ප්‍රජාවේ සැලකිල්ල හා විනාශයේ අත වැනිල්ල – නාමලී පෙරේරා

ඇදිරි නීතිය හෝ හදිසි නීතියක් ක්‍රියාත්මක කරනුයේ රටක පවත්නා අර්බුධකාරී තත්වයන් පාලනය කිරීමට හා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමටයි. කොරෝනා වසංගත තත්වය පැතිරීමත් සමග පුද්ගලයින් එක් රැස් වීම වැලැක්වීමට රජය විසින් මේ මොහොතේ ද හදිසි නීතියක් ක්‍රියාත්මක කර ඇත. එම නියෝගය කඩ කරන ඕනෑම පුද්ගලයකු සාපරාධී වරදක් කළ අයෙකු ලෙස සැලකෙනු ඇති අතර, එසේ නියෝගයක් කඩ කොට පොලිසිය භාරයට ගැනෙන ඕනෑම පුද්ගලයකු පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කොට වරදකරුවකු බවට පත් කළ හැකිය . රටක හදීසි නීතිය පැනවූ අවස්තාවක අණ නොතකා ක්‍රියාකරන පුද්ගලයෙකුට වෙඩි තැබීමට හමුදාවට ද බලය හිමිවේ.

ඒ කෙසේ වෙතත් මෙවන් ව්‍යයසනකාරී තත්වයක, ලෝකයම පීඩාවිදින අවස්ථාවක ඇදිරි නීතියක් පැනවූයේ ඇයිද යන්නවත් හරිහැටි නොදන්නා පිටසක්වල ජීවීන් පිරිසක් අප අතර සිටී. උන්ට කොරෝනා තියා ලෝක විනාශයක් වෙනවා කීවත් උන්ගේ මානසිකත්වය වෙනස් වන්නේ නැත. අතගා බලා අලියාගේ තරම මෙච්චර යැයි කියූ අන්ධයන් මෙන් රෝගයේ තරම නොදන්නා මුග්ධයන්ට තමන්ගේ දෙමව්පියන් ගැනවත් වගවීමක් නැත.

මේ මොහොතේ බුකිය තුළ වීරයන් සේ රජයට උපදෙස් දෙන්නේත්, පිල් බෙදී මඩ ගසා ගන්නේත්, ඇදිරි නීතිය අවස්ථාවක පාරට ගොස් සෙල්ෆියක් ගසා පොරත්වය පෙන්වන්නේත් එක් එක් ජානමය විකෘතිතා ඇත්තවුන් යැයි මම සිතමි. එසේ නැතිනම් ඉතාලියේ මියයන උන්ගේ වේදනාව පෙනි පෙනී තමන්ගේ රටේ උන් රකින්නට තියා තමන් රැකෙන්නටවත් උවමනාවක් උන්ට තිබිය යුතුය.

නින්දක් විවේකයක් නැතිව රට රකින හමුදා නිලධරයන්, පොලිස් නිලධරයන් මෙන්ම තමන්ගේ නොවන උන් වෙනුවෙන් තමන් බිලි වී ඔවුන් රකින සෞඛ්‍ය අංශයේ සියල්ලෝම අපහසුතාවයට පත් කරන මෙවැනි අමනයින් ට නීතියෙන් හෝ සොබාදහමින් දඩුවම් ලැබිය යුතුමය. පිරිසක් තමන් රෝග වාහකයන් බව දැන දැනම මව් රට ට කොරෝනා වසංගතය රැගෙන එද්දී, තවත් උන් එය සගවා ගනිමින් වෛද්‍යවරුන් පවා නොමග යවන්නට තරම් පහත් තත්වයට පත්වී ඇත. තවත් උන් නිරෝධායනයෙන් වසන් වී කට්ටි පනිමින් සිටී. ඒ අතරතුර ෆුඩ් සිටි වල, පෙට්‍රල් සෙඩ් වල වගේම මත්පැන් අලෙවි හල් ලග ද පොරකමින් තෙරපෙමින් තම අවශ්‍යතාවන් ඉටු කර ගත් පිරිසක් ද ඇත. කොරෝනා යනු අප වැනි ජීවියෙක්නම් මුන් මේ නටන නාඩගම් දැක අහවල් පැත්තෙනුත් හිනාවී හුස්ම හිරකර ගන්නවා නොවනුමාන ය.

ලිප තැබූ බදුනෙහි සිටින කකුළුවා දිය රත් වන තෙක් සැපයි සැපයි යැයි කියමින් දිය කෙලින්නා සේ අපේ උනුත් කොරෝනාවෙන් ලැබූ නිවාඩුවෙන් සතුට සමරයි. ඒ සතුට තනිවම නිවෙස් තුළට වී තම පවුලේ උන් සමග සමරනවානම් හොද ය. පාරේ ඇවිදිනවාට වඩා, පාටි දමා සතුටු වෙනවාට වඩා තම පවුලේ අයවලුන් සමග ගහක් කොළක් සිටුවා, අළුත් කෑමක් සාදා, චිත්‍රපටයක් බලා තමන්ගේ නිවාඩුව සමරනවානම් තවත් හොද ය. එසේ නොකර නීතිය කඩන උන්ට තමන්ගේ එකෙකු මැරී වැටෙන තෙක් උඹලා ආතල් ගනිල්ලා යැයි කියන්නට වීම ගැන කණගාටු වෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *