරු චිත්‍රයක් නිසා, මම කැමතියි යථාර්ථය මඳක් පෙන්වා දෙන්න. නැත්නම් මේ පිළිතුරු පොකුර සංයුක්ත නැති වෙනවා. ජවිපෙ පමණක් නොවෙයි ඊට පෙර හා පසුව බිහිවුණු වාමාංශික නැඹුරුවක් ඇති පක්ෂ හා සංවිධාන බොහොමයක ඒකාධිකාරී ලක්ෂණ තිබුණා. ඔව් ඒක ඇත්ත. ඒක ජවිපෙට විතරක් පොදු අගතියක් නෙමෙයි. අන්මත නොඉවසීම, මතවාදී ප්‍රහාර භෞතික ප්‍රහාර දක්වා දිගු කිරීම, ද්‍රෝහීන් ඉතිහාසයෙන් මකා දැමීමට උත්සාහ කිරීම වගේ දේවල් පොදුවේ වමේ ව්‍යාපාරයේ උරුමයන් ලෙස අප හැමෝම කර තබාගෙන ආ අගතීන්. එය ජවිපෙට පමණක් පටවන එක අසාධාරණයි. එහෙත්, විශ්වාස කරන්න, දැන් දැන් ඒ තත්ත්වයන් වෙනස් වෙමින් තිබෙනවා. ඒ වෙනස්වීමේ පියවරයන් අගය කළ යුතුයි වගේම එම ප්‍රවේශයන් ශක්තිමත් කළ යුතුයි. මම ඔබට පුංචි උදාහරණ දෙකක් කියන්නම්. එක, පසුගිය දිනවල පෙසපට සම්බන්ධ කාන්තා සංවිධානයකින් ළමා අපචාරවලට එරෙහි උද්ඝෝෂණයක් සංවිධානය කළා. ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ එරංග සහෝදරයා ඇතුළු පිරිසක් එයට සහභාගී වුණා. ජවිපෙ පෙසප සහෝදර සහෝදරියන් සුහදව සමගිව එම උද්ඝෝෂණයේ යෙදුණු බව අප දුටුවා. දෙවැනි උදාහරණය. ලංකා පුවත්පතේ පසුගිය සතියක විශේෂ කතුවැකියක් පළ වුණා. එය විශේෂ වන්නේ, මීට අවුරුදු දහයකට පෙර ලංකා පුවත්පත රාජපක්ෂ රෙජීමය විසින් සීල් කළ අවස්ථාව ගැන ලියූ නිසාම නෙමෙයි. එම කතුවැකියේ එවකට කර්තෘ චන්දන සිරිමල්වත්ත සහෝදරයා ගැන සඳහන් වුණා. දැන් ඒ සහෝදරයා දරන මතවාදය එසේ සඳහන් කිරීමට බාධාවක් වී තිබුණේ නැහැ. මේවා පුංචි වුණත් වැදගත් අභ්‍යාස නෙමෙයිද ? මහා සමගිය පටන් ගන්නේ මෙවැනි කුඩා ප්‍රවේශයන්ගෙන් නෙමෙයිද ? වාම ප්‍රගතිශීලී සමගිය අවංකව ප්‍රාර්ථනා කරන කෙනෙක් තුළ මෙවැනි කුඩා පියවර පවා ආශ්වාද ජනක හැඟීමක් ඇතිකරන්නේ නැද්ද ? ලෝකය වෙනස් වෙනවා. ලෝකය අලුත් වෙනවා. පරණ එදිරිවාදී කඩමාලු පසෙක තබමු. අලුත් සළු හැඳ සමගියෙන් ඉදිරියට යමු. සාමුහිකත්වයම තමයි අපේ කඳවුරේ ආරක්ෂාව.

  • ඉතිං මිත්‍රයා.. කලාව, පත්තර කලාව, කථිකත්වය, මිත්‍රත්වය හා කුහක නොවූ දේශපාලනික සත්වයෙකු ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත්.. මොනවාද ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ?

කෙටියෙන් කිව්වොත්, අප දෙපා තබාගෙන සිටින වැදගත් පදනම් පාවා නොදී, අප උපයාගත් යහපත් හරයන් ආරක්ෂා කරගනිමින්, ජනතාවාදී දේශපාලනයේ නියැළීම අපේ එකම අපේක්ෂාව. අපිව කාටවත් මිළට ගන්න බැහැ. අපි ගාව ගේම් නැහැ. අපි ගාව ඩීල් නැහැ. කොන්ද කෙළින් තියන් වැඩකරන්න අපි සූදානම්.

  • අවසාන වශයෙන් ඔබ ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදීම පිළිබඳව මිතුරන්ට හිතවතුන්ට හා ජනතාවට කීමට ඇත්තේ කුමක්ද ?

එන්න. අපි මේ කොළඹ දිස්ත්‍රික්කය ඇත්තටම ලස්සන කරමු. මතුපිටින් විතරක් නෙමෙයි, මනුස්ස ජීවිතවලින් ලස්සන කරමු. ලංකාව ආදරයෙන්, මනුෂ්‍යත්වයෙන් සහ විද්‍යාවෙන් ලස්සන කරන වැඩේ, අපි කොළඹින් පටන් ගනිමු.

සාකච්ඡා කළේ – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *