සුදු වෙන්න පුළුවන්, ඒත් බුදු වෙන්න බෑ – මලී පෙරේරා

අනාදිමත් බෞද්ධ සභ්‍යත්වයක් සහිත රටක් මෙතෙක් හික්වීම, විනය , භක්තිය ඔසවාගෙන ආ දුරෙහි ප්‍රතිඵලය විනිශ්චය කිරීමට කාලය පැමිණ ඇති බව දැන් දැන් සිදුවන ක්‍රියාදාමයන්ගෙන් හා සිදුවීම් මගින් ඔප්පු වෙමින් පවතී. දාර්ශනික තලයක පවතිනවා යැයි පවසන බෞද්ධ දර්ශනය විසින් ගොඩ නැගූ සංස්කෘතියේ හරයාත්මක භාවය භුක්ති විදීමට සිදුව ඇත්තේ සුකුමාල කහ රෙදි ධාරීන්ගේ කහ නෑම් හා බුදුවීම් සම්බන්ධ නරි නාටක මත වීම ශෝචනීය කරුණකි.

විටෙක බුදු රැස් විහිදුවා ගන්නා භික්ෂුවක් තවත් විටෙක හිසට කැප් එකක් දමා ශෝභනකාරී හැසිරීමකින් පමණක් නොව විහිළු සහගත දේශනා විලාසයන් යස රඟට රඟ දක්වමින්ද, තවත් අයෙකු භික්ෂුත්වය පරයා ලෞකිකත්වයේ කාමුක සිදුරු මතින් එබී දරුවන් බිහි කිරිමේ ක්‍ර මෝපායන් ජනී ජනයා වෙත ජුගුප්සා ජනක මත දැක්වීම් මගින්ද තවත් විටෙක රෝස මල් යහන් මත හිද තනාගත් කොන්ක්‍රීට් නාග දරණ මත සිට ස්තෝත්‍ර ගායනා කරමින් කහ උලා විගඩම් නිරූපණයන් මගින් සංදර්ශනකාමීන් බවට පත් වෙමින්ද විවිධ පන්නයේ නාටකයන් නිරූපණය කරමින් නොමැති ආකර්ශණයක් තමා වෙත නැඹුරු කර ගැනීමට උත්සුක වෙමින් පවතී.

හේතු ඵල දහමක පටිච්ඡ සමුප්පාදිත ධර්මයන් තූ තූ කොට දමා ගොඩ නැගෙන සමාජ විලාසයන් මෙසේ නම් බුදු දහමේ ශික්ෂාකාමීත්වය හා ආධ්‍යාත්මය ගෙන ආ දුර මෙයද යන්න ප්‍රශ්න කිරීමට සිදුව ඇත. අයෙකුට මෙය මෙසේ නොවන බවත් මේ අතුරින් වැඩි ප්‍රතිශතය ධර්ම ධර විනය ධර භික්ෂු මහා සංඝයා බවත් බෞද්ධයන් බොහෝ දෙනා මෙකී ප්‍රතිපත්තියක නියැලෙන බවත් දැක්විය හැකි වුවත් බහුතර සමාජ මතවාද නියෝජනය කරන ජනප්‍රියවාදී සමාජ ස්ථරයට ඔවුන් විසින් ධර්මයක් දේශනා කොට නොමැතිද යන්න ඇසීමට සිදුව ඇත. එවැනි සමාජ නියෝජනයට බිහිවන සංදර්ශනකාමීන් ඇති පදම් හිතූ හිතූ මානසික ව්‍යාධීන් සමනය කර ගැනීම සදහා සිවුරද ධර්මයද උපයෝගී කොට ගන්නා තැනකට පත්වීම හා ඒ වටා වන අනුගාමික සැදැහවතුන් එක් කිරීමද සමස්ථය මත වන බෞද්ධත්වය පත් කොට ඇති ගැටළුකාරී තත්වයකි.

මෙය මෙසේ තබා මෙසේ හිතමු. ඉස්සර මිනිස්සු සත්තු මරාගෙන කෑව. සමහරු ගොවිතැන් කළා. දඩයමේ යන පිරිස අඩු උනා. ඒත් දඩයම වැඩි උනා. මස් වෙනුවට බත්, බත් වෙනුවට මස් හුවමාරු උනා. මිනිස්සු තමන්ගේ කියල සංකල්ප හදාගත්ත. සත්තු මරණ එක පව්. ඒ පවෙන් නිදහස් වෙච්ච උන්ගෙ මස් සපයන්න දඩයමේ යන උන්ට වැඩිපුර පව් කරගන්න උනා. දැන් ඉන්නෙ දෙගොල්ලයි. පව් කරන්නෝ සහ පවට අනුබල දෙන්නෝ…

හැමතැනම උනේ ඒක. ගමේ පන්සලේ සමහර හාමුදුරුවන්ව හැදුවෙ ගමේ උපාසක අම්මල. හාමුදුරුවන්ට බෝතලේ අරන් යන උපාසක මහත්තුරු ඕන තරම්. ඉස්සර මිනිස්සු පංසලකට ගියේ පුද පූජා පිංකම් වලට. හාමුදුරුවෝ එක්ක ගණු දෙනු කළේ අත්‍යවශ්‍ය කාරණා වලදි විතරයි . ගිහියො එක්ක පුද්ගලික බැඳීම් හාමුදුරුවන්ට තිබ්බෙ නෑ . ඒව වෙනස් කළෙත් අපිමයි. තරඟෙට, පෙනුමට පිං රැස් කරන්න අරන් පංසල ආක්‍රමණය කළේ ගිහියො. එතැන ඉදන් හාමුදුරුවරුන්ට උනේ ගිහියන්ට ඕන විදිහට වෙනස් වෙන්න . හාමුදුරුවරු අළුත් උනා. බණ වෙනස් උනා. පංසල් අසපු උනා. අන්තිමට අපිම ආගම කනව කියල අපි ගොඩනගපු සංඝ සමාජයට දොස් කිව්ව.

නගරෙන් ගමට බණකට හාමුදුරුවරු වඩම්මල උන් වහන්සේලට පිරිකරට මුදල් දීල ගාණක් නියම කරල සමහර අපේ හාමුදුරුවරුන්ව තරු බවට පත් කළෙත් උපාසක අම්මල. ඒ අස්සෙ ආගම ඉස්සරහට දාගෙන තමන්ගෙ අභිවෘද්ධිය සලස ගත්තෙ අපේ ජනතා නියෝජිතයො. එයාලට කරන්න බැරි සමහර වෙනස්කම් අපේ හාමුදුරුවරු ලව්ව කරවගන්න උන් වහන්සේලව සල්ලි වලින් නම්මගත්තෙ දේශපාලනේ ඉන්න ඉහළ තනතුරු . අන්තිමට හාමුදුරුවරු ගෑවිච්ච නැති තැනක් නැති උනා. ගමේ අය පොඩියටත් නගරෙ අය පොෂ් විදිහටත් කළේ එකම දේ. අපි පව් කරන්නෙ නෑ , අපි ආගමට ලැදියි, අපි සාධුට ආදරෙයි කියන තැනට මිනිස්සු වැටෙද්දි කහ සිවුරට තියෙන ගව්රවය , භක්තිය නැති වෙලා ගියා.

අපේ සමහර හාමුදුරුවරුත් ඒ උපාසක ඇත්තන්ගෙ සිඟිති ආතල් වලට අහුවුනා. ඒවයේ අවසාන භයානක ප්‍රතිඵලය විදිහට සෘර්ධියෙන් ගැහැණු මවල සංවාසයේ යෙදෙන්න පුළුවන් කියන, තමන් රහත් යැයි කියාගන්න… කහ සිවුර අස්සෙ හැංගුණු ජඩයො එළියට ආව. ආගම ජාතිය කියල ගිරිය පුප්පන් කෑ ගහල ආගම රකින්න පුළුවන් ද … කොයි ආගමක උනත් මුලින්ම හැදෙන්න ඕන විනය. කවුද කොහෙද ඒ විනය හැදුවෙ…?

ඕනම මිනිහෙකුට පුළුවන් තමන් කැමති මතයක ජීවත් වෙන්න. ඒත් තමන් කැමති ඕනම මතයක් ජීවත් කරවන්න කාටවත් බෑ . බහුතරයක් එකතු උනාම පුළුවන් කෙනෙක්ගෙ මනස වෙනස් කරන්න. හීන වෙනස් කරන්න . අරමුණු වෙනස් කරන්න . සුදු චරිත කළු කරන්න …. කළු චරිත සුදු කරන්න …. ඕන කළු චරිතයකට සුදු වෙන්න පුළුවන් උනාට බුදු වෙන්න බෑ …එබැවින් පැවසීමට ඇත්තේ එක් දෙයකි. හොද්දට, ව්‍යංජනයට ඇති කහ බුදුවීමට භාවිතා නොකරන්න..
!

මලී පෙරේරා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *