පොතකින් දැනුන කවියක් 18 – අශෝක කුලතුංග

කෘතිය : යළි ගලා යනු පිණිස
කතෘ : රංජිත්මල්ලියාවඩු
ප්‍රකාශනය : ග්‍රැෆිකෙයා

වානේ අසිපත්.

සක්‍රිය ව සුළං මයිනහම
අවුළුවා සූරිය උදුන
දොර අරියි නවෝදය කම්මලේ
අරඹනුව දිවා වැඩමුරය
බලා පසු වෙයි කිණිහිර

සුරත් වන තුරු යදඬු
කම්හලේ ගොවිපොළේ වැඩබිමේ
සැමදා තැලෙන
නො වන්නට යවුල් යකුළු ද
අයෝමය මිනිසුන් ද
මතු වන්නේ ද නිධි රන්රිදී

ස්වයංසිද්ධව මිහි ගැඹරින්
රකින්නට ස්වර්ණ මාලිග
භාණ්ඩාගාර රාජකීය
නිදි වරා ඇත්තේ
අසිපත් ය වානේ
පෙරී වෙන් වී යබොරින්
ඉපිද ගිනිජල් අතරින්
බැඳෙන යමලින් මිදෙමින්
වැලි – වැලිදු පණ ලබමින්

වර්ෂ 1989 දී “ඇස් ලැබීම” නම් කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍යකරණයට ප්‍රවිෂ්ට වන රංජිත් මල්ලියාවඩු කිවිඳුන් මේ වන විට “මංගල දියවර”, “නිදි නැති ගඟ” සහ සහෝදර මුහුණුවර” හිසින් පද්‍ය කෘති සතරක් රචනා කර තිබේ. 2018 වසරේ ඔහුගේ “සහෝදර මුහුණුවර” කාව්‍ය කෘතිය රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. මල්ලියාවඩු කවියාගේ අභිනව කාව්‍ය සරණිය “යළි ගලා යනු පිණිස” යි. පද්‍ය පංති හතළිස් තුනකින් සංගෘහිත මෙම කෘතියෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සාමාජික, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික විෂය ධාරා ඔස්සේ තම නිර්මාණයන් නිරූපණය කිරීම යි.

සමාජ පීඩිත පංතියේ යතාර්ථය අරමුණු කරගනිමින් “වානේ අසිපත්” පද්‍ය පෙළ විරචිත ය. කම්මල් භූමියක නිපදවෙන වානේ අසිපත් හා ඒවායේ ක්‍රියාකාරිත්වය කවියා තම වස්තු විෂය කරගනී. කම්මලේ දවසේ වැඩකටයුතු ආරම්භවීම කවියා ඉතා කාව්‍යාලංකාර ලෙස නිරූපණය කරයි. “සුළං මයිනහම”, “සූරිය උදුන” වැනි රූපකාර්ථවත් පද භාවිතය නිර්මාණයේ සාර්ථකත්වය මැනවින් විශද කරයි. කම්මල තුළ වානේ අසිපත් නිපදවන අයුරු කවියා පද බඳින්නේ මෙලෙසිනි.

“බලා පසු වෙයි කිණිහිර
සුරත් වන තුරු යදඬු
කම්හලේ ගොවිපොළේ වැඩබිමේ
සැමදා තැලෙන”

කිණිහිර මත රත් වූ යකඩ මතින් මේ නිපදවෙන්නේ සමාජයේ විවිධ ක්ෂේත්‍ර සඳහා අවශ්‍යවන වානේ අසිපත් ය. ඒවා කම්හලේ, ගොවිපොළේ හා වැඩබිමේ ප්‍රයෝජනය පිණිස නිපදවීමට වඩාත් හොඳින් මුවහත් කෙරේ. දෛනික ව වානේ අසිපත් නිර්මාණය කිරීමට දෛනිකව ම ඒවා තැලියයුතු ය. වාච්යාර්ථයෙන් කවියා වානේ අසිපත්වල තැලීමක් නිරූපණය කළ ද කිවියර මල්ලියාවඩු ව්‍යංගාර්ථයෙන් ගම්‍ය කරන්නේ මහත් වූ සමාජ ඛේදවාචකයකි. සැබවින්ම කම්හලේ, ගොවිපොළේ හා වැඩබිමේ නිරන්තරයෙන් අසිපත් ලෙසින් තැලෙන්නේ කම්කරු ජනතාව යි. එවන් කර්මාන්ත රඳා පවතින්නේ ද ඔවුනගේ ශ්‍රමය හරහා ය.

මිහිතලයේ වටිනා වස්තු නිරායාසයෙන් පහල නොවේ. ඒවා ලබාගැනීමටනම් මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. විශාල ශක්තියක ප්‍රතිඵලයක් ලෙසින් එවැනි වටිනා සම්පත් ආකාර ලැබෙයි.

“නො වන්නට යවුල් යකුළු ද
අයෝමය මිනිසුන් ද
මතු වන්නේ ද නිධි රන්රිදී”

රන්රිදී ලෙස කවියා සංකේත කරන්නේ මේ සමාජ ප්‍රවාහයේ ජීවත්වන ධනවාදී පංතිය යි. ඔවුනට යස ඉසුරු ළඟාකර දීම පිණිස නිරන්තරයෙන් ජිවිත පරිත්‍යාග කරනුයේ ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජ කොටසකි. රන් – රිදී දිළිසෙනවා මිසක කිසිදින ඒවා ලබාගැනීමට වෙහෙසුණු මිනිසුන් පිළිබඳ දයාර්ද බැල්මක් හෙලුවෝ නොවෙත්.

“රකින්නට ස්වර්ණ මාලිග
භාණ්ඩාගාර රාජකීය
නිදි වරා ඇත්තේ
අසිපත් ය වානේ”

රාජකීය වස්තූන් සුරැකීමට වානේ අසිපත් දරන්නෝ අවැසිය. නමුත් ඒවා ඔවුන් සතු නොවේ. කවියා ධනපති පංතිය ආරක්ෂා කරන අසිපත ලෙස සංකේත කරන්නේ මේ පහළ කම්කරු සමාජය යි. රටක සංවර්ධනයට අවශ්‍ය සම්පත් ලබාදෙමින් ඒවා සුරකින්නේ එකී සමාජ ප්‍රවාහය යි. නමුදු ඔවුනගේ ජීවිත යතාර්ථය කවියා වාග් චිත්‍රයට නඟන්නේ මෙලෙසිනි.

“පෙරී වෙන් වී යබොරින්
ඉපිද ගිනිජල් අතරින්
බැඳෙන යමලින් මිදෙමින්
වැලි – වැලිදු පණ ලබමින්”

වානේ අසිපතක් ජන්මය ලබන්නේ යකඩින් පෙරී ගිනි ජාලා අතර මුවහත් වෙමිනි. අනතුරුව කම්මල් භූමියෙන් වෙන් ව යම්කිසි කර්තව්‍යයක් උදෙසා ම ඒවා නොකඩවා පෙනී සිටියි. සමාජයේ වෙසෙන පීඩිත පංතියේ අනුවේදනීය ඛේදය මෙයම නොවේ ද? සමාජ පාලන ක්‍රමය තුළ අනේක වාරයක් දුක් විදිමින් ඒවා නොතකමින් තව තවත් සමාජය වෙනුවෙන් ම තම ජීවිත වෙහෙසවන ශ්‍රම බලකාය කොතරම් ද? එහි දී ඔවුනට සමාජ, ආර්ථික හා දේශපාලනික යන ත්‍රිඅංශයන්ගෙන් ම සිදුවන්නේ මහත් වූ අසාධාරණයකි. එසේ වුව ද ඔවුහු අද ද මේ සමාජය වෙනුවෙන් ම ජීවත් වෙති.

වානේ අසිපත් මඟින් සමාජයේ දුගී වාසින් පිළිබඳ ව කවියාගේ අව්‍යාජ දෘෂ්ටිය ප්‍රශස්ත ය. ඒ සඳහා ඔහු භාවිත කරන නිදහස් ආකෘතියත්, සංකේත හා රූපකාර්ථවත් බස්වහරත්, වාච්යාර්ථය ඉක්ම වූ ව්‍යංගාර්ථවත් පද බන්ධනයත් ඉතා සාර්ථක ය. විශේෂයෙන් මෙරට සමාජයේ වෙසෙන පීඩිත පංතියේ ඛේදවාචකය පාඨකයාගේ හදවත සංවේගයෙන් වඩාත් තීව්‍ර කිරීමට කවියා සමත් වෙයි. මේ නිසා ම “යළි ගලා යනු පිණිස” කාව්‍ය සංග්‍රහයේ එන ඉතා සාර්ථක කාව්‍ය පංතියක් ලෙස “වානේ අසිපත්” නිර්මාණය විශද කළ හැකි ය.

අශෝක කුලතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *