කොයි එවුනුත් එකයි… (බන්ධනා 12 ) – නාමලී පෙරේරා

කුරුල්ලන්ට කෑම දාන ලෑල්ලට හැමදාම වගේ අදත් මුලින්ම ආවෙ ලේනෙක්. ලේන කියන්නෙ කොයි දේ ගැනත් විමසිල්ලෙන් නිතරම ඉන්න සතෙක්. බත් ගුලියක් පෙරලගන්න ගමන් ඌ හැමවෙලේම වට පිට බලනව කොයි මොහොතෙ මොන අනතුරට මුහුණ දෙන්න වෙයිද කියල සැකෙන්. ටික වෙලාවකින් පොල්කිච්චො රංචුවක් ඇවිත් ලෑල්ලට පාත් උනා. ලේන එතනින් පහළ අත්තට පැන්නෙ බත් අහුරක් අතට අරන්. පොල්කිච්චො තොර තෝංචියක් නැතුව කෑ ගහන ගමන් ලේනව පන්නන්න ගත්ත . ඌ ගහෙන් බිමට බහිනකල්ම පොල්කිච්චන්ගෙ විරෝධය නැවතුනේ නෑ . ඒත් එක්කම කොහේදෝ ඉදන් පියාඹගෙන ආපු කපුටෙක් බොහොම කෑදර කමින් බත් අහුරෙන් භාගෙකට වඩා ගිලල දැම්ම. උගෙ අත්තටු වලට වැදිච්ච තව බත් ටිකක් බිම වැටුන . කපුට එක්ක මොන පොල්කිච්චො ද කියනව වගේ පොල්කිච්චො උඩ අත්තට පියාඹල සසර එපාවෙලා වගේ බුම්මගෙන හිටිය.

” උඹලට හොද වැඩේ… අර ලේනත් එක්ක බෙදාගෙන කන්නෙ නැතුව බදාගෙන කන්න ගියා… ” මං කිව්ව.
” අනේ නිකන් උඹේ වැඩක් බලාගෙන ඉදපන්… “ එක පොල්කිච්චෙක් කිව්ව.

” උඹල උඹලගෙ පංතියෙ උන්ගෙම බඩට ගහන හැත්තක්… ” මාත් අතහැරියෙ නෑ . හිතට ආපු එක කියල දැම්ම.
” අනේ බං… උඹලගෙ ඔය පන්ති භේද හොදයි නවකතා කාරයින්ට, කවියන්ට… තරගෙට දුවද්දී උඹල උඹලගෙ පංතිය ගැන බලනවද… ?” තව පොල්කිච්චෙක් කිව්ව.

” ඇයි නැත්තෙ… බලපන් මේ දවස්වල … මිනිස්සු කොච්චර තමන්ගෙ උන්ට උදව් කර ගන්නවද… අසරණ මිනිස්සුන්ට කන්න බොන්න ගිහින් දෙනවද… “ පොල්කිච්ච කොහෙද මා එක්ක තර්ක කරන්නෙ…
” ඔව් .. ඔව්.. උන්ම තමයි කෙහෙල් ගෙඩියක් දෙන එකෙත් නම ගහන්නෙ…. පොල් ගෙඩියක් ඇහිද ගත්තම හිරේ දාන්නෙ… බඩගින්නට කන්න දෙයක් හොරාගත්තු එකාව ගස් බදින්නෙ…. ” පොල්කිච්චො මාරුවෙන් මාරුවට කිව්වෙ නිකන් ටීවී ප්‍රෝග්‍රෑම් එකක නිවේදිකාවො වගේ.

” ඔය හැමදේම වෙන්නෙ සුළුතරයක් අතින්. ඒක වාසියට හරවගෙන ඒකට ප්‍රාචාරණය දෙන්නෙ සමහර මාධ්‍ය . එතකොට අර බහුතරයක් කරන සමාජ සුබ සාධන යට යනව… ගොමරිටි උඩ එනව… “ මං කිව්ව.
” එතකොට උඹලගෙ අතරෙ අර ලෙඩේ හරි, ඒ වගේ ලෙඩක් හරි හැදුනම ඒ ලෙඩා ඉන්න ගේ හොයාගෙන ගිහින් ලෙඩාවයි උන්ගෙ හත්මුතු පරම්පරාවයි ලෝකෙට පෙන්නන්නෙත් ඔය මාධ්‍ය මෙහෙවරක් හැටියටද… ඉතින් ලෙඩේ හැදුන එකෙක් ඉස්පිරිතාලෙට යන්න බය වෙන එක අහන්න දෙයක්ද… “ පොල්කිච්ච කතාව වෙන පැත්තකට හැරෙව්ව.

” දැන් ඔය උඹල කියන සදාචාරය උඹල ලග තිබුණ ද.. අර මහ කපුට ඇවිල්ල ඔක්කොම ගිලල යනකල් උඹල එකෙක් කෑ ගැහුවද.. “ මං ආයෙ උන්ට මුල මතක් කළා.
” මේක කුරුල්ලන්ට කෑම දාන ලෑල්ල… කපුට කියන්නෙත් කුරුල්ලෙක්… ලේනට මේකෙ අයිතියක් නෑ …
අපේ ලෝකෙත් උඹලගෙ වගේ තමයි. හැමදේම ඒකාධිකාරියි. පොඩි එවුන්ව ජීවත් කරවන්න ලොකු එවුන් එක්ක ගේම ඉල්ලල වැඩක් නෑ . දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙම පංතිය ඇතුලෙ. ඒ ප්‍රශ්න නිට්ටාවටම හොද කරන්න බෑ. එහෙම වෙලාවට තමයි ලොකු එවුන් සමාජ සුබ සාධන, සහණ වගේ පොඩි සිංඩ්‍රොම් දාන්නෙ. හරියට…, ලෙඩේ හොයාගන්න බැරි උනාම එවලෙට වේදනාව අඩු වෙන්න පෙනඩෝල් පෙත්තක් දෙනව වගේ . ඊට පස්සෙ කාටවත් ප්‍රශ්නෙ මතක නෑ . උඹල අපි කියල වෙනසක් නෑ . ලොකු එවුන් කනව… පොඩි එවුන් උලාකනව…. බැරි එවුන් දත්මිටි කනව.. ” පොල්කිච්ච දේශනාව ඉවර වෙලා පියාඹල ගියා.

” බලද්දි මුන් ඔක්කොම එකයි… ” ලේනත් එහෙම කියාගෙන ගහදිගේ නැග්ග.

” කොයි එවුනුත් එකයි… “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *