පෙත්සම විභාග වන තෙක් මනාප අංක නෑ..

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කර ඇති බව වාර්තා වේ

මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුවට එළැඹී ඇත්තේ ඊයේ (12) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ රැස්වීමකදී ය.

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජුනි මස 20 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර තීන්දු කළ නමුත් ඊට අදාළ මනාප අංක හා අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම, කොරෝනා වෛරස තත්වය හමුවේ රට පත්ව ඇති අනතුරු දායක තත්වය මත කල් දැමීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස්වී මනාප අංක ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අදාළ තීන්දුව ගැනීමට නියමිතව තිබුණද කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව එම ගැසට්ටුව ප්‍රකාශයට පත් කිරීම යළිත් වරක් කල් දමා තිබේ.

මහ මැතිවරණය ජුනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මේ මස 15 වැනි දිනට පෙර මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර එය නිකුත් නොකිරීම නිසා ජුනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්වීමේ නීතිමය අවකාශය ඇහිරී ඇතැයි නීති ක්ෂේත්‍රයේ මතය වී තිබේ. ඒ අනුව මහ මැතිවරණයේ ඡන්ද විමසීම තව දුරටත් දින නියමයක් නොමැතිව කල් යනු ඇත.

මැතිවරණ කොමිසමේ ඊයේ පැවැති රැස්වීමට මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇතැයිද එම පත්‍රිකාවට කොමිසමේ සාමාජිකයන් එකඟවූයේ නම් ඊයේ මධ්‍යම රාත්‍රියේදී මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවද පැවසේ.

මේ අතර දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ රැස්වීමක්ද ඊයේ පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී ආණ්‍ඩු පක්ෂය හැර අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් අධිකරණ තීන්දුවෙන් පසුව මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ආණ්‍ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කළ යුතු බවය.

එහෙත් කොමිෂන් සභාව ආණ්ඩු පක්ෂයේ යෝජනාවට ප්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තාවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *