අවුළුවා පේ‍්‍රම අග්නිය, නිවී යා හැකි ද ඔබ හට – මේනුකා දම්සරණී

අත්හැරිය යුතු ම තැනදී අත්හරින්නට සිතා ළං ළංව වෙන් ව යා නොදී සංසාරයක් නිමා කළ සිදුහත් – යශෝධාරා, ඒ පේ‍්‍රමය බව ලෝකයට කියා දී ඇත. එහෙත් අත්හැරිය යුතු ම තැන පමණක් නොව අත්හැරිය තැන්වල පවා යන්න යැයි කියූවත් කොයි මොහොතේ හෝ යළි අවැසි වනු ඇතැයි සිතා නොගොස් රැඳී සිටි උන් අතර තිබුණේ ද පේ‍්‍රමය නොවේ යැයි ඔබට කිව හැකි ද? මම එය ද පේ‍්‍රමය යැයි කියමි.
පේ‍්‍රමයට එසේ එකවර එකිනෙකට වෙනස් අන්ත දෙකක පැවතිය හැකි ද? එය එසේ ය. පේ‍්‍රමයට අරුත් එක් කරන හදවත් ළඟ පේ‍්‍රමය එබඳුය. පේ‍්‍රමය පවතින්නේ ම එවන් හදවත් ඇති පෙම්වතුන් පෙම්වතියන් නිසා ය.එසේ නම්, ‘ඔබ – මම’ නම් වූ ‘අප’ ඉන් කුමන අන්තයකින් පේ‍්‍රමය අරුත් ගන්වමු ද? ඔබට අවැසි මිදී යා යුතු තැන නොරිදී යා හැකි පේ‍්‍රමයක් නම් මට අවැසි රිදි රිදී වුව ද නොරිදුණා සේ මග බලා හිඳිනා පේ‍්‍රමයකි.

සිහින ළඟ
සිනා මැද
පිය තෙපුල් අතර
ඒ සියල් පිරි
පේ‍්‍රමයට නොසෙල්වෙන
ගැඹුරු දියඹකි ඒ හද……
දිටිමි වරක
ගිලූණු දිනක
එදියඹ පත්ලෙහිම
බරට සැඟවී ගිය
පේ‍්‍රමයේ සත් පැහැ මිණි පහණ……
වෙරළට දමා එව්වත්
පා කර විසල් රැල්ලක
සිතමි තවමත්
එහදට බර දැනී
පතුලක සඟවන
මුතු බිඳක් වෙන්න….

පේ‍්‍රමය දිනූවෝ නොරිදී ම නොබිඳී ම ආ උන් නොවෙති. සියදහස් වර බිඳි බිඳී රිසි නොරිසි තැන් දැක විඳ තැලී පෙළී බිඳී අවසන ඒ තුළින් ම ඔවුනොවුන් දැක සිප වැළඳ ගත්තෝ ය. දින සති මාස හෝ අවුරුදු ගණනින් ගිණිය නොහැකි අප ආ ගමනේ අප තුළ එවැනි ඉරිතැලීම් අපි බොහෝ දැක ඇත්තෙමු.

අප බිඳුණු දිනවල සෙනෙහස තැවරූ වදන්වලින් රැය පහන්වන තුරු අපි දොඩමළු වී ඇත්තෙමු. ළඟින් හිඳි හිස සිපගනු නොහැකි වුවත් රිදුණු හදවත් සිප අලූත් ඉර සමග අලූතින් අවදිවන්නට හදවත් සුවපත්කර ඇත්තෙමු. නොහඳුනන මිනිසුන්ගෙන් සේම දන්න හඳුනන මිනිසුන්ගෙන් ද හදවත් රිදුණු දිනවල කෙටි පණිවිඩ හා ඇමතුම් දිග හදවත් පිරිමදිමින් අපට ද නොදැනී අපි අපට ළංවී ඇත්තෙමු. ලෝකයට බොහෝ සීමා මායිම් පැවතියත් ඔබ මා පමණක් ම හමුවන මොහොතක මිනිත්තුවක හෝරාවක දෙකක අපට අප වෙත ළංවෙන්නට බිඳින්නටවත් සීමා මායිම් නොවුණු බව සැබෑය. සියළු බැමි මුදාහැර අමු අමුවේ ම අපි අප ම වූ තැනක් වී නම් ඒ එවැනි මොහොතවල්ය. හෝරාවන් ය. දවස් ය.

එවැනි පිහාටු මොහොතක් මා කිසිදින අන් කිසි පිරිමියෙකු හා ගතකර හෝ විඳ නොමැත. ඔබ ද අන් කිසිඳු ගැහැණියක සමග එවන් මොහොතක් අත්විඳ නොමැති බව මට සපථ කළ හැකිය. ඒ අප අප ම නිසා විඳින මොහොතකි. නෙත් බැල්මකින් හෝ ළං නොවී දෙතැනක හිඳ නිහඬ රාත‍්‍රින් කීයක් නම් අප එලෙස අප හදවත් විනිවිද ඇත් ද?
මේ ඔබේ හදවතට එබී මා කියවූ ඔබ ය.

ගිරි දුර්ග කටු අකුල්
ගල් බොරළුවෙන් සැදුණු
වේදනා මාවතක ජීවිතේ……..
පා දොවන සිහිල් දිය පහරකි ය
නෙත පිනන රුසිරු මල් ගොමුවක් ය
සියොළඟ ම සිපගන්න සිහිල් මදපවනක් ය…..
එමග දෙපසින් නැගෙන ඉරකි ඔබ සඳකි ඔබ…….
අනන්තෙක තරු මැදින් නැඹුරු වී පොළවට ම
මාවතේ කෙලවරක මල් පිපුණු උයනකට
දෙපා නොරිදෙන තැන් ම සොය සොයා ලකුණු කළ

ඔබ ගැන හදවතේ ශේෂ වී ඇත්තේ එවන් මිහිරකි. ඔබෙන් මා අත්විඳින්නේ පතන්නේ එවන් මිහිරකි. එහෙත් ඒ එසේ නොවීම මට ඔබ හැරයන්නට හේතුවක් විය හැකි ද?

ඔබේ හදවතේ සසැලෙන තැන් සේ ම නොසැලෙන තැන් ද මම හඳුනමි. ඔබට අවැසි විට සැලෙන්නටත් අවැසි විට නොසැලෙන්නටත් නොහැකි නම් එවන් බැඳීමක ඔබ සිරකොට තබන්නට මම රිසි නොවෙමි. මම ඔබට පේ‍්‍රම කරන්නේ ඔබ මා වෙනුවෙන් ඉවසන තැන්වලදී නොව ඔබ මා නිසා හෝ නොසැලෙන තැන්වලදීය. මා හඳුනාගත් මා කියවා ගත් ඔබ සැබැවින් ම ඔබ හා සමපාත වූ තැන්වල ය.
රිසි විටක වෙන් ව අවැසි ම විට පැමිණෙන ඔබ මට නැතිව බැරි කෙනෙකුන් වී හමාර ය. ඔබෙන් ම රිදවී ඔබ මහද පිරිනොමදින තැන්වලදී ඔබ ඔබ වී හිඳින තැන් බොහෝ අප පසුකර ආවෙමු. එහෙත් ඔබ මා අස්වසන තෙක් මග බලා හිඳ වේදනාවෙන් බොහෝ රළු වදන් සිත් රිදෙන කතා පවසා ඉවසා බැරිම තැන මා යන්න යන මොහොතක ඒ මා බව හැඳින කොහේ හෝ සිට එක්වරම විත් මා බදා සනසවන ඔබ වන් අයෙකු ලොව අන් කොතැනකින් නම් මා සොයාගන්න ද?

අපට රහස් නැත. මට ඔබෙන් ඔබට මගෙන් සඟවා තබාගන්නට කලූ හෝ සුදු හෝ වැරදි හෝ නිවැරදි හෝ අලූත් යමක් කිසිදා නොමැත. අසන්නට පෙර ඇසෙන්නට කියන්නට ඔබටත් මටත් බොහෝ දේ ඇත. ඔබ ඔබේ පැලේ සිට මම මගේ පැලේ සිට නිදි වර්ජිත රාත‍්‍රින්වල අප අපගෙන් සොයාගත්තේ බලා කයවා ගත්තේ එවැනි සිනිඳු තැන්ය. රළු තැන්ය. රිදුණු බිඳුණු තැන්ය. අතීතේ අප සිනාසුණු තැන්ය.හැඬූ තැන්ය.

කෙතරම් කියවුවත් ඔබ මට ප්‍රෙහෙලිකා ඉතිරි කළ තැන් ද නැතුවා ම නොවේ. එවැනි තැන් ගැන ද මම හොඳින් ම හඳුනමි. ඔබ, මට රිසි සේ පුරවාගන්න යැයි ඉතිරි කර ගිය එවැනි හිස්තැන්වල ද මම ඔබව පුරවා ඇත්තෙමි. ඒ හිස්තැන් තුළ ද ඇත්තේ ඔබ ම මිස අන් කවුරුන් ද? කියවා පහදා දෙන්නට ඔබ නොරිසි තැන් ඔබ ව දන්නා මට කියවා ගන්න නොහැකි ද? එහෙම තැන් කියවා මා සිනාසී ඇත්තෙමි. ඒත් මා හැඬූ දින ගණන් වැඩිය. ඔබ එතරම් සොඳුරු ද කියා සිතුණු තැන් සේ ම ඔබ එතරම් රුදුරු ද කියා සිතුණු තැන් ද ඒ හිස්තැන් තුළ මට හමුවී තිබේ.

එහෙත් ඒ රිදීම් විඳවීම් කිසිවකටත් ඔබ ගැන මා තුළ ඇති පේ‍්‍රමය, හැඟීම අංශු මාත‍්‍රයකින් හෝ අඩුකරන්නට නොහැකි බව, ඔබ මා ගැන දන්නා හොඳ ම කොටස බව මම දනිමි. සැබැවින් ම ඔබේ සොඳුරු තැන්වලට සේ ම රුදුරු තැන්වලට ද මම එක සේ බැඳී සිටිමි.

සුළඟ වැනි ඔබ
දැනී නොරැුඳී පලා යන විට
සුළඟ නොව ඔබ
බොහෝ දුර ගොස් යළි මවෙත ළංවෙන…..
අතැර යා යුතුම හේතු ඇති තැන
මායාව ඔබ මහද බැඳලන
සෙල්මුවා සිත පේ‍්‍රම අග්නිය
දවා උණුකර

පසෙක හිඳ නිවී යයි ඔබ……
සියක් දහසක් සිහින ජීවිතේ ඇත
පසක් කර ඔබ අතැර යන විටක මම
හිමි වීම නියතයක් නොවන හමුවක
පේ‍්‍රමයක ගුණ සුවඳ මවා දෙයි ඔබ.

මේ මොහොත පවා ඔබ මා රිදවූ මොහොතකි. මා සැබැවින්ම ලිවිය යුත්තේ පේ‍්‍රමණීය සටහනක් නොව, ඔබ මා රිදවූ ඔබ මා නොතැකු වේදනාත්මක හැඟීමකි. නමුත් මා ඔබ මා රිදවූ බව දැන් මගේ සිතට අමතකය. දැන් මගේ මතකයට එන්නේ ඔබ සමග ළං ළංව ගෙවූ සොඳුරු මිනිත්තු ය. ඔබ මා දෙතැන හිඳ හදවත් විවර කොට දොඩමළුව රැය පහන් කළ දිගු හෝරා ගැන ය. අහම්බෙන් හවසක හමුවී ඔබ මා මුව මත තැබූ නළලත කොපුලක තැබූ හාදුවක් ගැන මිහිරි හැඟුම් ය. ඔබ ගැන සිතන විට නෙත කඳුළු මැද පවා මට දැනෙන්නේ පේ‍්‍රමණීය හැඟීමකි. අමනාප වී ඔබ හා කතාකරන්නට නොහැකි වූ දිගු හෝරා ගැන මහා දුකකි. ලෝබකමකි.

හමුවේ ද වෙන්වේ ද කියා පමණක් නොව ඔබ මගේ ද මම ඔබේ ද අප අපේ ද කියා පවා නිශ්චිතව තෝරා බේරා නොගත් මේ බැඳීම තුළ මගහැරුණු ජීවිතයට වඩා ඔබ මට ළං කළ පේ‍්‍රමයට මම පෙම් කරමි. මතු යම් දිනක ඔබ අත වෙනතක පැටලූණ ද ඔබ සිහිවන හැම මොහොතක ම ඔබ ගැන අහිතක් නොසිතී ඔබ හා ගෙවූ ආදරණීය මිනිත්තුවල මිහිර හදවතට එබී විඳින්නට මම ප‍්‍රාර්ථනා කරමි.
ප‍්‍රාතිහාර්යකින් හෝ ඔබ මට හිමි වී නම් මියෙනා තෙක් ම හදවතේ එක මත එක පිරෙන ඔබේ මතකයන් ට මම අන් කිසිත් නොකියා පේ‍්‍රමය ම යැයි කියමි. අවසන් හුස්ම තෙක් පේ‍්‍රමය මා අත්නොහළ බව සිහිකර මියෙමි.

කිසිදාක ගෙවී නොයා නම් සිතෙන
කෙටි ම කෙටි දවස්වල
නොඉවසිල්ලෙන් ගෙවෙන මිනිත්තු
කිසිදාක අමතක නොවනු ඇත…….
හෙට බොහෝ දුෂ්කර

දිගු ම දිගු තප්පර ගෙවා ගන්නට
ඒ සොඳුරු…..

නොඉවසිලි මිනිත්තුවක මතකය
බොහෝ උපකාරී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *