වෛරස් ගැන පොඩි කතාවක් – නිසල් ඒකනායක  

දැන් ගායිස් ඔය රෝගකාරක බීජ කියන්නෙත් එක්තරා විදියකට විලෝපිකයන් කොට්ථාශයක්. හැම විලෝපිකයෙක්ටම ඉන්නවා ප්‍රියතම ගොදුරක්. කොටියෙක් ගත්තොත් ඌ හෙන ආසයි වඳුරන්ව දඩයම් කරන්න. පූසා වැඩිපුරම දඩයම් කරන්නේ මීයන්ව. හැබැයි ඕනම විලෝපිකයෙක් තමන්ගේ ප්‍රියතම ගොදුර දඩයම් කරනවා වෙනුවට ඉඳලා හිටලා වෙනම ජාතියේ ගොදුරක් දඩයම් කරන්න පුළුවන්. සිංහයෙක් හැමදාම දඩයම් කරන කුළු හරකව අතෑරලා මිනිහෙක්ව දඩයම් කරන්න පුළුවන්. ඒක පොසිබල් දෙයක්නේ. අපිත් හැමදාම පරිප්පුයි බතුයි කනවා වෙනුවට ඉඳලා හිටලා කොත්තු රයිස් කනවනේ.

ඒ වගේ තමයි රෝග කාරකයක් වුනත් වැසි වනාන්තර ඇතුලේ හෝ කොහේහරි ඉන්න වන සතෙක්ගේ ඇඟේ ඉදන් මනුස්සයෙක්ට ඇතුළු වෙන්න පුළුවන්. මේ, ජීවියෙක්ගෙන් තවත් ජීවී විශේෂයකට පනින කතාවට කියනවා zoonosis කියලා. SARS, ඊබෝලා, කුරුළු උණ, සූකර උණ ,ඇන්ත්‍රැක්ස් ,HIV වගේ රෝග බර සෙට් එකක් මිනිස්සුන්ට ව්‍යාප්ත වෙන්නේ සතුන්ගෙන්. කොටින්ම කිව්වොත් දැනට හඳුනගෙන තියෙන රෝග කාරක වලින් 60%ක්ම මිනිස්සුන්ට ආසාධනය වෙලා තියෙන්නේ සතුන්ගෙන්. මේ ලක්ශණය තියෙන රෝගකාරක වලට විශේශ හැකියාවක් තියෙනවා. ඔවුන්ට ඕනම වෙලාවක හැංගිලා ඉන්න පුළුවන්. මේක හෙන භයානකම තත්වයක්. මේ හංගිමුත්තන් සෙල්ලම නිසා මේ රෝගකාරක සංකීර්ණ වෙන්න පුළුවන්. ඒවා පරිණාමය වෙනවා. එවාගේ ජාන විකෘතින් ඇති වෙනවා. හැංගිලා එලියට එන්නේ අළුත්ම රෝග කාරකයක්. උදාහරණයක් විදියට ඉබෝලා වෛරසය ගත්තොත් මේ වෙනකොට ඉබෝලා වෛරසයේ විශේෂ හයක් විතර හොයාගෙන තියෙනවා. ඒවගේ පැතිරීමේ වේගය මරණ අනුපාතය, රෝග ලක්ෂණ, එකකට එකක් වෙනස්. එක විශේෂයකට නිපදවන ප්‍රතිදේහ හෝ ඖශධ අනිත් විශේෂයට හරියන්නේ නෑ. ඇත්තටම කිව්වොත් හැංගෙනවා කියන්නේ මේ වෛරස් වලට වර්ධනය වෙන්න පුළුවන් ශරීරයක් හෙයාගෙන ඒක ඇතුලේ පදිංචි වෙන එකට. මේ පදිංචි වෙලා ඉන්න තැනට එහෙම නැත්තන් සතාට කියන්නේ ස්වභාවික ධාරකයා (reservoir host) කියලා.

දැන් හිතන්නකෝ මේ කොරෝනා වසංගතය තව මාස කීපයකින් ඉවරම වෙලා ගියා කියලා. සමහරවිට මේ Covad19 වෛරස් එක සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුරුදහන් වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෛරස් එක ස්වභාවික ධාරකයෙක් හොයාගෙන ඌ ඇතුලේ පදිංචි වෙලා හැංගිලා ඉඳීවි තවත් අවස්තාවක් එනකන්. මේ හැංඟෙන ස්වභාවික ධාරකයා වවුලෙක් වෙන්න පුළුවන්, මීයෙක් වෙන්න පුළුවන්, හාවෙක් වෙන්න පුළුවන්, සමනලයෙක් වෙන්න පුළුවන් ඕනම එකෙක් වෙන්න පුළුවන්. අවුරුදු ගානකට පස්සේ මේ හැංගිලා ඉන්න වෛරස් එක ස්වභාවික ධාරකයාගෙන් කෙලින්ම මිනිස්සුන්ට නැවතත් ආසාධනය වෙන්න පුළුවන්. එහෙම නැත්තන් මිනිස්සුන්ට ආසාධනය වෙන තවත් ක්‍රමයක් තියෙනවා. ඒක සම්ප්‍රේෂක (amplifier host) ධාරකයෙක් හරහා මිනිස්සුන්ට ආසාධනය වෙන්න පුළුවන්. සම්ප්‍රේෂක ධාරකයා කියන්නේ රෝග කාරකය ස්වභාවික ධාරකයෙක්ගෙන් අරගෙන ඒක තමන් ඇතුලේ හොඳට ඩිවලොප් කරලා තව කාටහරි ඩිලිවරි කරන එකාට. සරළවම කිව්වොත් මූ අතරමැදියෙක් වගේ තමයි. මේ සම්ප්‍රේශක ධාරකයාට ගොඩක් වෙලාවට රෝගකාරකයෙන් වෙන හානිය අඩුයි. ඒ නිසා මුගේ ඇතුලේ රෝගකාරකය හොඳට වර්ධනය වෙලා ශක්තිමත් වෙනවා. ඊළගට සම්ප්‍රේෂකයා කරන්නේ අවශ්‍ය ගොදුර ලඟට ගිහිල්ලා අවශ්‍ය කරන ප්‍රමාණයෙන් මේ මොඩිෆයි කරපු වෛරසය ගොදුරට ආසාධනය කරන එක.
සමහර වෙලාවල් තියෙනවා ස්වභාවික ධාරකයා සහ සම්ප්‍රේශකයා කියන දෙන්නම එක්කෙනෙක් වෙන්නත් පුළුවන්.

අපි පොඩි උදාහරණයක් ගමු. 1994 ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් පැත්තේ ගෙවිපලක හිටපු වෙළඹක් දරුණු විදියට අසනීප වෙන්න පටන්ගත්තා. මේ වෙළඹට ප්‍රතිකාර කරන්න පශුවෛද්‍ය වරයෙක් ආවත් පොරට අර සතාව ගොඩදාගන්න බැරිවුනා. ඊළඟ සති කීපය ඇතුලත ගොවිපලේ අශ්වයන් දොලොස්දෙනෙක් මේ රෝගයෙන් මැරිලා යනවා. පශුවෛද්‍යවරයා දාන්න තියෙන ඔක්කොම සෙල්ලම් ටික දාලා මේ සත්තුන්ව බේරගන්න හැදුවත් වැඩේ හරිගියේ නෑ. මේ අශ්වයෝ මොකක් හරි උණකින් මැරිලා ගියා කියලා තමයි හැමෝම හිතුවේ. ටික දවසක් ගියාට පස්සේ අර කියන පශුවෛද්‍යවරයත් ලෙඩවෙන්න ගත්තා. මිනිහාගේ ලෙඩේ එන්න එන්නම අමාරු වුනා.

අන්තිමට මිනිහාව රෝහලකට අරගෙන ගියා. ටික දවසකින් ඔහුගේ ශරීරයේ තිබුනු ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය ටිකෙන් ටික අඩපනවෙලා ගියා. ඔහුගේ පෙනහලු වල ලේ පිරෙන්න ගත්තා. පශුවෛද්‍යවරයා ටිකෙන් ටික මරණයට ලං වුනා. මේ පශුවෛද්‍යවරයාගේ වකුගඩු වල පටක පරීක්ශා කරලා බලපු විශේෂඥයන්ට දැකගන්න ලැබුනා අළුත්ම ජාතියේ වෛරස් එකක් රුධිර සෛල ආක්‍රමණය කරලා තියෙන හැටි. කොහොමද මේ මනුස්සයාට වෛරසය ආසාධනය වුනේ?? AAHL (The Australian Animal Health Laboratory ) එකේ පරීක්ෂණයන් කණ්ඩායමක් පශුවෛද්‍යවරයා වැඩකරපු ගොවිපල පරීක්ශා කරලා බැලුවා. ඔවුන් කණ්ඩායමට එතනදී දැනගන්න ලැබුනා අර මැරුණු අශ්වයන් ගැන තොරතුරු. මැරුනු අශ්වයන්ගේ රධිර සාම්පල් අරගෙන පරික්ෂා කරපු මේ කණ්ඩායමට දකින්න ලැබුනේ අර පශුවෛද්‍යවරයාගේ ශරීරයෙන් හොයාගත්ත වෛරසයට සර්ව සම වෛරසයක්. මේ වෛරසය Hendra කියන නමින් හඳුන්වනවා. ඊට ටික කාලයකට පස්සේ මේ වගේම තව සිදුවීමක් වාර්ථා වෙනවා. ගොවිපලක වැඩ කරපු තරුණ ගොවි මහත්තයෙක් හදිස්සියේම අසනීප වෙලා ඉස්පිරිතාලෙට අරගෙන එනවා. උණ වමනය වගේ රෝග ලක්ෂණවලින් පටන්ගන්න මේ ලෙඩේ එන්න එන්නම උග්‍ර අතට හැරුනා. අන්තිමටම මේ ගොවියා කෝමා තත්වයකට වැටිලා දවස් 25කට පස්සේ මරණයට පත්වෙනවා. අවසාන අධියරේදී මේ ගොවි මහත්තයාගෙන් ගත්ත ලේ සාම්පල් පරික්ශා කරාම වෛද්‍යවරුන්ට ඒ සාම්පල් එකෙන් Hendra වෛරසය හොයාගන්න ලැබුනා.

කොහොමද මේ යකාට මේ වෛරසය ආසාධනය වුනේ??? මේ ගැන හොයපු පරීක්ෂකයන්ට දැනගන්න ලැබුනා තරුණ ගොවි මහත්තයාගේ ගොවිපලේ දවස් කීපයකට කලින් අශ්වයෙක් මැරිලා හිටපු කතාවක් ගැන තොරතුරක්. පරීක්ෂණයන් කණ්ඩායම මැරිලා හිටපු අශ්වයාව ගොඩට අරගෙන පරික්ෂා කරලා බලනකොට මේ අශ්වයාගේ පටකවලත් Hendra වෛරසය අන්තර්ගත වෙලා තිබුනා. දැන් මේ සීන් එකේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. කොහොමද අශ්වයන්ට Hendra වෛරසය ආසාධනය වෙලා තියෙන්නේ??? මේ වෛරස් එක අශ්වයන් අතරේම හැංගිලා ඉන්න විදියක් නැහැ. මොකද වෛරස් එක නිසා අශ්වයන් මැරෙනවා. ඒ නිසා අශ්වයෝ කියන්නේ මේ වෛරස් එකට පදිංචි වෙලා ඉන්න හොඳ තැනක් නෙවෙයි. අනිවාරයෙන්ම මේ වෛරස් එකට වෙන reservior host කෙනෙක් ඉන්න ඕනි. මේකට උත්තර හොයන්න පරීක්ශකයෝ කැලෑවට බැහැලා කැලෑවේ හිටපු එක එක ජාතියේ සත්තුන්ව අල්ලගෙන ලේ සාම්පල් පරික්ශා කරන්න ගත්තා මේ වෛරස් එකේ හරිම Reservior Host කවුද කියලා හොයන්න. සර්පයෝ, හූනෝ එක එක ජාතියේ කෘමියෝ අරුන් මුන් හැම එකාවම වගේ අල්ලගෙන චෙක් කරලා බැලුවා.

ම්ම්හ… එකෙක්ගෙන්වත් මේ වෛරස් එක ගැන හෝඩුවාවක් නැහැ. ඒ අස්සේ එක පරීක්ශකයෙක් කම්බි වැටක ඇමිනිලා හිටපු වවුලෙක්ව උස්සගෙන ආවා.බඩුම තමයි. පරීක්ෂකයා උස්සගෙන ආපු වවුලන්ගේ ලේ ටෙස්ට් කරාම මේ වෛරස් එක පොසිටිව්. ඊට පස්සේ පරීක්ෂණයන් තවත් වවුලන් සෙට් එකක් අල්ලගෙන ටෙස්ට් කරන්න ගත්තා. ටෙස්ට් කරපු වවුලන්ගෙන් 15%කගේ විතර මේ වෛරස් එක ආසාධනය වෙලා තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වවුලන්ගෙන් මේ වෛරස් එක මිනිස්සුන්ට ආසාධනය වෙන්නේ නැද්ද?? මේ ගැන හොයන්න AAHL එක අළුත් රිසර්ච් එකක් කරනවා. පරීක්ෂණයන් විසින් වවුලන් ආශ්‍රිතව වැඩ කරන වවුලන්ට ආදරේ කරන මිනිස්සු 128 ක් හොයාගෙන ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ශා කරලා බැලුවා. පුදුමේ කියන්නේ ඒ කිසිම කෙනෙක්ට මේ වෛරසය ආසාධනය වෙලා තිබිනේ නෑ. සමහර අය හිටියා වවුලන්ගේ සපාකෑමට ලක්වුනු. උන්ටවත් මේ වෛරස් එකෙන් කිසි හෙනයක් තිබුනේ නෑ. ඒ කියන්නේ වවුලා තමයි මේ වෛරසයේ ස්වභාවික ධාරකයා වෙන්නේ. වවුලන්ට හැකියාවක් නෑ මේ වෛරසය මිනිස්සුන්ට ව්‍යාප්ත කරන්න. ඒකට හරියන සම්ප්‍රේශකයෙක් හොයාගන්න ඕනි. සමහර වවුල් විශේෂ ඉන්නවා හරක්ගේ සහ අශ්වයන්ගේ ලේ උරලා බොන. මේ ආකාරයට Hendra වෛරස් එක අශ්වයන්ට ආසාධනය වෙනවා. එතකොට අශ්වයන් තමයි මේ කතාවේ මිනිස්සුන්ව වවුලන්ව සහ Hendra වෛරසය එකට සම්බන්ධ කරන පාලම වෙන්නේ. අශ්වයා තමයි Hendra වෛරස් එකේ Amplifier Host විදියට ක්‍රියාත්මක වෙලා මිනිස්සුන්ට ආසාධනය වෙන්න අවශ්‍ය වෙනස්කම කරන්නේ.

දැන් මේ කතාවෙන් ගන්න තියෙන්නේ මොකද්ද?? මේ Covad19 වෛරස් එකේ Reservior Host විදියට අඳුරගෙන තියෙන්නේ වවුලන්ව. මේ වෛරස් එක මිනිස්සුන්ට සම්ප්‍රේශණය කරපු Amplifier Host මොකාද කියලා තවමත් හරියටම තහවුරු කරගෙන නැහැ. ගන්න තියෙන ආසන්නම උපකල්පනය තමයි සර්පයන් හරහා මේ වෛරසය මිනිස්සුන්ට ආසාධනය වුනා කියන කතාව. අපි සර්පයෝ ගිලින චීන්නුන්ට අම්මා මෝ වෙන්න අමතන ගමන් බයිට් එකට කන්න වල් ඌරෙක් හොයනවා. ගොලුබෙල්ලෝ බත්කූරෝ ගිලින චීන්නුන්ගේ අම්ම මතක් කරන ගමන් ඉත්තෑවෝ, මුවෝ, මීමින්නෝ වලි කුකුල්ලු ගෝන්නු හොය හොයා ශොට් එක දෙනවා. මෙතන අපි නොහිතන පැත්තක් තියෙනවා. මේ ඕනම සතෙක් ඕනම ආකාරයක සම්ප්‍රේෂකයෙක් වෙන්න පුළුවන්. මනුශ්‍ය වර්ගයා විදියට අපි තවමත් හොයාගෙන තියෙන්නේ රෝගකාරක වෛරස් වර්ග කීයකින් කීයක්ද??

අපි නොදන්න වෛරස් කී දාහක් මේ පරිසරය ඇතුලේ හැංගිලා ඇතිද??? කොටින්ම ගෙදර හදන බල්ලා පූසා වුනත් සම්ප්‍රේෂකයෙක් වෙන්න පුළුවන්. අපිට මුනුශ්‍ය වර්ගයා විදිහට ආහාර රටා ගැන ඉදිරියේදී මීට වඩා සෑහෙන්න සීරියස් විදියට හිතන්න සිද්ද වෙනවා. මොකද මේ වෙනකොට අපි අම්බානකට කෙලවගෙන ඉවරයි. කැලෑවේ සතෙක් මැරිලා ඉන්නවා දැක්කොත් උස්සගෙන ඇවිත් හමගහලා උයලා කාලා වටේටත් බෙදන බුවාලා ඕන තරම් ගම් වල ඉන්නවා. දඩමස් කන්න එපා පව් සිද්දවෙයි කියලා නෙවෙයි මේ කියන්නේ. මේ වගේ මස් පරිබෝජනයෙන් ප්‍රවේසම් වෙන්න සිද්ද වෙනවා. බාගෙට තම්බලා ගිලිනවා වෙනුවට හොඳින් පිසගැනීම මගින් බොහෝමයක් රෝගකාරක විනාශ කරගන්න පුළුවන්. අනික හෙල්ලෙන හැම එකාගෙම මස් රසයිද කියලා බලන්න ගියාම මේ වගේ කක්කී පැකට් සෙට් වෙනවා.ඒ වගේම බලුගාය පූස් ගාය තියෙන නංගිලා මල්ලිලා අයියලා අක්කලා නැන්දිලා මමිලා උනත් සතුන් එක්ක ගැවසෙනකොට ප්‍රවේසම් වෙන්න. කන්න දෙනවට බොන්න දෙනවට නාවනවට අමතරව බල්ලෝ පූසෝ එක්ක තොල් දාන්නයි උන් එක්ක බුදියගන්නයි යන එක ගැන සීරියස් විදියට හිතන්න. එක වෛරසයක් මුළු ලෝකයක් නතරකරලා තියෙන හැටි ඔබටත් මටත් හොඳට බලාගන්න පුළුවන්.

මූලාශ්‍ර – Spillover: Animal Infections and the Next Human Pandemic
Book by David Quammen
(මේ මනුස්සයා අවුරුදු ගානක් තිස්සේ එක එක මහද්වීප පුරා ඇවිදිමින් රිසර්ච් කරලා සතුන් හරහා අනාගතයේ වෙන්න පුළුවන් outbreak ගැන කලින් ඉඳලම අනතුරු අඟවීම් කරලා තියෙනවා.)

නිසල් ඒකනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *