තිස්ස සර්ගේ මිශ්‍ර ජාන, සන්නස්ගල සර්ගේ සාහිත්‍යයේ ගංජා සහ ලක්ෂාන් සර්ගේ විවරණ

තිස්ස ජනනායක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙකු ලෙස වුව ද ඔහු මෑත කාලයේ ප්‍රසිද්ධ වූයේ සමාජ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන්නෙකු ලෙස ය.විද්‍යා ගුරුවරයෙකු එබඳු කරුණු පිළිබඳ සංවේදී වීම ඉතා ම වැදගත් කරුණක් ලෙස මම දකිමි. ඒ සඳහා තම පන්ති කාලයෙන් විනාඩි 15ක් වැය කිරීම ද ඉතා අගනේ ය.

එහෙත් විද්‍යා ගුරුවරයෙකු ලෙස තනා ගත් පෞර්ෂය පමණක් එබඳු කාරණා පිළිබඳ අදහස් දැක්වීමට සුදුසුකමක් නො වන බව ඔහු යළිත් පෙන්වා දෙමින් සිටින හෙයින් මෙය ලිවීමට තීරණය කළෙමි.

ඔහුගේ අලුත් ම සොයා ගැනීම වී ඇත්තේ බටහිර ජාන මිශ්‍ර වූ විට හෙළ ජාතික අභිමානය වියැකී යන බව ය.ඇතැම් විට කාලිංග මාඝ ආදීන්ගේ ද ජාන එබඳු පුද්ගලයන් තුළ මිශ්‍ර වී තිබිය හැකිය. යමෙකුට එබඳු ජාතික හැඟීමක් ඇති නො වන්නේ එබඳු පරදේශීය ජාන කලවම් වී ඇති බැවිනි.

ඔහුගේ මේ කතාවේ අදේශපාලනිකත්වය දැන් හඳුනා ගනිමු.ඔහු නො දන්නා කරුණ වනුයේ ජාතිකත්වය යන්න ජාන තුළින් ඇති වන්නක් නොව එය බාහිරින් අර්ථකථනය කරන ලද්දක් වන බව ය. ජාතිය යන්න දේශපාලනික ප්‍රපංචයක් ලෙස මතු වන්නේ නූතන ජාතික රාජ්‍ය බිහි වීමත් සමඟ ය. ඊට පෙර තමන් එක ම ජාතියක සාමාජිකයන් ලෙස නූතන අර්ථයේ සිතීමක් පැවතියේ නැත. පවතින්නට ද හැකියාවක් නැත.

අනගාරික ධර්මපාලට පෙර හෙළයන් හෙළයන් ලෙස සංවිධානය කිරීමට ඉදිරිපත් වූ කිසිවෙකු ගැන තොරතුරු අප දන්නේ නැත.ඒ වෙනුවට අපට හමු වන්නේ රාජධානී, උප රාජධානී, ප්‍රාදේශීය වශයෙන් බලවත් කුමාරවරුන් ලෙස බෙදී සිටි ජන කණ්ඩායම් රැසකි. මොවුන් හෙළයන් ලෙස එක ම අභිලාෂයක් වෙනුවෙන් කටයුතු කළ පිරිසක් නොව වසම්වලට බෙදී රාජකාරී ක්‍රමය යටතේ පීඩාවට පත් වූ ජනකායකි.

ස්වකීය ලාභ කේන්ද්‍රීය අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍ය ගොඩ නඟනු ලබන්නේ අධිරාජ්‍යවාදීන් විසිනි.කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණය ඒ සඳහා ගෙන එන ලද තීරණාත්මක යෝජනාවලිය යි.ලංකාවට ජාතිකත්ව සංකල්පය ඇතුළු වන්නේ ඉන් අනතුරුව ය.

මේ අනුව බටහිර ජාතීන් පැමිණීමට පෙර මෙහි සිටි කිසිදු ජානයක් මිශ්‍ර නො වූ යැයි තිස්ස සර් සිතා සිටින මිනිසුන්ට පවා ජාතික අභිමානය බඳු හැඟීමක් පවතින්නට ඉඩ නැත.ජාතික අභිමානය බඳු හැඟීමක් ඇති විය හැක්කේ ම තිස්ස සර්ගේ වචනයෙන් කලවම් වූ ජාන සහිත ජනකායකට පමණක් බව ඒ අනුව පැහැදිලි වනු ඇත.

මේ සමඟ ම තිස්ස සර් පවසන කරුණක් වන්නේ පැරණි සිංහල රජවරුන්ගේ නම් ගම් කියන විට කිසියම අභිමානයක් ඇති නො වන්නේ නම් එය පරගැති බවේ ලක්ෂණයක් බව ය.මොණරවිල කැප්පෙටිපොළ ආදී නිළමෙවරුන් ගැන ද ඔහු පවසන්නේ එබඳු ම කරුණකි.

රාජාණ්ඩුවාදය පිළිබඳ දේශපාලනික විග්‍රහයකින් තොර ව මහාවංශයෙන් ඉතිහාසය හදාරන්නෙකුට මිස මේ ප්‍රලාප පිළිගත නො හැකිය.රාජාණ්ඩු ක්‍රමය කවර දෙසක වුව ක්‍රියාත්මක වූයේ පීඩක සංස්ථාපිතයන් රැසක වාරුවෙනි.එබඳු රජවරුන්ගේ නම්ගම් පවසන විට කිසියම් අභිමානයක් හට ගන්නේ නම් එය වහල් බවේ ලක්ෂණයකි.වහලා තමන්ගේ ම දම්වැලට ප්‍රේම කරන ආකාරය අපට තිස්ස සර් නැවතත් කියා දීම ගැන ඔහුට අපගේ ගෞරවය හිමි විය යුතුය.කැප්පෙටිපොළ ගැන නම් කියන්න ඇත්තේ පොර සිංහලෙන් අත්සන් කර 1815 මාර්තු දෙවන දින කන්ද උඩරට ඉංග්‍රීසීන්ට පවරා දීමට කටයුතු කරන විට සම්පූර්ණ අමිශ්‍ර හෙළ ජානයන්ගෙන් යුක්ත ව ඉන්නට ඇති බව යි.

තිස්ස සර්ගේ විග්‍රහයේ දෙවන කොටස වන්නේ විජයාගමනයට ද ප්‍රථම මෙහි ජනාවාස පැවති බව ද ශිෂ්ටාචාරයක් පැවති බව ද දැක්වීම ය.ඒ සඳහා රාජ් සෝමදේව ආදීන්ගේ පර්යේෂණ උපුටා දක්වන ඔහු අතීත හෙළයන්ගේ දැනුම බටහිර ආක්‍රමණිකයන් විනාශ කළ බව ද විශාල දැනුම් ස්කන්ධයක් මෙරටින් රැගෙන ගිය බව පැවසීමට සාක්ෂි ඉදිරිපත් කරයි.

මේ අදහස අප ද පිළිගන්නා කරුණකි.එහෙත් අතීත මානවයා පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමෙන් එම මානවයාගේ ජාන ශුද්ධ අමිශ්‍ර ජාන බව හෙළි කළ හැකිද? විද්‍යාව තව ම එයට පිළිතුරු සපයා නැත.ඒ අර්ථයෙන් තිස්ස සර් මේ ගොඩ නඟන්නේ පුරාවිද්‍යාව විසින් ගොඩ නඟන ලද දැනුම භාවිත කර සත්‍ය මිශ්‍ර කළ ප්‍රබන්ධයකි.ඒ අනුව සන්නස්ගල සර්ට තිස්ස සර් එල්ල කිරීමට උත්සාහ දරන විවේචනය ඔහුට ම එල්ල වී තිබේ. ගංජා සාහිත්‍යයට හොඳ වුව ද විද්‍යාවට ගැළපෙන්නේ නැත.එය ඕවර් ඩෝස් වූ විට විවිධ විකාර දිස් වේ. මේ තිස්ස සර්ගේ ම වදන් ය.

තිස්ස සර්ගේ ඉල්ලීම වන්නේ අප සියලු දෙන එක් වී අපගෙන් උදුරා ගත් දැනුම යළි ගෙන්වා ගැනීමට අරගල කළ යුතු බව ය. ඇත්තට ම එය සිදු කළ නො හැකි වී ඇත්තේ කොණ්ඩෙ බැඳ ගංජා උරන සන්නස්ගල බඳු මිනිසුන් නිසා ද ? අප දන්නා තරමට නම් බටහිර අධිරාජ්‍යවාදී බලවේගයන්ට කත් අදිමින් මෙරට බිහි වූ නව බමුණු කුලය පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ පාලක පන්තිය බවට පත් වූ අතර ඔවුන් දෙකට බෙදී මාරුවෙන් මාරුවට විදේශික ධනපති බලවේගයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නා බවට පත් ව සිටී. මහින්ද රාජපක්ෂ නියෝජනය කරනුයේ ද එම පරම්පරාව ම ය. රනිල් වික්‍රමසිංහ ද එසේම ය.ප්‍රශ්නය ඇත්තේ එතැන මිස මේ ගංජා සුරුට්ටුවක් ඇදගෙන කවියක් සින්දුවක් ලියාගෙන සිටින මිනිසුන්ගේ නො වන බව පෙන්වා දිය යුතුය. එබඳු කිසිවෙකු මේ පුස්කොළ පොත් නැවත ගෙන්වා ගැනීමට විරුද්ධ වනු අපට නම් ඇසී නැත. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කරන්නේ එබඳු රස්තියාදුකාර රැඩ්කලුන් නො ව තිස්ස සර් පන්නයේ ක්ලීන් සූට් ප්‍රභූ පන්තියකි.

සිංහල සභ්‍යත්වය හා සංස්කෘතිය ගැන සාකච්ඡා කිරීමට තිස්ස සර්, ඉරාජ් බඳු තරුණයෙකුගේ යූ නාළිකාව තෝරා ගැනීම ද ඉතා වැදගත් ය. හෙළයන්ගේ උරුමය වෙනුවෙන් එතරම් වැඩකොටසක් සිදු කළ තරුණයෙකු සමඟ මෙබඳු වැඩසටහන් කර ජාත්‍යන්තරයේ අවධානය දිනා ගෙන එම පුස්කොළ පොත් නැවත අප රටට ගෙන්වා ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් නවතිමි.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *