ගුඳ ගති ගත පද, පාගා දැමූ , ගුඳ ගති හෙවත් දිය රෙදි නාඩගම

ගුඳ ගති ගත පද දිය රෙදි ගැන පළවෙන මත කීපයක් !
එක්තරා අවස්ථාවක, අද අප අතර නැති ජයලත් මනෝරත්න රංගධරයා මෙවැන්නක් පැවසීය. “අපි එරෙහි වෙන්න ඕනෑ සම්ප්‍රදායට නොවෙයි ගතානුගතිකත්වයටයි“. ලෝක ඉතිහාසය පුරා ම කලාව සංස්කෘතිය පවත්නේ නිරන්තර චලනයේය. එහෙත්, එහි පැවැති සම්ප්‍රදායේ මූලික හරයන් වෙනස් කිරීම නොකළ යුතු යැයි ඇතැම්හු අදහති. තවත් අයෙක් පවසන්නේ කඩාගෙන බිඳගෙන යාම කලාව බවය. අපේ අදහස නම්, මේ අන්ත දෙකටම නොයා තර්කානුකූලව කලාව සංස්කෘතිය සංවර්ධනය විය යුතු බවය.

පසුගිය දා තාන හැන්දෑව නැමැති නිර්මාණ ප්‍රසංගයේදී සාම්ප්‍රදායික සුරඹාවල්ලිය නැටුම වෙනස්ව ඉදිරිපත් කර තිබූ අයුරු මුහුණු පොතෙහි පළ වූ වීඩියෝ මගින් දර්ශනය විය. මේ එම වීඩියෝවේ තිබූ නර්තනය සම්බන්ධව නර්තන ශිල්පීන් කීපදෙනෙක් දැක් වූ අදහස් සමුච්ඡයකි. මීට වෙනස් අදහස් ඇත්නම් එම අදහස්ද පළ කිරීමට lankatarget.com අපි සූදානමින් සිටිමු. දහසක් මත ගැටේවා ! දහසක් මල් පිපේවා !!

 

නිර්මාණකරණය සිදු විය යුත්තේ හෙළුව පෙන්නා නැටීමට නොවේ – කසුන් පුල්ලපෙරුම

 

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බාහිර උපදේශක කසුන් පුල්ලපෙරුම

සුරඹවල්ලිය යන නර්තනය කෝලම් නාටකය තුලින් පහතරට ශාස්ත්‍රීය නර්තනයක් බවට පත් වූ නර්තනයකි. සුරඹවල්ලිය ඇතැම් විටක සොමිගුණේ ලෙස ද දක්වා ඇත. පන්දු උඩ දමමින් දුටුවන් මන්මත් කරන නර්තනයක් සිදු කරන දෙව් ලියන් බඳු ලියක් ලෙසින් කෝලම් කවි වල දක්වා ඇත. එසේම වල්ලිය යනු රොඩී/වැදි පිරිස අතර මව් බිසවක් ලෙස සලකන නාමයක් වන අතර රොඩී පිරිස අතර මෙම පන්දු කෙලිය, තැටි කැරකැවීම ආදිය ද තිබූ බවට අදටත් සාක්ෂි තිබේ. සුරඹාවල්ලිය යනු හුදෙක් නැටුමක් ම නොවූ ක්‍රිඩාවක් විය. පන්දු උඩ දැමීම පසු කාලීනව වියැකී ගියද සුරඹාවල්ලිය වෙස් මුහුණ තුල සංකේතාත්මකව අදටත් එය දක්නට ලැබේ. රජු සහ බිසව රංග භූමියට පැමිණිමත් සමඟ නටනු ලබන සබ නැටුම් කොටසට අයත් වන කෝලම් නර්තනයක් ලෙස සුරඹාවල්ලිය කෝලම හඳුනාගත හැකිය. එහිදී රංග වස්ත්‍රාභරණ ලෙස සාම්ප්‍රදායික පහතරට මුතු ඇඳුම් කට්ටලය සහ වෙස් මුහුණ භාවිත විය.

කාලයත් සමඟ කෝලම් නර්තනාංග ශාස්ත්‍රීය නර්තනාංග ලෙස බිහිවීමට පටන් ගන්නා ලදි. වේදිකාව සඳහා කරන ලද නිර්මාණ ලෙස බිහි වූ ගිරිදේවි, නාරිලතා මෙන්ම සුරඹාවල්ලිය නර්තනයද සාම්ප්‍රදායික පදනමක් යටතේ කවි ගායනා, පද, ඉරට්ටි සහිතව නිර්මාණය විය. එහි අයිතිය හිමි වන්නේ කලාශූරී කේ. එස්. ප්‍රනාන්දු මහතා හට ය. 1979 දී එතුමන්ගේ 50 වන ජන්ම දිනය වෙනුවෙන් සුනෙත් ගෝකුල මහතාගේ ඉල්ලීම අනුව සහ නුගේගොඩ සංගීත කලා නිකේතනය විසින් සංවිධානය කරන ලද නර්තන ප්‍රසංගයේදී පනස් වන ජන්ම දිනය වෙනුවෙන් නිර්මාණය වූ නර්තනාංග වලින් එකක් ලෙස සුරඹාවල්ලිය නර්තනය නිර්මාණය විය. කුමාර සමයම සහ රාග පද ආශ්‍රය කරගෙන නිර්මාණය වූ රතිරාග වන්නම , නාරිලතා කෝලම ආශ්‍රය කොටගත් නාරිලතා නැටුම, කේ. එස්. ප්‍රනාන්දු මහතා විසින්ම නර්තනය කරන ලද මුදුන්තාලය නර්තනය මෙන්ම සුරඹාවල්ලිය කෝලම ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද සුරඹාවල්ලිය නැටුම ද ඒ අතර විය.No photo description available.

පද-ඉරට්ටි, ගායනා ආදිය නිසි පරිදි සකසමින් එම නිර්මාණය බිහි වූ බවට සාක්ෂි උදාහරණ ලෙස දැක්විය හැක.

“දොම් ගුඳම් ගත් දැහිම් ගතම් ගුඳ”

යන පදය අද වන විට

“රෙගුම් ගුඳම් ගත් දෙගත් ගතකු දොම්”

ලෙස වාදනය කලද පෙර කී පදයට අනුව ඉරට්ටිය

“දොම්ත ගතම් ගුම් දිම් ගත ගත්තත් ගද්දිත ගතගුම් දිම්ගත ගුන්දත් තා”

යනුවෙන් වාදනය කිරීමෙන් එහි සාම්ප්‍රදායික ශාස්ත්‍රීය ගති ලක්ෂණයක් වන පදය ආරම්භ වන අක්ෂරයෙන්ම ඉරට්ටියත් ආරම්භ විය යුතුය යන්න පැහැදිලි කරගත හැක.

එතුමා නිර්මාණය කරන ලද සෑම නර්තනයකම පාහේ මෙවැනී ශාස්ත්‍රීය ලක්ෂණ පදනම් කොටගෙන කරන ලද නර්තනාංග වූයෙන් ඒවා ශාස්ත්‍රීය වටිනාකමක් සහිතව ගොඩනැගෙන්නට සහ ප්‍රචලිත වන්නට විය. එතුමාගේ නර්තන වලදී සාම්ප්‍රදායික ගායන නාදමාලා මෙන් ම එතුමා විසින් නිර්මාණය කරන ලද නාද මාලා ද ඇතුලත් විය. සුරඹාවල්ලිය ද ඊට උදාහරණයකි.

ප්‍රථම වරට එලෙස නිර්මාණය වූ සුරඹාවල්ලිය නර්තනය 1979 වසරේ සිට පුහුණුවීම් කටයුතු සිදු වූයේ කොහුවල ඇන්ඩ්‍රසන් මාවත පිහිටි දේවගේ මහතාගේ නිවස තුල, සුනෙත් ගෝකුල මහතාගේ කලායතනය තුල සහ නුගේගොඩ සංගීත කලා නිකේතනය යන ආයතන තුලදී ය. එහිදී නිර්මාණය කරන ලද නර්තනය 1980 මාර්තු මස 4 දා නුගේගොඩ සංගීත කලා නිකේතනයේ සිසු දරු කැලගේ සංවිධාන මූලිකත්වයෙන් කොළඹ ලුම්බිණි රඟහලේ දී 50 වසර 50 නර්තන ප්‍රසංගය දී මුල්ම වරට රඟ දැක්වීය.Image may contain: one or more people, people on stage and people standing

එහිදි කේ. එස් ප්‍රනාන්දු මහතාගේ නර්තන නිර්මාණයෙන් එළි දැක්වුන සුරඹාවල්ලිය නර්තනය හෙවත් කන්දුක ගැටුම නම් වූ කෝලම් නර්තනය මුල් වරට වේදිකාවේ නර්තනය සිදු කරන ලද්දේ

රේණුකා චාන්දනී
නිෂා ලියනගේ
රම්‍යා පණ්ඩිතරත්න
ස්වර්ණා කලුගම්පිටිය
කුමාරි දිසානායක
ඉන්ද්‍රානි සෝමලතා
ලංකාතිලක ධම්මිකා
එල්සි රුද්‍රිගු

යන අයයි. ගායනයෙන් සහභාගී වූයේ

එඩ්වඩ් ජයකොඩි
සෝමලතා පැලකැටිගේ

යන අයයි. වාදනය සඳහා

එස්. එල්. එච්. ප්‍රනාන්දු
පොඩිනේරිස් විරවංශ
හර්බට් දයාශීල
පද්මසිරි සුද්දගොඩ

යන අය සහභාගී විය.

ඉන් පසුව 1982 වසරේදී ජාතික රූපවාහිනියේ අජිත් ජයවීර මහතා විසින් පැවැත්වූ සාරංගී නම් වැඩසටහනේ දී ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රථම වතාවට කේ. එස්. ප්‍රනාන්දු මහතාගේ සුරඹාවල්ලිය නර්තනය රේණුකා චාන්දනී ගේ නර්තනයෙන්, හර්බට් දයාශීල ගේ වාදනයෙන්, එඩ්වඩ් ජයකොඩි ගේ ගායනයෙන් ඉදිරිපත් කරන ලදි.

එවකට කේ. එස්. ප්‍රනාන්දු මහතා සේවය කල හේවුඩ් ආයතනය (වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) තුල මෙන්ම මුලු දිවයින තුලම මෙම නර්තනය ප්‍රසිද්ධ වන්නට මෙහි තුල තිබූ ශාස්ත්‍රීය පදනම, සරල බව, විචිත්‍රවත් බව ක්‍රමානුකූල බව ආදිය හේතු විය. පසු කාලීනව එතුමන්ගේ ම ගෝල රත්නයක් වූ ආරියරත්න කලුආරච්චි විසින් 1992 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා සුරඹාවල්ලිය නර්තනය ඇතැම් වෙනස්කම් සිදු කල අතර පලමු නිර්මාණය එලෙසම පවත්වා ගනිමින් එයට හානි නොවන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය සිදු කරන ලදි. එහිදි එවකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුල සිටි විද්‍යාර්ථින් සහ කථිකාචාර්ය වරුන්ගේ නර්තන,ගායන,වාදන සහභාගීත්වයෙන් මෙය නවීකරණයක් සිදු විය.

දේශීය නර්තන කලාවේ පහතරට සළකුණ වෙනුවෙන් මෙතුමා කල නිර්මාණ බහුතරයක් අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම සහ ප්‍රචලිත කිරීමට පසුකාලීන කලාකරුවන් කල සේවය අතිමහත් ය. ඒ අතර එතුමාගේ පරපුරේ පිරිස මෙන්ම ගෝල පිරිස ද විය. වර්තමානයේ ද පහතරට නර්තනය අධ්‍යයනය කරන සිසු-සිසුවියන්ගෙන් සුරඹාවල්ලිය, ගිරිදේවි ආදී නර්තනයන් නොදන්නා කෙනෙක් නැති තරම් ය. ඒ තුලින් ම එම නිර්මාණ වල ගුණාත්මකභාවය මැනවින් පිළිබිඹු වේ.

ශ්‍රීලාංකීය කලා සමාජය තුල සිටින දක්ෂ ශිල්පීන් මෙන්ම නර්තනයට ආදරය කරන සිසු-සිසුවියන් ද මෙම නර්තනයන් රැක ගැනීමට උත්සුක වන කාලයක වාණිජකරණය හා බටහිර ආභාෂයෙන් හිස් උදුම්මවාගත් ඇතැම් පිරිසක් පෞද්ගලික වාසි තකා නර්තනය වෙනත් පැතිකඩක් වෙත ගෙනයනු පෙනේ. නිර්මාණකරණය සිදු විය යුත්තේ දේශීය අනන්‍යත්වය සහ අපගේ ශිෂ්ඨ සම්පන්න සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් මිස හෙලුව(nudity) විදහා දක්වමින් පිළිකුල් සහගත රූප රටා දැක්වීමෙන් නොවේ. එවැනි නිර්මාණයක් බුද්ධිගෝචරව බැලීමේදී ඕනැම කෙනෙක් හට දෘශ්‍යමාන වන්නේ ලිංගික උත්තේජනාත්මක රංගයක් මිස නව මානයක් ඔස්සේ කලා කෘතියක් නිර්මාණය කිරීම නොවේ. එවන් පහත් ක්‍රියාවකින් කලාකරුවෙක් ප්‍රසිද්ධිය හෝ වෙනත් යම් දෙයක් බලාපොරොත්තු වේ නම් ඔහුගේ නිර්මාණ සඳහා අපගේ මෙවැනි සාම්ප්‍රදායික නර්තනාංග, දේශීය සංස්කෘතිය සහ සභ්‍යත්වය ඒ වෙනුවෙන් බිල්ලට නොදී කටයුතු නොකල යුතුය.

අතීත ගුරුවරුන් ගුරු මුෂ්ටි නෙතබා දායාද කරන ලද සියලු අංග ඉදිරි පරපුරටත් රැකගෙන යාමට ද පිරිසක් සිටින බව ඉතාමත් සතුටින් කිව යුතුය. අද කාලයේ නර්තනය හෝ අපේ ඕනෑම කලාවක් විනාශ කිරීම වෙනුවෙන් නැගී සිටීමට අයිතියක් කලාවට ආදරය කරන ඕනැම කෙනෙකුට උපතින්ම හිමිවන අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට කාලය එලඹ ඇත. උස් උස් පුටු වල සිටින අයගේ අවධානයක් නොවේ නම් කුඩා තැනින් හෝ එකතු වී අපේ කලාව රැකගැනීමට යොමු විය යුතුම කාලය දැන් එළඹ ඇත. කලාව විකෘති කරන්නන් වෙනුවෙන් දැඩි තීරණ වුවද ගැනීමට තරම් අයිතියක් කලාව රකින සියලු දෙනා ම සතුවේ.

ගයාන් ශ්‍රීමාල් ඔබව කල එලි බැස්වූ මේ කලා මාවතෙහි මග විවිර කර දුන් ඒ ගුරුතුමා කේ. එස්. ප්‍රනාන්දු ගුරුතුමාගේ සහ හර්බට් දයාශීල ගුරුතුමාගේ නාමයෙන් වත් මේ වැරැද්ද නිවරදි කරන්න. එය එසේ නොකරන්නේනම් ඔබ කෙතරම් පිලිගත් කලාකරුවෙකු වුවත් සමාජය විසින් මම ඇඳුමම ඔබට ම ඇන්දවීම සිදු කරනු ඇත.

නිර්මාණය හා විකුර්තිය යනු හුදෙක් කාරණා දෙකක් – සුපුනි ධනුද්ධරී දයාශීල

ආදරණීය ගයාන් ශ්‍රීමාල්,   ඔබ කුඩා කාලයේ මාගේ දෙමාපියන්ගෙන් නර්තනයට අත්පොත් තැබූ බව සැබෑවකි.. ප්‍රදේශය හැර යනතෙක් ඔබ හා ඔබේ සොහොයුරිය අමාලි අප නිවසේ පැවැත්වූ කලායතනයේ සිසුන් බවත්, ඉන් ඔබ්බට යමින් අප අතර ඉතා සුහද මිත්‍රත්වයක් එකල පැවති බවත් සැබෑවකි. කාලයාගේ ඇවෑමෙන් ඔබ නර්තනයේ තවත් නවමු පියවරක් තබමින් රියැලිටි වේදිකාව තරණය කළ විටත්, ඔබගේ නිර්මාණ හැකියාවන් දැක මා මෙන්ම මගේ දෙමාපියන්ද සතුටු වූ බවත් දන්වනු කැමැත්තෙමි..

එමතුද නොව, ඔබගේ #තාන_හැන්දෑව නිර්මාණය පිළිබඳවද මුහුණුපොතින් දැක අපි සැබැවින්ම සතුටු වූයෙමු. ඒ වනවිට නිර්මාණ ක්‍රියාවක් පිළිබඳව මිස නිර්මාණ විකුර්තියක් පිළිබඳව නොදැන සිටියෙමු.

ආදරණීය ගයාන් අයියේ,

කලාශූරී කේ.එස්. ප්‍රනාන්දු ශූරීන්ගේ උත්තුංග ලේ ධාරාවට උරුමකම් කියන මා, ඔබට මෙයින් යමක් දන්වනු කැමැත්තෙමි.

කේ. එස් ශූරීන්ගේ දෙටු පුත් වූ මා පියාණන් වන හර්බට් දයාශීලයන්ගේ ගෝලයෙකු වූ පමණින්, ඔබට මගේ මුතණුවන්ගේ නිර්මාණ අමු අමුවේ විනාශකර දැමීමේ කිසිඳු අයිතියක් නොමැත සුරඹාවල්ලිය කෝලම් මඩුවෙන් වේදිකාවට ගෙන ආ මා මුත්තණුවන්, එය වේදිකාවට ගැලපෙන අයුරින් නිර්මාණය කරන ලදී.. ලක්වාසී සියලු ප්‍රේක්ශකයින් වේදිකාව මත අද දකින්නේ එදා මාගේ මුත්තණුවන් විසින් කරළියට ගෙන ආ සුරඹාවල්ලියයි.. එහි සම්පූර්ණ අයිතිය ඔහු සතුය.

සම්ප්‍රදායය තුළින් නිර්මාණ බිහිවීම නොකළයුතු නොවේ.. එහෙත්, නිර්මාණය හා විකුර්තිය යනු හුදෙක් කාරණා දෙකක්_මිස_එකක්_නොවන_බව_ඔබ_තරයේ_අවබෝධකර_ගත_යුතුය..
අදත්, මේ මොහොතේත්, ඔබගේ නිර්මාණ දිවියට සැබැවින්ම සුබ පතමි..! ඔබේ ඉදිරි නිර්මාණ අපේ සම්ප්‍රදායේ මළගම මතින් නොව, සම්ප්‍රදාය රකිමින් නිර්මාණය වේවා…!

සුරඹාවල්ලියට සිදුවූ දේ මා මුතණුවන්ගේ #ගිරිදේවියටත්, අනෙකුත් කෘතහස්ත නර්තන ශිල්පීන්ගේ සාම්ප්‍රදායික නිර්මාණයන්ටත් සිදු නොවීම පිණිස මෙම සටහන තැබීමට තීරණය කළෙමි.

අවසාන වශයෙන්, නොදැන විය නොහැකි බැවින්, දැනදැනම සුරඹාවල්ලියට ඔබෙන් සිදු වූ විකුර්තිය හේතුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයදින ලෙසට, ඔබ ඉගෙන ගත් ගුඳ ගති ගත පදයේ නාමයෙන් ඉල්ලා සිටිමි!

සම්පත් දායකත්වය සැපයූ – දිලානි වැලිවිටිගොඩ සහෝදරියට ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *