මනුස්සකම මතක් කරපු කොරෝනා….( බන්ධන -10) – නාමලී පෙරේරා ලියයි

සල්ලි මතක් වෙන්නෙ දුප්පත් උනාම..
බෙහෙත් මතක් වෙන්නෙ ලෙඩ උනාම..
වැස්ස මතක් වෙන්නෙ ගිනි ගහන්න පායද්දි..
දෙයියො මතක් වෙන්නෙ වැරදුනාම..
හරි වැරදි මතක් වෙන්නෙ කෙල උනාම..
හොදම දේ අපේ උන්ට අම්ම මතක් වෙන්නෙ තද උනාම…..

කියල දිමුතු පරාක්‍රම ලියපු පොතක තිබුණ මට මතකයි. මේ දවස්වල ගොඩක් අයට ගොඩක් අයගෙ අම්ම මතක් වෙන්න පටන් අරන් . ඒ ඉතාලි කොරියා වගේ රටවල ඉදන් ආපු අපේ සමහරක් හැසිරුණු විදිහ දැකල. එයාලට නිරෝධායනය කියන්නෙ මරණයට කැපවීමක් වගේ වෙලා තිබුණ .

නිරෝධායනය කියන්නෙ එය අවශ්‍ය ජනතාවට හිතැති ක්‍රියාවලියක්. කොරෝනා වෛරසය නිශ්චිතව වැළඳී ඇතිදැයි හඳුනා ගැනීමට දින 14 ක් ගතවෙනව. යම් පුද්ගලයෙකු රෝගය පැතිර යන කලාපයේ සිට පැමිණෙන්නේ නම් ,නිරෝධායන මධ්‍යස්ථානයක එම දින සංඛ්‍යාව ගත කල යුත්තේ අන් කවර හේතුවක් නිසා නොවෙයි. එහෙම කරන්නෙ රෝගය රට තුල පැතිර යාම අවම කිරීම. ඒකෙන් ප්‍රතිපල දෙකක් ලැබෙනව. එකක් තමා සෞඛ්‍ය ආරක්‍ෂිත බව අනෙක අනෙක් අයගේ අනාරක්ෂිත බව තහවුරු කරගැනීම.

කොරෝනා වැළඳීම කියන්නෙ මරණය වැළඳ ගැනීමක් නොවන බව අවධාරණය කරල තියනව. මේ වෙන කොට මිය ගිය සංඛ්‍යාව වගේ දස ගුණයක් රෝගය සුවවෙලා නිවෙස් වලට ගිහින්. මිය ගිය බහුතරය වයස්ගත පුද්ගලයින් වගේම විවිද ස්වසන රෝගාබාධයන්ට පෙර සිටම ප්‍රතිකාර ගත් පුද්ගලයන්.

ඒත් අපි වගේ පුංචි රටකට මෙහෙම වසංගතයක් වැළදුනාම ඒකට මූණ දෙන්න පුළුවන් උපරිම සේවාවන් අපි ලග නෑ . ඒකත් එක්ක එන ආර්ථික ප්‍රශ්න , ආහාර ප්‍රශ්න එක්ක තවත් අපි අසරණ වෙනව. ඒ නිසයි පිටරටින් එන හැම කෙනාටම මේ කියන නිරෝධායනයට සහයෝගය දෙන්න කියන්නෙ.

ඒත් ඒක එහෙම උනේ නෑ . සමහරක් තමන්ගෙ ආර්මාර්ථකාමීකමෙන් තමන්ගෙ උන්වම රෝගීන් කළා. ඉස්සර ඉදන් තාමත් දෙයියන්ගෙ ලෙඩක් හැදුනම ගෙදරට එන තැන ගොක්කොළ එල්ලල ගෙදරක රෝගියෙක් ඉන්නව කියල අනිත් මිනිස්සු දැනුවත් කරපු ජාතියක් වෙච්ච අපි අතරෙ, තමන්ට වසංගත රෝගයක් තියනව කියල දැන දැනත් ඒ ගැන තඹ සතේකට මායිම් නොකරපු උනුත් ඉන්නවනෙ කියල හිතෙනව. එයාර් පෝර්ට් එකෙන් ඩියුටි ෆ්‍රී ගන්න හදිස්සි වෙච්ච අය, ගෙනාපු ටොපි චොකලට් බෙදන්න වටේ ගිය අය, විනෝද වෙන්න රට තොට බලාගන්න ඇවිද්ද අයට තමන්ට මේ ලෙඩේ හැදුනොත් ඒකෙන් වැඩි බලපෑම තියෙන්නෙ තමන්ගෙ වයසක අම්ම තාත්තට නේද කියල අමතක උනා. එහෙම උන් හැංගි හැංගි වටේ ඇවිදිද්දි උන්ව බලෙන් නිරෝධායනය කරන්න වියදම් කරන්න උනෙත් රටේ සල්ලි.

උන් වපුරපු බීජවල අස්වැන්න නෙලන්න වෙලා තියෙන්නෙ එදාවේල හම්බකරගෙන කන මිනිස්සුන්ට. ඉතින් එහෙම වෙද්දි නිරෝධායනයට යන්න බෑ කියල කෑ ගහපු උන්ගෙයි, තාමත් අනේ අපිට කොරෝනා නෑ කියල හැංගි හැංගි ඉන්න උන්ගෙයි.., බෝම්බයක් බැදන් ඇවිත් මරාගෙන මැරෙන තස්ත්‍රවාදියෙකුගෙයි අතර වෙනසක් නෑ කියල හිතෙනව . එහෙම වගකීමක් නැති අයට තමන්ගෙ රටේ මිනිස්සු තියා තමන්ගෙ අම්මවත් මතක් නොවෙද්දි මුකුත් කරකියාගන්න බැරුව ඉන්න හුගක් අයට අරවගේ උන්ගෙ අම්ම මතක් වෙනව.

මොනව උනත් කොරෝනා අපිට පාඩමක් ඉගැන්නුව. ඒ මනුස්සකම ගැන. තමන්ගෙම උන් අසරණ කරල උඹල මොනවද බලාපොරොත්තු උනේ කියල උන්ගෙන් අහන්න තියෙනවනම් කියල හිතෙනව .එදා ප්‍රදීපා ධර්මදාස ලියපු සිංදුවක පද අදටත් කොයිවිදිහකින් හරි වලංගුයි කියල පේනව.

කොළොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට….

කියද්දි තාමත් නිරෝධායනය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති පහුගිය කාලෙ කොරෝනා වසංගතය තියෙන රටවල ඉදන් අපේ රටට ඇවිත් හැංගිල ඉන්න කොළොම්තොටින් ගොඩබැහපු ජීවීන් අපේ වටපිටාවෙත් ඇති කියල හිතෙනව. ඒ නිසා පරිස්සමින් …..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *