ඇම්ෆන් ප්‍රචණ්ඩ වන ලකුණු: දිස්ත්‍රික් 10ක නායයාමේ අවදානම්:

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ අවපීඩන තත්ත්වය හේතුවෙන් හටගත් ඇම්ෆන් (Amphan) සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති අතර ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු පළාත් වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10ක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයන් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *