ජොත්තො ගේ ඝණ්ඨා කුළුණ -රෝමයට ලඟ පාර – 11

වර්ෂ 1334 දී ‘ජොත්තො’ විසින් ‘පියස්සා දුවෝමො’ හි ඇති ඝණ්ඨා කුළුණ නිර්මාණය කර ඇත. “ෆිරෙන්සෙ” නගරවාසීන්ට අවශ්‍ය වූ අයුරින් ම ධනේශ්වර පෙනුමක් සහිත අලංකාර බවක් මෙම කුළුණට එක්වී ඇත.

මෙහි ඇතුළත සම්පූර්ණ කිරීමට වර්ෂ 39 ගත විය. 14 වන සියවස මුල් භාගයේ දී සමෘද්ධිමත් වාස්තු විද්‍යාවක් උපයෝගී කරගෙන මෙම කුළුණ නිර්මාණය කර ඇත. මෙම කුළුණ අසාමාන්‍ය ද්‍රව්‍ය එකතුවකින් සාදන ලද ඉතාමත් ශක්තිමත් කුළුණකි. මෙහි ඇති බොහෝ නිර්මාණ සම්භාව්‍ය රෝමානු ‘ගොතික්’ ශෛලිය ගෙන ඇත. විශිෂ්ට කලාකරුවන් තිදෙනකු විසින් මෙය ගොඩ නඟන ලදී. මෙය ගොඩනැගීමේ ව්‍යාපෘතිය පළමු වරට ‘ජොත්තො’ ගේ සිතෙහි පිළිසිද ගත් අතර ඔහු විසින් මෙහි පළමු මහල නිර්මාණය කරන ලදී.

වර්ෂ 1340 දී ‘අන්ද්‍රේයා පිසානො’ විසින් මෙහි දෙවන මහල නිර්මාණය කළ අතර ඔහු සිහින් ලෙස සිරස්තලයට සෘජුකෝණී ව පිහිටන අයුරින් මෙම කුළුණ නිර්මාණය කරන ලදී. පිටතට නොපෙනෙන ලෙස නිර්මාණය කර ඇති ආරුක්කු දෙක බැගින්වූ කවුළු මෙයට එක් කරන ලද්දේ ‘ අනිද්‍රේයා පිසානො’ විසිනි. අවසාන වශයෙන් ‘ෆ්‍රන්චේස්කො තලෙන්තීනි’ විසින් මෙම කුළුණෙහි සමස්තයම කිරිගරුඬ පතුරු වලින් ආවරණය කර අලංකාරවත්වයට පරිවර්තනය කරන ලදී. තුන් ආකාරයක කිරිගරුඬ පතුරු මෙම කුළුණෙහි ආවරණයට භාවිතා කර ඇත. සුදු පැහැ කිරිගරුඬ පතුරු විශේෂය ‘කර්රාරා’ රතු පැහැති කිරිගරුඬ පතුරු විශේෂය ‘සන් සියුස්තො’ සහ කොළ පැහැ කිරිගරුඬ පතුරු විශේෂය ‘මොන්තෙ ෆෙර්රාතො’ නම් වේ. මෙම කුළුණ සඳහා පිළිවෙලින් ගෙවීම් කළ යුතු අතර ‘ෆිරෙන්සෙ’ නගරයේ දායකත්වයෙන් මෙයට විශේෂ බදු ගෙවීමක් ද කරනු ලබයි.

මෙම ඝණ්ඨා කුළුණ සෑදීමට පදනම දැමූ ‘ජොත්තො’ විසින් නිර්මාණය කළ මෙහි පළමු මහල සහ ඔහුගේ මූර්ති 16ක් ද ප්‍රධාන වශයෙන් ‘දොනතෙල්ලො’ ගේ මූර්ති වල ආදේශක ආකෘති ද මෙහි ඇත. එහි මුල් ප්‍රතිමා ‘ දුවෝමො’ අසල ඇති ‘ඔපෙරා’ නම් කෞතුකාගාරය තුළ ඇත.

දුර්ලභ නිර්මාණයන්ගෙන් අනූන ‘ෆිරෙන්සෙ’ හදවත වන මෙම ඝණ්ඨා කුළුණ ඇති භූමිය ඕනෑම අයෙකුගේ හදවත ස්පර්ශ කරන තෝතැන්නක් බඳු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *