විකල්පීයව හිතන සුළුතරයක් අතින් මේ ව්‍යසන තත්වය නිර්මාණයන්ට පාදක වේවි.. – කපිල එම්. ගමගේ

ලෝකයේ පශ්චාත් යුදමය තත්වයන් පසුකොට ගොඩ නැගෙන සංස්කෘතිකමය වටාපිටාවන්ද වෙනස් ස්වරූපයක් ගැනීම අත්දුටු දෙයක්, කොරෝනා වසංගතයත් ලොව තුළ නව සංස්කෘතික වටාපිටාවක් ගොඩ නැගේද ?

ඇතැම් විට එහෙම වෙන්න පුළුවන්. මොකද ලෝක ඉතිහාසයේ මෙතෙක් ඇති වී ඇති ස්වාභාවික හා මිනිසා විසින් නිර්මාණය කළ ව්‍යසනයන් ගෙන් පසුව ඒ අත්දැකීම සාහිත්‍ය, කලා හා වෙනත් සංස්කෘතික අවකාශයන් තුළ ප්‍රතිනිර්මාණය වුණා. ඇතැම් විට ඒවා එසේ නිර්මාණය වුණේ වෙනත් අර්ථකථනයන් සමග. ඒ සෑම අර්ථකථනයක් පසුපසම ඒවා නියෝජනය කරණ දේශපාලන දෘෂ්ටිවාදයකුත් තිබුණා. එම නිසා වර්තමානයේ අප මුහුණ දෙන කොරෝනා වසංගතයෙන් පසුව වුවත් මේ අත්දැකීම නව සංස්කෘතික කියවීමකට හා නිර්මාණයකට අවකාශය සදා දේවි. නමුත් තේරුම් ගතයුතු කාරණය වන්නේ ඒවා සෑමවිටම ඒ ඒ සමාජ දේශපාලන දෘෂ්ටිවාදයන් නියෝජනය කරමින් නිර්මාණය වන වග. අපි පොදු රසිකයින් ලෙස ඒවා කියවාගත යුත්තේ එය මතකයේ තබා ගෙන.

ලංකාව ලෙස ගත් විට අපිට මේ වැනි අත්දැකීම් පවතිනවා නේද ?

ඔව්. මෑත ඉතිහාසය විතරක් නොවේ. ඈත ඉතිහාසය තුල පවා ඇති වූ මෙවැනි ව්‍යසනයන් පාදක කරගෙන විවිධ සාහිත්‍ය කලා නිර්මාණයන් බිහිවුණා. ඒවා අපේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයන්ට යම් ආකාරයක ප්‍රගතියක් සලසා දේවි. නමුත් ලංකාවේ මේ මොහොතේ සමාජගතව පවතින, අධිපතීත්වය දරණ දේශපාලන මතවාදයන් ඒවා බහුතරයක් තුල නිර්මාණය වේවි. උදාහරණයක් ලෙස ගත් විට පසුගිය යුද ජයග්‍රණයෙන් පසුව නිර්මාණය වූ සාහිත්‍ය කලා නිර්මාණ ගන්න. ඒවා බහුතරයක් නිර්මාණය වුනේ ඉතිහාසය තමන්ට ගැලපෙන ලෙස අර්ථකථනය කරමින්. නමුත් වෙනස් සමාජ දේශපාලන පර්යාලෝකයන් ගෙන් මෙම ව්‍යසනය විශ්ලේෂණය කරගන්නා නිර්මාණ බිහි නොවේවි කියලා එයින් අදහස් වෙන්නේ නෑ. ඒවාත් බිහිවේවි. නමුත් මා ඉහතින් සඳහන් අධිපති මතවාදයන් සමාජයට ලොකු බලපෑමක් ඇති කරාවි.

යුරෝපියානු සංස්කෘතික හා කලා සාහිත්‍ය පිමි අපට දක්නට ලැබෙන්නේ දැවැන්ත විප්ලවීය තත්වයනට අනුගතව වූ වෙනස් කම් මත ඔබට දැනෙනා ලෙස මෙම ව්‍යසනයේදීත් යුරොපියානු කලාව වෙනස් මගක් ගැනීම සදහා සාධක පවතිනවාද ?

ඇතැම් විට එහෙම වන්නට පුලුවන්. යුරෝපය මෙම ව්‍යසනයට මුහුණ දුන් ආකාරය හා ඔවුන් ගේ සමාජ දේශපාලන හා ආර්ථික පසුබිම අනුව ලොකු වෙනසක් සාහිත්‍ය කලා ක්ෂේත්‍රයන් තුල ඇති වෙන්නට පුලුවන්. ඇතැම් විට ඒකට යම් කාලයක් ගනීවී. මොකද මේ මොහොත මුලු ලෝකයම මේ ව්‍යසනය හරහා දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බව අප අමතක කළයුතු නෑ. ඒ නිසා ඔවුන්ගේ පළමු ව්‍යායාමය වෙන්නට පුලුවන් පවතින සමාජ ආකෘතීන් යළි සලකා බලන එක. ඇතැම් විට ලොකු සමාජ දේශපාලන ආකෘතිමය වෙනස් කම් ඇති වෙන්නට පුලුවන්. ඒ වගේම පසුකාලීනව ඒවා සාහිත්‍ය කලා නිර්මාණයන් හරහා ප්‍රතිබිම්භනය වෙන්නටත් පුලුවන්.

 එක හෙළාම ඔබ මා අනුදත් සමාජ තත්වයන් මත කිසියම් සාහිත්‍යමය පිබිදීමක් සදහා පවතින ආර්ථිකමය පසුබිම ඒ සදහා බලපානවා. මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයක ලොව පවතින්නේ එහෙව් තැනක කලාව හෝ සාහිත්‍යය දියුණුවක ලක්ෂණ පෙන්නුම් කළ හැකිද ?

ඔව් මා කලිනුත් සඳහන් කල ආකාරයට ඒක තීරණාත්මකයි. ඓතිහාසිකවම ගත් විට යුරෝපියානු කලාවේ පැවැත්ම හැමවිටම තීරණය වුණේ නිෂ්පාදන අතිරික්තය හා ධනේෂ්වර පන්තියේ විවේකය පදනම් කරගෙන. ඒ නිසා මේ ව්‍යසනයෙන් පසුව ලෝකයේ ප්‍රමුඛතා පෙළගැස්ම වෙනස් වෙන්න පුලුවන්. ආර්ථික වශයෙන් ශක්තිමත් වීම එහි මුලින්ම තියෙන්න පුලුවන්. නමුත් ලෝක මතය තමන්ට පක්ෂපාතී ‍ලෙස නිර්මාණය කරගැනිමටත් ඔවුන්ට අවශ්‍ය වේවි. එය කරන්න පුළුවන් හොඳම ප්‍රවේශය වන්නේ සාහිත්‍ය කලාව. ඒ නිසා එය සම්පූර්ණයෙන් බැහැර කර තියන එකකුත් නෑ.

 ආසියාතික සංස්කෘතිකමය තත්වයන් බටහිර වඩා සාපෙක්ෂව වෙනස් තත්වයක් මත පිහිටීම අනිවාර්යයක්. නමුත් මෑත කාලීන කියවා ගැනීම් තුළ අපට ගෝලීය එකම තලයක මෙය පැවතුනා යන්න කිව හැකියි.වර්තමාන අර්බුදකාරී තත්වයන් මත එය ඒ අයුරින් පවතීද එසේ නොවේවිද ?

අපි කොච්චර හිතුවත් යුරෝපියානු සංස්කෘතියයයි ආසියානු සංස්කෘතියයි වෙනස් කියලා, ඇත්තටම ප්‍රායෝගික තලයේ දී ඒක එහෙමම නෑ. ගෝලීය අවකාශය තුල දියුණු ධනේශ්වර රටවල් සිය සංස්කෘතිය උත්කර්ෂයට නගමින් සිය ආර්ථික බලවන්තභාවය ආයුධයක් ලෙස භාවිතා කරමින් සිය ආධිපත්‍යය පරිධියේ රටවල් තුල ඉතා සූක්ෂම ලෙස පතුරවනවා. ඒ සඳහා මාධ්‍ය වාහකය ලෙසයි ඔවුන් භාවිතා කරන්නේ. ඒ නිසා වෙනස් සංස්කෘතීන් කියන එක කෙමෙන් මිත්‍යාවක් බවට පත්වෙමින් යනවා. දැන් බලන්න අපේ ආහාර සංස්කෘතිය, විලාසිතා, අධ්‍යාපනය, වැනි දේ අපේ ද? නෑනේ. ඒ නිසා බොහෝ පිරිධියේ රටවල් වලට තනිව හුදකලාව පවතින්නට බැහැ. ඒවා බොහෝවිට මේ අධිපති ධනේශ්වර රටවල හෙවනැල්ල යට තමයි දැන් තමන්ගේ පැවැත්ම රඳවාගෙන යන්නේ. අපේ වගේ රටක් වර්තමාන ගෝලීය සමාජ ආර්ථික හා දේශපාලන සන්දර්භය ඇතුලේ හුදකලා දූපතක් වෙන්නේ නෑ.

 අප දැක්කා මහා දියුණු යැයි සම්මත සහ ධනේෂ්වර පතාකයන් තමන් විසින් අත්පත් කරගත් තාක්ෂණික හා වෛද්‍ය විද්‍යාත්මක අත්පත් කර ගැනීම් සුනුවිසුනු කර දැමීමට වෛරසයක් සමත් වුනා . කුමක්ද මේ ගොඩ නැගුණු ලෝකය ?

ඒක ඇත්තටම පැවැත්ම හා පුරෝකථනය පිළිබඳ ගැටලුවක්. මේ තරම් මහාපරිමාණ ලෙසින් මෙවැනි වෛරස් වසංගතයක් ඇතිවේවි කියලා කවුරුවත් පුරෝකථනය කර තිබුණේ නෑ. ඒක බලාපො‍රොත්තු නොවූ තත්වයක්. ඒ නිසා මෙතෙක් පැතිරීමේ වේගයට සාපේක්ෂව එය වැලැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා වෛද්‍ය විද්‍යාත්මක යටිතල පහසුකම් පවා සූදානම් කර තිබුණෙ නෑ. මොකද එහෙම අවශ්‍යතාවක් තිබ්බේ නෑ. නමුත් මෙම වසංගතය හුදකලා සිද්ධියක් ද? නැතිනම් ලෝක දේශපාලන බල අරගලයේ ප්‍රකාශයක් ද කියන එක අපි තවම දන්නේ නෑ. ඒක ඉදිරියේ දී තීරණය වේවි. කෙසේ වෙතත් මේක ගෝලීයකරණයේ ම එක් අර්බුදයක් කියන එක නම් මේ මොහොතේ වුවත් බැලූ බැල්මට කියන්න පුලුවන්.

මතදැක්වීම් හා නිර්මාණ පාර්ශවයන් ගත් විට මේ වෛරසය සම්න්ධයෙන් වන චිත්‍රපට හා නව කතා නිර්මාණය වී පැවතුනා.. මීට කලකට පෙර ඔබට යම් හිතීමක් නැද්ද වෛරසය සම්බන්ධයෙන් වන දැනීමක අදාළ බල කඳවුරු සිටියාද යන්න සම්බන්ධයෙන් .

සමහර විට. මොකද ලෝක බල අරගලයේ ඊලඟ අදියර තමයි ජීව විද්‍යාත්මක අවි භාවිතය. ඉතින් කෙනෙකුට කියන්නට පුලුවන් සහ සිතන්නට පුලුවන් මෙය එවැනි ස්වරූපයේ ව්‍යසනයක් කියලා. 1980 ගණන් වල සාහිත්‍ය කරුවන්ගේ පරිකල්පනය තුල මෙවැනි ව්‍යසන පිළිබඳ නිර්මාණාත්මක භාවිතයන් තිබුණා. කෙනෙකුට ඉතා සියුම්ව ලෝක ඉතිහාසය විශ්ලේෂණය කරන විට එවැනි පුරෝකථනයන්ට එන්නට පුලුවන්. ලෝකය අත්පත් කරගන්නා තාක්ෂණික දියුණුව මත එය ඉක්මන් කරනවා විනා නොවී සිටීමට ඇති ඉඩකඩ අඩුයි. දැන් බලන්න චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් කරණ සන්නිවේදනය ගැන සහ ලෝකය තනි ඒකකයක් බවට පත්වන බව සන්නිවේදන විශාරදයින් පුරෝකථනය කරන්නේ60 දශකයේ මුල් භාගයේ දී. අද වන විට එය යථාර්ථයක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා සියුම්ව මේ ඉතිහාසය හා ලෝකය අත්පත් කරගන්නා තාක්ෂණික දියුණුව විශ්ලේෂණය කරණ අයට මේ ගැන නිවැරදි අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන්.

 අවසන් ලෙස අපි ලංකාව දෙස හැරී බැලුවොත් මේ පවතින දේශපාලන ආර්ථික හා සාහිත්‍යමය පසුබිම වෙනස් කිරීමටමේ තත්වයන් බලපාන්නේද ?

ඇත්තමටම නම් එහෙම වෙනස් කමක් ඉල්ලා සිටින තත්වයට අපි පත්වෙලා තියෙන්නේ. නමුත් මේ පවතින මොහොතේ පවා බහුතර ප්‍රතිචාරයන් දුටු විට ඒක එහෙම වෙයි කියලා ලොකු විශ්වාසයක් නෑ. තවමත් අපි ලැග සිටින සමාජ දේශපාලන හා සංස්කෘතික ලැග්මේ සසලවීමක් මම මේ මොහොතත් දකින්නේ නෑ. බහුතරය වෙනස්වීමට අකමැතියි. මොකද වෙනස්වීමක් කියලා කියන්නේ යම් යම් කොටස් අත්හැරීමක්. ඒ අත්හැරීම හැම වෙලාවෙම ඉදිරියට යාමට අවශ්‍ය තල්ලුවක් බව බහුතරය පිළිගන්නේ නෑ. ඔවුන් බලන්නේ අත්හරින දේ දිහා මිසක ඊලඟ ට අල්ලා ගන්නා නව්‍ය දේ දිහා නෙමේ. මේ තත්ත්වය සමාජය තුල පවත්වාගෙන යාම දේශපාලනික වැඩක්. බොහෝ දේශපාලකයන් ගේ පැවැත්ම තීරණය වන්නේ මේ එකතැන ලැගසිටීන සමාජයක් ඇතුලේ.

නමුත් මෙයට විකල්පීයව හිතන සුළුතරයක් අතින් මේ ව්‍යසනමය සමාජ සසල කිරීම යම් යම් නිර්මාණයන්ට පාදක වේවි කියලා හිතෙනවා. ඒක අද හෙට සිද්ධ නොවෙන්නත් පුලුවන්. මම වඩාත් කැමති එය පසුවට සිදු වෙනවා දකින්න. මොකද මේ මොහොතේ අපේ පියවරක් ඉදිරියෙන් තියෙන අභියෝගය තමයි මේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම. මට නම් එය මහා අන්ධකාරයක්.

සාකච්ඡා කළේ – තුසිත පතිරණ

ඡායාරූප – කල්ප රාජපක්ෂ

 

One thought on “විකල්පීයව හිතන සුළුතරයක් අතින් මේ ව්‍යසන තත්වය නිර්මාණයන්ට පාදක වේවි.. – කපිල එම්. ගමගේ

  • April 25, 2020 at 11:18 pm
    Permalink

    ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාම් අදින්නේ

    Thousands of candles can be lit by one candle and the life of that candle will not die. Happiness never runs out when we share.- The Buddha

    දාම් ලෑල්ලේ ගිණි පොලියට දෙන පොඩි සිඥ්නෝ
    හා හතර පෝයට සිල් ගන්නා හේතු හාමි දාම් අදී
    දඟකාර කොලු ගැටයා අහන්නේ පුදුම ප්‍රශ්නයෙකි.
    ඇයි මාමේ ඉස්සර බෝවෙන රෝග වලට
    අඹ අතු කොහොඹ එල්ලන කොට
    සාධුලා පිරිත් කියන කොට
    ඉහෙන් බහින රෝගයක් වත් නැහැනේ
    දහම් පාසලේ පොඩි සාධු කියනවා නිතර.
    ගැටයා දඟකාරයා ඔබයි බොත්තමක්
    පොලියට දෙන පොඩි සිඥ්නෝ ගේ මොබයිල ෆෝනයේ;
    “යුඅවර් මෙසේජ් හෑස් බීන් ෆොර්වදැඩ් ටු අන්
    ඔටෝමටික් වොඉස් මේල් ”
    “අර මක්කයි කියන්නේ ” හේතු හාමි අසයි .
    රේඩියෝවේ විදෙස් ප්‍රවෘත්ති කියැවේ;
    ‘ඇමෙරිකාවේ කරුණා වයිරස රෝගයෙන්
    දැනට 926,442 ට රෝගය පැතිරී ඇත
    53,280 ක් මිය පරලොව ගොසිණි.
    කන්සස් ප්‍රාන්තයේ කුඩා ගොවියෙකු
    මුහුණු වසන 95 ක් නිවු යෝක් ආණ්ඩුකාර
    කුඔමෝ මහතාට පුද කරයි.’

    8

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *