ඇය ලෝකයේ ශක්තිමත්ම ජීවියායි – හසිනි දෙනිපිටිය

ටිකෙන් ටික ලොකු වෙන ඇය තමන්ගේ ජීවිතයට අවශ්‍ය පන්නරය මේ ජීවිතය ඇතුලේ ම හොයා ගන්නවා.වයසින් කුඩා වුනත් ඇගේ ගත වැඩිවියට පත් වෙනවා. ඇය ගැහැනියක් ලෙස නම් දැරීමට සුදුසු පසුබිම සකසා ගන්නවා. ශරීර ක්‍රියාකාරිත්වයත් එක්ක ඇය ජීවිතය ගෙවනවා. මාසෙකට වතාවක් ඇය ජීවිතයේ වේදනාවේ, දරාගැනීමේ පාඩම ඉගෙන ගන්නවා. ඒ පුංචි කෙල්ල දැන් ආදරණීය ප්‍රේමවන්තියක්. දුක, සතුට මේ හැමදේකින් ම ඇය මුවහත් වෙනවා. අනතුරුව ඇය පතිනියක වී කුලගෙට යනවා. දැන් ඇය වගකීම් සහිත භාර්යාවක්. කාලයකින් ලෝකයේ උතුම්ම පදවිය වුණු මව් පදවිය ඇගේ හිස මත කිරුළු දරනවා. ඉතින් ඇයත් මවක්.පුංචි සිඟිති අත් තමන්ගේ දෑතේ රදවගෙන ඒ දෑතට සවියක් වෙලා ටිකෙන් ටික ඒ දෑත ලෝකය ඉදිරියට අරන් ගිහින් අත් වාරුවක් නැතිව ලෝකය ඉස්සරහා මහා දැවැන්තයෙක් හදලා පසෙක ඉඳන් ඒ දෑත, ඒ රුව දෙස නෙත් විදහා බලන් ඉන්නවා. ඇය ලෝකයේ ශක්තිමත්ම ජීවියයි.ඒ මවයි.

ලෝකයේ ජීවත් වීමට නම් ආදරයක් අවශ්‍යයි. එය ජීවිතය ජීවත් කරවන ජීවිතේ බලාපොරොත්තුවයි.ආදරය කියා දෙන්නිය,ආදරයේ උල්පත මවයි.පියෙක් කිසි දිනක ආදරය කියා පවසන්නේ නෑ.නමුත් ඒ හැඟීම් තුළ ඒ ආදරය අපූරුවට ගැබ් වී තිබෙනවා.ඒත් ඒ නිහඬ ආදරය හරිම ගැඹුරු යි. තේරුම් ගැනීමට අපහසුයි.ඒත් මවකගේ ආදරය විනිවිද දකියි.ඒ සෙනෙහසින් ආදරයේ හැඩය දරුවකු හඳුනා ගනියි. කුස තුළ රැඳුණු දවසේ පටන් ම ඇය සෙනෙහස දෝත දරන් තම දරුවා ගැනම සිතමින් කාලය ගෙවා දමයි.අනතුරුව මේ ලෝකයට පණ ගැහෙන ලේ කැටියක් බිහි කරුණුයේ ලෝකයේ ඇති වේදනාකාරී ම අත්දැකීමට මුහුණ දෙමිනි.එය දැනීමට නම් ඔබ මවක් ම විය යුතුමයි. සෑම නහරයක් පාසාම ඇති ශක්තිය එකතු කරමින් මහා වේදනාවක් දරා ගනිමින් දරුවා මෙලොවට බිහි කරයි.ඒත් දරුවාගේ පළමු හැඬීමෙන් ම තම වේදනාව යටපත් වන්නේ ඒ සෙනෙහසේ නාමයෙනි. ඉතින් ඇය තරම් දරුවකුට ආදරය කළ හැකි කෙනෙකු තවත් මේ ලෝකය තුළ නැත. එම නිසාමයි කුමන වරදෙහි බැඳුණ ද තම දරුවාට ඇති සෙනෙහස බිඳ දැමීමට නොහැක්කේ. ඉතින් ඇය සෙනෙහසේ දෙවගනයි.

බෞද්ධ දර්ශනය දරන ඔනෑම අයකු ගෙදර බුදුන් ලෙස දකිනුයේ සිය මවයි.බුදුරජාණන් වහන්සේ මේ සංසාරයෙන් ගොඩ ඒමට මඟ හසර තනා දුන්නා සේ ම මවක් තම දරුවන්ට ඒ ඒ ජිවිත තනා ගැනීමට අවශ්‍ය මඟ තනා දෙයි. හොඳ, නරක, මනුස්සකම මේ හැම දෙයක් ම ඇය පෙන්වා දෙයි. පාසල තුළ සිටින ගුරුවරු අපට හමු වන්නේ දෙවනුවයි. නමුත් මේ ජීවිතය අපට හමුවන පළමු ගුරුවරයා මවයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ගෙදර බුදුන් ලෙස මව නම් කිරීම වරදක් නැත. බුදුරජාණන් වහන්සේටත් මේ සංසාරයෙන් කෙළවර දැකීමට තම සුළු මව්න් වූවත් මවක් ලෙසින් සිටි ගොතමියගෙන් එකදු වචනයක් හෝ ඒ මඟ තනන්නට එක් වෙන්න ඇතියි. කුඩා කාලේ ගිරව් වගේ ඇකයේ මුහුණ හොවන් දවසේ වාර්තාව ඇයට සපයනවා වගේ දවසේ සිදුවීම් ඔහේ කියන් යයි. අවසානයේ ඒ සිදුවීම්වල හරය ඇය නැවත පවසන විට ජීවිතයට නොදැනුවත්ව හෝ අපි යම් දෙයක් එකතු කර ගෙන අරන් යනවා.ඉතින් ආචාර්ය, මහාචාර්ය උපාධි නැති වුණත් ඇයත් ගුරුවරයෙක්.

ඒ ඒ දර්ශනයන්ට අනුව ලෝකයේ මැවුම් කරුවා පිළිබඳ විවිධ මත පවති.නමුත් ලෝකයේ නියම මැවුම් ශිල්පීයා ඇයයි.ඒ මැවීමේ නියම අයිතිකාරිය ඇයයි.පුංචි සිඟිත්තියක් වී ඉපදුණු දා පටන් ඇය කෙමෙන් කෙමෙන් ශාරීරික,මානසික වශයෙන් සැකසෙනුයේ මව් පදවිය දැරීමටයි.ඇයගේ ශරීරික අංග පවා සැකසී ඇත්තේ එයටමයි.මවක් යනු මුවහත් කළ පිහියක් වැනිය.ඇය කුඩා කල පටන් ම ජීවිතය තුළින් ජීවිතය සකසා ගනී. ඉතින් ඒ වේදනාවන්, ඒ දරා ගැනිම් මේ සියල්ල ඇයට උරුම වූ කරුමයක් නොව දක්ෂතාවයක් ලෙස මා දකිමි.සත්ත්ව ලොකයේ මව සේ ම මනුෂ්‍යය ලෝකය මව ද මේ පොදු ධර්මතාවන් පවතී. ලේ කිරට හැරවීම හාස්කමක් වැනිය. ලේ කිරට හැරීමට තරම් ඇයගේ සෙනෙහස කෙතරම් ද එසේම ඒ හැඩගැස්ම අපූරුය. ඉතින් මවක් ලෝකයේ මැවුම් කරුවෙක් නොවේ ඇය අසහාය මැවුම් කරුවෙකි. ලෝකයේ ජීවය රන්දන අසහාය මැවුම් කරුවෙකි.

ගැහැනිය විවිධාකාර චරිත පනපොවන චරිතාංග නිළියක් වගෙයි.ඒ චරිත අතුරින් රංගන වින්‍යාසයයේ උච්චතම මෙන්ම රංගනය අපහසුම චරිතය මවකගේ චරිතයයි.මන්ද ඒ චරිතය නාමයට පමණක් සීමා වූවක් නොවේ.එය මුළු හවවතින් ම රංගනය කළ යුතුය. එය කළ හැක්කේ ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මවකට පමණි. එවන් මව්න් තම කුසෙන් නොවැදුවත් සියලු ම දරුවන්ගේ මවකි.

අවසානය මා මෙලෙස තබමි. මේ ලෝකය වේදිකාවක් නම් ඒ රංගනයේ මූල බීජය වූ රංගනයේ පිටපත මවයි. ඒ පිටපතට අනුව ඇගේ දරුවන් වූ නළු නිළියන් රංගනයේ යෙදෙයි. ඒ පිටපතේ අපූරත්වය සාර්ථකත්වය රැඳී ඇත්තේ නළු නිළියන් මතයි. ඒ මව නම් වූ රංග පිටපතට දීමට හැකි ඉහළ ම සුබපැතුම එයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *