ඕන ව්‍යසනයකට උත්තර දෙන්න සමාජවාදයට පුළුවන් – කියුබා වෛද්‍යවරු ඉතාලියට

කියුබාව පොඩි රටක්. ලෝකේ අනෙක් එවුන් දාන මහා ලොකු සෙල්ලම් එයාල දාන්නේ නැහැ. හඳට යන්න හදන්නෙත් නැහැ. යුද්ධ කරන්න යන්නෙත් නැහැ. ගොඩක් පිළිවෙල ලස්සන ගොඩනැගිලි එයාලට නැහැ. පරණ විදියට ම ඉන්නවා.

හැබැයි ලෝකේ සල්ලිකාරම රටක් පස්ස බිම ඇනගත්තට පස්සේ එයාලගේ විශේෂඥ වෛද්‍යවරු සෙට් එකක් එනවා ඒ සල්ලිකාර ලොක්කට උදව් කරන්න. මොකද තෙරක් පරක් නැතුව විනෝද වෙනවා වෙනුවට එයාල මිනිසුන්ට ඕනි මුලික දේ හදල තිබ්බ නිසා. ගොඩක් අය ඇමෙරිකන් ෆැන්ටසි එක හොයාගෙන බෝට්ටු ගත උනාට ඒ රටේ මිනිස්සු ඒ එදා සිදුවෙච්ච ‘විප්ලවය’ කියන සිද්ධියට අදටත් භක්තිමත් කියල ජිජැක් ලියනවා ඒ රටට වරක් ගියාට පස්සේ.

හැමෝම අන්න මැරුණා මෙන්න මැරුණා කියල කිව්වට එයාල මැරිලා නැහැ. ඒ කියන්නේ ටොම් ඇන්ඩ් ජෙරී ඒකේ කාටුන් වගේ. මැරුණා කියල ඔක්කොමල කිව්වට මැරිලා කියල එයාල දන්නේ නැහැ. ඒ නිසා අවතාරයක් වගේ නැගිටිනවා. ඔක්කොටම අමතක වෙලා තිබ්බ රටක දොස්තරලා ටිකක් ඉතාලි ගුවන් තොටුපළෙන් බහිනකොට තමයි ආයෙත් ලෝකෙට එයාල මතක් උනේ. ක්‍රස්තෝ ..චේ …වගේ නම් දැන් ආයිත් කියවෙනවා…ඒ කියන්නේ අන්තිම ව්‍යසනය (final catastrophe) එන්න ඕනි මිනිසුන්ට ෆැන්ටසි ගැලවිලා සුන්නද්දූලි වෙලා ඇත්ත පේන්න…

කොරෝනා වෛරසයට අදාල බේත් ගැන කියවෙද්දී දැන් ලෝකේ කියවෙන නම් දෙක තුනක් අත‍ර එයාල ඉන්නවා. එකක් එයාල. අනික් රට ජපානය. ජපානය කියන්නේ ගොඩක් පොහොසත් පිළිවෙල රටක්. හොඳ ජාතික ආර්ථිකයක් තියනවා. ඒ වගේම හැමදාම වගේ ලෝකෙට උදව් කරන්න ඉදිරියට එන රටක්. අර ෆුජී සමාගම විසින් හෙම්බිරිස්සාව ට හදපු ඇවිගන් ද මොකක්ද කියන පෙත්තත් තොගේට හදා ගනිල්ලා කියල චීනෙට කීවා..

කියුබාව තමන්ගේ විප්ලවීය උරුමයේ මතකයන් හැටියට පරණ ගෙවල් ටිකක් පෙන්නනවා හැරෙන්න එයාලට ගැලපෙන කොමියුනිස්ට් ආර්ථික මොඩලයක් හදා ගන්න එයාලගේ විප්ලවයෙන් පස්සේ අසමත් උනා කියල ජිජැක් ඒ ලිපියේ කියනවා.

නමුත් ඒ පරණ ගෙවල් හරහා එයාල පෙන්නන්නේ ඒ විප්ලවයේ උරුමයට එයාල කොච්චර ආදරේ ද කියන එක. හරියට තමන්ගේ ඉතිහාසයේ සංකේතයක් වෙච්ච කියෝතෝ නගරයට ජපන්නු ආදරය කරනවා වගේ. ඒ අඳුරු පාට ගොඩනැගිලි කියා පාන්නේ කියුබානු ජනතාව තමන්ගේ විප්ලවය නම් ‘සිද්ධියට’ කොච්චර භක්තිමත් ද කියන එක. ඒක ගැඹුරු මෙලන්කොලික ආදරයක්. ඒ ආදරය වෙනස් කරගන්න එයාල කැමති නැහැ. එහෙම මිනිස්සු අපි අතරත් ඉන්නවා. මුළු ලෝකෙම වෙනස් වෙද්දීත් ජීවිත කාලෙම ලෙනින් ගේ රූපය බිත්තියේ ගහගත්ත මිනිස්සු ඉන්නවා. එයාල නිල්කමල් පුටු හතරක් පහකට වඩා ගෙදර නැති අල්පේච්ච මිනිස්සු. ඒ වගේ මිනිස්සු තමයි කවදාහරි පරමාදර්ශ වෙන්නෙත්.

මට ඒ ආපු දොස්තරලා අතේ තිබ්බ කියුබන් ජාතික කොඩිය සහ ක්‍රස්තෝ ගේ රූපය දැක්කට පස්සේ එයාල ගැන ආදරයක් හිතුණා. පොඩි අහිංසක මිනිස්සු ටිකක් ලෝකය ගිලෙන්න යන මොහොතක ඉදිරියට ඇවිල්ලා. කාටත් අමතක වෙලා තිබ්බ රටක කොඩිය වනනවා. හැමෝටම පේන්න.

අපි මැරිලා නැහැ…අපි ඉන්නවා උඹලත් එක්ක…තාමත් අපිට හයිය තියනවා. ඒ තමයි අපේ විප්ලවයේ හයිය…පරණ පරම්පරාව අපිට උගන්නපු හයිය. අයිලය පුරා කකුල් දෙක ගෙවෙනකම් ඇවිදපු දුයිෂෙන් ගේ හයිය…

උඹලට මගේ සැලියුට් එක ….

* මගේෂ් හපුගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *