මුදුන් දල්ල දිව්‍යලෝකෙට යද්දී මුදුන් මුල අපායට බහින්නම ඕනේ. මිනිහෙක් හැදෙන්නේ එතනින් – signature 01 – මිරාන් දමේන්ද්‍ර පෙරේරා

ලෝකේ මිනිස්සු එක වගේ නැත්තේ ඇයි ?

මම හිතන්නේ තුසිත අයියේ ලෝකේ මිනිස්සු සේරම එක වගේ වෙන්න ඕනේ කියල හිතන එක තමා ගොඩක් සමාජීය ප්‍රශ්න වලට මුල. අපි හිතනවා හැමෝම අපේ ආගමේ වෙන්න ඕනේ හැමෝම අපේ ජාතියේ වෙන්න ඕනේ මොකද අපේ එක තමා හොඳම එක කියලා. ඒත් සොබාදහම මිනිස්සුන්ව විවිධාකාරයෙන් මවලා තියෙන්නේ හේතුවක් ඇතුව. ඒ විවිධත්වය නිසා තමා වෙනස් අදහස් ලෝකෙට ඉදිරිපත්වෙන්නේ . ඒ හරහා තමා ලෝකයට අලුත් නිපැයුම් එලිදකින්නේ. අලුත් දේවල් එක්ක පරිණාමය විමෙන් තමා ලෝකය ඉස්සරහට යන්නේත් මානව වර්ගයාගේ පැවැත්ම රඳාපවතින්නේත්. ගුවන්යානය සොයාගත් රයිට් සහෝදරයෝත් හැමෝම හිතන විදිහට හිතුවා නම් අපි තාමත් මහද්වීප තරණය කරන්නේ නැව් වලින්. සොබාදහම හැම මනුස්සයෙක්ම ආවේනික වෙන්න මවලා තියෙන්නේ හැම මනුස්සයෙක්ටම ලෝකය වෙනුවෙන් යමක් දායාද කරන්න ඕනේ කියන වගකීම ඇතිකරන්නයි. ඒක පැත්තක දාලා හැමෝම තමුන් වගේ වෙන්න ඕනේ කියලා හිතන මිනිස්සු ලෝකයටම කරන්නේ අසාධාරණයක්.

 යුරෝපීය රටක ජීවත් වෙන්න තිබුන නම් මාරයි කියල හිතෙන්නේ නැද්ද?

අපිට ඕනේ සුද්දෝ වගේ කන්න, සුද්දෝ වගේ අඳින්න පළඳින්න, සුද්දෝ වගේ හැසිරෙන්න, සුද්දෝ වගේ කතාකරන්න. පරම්පරාගානක් ගිහිල්ලත් යටත්විජිත මානසිකත්වය තාම අපේ ජාන වල තියෙනවා. සිංහලෙන් කතා කරනවට වඩා ඉංග්‍රීසියෙන් කතා කරද්දි පොඩි ගාම්භීරත්වයක් අපටම දැනෙන්නේ ඒකයි. වටේ පිටේ අයටත් අපිව ලොක්කෙක් වගේ දැනෙන්නේ ඒ නිසායි. ඒ කොච්චර උත්සාහා කරත් අපේ ඇතුලේ තියෙන සාම්ප්‍රදායික ග්‍රාම්‍ය ගතිය අතෑරගන්නත් බැහැ. ටයිකෝට් ඇඳගෙන ඉංග්‍රීසියෙන් කතා කරන ගමන් “අපි යක්ඛයෝ” කියලා කියාගන්නත් හරි ආසයි. අපි යුරෝපීයන් කියලා හිතාගෙන හැසිරෙන්න ආසාකරන අනන්‍යතා අර්බුධයක අතරමං වෙච්ච පිරිසක්. ඒත් යුරෝපීය රටවල් වල පැහැදිලි අනන්‍යතාවයක් එයාලා පවත්වාගෙන යනවා.. යුරෝපීය ධාරාවට අනුකූලව පැහැදිලිව හැදුන සිස්ටම් ඒ රටවල් වල තියෙනවා. අපේ රටේ සිස්ටම් අවුල් වෙලා යන්න එක හේතුවක් තමා ඔය කියන අනන්‍යතා අර්බුධය. ගෝලීයකරණය ඇතුලට රිංගද්දි සමහර අනවශ්‍ය සාම්ප්‍රදායික කෑලී අතාරින්න ලෝබ හිතිලා තියෙන්නේ අපිට. අපේ ආකල්පත්, නව්‍යලෝකයත් එකිනෙක නොසෑහෙන්න ගැටෙන නිසා අපේ රටවල් වල ප්‍රශ්න වැඩියි. අපි පුලුවන් තරම් මේ රටේ සිස්ටම් එක හදන්න උත්සාහ කරනවා. ඒක බැහැමයි කියලා හිතෙන වෙලාවට හිතෙනවා සිස්ටම් එක හැදිච්ච රටකට යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒත් එහෙම යන්න ආපු අවස්ථා කීපයක් මම උවමනාවෙන්ම අතෑරියා. ඒ රටකම ඉපදිලා ඒ රටක ජීවත්වෙන්න තිබ්බා නම් මාරයි.

කලින් හරි එහෙම දෙයක් තිබුනා නම් කොරෝනා කාලෙන් පස්සේ ඒක නැති වුනාද ?

මිරාන් කුඩා කාලයේ

මොන මතිමතාන්තර තිබුනත් මේ රටට අපි ආදරෙයි. ස්වභාවික සම්පත් වලින් අනූන සුවිශේෂී භූගෝලිය පිහිටීමක් මේ රටේ තියෙනවා. පැය කීපයකින් විවිධ දේශගුනික කලාපයන් රට ඇතුලේම පසුකරන්න පුලුවනි. ඕනෙම ඉඩමක ගහක් කොලක් වැවෙන හරි විචිත්‍රවත් රටක් මේක. මහා විශාල සාගර සම්පතක් මේ රටට අයිතියි. විවිධ ජාතීන් විවිධ සංස්කෘතීන් තියෙන විවිධත්වය සහිත අපූර්ව රටක්. කවුරුවත් බඩගින්නේ මැරෙන්නේ නැහැ මේ රටේ. කන්න නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයා තමුන්ගේ බත්පත හරි මේ ගෙදෙට්ට එවනවා. එහෙම සහයෝගයක් ආදරයක් පිරුණ තැනක් මේක. මේ රටෙන් යන්න හේතු තියෙනවා නම් ලොකුම හේතුව මජර දේශපාලනය එක්ක බැඳිච්ච මිනිස්සුන්ගේ කුහක ආකල්ප. ජාතිවාදය, ආගම්වාදය වාගේ අන්තවාදී දේශපාලනික උගුල්. කලිනුත් කිව්වා වගේ මේ රටෙන් යන්න අවස්ථාවල් ඇවිල්ලත් නොගියේ මේ රට හරිපාරකට වැටෙයි කියලා හිතුණ නිසා. මේක හරිපාරට ගන්න අපේ කැපෑසිටි එක ඇතුලේ යමක් කලයුතුයි කියලා හිතෙන නිසා සහ කරමින් ඉන්න නිසා.කොරොනා වලට කලින් රට යන්න ඉඳලා කොරොනා වලින් පස්සේ මේ රට හොඳයි කියලා හිතුණ නම් ඒක හරිම ආත්මාර්ථකාමීයි ආකල්පයක්. එතනදී ඒ කෙනා හිතලා තියෙන්නේ තමුන්ගේ ගැලවීම ගැන විතරයි.

හරි කොහොම නමුත් යුරෝපීය රටවල සෘතු වෙනස්කම් එක්ක ඒ හැදෙන පාරිසරික සාධක එක්ක අපි පොත්පත් වලින් හරි ඒක විදින්න මාර ආසයි නේද ?

තුන්වෙනි ලෝකයේ ආර්ථිකයක් සහ සංස්කෘතියක් සහිත රටක් විදිහට අපිට අපේ විඳීම් හැම අංශයකින්ම සීමා කරගන්න වෙලා තියෙනවා. ඔය කියන සෘතු විපර්යාසයන් අත්විඳින්න නම් විදේශ රටක විශාල කාලයක් රැඳී ඉන්න වෙනවා. අපේ වගේ රටක හැමෝටම එහෙම ඉන්න හැකියාව සහිත ආර්ථික ශක්තියක් නැහැ. පිට රටක රැකියාවක් කරන ගමන් ඔය සුන්දරත්වය විඳින්නත් බැහැ. අපිට විඳින්න බැරි දේවල් විඳින්න වගේම මම විඳපු දෙයක් තව කෙනෙක්ට විඳින්න සලස්වන්න තමා කලාව කියන දේ බිහිවෙන්නේ. ඉතින් මිනිස්සු තමුන්ට විඳින්න බැරිවුණ දේවල් පොත්පත්, සිනමාව වගේ දේවල් හරහා අත්විඳිනවා. පලවෙනි ප්‍රශ්නෙත් මේකට සම්බන්ධ කරොත් මිනිස්සු එකිනාට වෙනස් වෙච්ච නිසා තමා අපිට විවිධ අත්විඳීම් ගැන නිර්මාණ පවා රසවිඳින්න ලැබෙන්නේත්. මිනිස්සු කොහොමත් තමුන්ට ලඟාකරගන්න බැරි දේවල් වලට ආශක්ත වෙනවා වැඩියි.

 පොතක එන ෆැන්ටසියයි, ඇත්ත මහ පොළොවේ ෆැන්ටසියයි දෙක අතර වෙනසක් දකිනවද ?

පැහැදිලිවම අයියේ.. පොතක ෆැන්ටසිය සහමුලින්ම හිතළුවක්. නමුත් මහපොලවේ ෆැන්ටසිය හදාගන්නේ අපිමයි. මහපොලවේ ෆැන්ටසිය නිතරම යථාර්තයත් එක්ක බැඳිලා තමා ක්‍රියාත්මක වෙන්නේ. පොතක ෆැන්ටසි අපි යථාර්තය එක්ක පටලගන්නේ කලාතුරකින්. ඒ ෆැන්ටසිය පොත කියෙව්වාම එතනින් අහවරයි. මහපොලවේ ෆැන්ටසිය කවදාවත් ඉවරවෙන්නේ නෑ. එකක් ඉවරවුනොත් වහාම අපි තව එකක් ඒකට ආදේශ කරගන්නවා. පොතක කියවපු ෆැන්ටසිමය සිදුවීමක් අපි මහපොලවේ දී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් මහපොලොවේදී කොයි මොහොතක හෝ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවෙන ෆැන්ටසි අපිට තියෙනවා. දියසේන කුමාරයා වගේ කෙනෙක් ඡන්දෙන් පත්වෙලා ඇවිල්ලා මේ රට කේතුමතියක් කරයි කියලා අපි හිතන් ඉන්න එක ඒ වගේ ෆැන්ටසියක්.

මිරාන් කියන්නේ මේ කල්චර් එක අස්සේ කවර නියෝජනයක් සහිත සත්වයෙක්ද ?

පාසල් ගිය මිරාන්

ප්‍රධාන සංස්කෘතිය ඇතුලේ උප සංස්කෘතීන් තියෙනවා නේ අයියේ. මම විවිධ ක්ෂේත්‍රයන් වල සංස්කෘතීන් එක්ක ගැටෙන කෙනෙක්. සාහිත්‍යය, සිනමාව, වෙළඳ ප්‍රචාරණය, දේශපාලනය, සංගීතය, ගෘහනිර්මාණ ශිල්පය වගේ ගොඩක් ක්ෂේත්‍ර එක්ක ගැටෙනවා. එක කල්චර් එකක් විතරක් නියෝජනය කරන්න බැහැ මට. ඒ ඒ අවස්ථාවට අනුව අදාල කල්චර් එක නියෝජනය කරනවා. අසාධාරණයක් වෙනවා නම් මම මොන කල්චර් එක වෙනුවෙන් වුණත් පෙනීසිටිනවා. කවිය වගේ උප සංස්කෘතීන් ඇතුලේ සමහර තවත් තවත් කණ්ඩායම් ඉන්නවා. මම ඒ කිසි කණ්ඩායමකට අයිති නැති ස්වාධීන කෙනෙක්. ඒ කිසි කණ්ඩායමක කෙනෙක් මම එයාලගේ කණ්ඩායමට එක්කහුවෙයි කියලා බලාපොරොත්තුවෙන්නේ නැහැ. එහෙම එක්කහු නොවුණා කියලා මාත් එක්ක කිසි කෙනෙක් තරහත් නැහැ. මගේ ලොකුකමක් විදිහට දකින්නේත් නැහැ. ඒක මට හරි නිදහසක් වගේම පහසුවක්. කාගෙවත් කල්චර් එකකට සෙට් වුණේ නැහැ කියලා කිසි කෙනෙක් මට තියෙන ආදරේ අඩුකරලාත් නැහැ. ආධුනිකම නිර්මාණකරුවන්ගේ පටන් ප්‍රවීණතම නිර්මාණකරුවන් දක්වා විවිධාකාර සංස්කෘතීන් වල අය මම ආශ්‍රය කරනවා. මට ඒ හැම කෙනෙක්ගෙන්ම ඉගෙනගන්න දේවල් තියෙනවා. මට හිතෙන්නේ මම කල්චරල් නියෝජිතයෙක්ට වඩා සර්වයිවර් කෙනෙක් කියලා. හැබැයි ඒක කපටිකමක් නෙමෙයි. නයිමල්ලක් එල්ලගෙන, ඇටමාල මුදු දාගෙන, කොණ්ඩේ ගැටගහගෙන ඉන්න “සකස්කඩයෙන්, සැළලිහිණියෙන්” පටන් අරගෙන විශ්ව සාහිත්‍යය දක්වා කියවන සත්වයෙක්. “වැඩ බැරි ටාසන්” ඉඳන් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවෙන උසස්ම සිනමාකෘති නරඹන ප්‍රේක්ෂකයෙක්. “මල් සින්දු” “බස් සින්දු” වල ඉඳන් ලෝකය පුරාම විවිධ සංස්කෘතීන් වල ගීත, ගීත වලටත් වඩා මියුසික් වර්ග අහන රසිකයෙක්. මට ස්ථිරසාර කල්චරල් නියෝජනයක් නැහැ කියන එක තමා උත්තරේ.

ආදරය විදල තියෙනවද ?

ඔව් නොසෑහෙන්න. මගේ පළමු පෙම්වතිය තමයි මට ආදරේ කරන්න ඉගැන්නුවේ. ඒක එයාගෙත් ප්‍රථම ප්‍රේමය. ඒක වසර හතක වින්දනීය ප්‍රේමයක්. ඒ වසර හතටම රණ්ඩු වුණේ තුන්පාරයි. ඒකත් මුල් ම කාලයේ. ඒ ප්‍රේමය අතීශය ආදරණීය වෙන්වීමක් සහිත ප්‍රේමයක්. එතැන් පටන් මට ආදරේ කරපු පෙම්වතියන් හැම කෙනෙක්ගේම ආදරය මම වින්දා. අවංකව අනික්පැත්තට ආදරය දුන්නා. ඒ කිසි කෙනෙක්ට අසාධාරණයක් කලේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න ඒ කිසි කෙනෙක් මට අසාධාරණයක් කරලාත් නැහැ. අහවල් දවසෙ නිශ්චිතව වෙන් වෙනවා කියලා දිනය දැනගෙන ආදරේ කරපු අවස්ථාත් තිබ්බා. විශ්වාස කරන්න බැරිවිදිහේ ආදර කතා මට තියෙන්නේ. ඒත් ඒ හැම කෙනෙක්ම මට දුන්න ආදරය තමා මාව ආදරණීය සංවේදී මිනිහෙක් බවට පත් කරේ.

ආදරය කියන්නේ විදීමක්ද විදවීමක්ද

පාසල් ශිෂ්‍ය භටයෙක් වූ මිරාන්

මේක නම් ලොකු පරාසයකට යන ප්‍රශ්නයක්. හැකි තරම් කෙටියෙන් උත්තරයක් දෙන්නම්. ආදරය විඳීමක් හෝ විඳවීමක් බවට පත්කරගන්නේ අපිමයි. අපි කවුරුවත් සම්බන්ධතාවයක් පටන් ගත්ත ගමන් අපේ ඇත්ත ස්වභාවය පෙන්නන්නේ නැහැ. අපි හැම වෙලේම ආසා කරන්නේ අනික් කෙනා කැමති විදිහේ කෙනෙක් බව අඟවන්න. උදාහරණයක් විදිහට අනික් කෙනා තරහා යන සහකාරයෙක්ට කැමති නැත්නම් අපි හාවෝ වගේ අහිංසකයි කියලා අනෙකාට පෙන්නන්න උත්සාහ කරනවා. ඒත් ඒක ව්‍යාජයි. මාස කිහිපයකින් දෙපාර්ශ්වයේම ඉන්න ඇත්ත සත්තු දෙන්නා එලියට එනවා. ඊටපස්සේ බැනගන්නවා, රණ්ඩු කරනවා, සැක කරනවා, හොයලා බලන එක අඩු වෙනවා, නීති දානවා, එකට එක කරනවා වගේ ඇත්ත ගතිගුණ එලියට එනවා. එතෙන්දි ඒ එලියට එන සත්තු දෙන්නාව ගලපාගන්න බැරි වුණොත් ආදරය අනිවාර්යෙන්ම විඳවීමක් වෙනවා. ආදරය කියන එක ක්‍රියාපදයක්. කටින් කියනවාට වඩා දැනෙන්නයි ඕනේ. අව්වේ පයින් යන වෙලාවක දෙන්නටම එක්ක කුඩයක් ඉහලන එක දහස් වාරයක් කටින් ආදරෙයි කියනවට වඩා දැනෙනවා. ඒකට ආදරය ඇතුලේ තව සෑහෙන සංඝඨක තියෙන්න ඕනේ. බෙදාහදාගැනීම, අවබෝධය, අවංක බව, එකිනෙකාගේ රුචි අරුචිකම් තේරුම් ගැනීම, ඉවසීම, එකිනෙකාට දක්වන ගෞරවය, වගේ ගොඩක් දේවල්. අනෙකාව සහයෝගයට මිසක් සම්භෝගයට විතරක් තියාගෙන හරියන්නේ නැහැ. තමුන්ට ඉන්නේ සහකාරියක් හෝ සහකාරයෙක් මිසක් ප්‍රාණඇපකාරයෙක් නෙමෙයි කියන එක වටහාගන්න ඕනේ. ඔය ටික තේරුම් ගන්නවා නම් ආදරය විඳීමක්.

බලපු සිරාම නාට්‍යය ගැන මොකද්ද සහ ඒක ඇතුලේ කතාව ඇයි වැදුනේ

කපුවාට ඇදීම

මේ ප්‍රශ්න සියල්ලෙන්ම මට අමාරුම ප්‍රශ්නේ තමා මේක. හිතට වැදුණ නාට්‍ය තොගයක්ම තියෙනවා. “දාරියෝ ෆෝ” ගෙ “ට්‍රම්පට්ස් ඇන්ඩ් රාස්බෙරීස්” කියන නාට්‍යය “ප්‍රසන්න විතානගේ” විසින් “දෙබිඩ්ඩෝ” නමින් ලාංකේය වේදිකාවට ගේනවා. ඒක මම ආසම නාට්‍යයක්. එක් කර්මාන්තශාලා හිමිකරුවෙක් ගේ මෝටර් රථය ගිනිගැනීමෙන් පසු ඒ ගින්නට හසුවූ කර්මාන්තශාලා සේවකයෙක් ගේ මුහුණ වැරදීමකින් කර්මාන්තශාලා හිමියාගේ මුහුනෙහි ආකරයට ප්ලාස්ටික් සැත්කමක් සිදු කරීම නිසා හටගන්නා පටලැවිල්ලක් තමා නාට්‍යයේ කතාව. කර්මාන්තශාලා හිමියා සහ සේවකයාගේ ජීවිත දෙක කලවම් වීමෙන් වෙන අකරතැබ්බයන් නිසා අපගේ ජීවිත මොනතරම් අවිනිශ්චිතද කියලා අපිට මතක් කරලා දෙනවා. මිනිසුන් තමුන්ගේ ගැලවීමට අනික් මිනිසුන්ව බිල්ලට දෙන ආකාරය හරි අපූරුවට නාට්‍යය පුරාම දිවෙනවා. අවස්ථාවාදීව තමුන්ගේ චරිතය තමුන්ට වාසී ආකාරයට වෙනස් කරගන්නා වූ මිනිස් සමාජයට ප්‍රභල පහරක් “දෙබිඩ්ඩෝ” හරහා එල්ල වෙනවා. ඒ ඉදිරිපත් කිරීමට මම ආසයි. දෙබිඩ්ඩෝ හි ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ද්විත්ව රංගනය හරිම විශ්මයජනකයි. සිනමාවේ දී,ටෙලි නාට්‍යයේදී ද්විත්ව රංගනයන් තාක්ෂණය ආශ්‍රයෙන් කලහැකි වුණත් සජිවී වේදිකාවක එය ඉතාම අසීරුයි. මනෝරත්නයන් එම අභියෝගය සාර්ථකව ජයගන්නවා. නාට්‍යය කියන්නේ කෙනෙක්ව පුටුවක වාඩි කරලා කනට ගහන්නා වගේ තමුන්ගේ මූන ඉස්සරහම යථාර්ථය පෙන්නන වැඩක්. නාට්‍යයක් බලලා ශාලාවෙන් එලියට යන්නේ ඇතුලට ආපු මනුස්සයා නෙමෙයි.නාට්‍ය කලාව තව තවත් මිනිසුන් අතරට යායුතුයි මා සිතන්නේ ත් මෙවැනි කරුණු නිසාමයි.

 චිත්‍ර කතා තිබුනු පරිසරය සහ දැන් ඒවා නැති සමාජය කොහොමද ? මම කිව්වේ රස විදීමේ පැත්තෙන්

කවියක් කෙටිකතාවක් කියවද්දී අපි ඕනේ කෙනෙක්ට චිත්ත රූප මැවෙනවා. ඒ මැවෙන රූප සියල්ල අපේ අත්දැකිම් සහ අපි දැකපු දේවල් වලට අදාලවයි මැවෙන්නේ. ඒ මැවෙන රූපය රචකයා අදහස් කරපු එකම නොවෙන්න පුලුවනි. නිර්මාණකරුවා අදහස් කරන රූපයම මවාගන්නට පුහුණු රසිකත්වයක් අවශ්‍යයි. එහෙම පුහුණු රසිකත්වයක් නැති අයට චිත්‍රේ ඇඳලාම දෙන එක තමා මම චිත්‍රකතා විදිහට දකින්නේ. ගැඹුරු සාහිත්‍ය නිර්මාණ රසවිඳින්නට රසිකයා පෙර පුහුණු කිරීමක් චිත්‍රකතා තුලින් සිද්ධ වුණා. අනෙක් අතට ගැඹුරු සාහිත්‍යය නිර්මාන රසවිඳින්නට අසීරු හෝ අකමැති අයට විඳින්නට පහසු සරළ නිර්මාණ තමයි චිත්‍රකතා කියන්නේ. සාහිත්‍යකාරයෙක් දාර්ශනිකයෙක්ම නොවී හුදී ජනයාව ත් සාහිත්‍යයට ඇදගැනීමක් ඒ තුලින් සිද්ධ වුණා. ඒ නිසා චිත්‍රකතා බහුලව තිබුණ කාලයේ කියවීම හැටියට පත්තරේ විතරක් කියවන සාමාන්‍ය මිනිස්සු අතරත් සාහිත්‍යය තිබ්බා. රටක් දියුණු වෙන්න නම් දියුණු සාහිත්‍යයක් ඒ රටේ තියෙන්න ඕනේ. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තමුන් යටත් කරගන්න සියළුම රටවල් වල ඉස්සෙල්ලාම කලේ කලා නිර්මාණ විනාශ කරපු එක. හිට්ලර් කියලා කියන්නේ සෙබළෙක් වෙන්න කලින් චිත්‍ර විකුනලා ජීවිතය ගැටගහගත්ත චිත්‍ර ශිල්පියෙක්. කලාව රටකට මොනතරම් බලපානවාද කියන එක ඔහු අත්දැකීමෙන්ම දැන සිටියා. රටක කලාව සහ කලාවට බැඳුන සංස්කෘතිය වට්ටනවා කියන්නේ ඒ රට වැටෙනවා. අපේ රට වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි සාහිත්‍යය නිර්මාණයන් මහජනතාව අතරට යවාගන්න අපොහොසත්වෙන එක.ඒ කාලේ චිත්‍රකතා වලින් ඒ හිස්තැන පිරවුණා.

කෙල්ලෙකුට ආදරේ කරද්දී කොල්ලෙකුට ඇත්තටම දැනෙන්නේ එයාගේ සෙක්ස් පැත්තද ? නැත්නම් ආදරේ පැත්තද ?

මුලින්ම ස්ත්‍රී පුරුෂ ආදරය හටගන්නේ ගන්නේ ආකර්ෂණය නිසා. ඒ ආකර්ෂණීය හැඟීම ඇතුලේ සෙක්ස් නෑ කියනවා නම් බොරුවක්. අපි හැමෝගෙම හිතේ තියෙනවා අපේ සහකාරිය හෝ සහකාරයා විදිහට තෝරගන්න බලාපොරොත්තුවෙන කෙනාගේ ප්‍රොටෝටයිප් එකක්. මම යාලුවෙන්නේ මෙහෙම කෙනෙක් එක්ක කියන එක ඕනෙම කෙනෙක්ගේ ඔලුව ඇතුලේ තියෙන දෙයක්. “මට එයාගේ හැඩරුව මෙහෙම තිබ්බොත් හොඳයි” කියලා හිතෙන එක එහෙමත් නැත්නම් අනෙකාගේ හැඩහුරුව ගැන තියෙන අදහස සෙක්ස් තමයි. ඒ මූලාකෘතිය හැදෙන්නේ සෙක්ස් ඇතුලත්ව. ඒ මූලාකෘතියට ගැලපෙන කෙනාව දැක්කාම ඇතිවෙන ආකර්ෂණය ඇතුලේ සෙක්ස් නෑ කියන්න බැහැ. ආකර්ෂණය ආදරය දක්වා ගමන් කලාට පස්සේ අර කියන සෙක්ස් හැඟීම නෂ්ට වෙන්නේ නෑ වැඩි වුණොත් මිසක්. නමුත් සෙක්ස් හරහා ආදරය තවත් ගොඩනැගෙනවා. ආදරය හරහා සෙක්ස් ගොඩනැගෙනවා. මේ දෙක සමබර කරගන්න එක තමා අවශ්‍ය වෙන්නේ. ලංකාවේ බහුතරයක් අය හිතන්නේ ආදරය රාගයෙන් තොර සඳ එලිය වගේ අචින්ත්‍ය, පාරිශුද්ධ, නිර්මල, සුරම්‍ය දෙයක් කියලා. එහෙම අයට සෙක්ස් කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් දෙන්න තරම් බරපතල අපරාධයක්. සෙක්ස් කරන ගමනුත් අචින්ත්‍ය, නිර්මල, සුරම්‍ය වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ අවබෝධය. ඒකෙන් ආදරය දැනෙන්නේ නැහැ කියලා හෝ ආදරේ කරන්නේ සෙක්ස් කරන්න පොට පාදගන්න කියලා එකක් කොහොමටවත් අදහස් වෙන්නේ නෑ. සෙක්ස් සහ ආදරය කියන්නේ දෙකක් වගේම එකක්. අදටත් හරියට නිර්වචනය කරන්න බැරි මනෝභාවයන් දෙකක්. කොයි එක මුලින් දැනුණත් අවබෝධයක් නැතුව ඔය දෙකෙන් කොයි එක කරත් එකක්වත් හරියට කෙරෙන්නේ නෑ..

හරි අපි මිරාන්ගේ ජීවිතේ පැත්තට සෘජුව හැරුණොත් මිරාන් අපි කියවා ගත යුත්තේ තාත්තාගේ දිගුවක් ලෙසද ?

තාත්තා ජාතික තලයේ සම්මානලාභී පරිවර්තකයෙක් සහ ලේඛකයෙක්. ඒ නිසා ඔහුගේ ආභාශය මට නැහැයි කියන්න බැහැ අයියේ. නමුත් මම ගොඩක්ම සම්බන්ධ කවියට සහ විචාරයට. පරිවර්තනය මට කලාවක් හැටියට සමීප නැහැ රසවිඳිනවා හැරෙන්න. ඒ නිසා මම කොහෙත්ම තාත්තාගේ දිගුවක් නම් නෙමෙයි. නමුත් ඔහු ලේඛකයෙක් හැටියට සාහිත්‍යයට මට තිබුණ බය සහ ලැජ්ජාව නැති කරලා දුන්නා. අවශ්‍ය දැනුම, සම්පත් ආදීය සපයා දුන්නා. අනික මම ගොඩක් කැමති “අහවලාගේ” පුතා කියනවාට වඩා “මිරාන්” විදිහට මිනිස්සු මාව අඳුරගන්නවට. ඒ නිසාමයි මෑතක් වෙනකම් ම තාත්තා ලේඛකයෙක් බව වැඩිය නොකිව්වේ. මම මෙතෙක් ආ ගමනට මම අවංක බව මට දැනෙන්නේත් ඒ නිසායි. තාත්තාගේ දිගුවක් විදිහට ගිහින් තාත්තාව බබලවනවාට වඩා මගේ ගමනක් තුලින් තාත්තාව බැබලවීම වඩා සාධනීයයි කියලා මට හිතෙනවා.

ඇත්තටම තාත්තා මොනවගේ කෙනෙක්ද ?

අපේ තාත්තා ටිකක් තද මනුස්සයෙක්. ඒ නිසාම ඔහු සහ මගේ පෞරුෂත්වයන් සමහර වෙලාවට ගැටෙනවා. ඒ මොනවා වුණත් තාත්තා මට දුන්න තල්ලුව නොවෙන්න මම රැකියාව පැත්තෙනුත් සාහිත්‍ය පැත්තෙනුත් මේ තැන නැහැ. ඔහු වුර්තීයෙන් ගනකාධීකාරීවරයෙක්. ඔහුට කවදාවත් මාව දොස්තර කෙනෙක් ඉංජිනෙරුවෙක් කරන්න හීනයක් තිබුණේ නැහැ. ඔහුගේ හීනය මොකද්ද යන්න මම අදටත් දන්නේ නැහැ. ඔහු බෙහෙවින් සාහිත්‍යයට ඇලුම් කල කෙනෙක්. 1930 ගනන් වල පටන් ප්‍රකාශිත පොත් එකතුවක් ඔහු මට දුන්නා. කවදාවත් මට කිසි දේකට එපා කිව්වේ නැහැ. කුඩා කාලයේ සෙල්ලම් බඩුවක් දෙකක් ඉල්ලපු වෙලාවක ඒක ගන්න එපා නොකියා “පොතක් එහෙම ගත්තා නම් හොඳයි නේද?” වගේ යෝජනා ඉදිරිපත් කලා. මම ඉල්ලපු කිසිම පොතක් ඔහු මට අරන් නොදී නැහැ. ඒකෙන් මට පොඩි කාලෙටම තිබ්බේ සෙල්ලම් බඩු තුනයි. ඒවයින් සෙල්ලම් කරනවට වඩා පොත් කියවීම මට විනෝදාංශයක් බවට හුරු කලේ තාත්තා. ඔහු අපි හැමෝටම අසීමිත නිදහසක් දුන්නා. ඒ නිදහස ඇතුලේ අපි පාර හොයාගත්තා. ඔහු ආගම් පස්සේ නොදුවන්නෙක්. නිරාගමිකයෙක් කිව්වත් වැරදි නැහැ. එහෙත් ගෙදර අනික් කිසි කෙනෙකුට ඔහු බලපෑම් කලේ නැහැ. කැමති අයට කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. ගෙදර බුදු පහනක් පත්තු කලා වුණත් එය විවේචනය කරන්නේ නැහැ. ඔහු මිත්‍යාව සහමුලින්ම බැහැර කල අයෙක්. මට මතක ඇති කාලයේ ගෙදර කාගෙවත්ම හඳහන් බලලා නැහැ. සුබ කටයුතු වලට වෙලාවල් බලලා නැහැ. සුර දාලා නූල් බැඳලා නෑ. සාත්තර බලල පේන බලලා දෙහි කපලා නැහැ. අපේ මනස සම්පූර්නයෙන්ම ඒවයින් නිදහස් කලා. මිත්‍යාව අතහැරීමෙන් මනුස්සයෙකුට දැනෙන සැහැල්ලුව සහ ආත්මවිශ්වාසය ඇතිවෙන්න දුන්නා. ඒකෙන් අපිට නොපෙනෙන අපිට පලක් නැති දේවල් මත රඳාපවතින්නේ නැතුව ස්වෝත්සාහයෙන් ඔලුව කෙලින්කරගන්න අපි හුරුවුණා. අපේ මනස ස්වාධීන වෙන්න තාත්තාගේ ආකල්ප ගොඩක්ම බලපෑවා.

 එතකොට අම්මා..?

අම්මා තාත්තාට වඩා වෙනම ආකල්ප වල හිටපු කෙනෙක්. අම්මාගේත් තාත්තාගේත් විවාහ දිවියට අවුරුදු 38ක්. මම දන්නේ නැහැ එච්චර නොගැලපීම් තියෙන දෙන්නෙක් අවුරුදු 38ක් තිස්සේ මේ වැඩේ කොහොම කළාද කියලා. ඒ සමබරතාවය තියාගත්තේ අම්මා කියලයි මට හිතෙන්නේ. ඇය රැකියාවක් කලේ නැහැ. අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට අම්මා ගෙදර ඉන්නවා කෑමත් උයාගෙන. ඒක දරුවෙක්ගේ මනසට දැඩිව බලපානවා කියලා මට දැන් හිතෙනවා. අපි ගෙදර ආපු ගමන් අම්මා කෑම කවනවා. අපි ඒ අතරේ පොත් කියවනවා. මම පොඩි කාලේ අම්මා දැඩි ආගම්වාදී, ජාතිවාදී කාන්තාවක්. එහෙත් මම 6, 7 වසරට වගේ එනකොට අම්මා විශාල වශයෙන් පොත් කියවන්න හුරු වුණා මට මතකයි. ගෙදරටම වෙලා ඉඳපු අපේ අම්මා පොත්වලින් ලෝකය කියවාගත්තා. ඒ කියවීමත් එක්ක අම්මාගේ ආකල්ප වෙනස් වුණා. දැඩි ආගමික කාන්තාවක් වුණු ඇය ක්‍රමයෙන් මනුෂ්‍යත්වය ආගම කරගත්තා. මිත්‍යාව එහෙමපිටින්ම බැහැර කලා. අපිට අපේ හොඳම අම්මා හම්බ වුණේ අපි ලොකු වෙද්දී. දැනුත් ඇය මා සමග සිනමාකෘති පවා ඉඳහිට නරඹනවා. අම්මා දැන් පොත් කියවන තරම් අපේ ගෙදර කිසිවෙක් පොත් කියවන්නේ නැහැ. පොත් එලිදැක්වීම් වලින් මම අරන් යන සියළුම කවිපොත් ඇය කියවා තිබෙනවා. ඒ වගේම ඇය සත්තුන්ට පුදුම ආදරයක් සහිත කෙනෙක්. සොබාදහමට ගහට කොලට සතුන්ට ආදරේ කරන්න අපට ඉගැන්නුවේ ඇයයි.

 ඉස්කෝලේ දාමරිකම ගැන්සියද නියෝජනය කලේ නැත්නම් කට පාඩම් සෙට් එකද ?

Image may contain: 1 person

නූතනයේ වගේ ම මම ඉස්කෝලේ කාලෙත් ඔය හැම කල්ලියකම හිටියා. පන්තියේ හැමදාම මුල් දහදෙනා අතරේ හිටියා වගෙම මොකක් හරි දඩබ්බර වැඩක් කරලා ගුටිකන සෙට් එකේත් හිටියා. විෂය බාහිර ක්‍රියාකාරකම් විදිහට කිසිම ක්‍රීඩාවක් කරන්න හිත නොදුන්නේ ඒ දාමරික ආකල්ප නිසා වෙන්න ඇති. මට ඕනේ වුණේ තියෙන අමාරුම වැඩේ කරන්න. ඒ නිසා මම කැඩෙට් බැන්ඩ් එකට බැඳුනා. මට හරියන්නේ ඒක කියලා මට දැනුනේ මගේ දඩබ්බර ගතිය පාලනය කරගන්න අවශ්‍ය විනය මට එතනින් ලැබෙද්දී. මම සීනියර් කෝප්‍රල් තනතුර දක්වාම උසස් වුණා. සැරයන් තනතුර ප්‍රතික්ෂේප කලේ ත් දඩබ්බරකටමයි. යකා වැහුන වෙලාවක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහට ගිහින් “මට විනය පරික්ෂණයක් තියලා ඔප්පු කරන්න තැන් තැන් වල කියවන්න එපා” කියලා කෑගහලත් තියෙනවා. නියෝජ්‍ය විදුහල්පතිතුමාත් තවත් ගුරුවරුන් කිහිපදෙනෙකුත් තමා වැඩේ ශෙප් කලේ. දැන් මතක් වෙද්දිත් හිනා යනවා .ඒ මිනිස්සු මාර විදිහට අපිව ඉවසුවා. කටපාඩම් වලින් වගේම දාමරික වැඩවලිනුත් ජීවිතයට ගත්ත දේවල් අනන්තයි. මිනිහෙක් නිර්මාණය වෙන්නේ අත්දැකීම් එක්ක. හැම ජාතියෙම අත්දැකීම් තියෙන එක ජීවත් වෙන්න පහසුවක් වෙනවා.ඒ අත්දැකීම් එක්ක මම දැන් සම්පූර්ණයෙන්ම නිවුණු පුද්ගලයෙක්. අවුරුදු 10කින් විතර සැරයක් දෙසැරයක් ඇරෙන්න තරහා ගිහින්ම නෑ. හැම ජාතියකම අත්දැකීම්, මෝඩකම් මාව පරිණත කරා කියලා මම හිතනවා. මුදුන් දල්ල දිව්‍යලෝකෙට යද්දී මුදුන් මුල අපායට බහින්නම ඕනේ. මිනිහෙක් හැදෙන්නේ එතනින්.

 ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන අදහස කුමක්ද ? කෙටියෙන්

රටේ කොඳුනාරටිය තමා උගතුන්. උගතුන් කියන්නේ විෂය නිර්දේශය ගොඩදාගන්න අය විතරක් නෙමේ. විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රාමාණිකයින් හැම කෙනෙක්ම උගතෙක් .ඒ නිසා විභාග ම විතරක් ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමය එතරම් සාර්ථක නැහැ කියලයි මගේ අදහස. මේ තාක් ලකුණු පස්සේ දුවනවා මිසක් විෂයට ආසාවෙන් දැනුමට ආසාවෙන් ඉගෙන ගන්න සිසු පරපුරක් බිහිවෙලා නැහැ. කටපාඩ්ම් රොබෝලා වගේ පිරිසක් හදන එකෙන් මානව ගුණධර්ම කියලා ජාතියක් තියෙන බව අමතක වෙනවා. මොකද පෙරපාසල් කාලයේ ඉඳලාම ළමයින්ට තරඟකාරීත්වය ඇතිකරලා සහ ළමයාගේ ජීවිතේ සැලසුම් කරලා ඉවරයි. අසීමිතව ඉලක්ක පස්සේ දුවන මිනිස්සු අනික් මිනිස්සුන්ව තමුන්ගේ අරමුණ වෙනුවෙන් බිලිදෙන්න පැකිලෙන්නේ නැහැ.විෂය නිර්දේශ ඉගෙනගන්න දක්ෂ කෙනාටත්, ඒක බැරි වෙනත් දක්ෂතා තියෙන කෙනාටත් එකවගේ පිලිගැනීමක් සහ ආර්ථික ස්ථාවරභාවයක් තියෙන විදිහේ සමාජයක් අපි ගොඩනගාගන්න ඕනේ. විවිධාංගීකරණය වුණු අධ්‍යාපන ක්‍රමවේදයක් එතෙන්දී සෑහෙන වැදගත්.

Image may contain: Miran Dameendra Perera, closeup

 විශ්වවිද්‍යාල නවක වධය අත්‍යාවශ්‍ය දෙයක්ද ? නවක වදයට ඔබ විරෝධීද නැත්නම් ඇත්තටම නවක වදය නිර්මාණය විය යුක්තේ මොන පදනමින්ද ?

නවකවදය අත්‍යාවශ්‍ය නැහැ. යම් යම් සීමාවන් ඇතුලේ කෙරුනාට වරදකුත් නැහැ. ඉස්කෝලේදී අපි කැඩෙට් කරද්දි අපිට දෙන ට්‍රේනින් එක කන්න බලාගෙන තමා ඒකට යන්නේ. කැඩෙට් කෙනෙක් වෙන්න ඒ ට්‍රේනින්ග් එක අත්‍යවශ්‍යයි. ඒ ට්‍රේනින්ග් එක කන්න බැරි අයට කැඩෙට් නොකර ඉන්න නිදහස තියෙනවා. ඉස්කෝලේ බඩගාපු නැති කුණුකානුවක් නැහැ.පන්තියට ගිහින් පුටුවේ වාඩි වෙන්න බැහැ පස්ස ඉදිමිලා ගහන කොහුමිටි පාරවල් වලට. සමහර දවසට ගෙදර ගිහින් නාන්න බැහැ මුලු ඇඟම දනවා තුවාල වෙලා. නලලවල් හම ගිහින් තාර පාරේ ඔලුවෙන් ඉඳලා. ඒත් අපි ඒක බලාපොරොත්තුවෙන් තමයි යන්නේ. කැඩෙට් කෙනෙක් වෙන්න අකමැති කාටවත් බලෙන් ඒ ට්‍රේනින්ග් එක දෙන්නේ නැහැ කවුරුවත්. අනික ඒ ට්‍රේනින්ග් එක කොයිම මොහොතකවත් මනුශ්‍යත්වය ඉක්මවා යන ඇරියස් කවර් කරගැනිල්ලක් වෙන්නේ නැහැ. මොකද ඒ ට්‍රේනින්ග් එකේ අරමුණ හොඳ සොල්දාදුවෙක් බිහි කිරීම විතරයි. කාටවත් පර්සනල් දේවල් ට්‍රේනින්ග් එකට ගාවගන්න බැහැ. ඒත් විශ්ව විද්‍යාල නවක වදය එහෙම නැහැ. කැම්පස් යන එකේ අරමුණ අධ්‍යාපනය ලබාගැනීම මිසක් නවක වදය නෙමෙයි. කැඩෙට් කෙනෙක් වෙන්න ට්‍රේනින්ග් එක අවශ්‍ය වුණාට විද්‍යාර්ථයෙක් වෙන්න නවක වධයක් අවශ්‍ය නැහැ.අධ්‍යාපනය මූලික අරමුණ කරගෙන එන අයට වෙන්නේ ඒ අරමුණ වෙනුවෙන් නවකවදයට භාජනය වෙන්න. එතනදී තෝරාගැනීමක් ලැබෙන්නේ නැහැ. ඒක බලහත්කාරකමක්. අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණ ප්‍රාණ ඇපයට තබාගෙන වධදීමක් ඇරියස් කවර් කරගැනිල්ලක් නවක වධය කියන්නේ කියලයි මට හිතෙන්නේ. මොකද මනුශ්‍යත්වය ඉක්මවාගිය අතීශය අමානුශික ක්‍රියාවන් නවකවධය තුල සිදුවෙනව අපි දකිනවා. එහෙම නැතුව දක්ෂතාවයන් අඳුරගන්න හැකි විදිහේ, කුලෑටි ගති නැතිවෙන විදිහේ, කණ්ඩායම් හැඟීම ඇතිවෙන ආකාරයේ, තීරණ ගන්න පෞරුෂත්වය හැදෙන විදිහේ, මානසික ශක්තිය වර්ධනය වෙන විදිහේ යම් යම් ක්‍රියාකාරකම් කළාට වරදක් නැහැ. සාමූහිකව කෙරෙන ඒ වගේ ක්‍රියාකාරම් වලින් මානව සංවර්ධනයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ කිසි එකකින් මනුශ්‍යත්වයට හානි පැමිනෙන්න බැහැ.

ලංකාවේ විවාහය ඔබ දකින ලෙස ?

ලංකාවේ විවාහය ගොඩක් දුරට අනුන්ට ඕනේ විදිහට සිද්ධ වෙන දෙයක්. තමුන් ආදරේ කරන කෙනාව බඳින්න ලැබෙන්න කලාතුරකින්. ගොඩක් වෙලාවට වටේපිටේ අයගේ තේරිම් අනුව තමා විවාහ වෙන්න වෙලා තියෙන්නේ. නැත්නම් වයස යනවා කියලා කරන බලකිරීම් නිසා. ලිංගික රුචි අරුචිකම් හරියටම අඳුරගන්නේත් විවාහයෙන් පස්සේ. ඉතින් බැඳපු කෙනා තමුන්ට ගැලපෙනවද නැද්ද කියලා හරියටම දැනගන්නේ බැඳල ඉවර වුණාට පස්සේ. මේ හේතුවෙන් ලංකාවේ ගොඩක් විවාහ ජීවිත ගෙවෙන්නේ නොසතුටෙන් සහ පසුතැවීමෙන්. විවාහය වගේම දික්කසාද ජීවිතයත් ලංකාවේ අසීරු ජීවිතයක් නිසා ගොඩක් අය කරන්නේ බැඳගත්ත බෙරේ ගහන එක. ගෙයක් කාර් එකක් කියන එක අද විවාහයකට අනිවාර්ය දෙයක් බවට පත්වෙලා. මේ සියල්ල සාක්ශාත් කරගෙන විවාහ වෙනකොට ජීවිතේ විඳින්න තියෙන දේවල් අතෑරිලා. අනික විවාහ උත්සවයත් ලක්ෂ ගානක් වියදම් කරලා ලොකුවටම ගන්න ඕනේ කියන මතයකුත් ඔය අස්සේ තියෙනවා. විවාහෙන් පස්සේ ගොඩක් අය කරන්නේ දෙන්නාගෙම පඩිය එකතු කරලා ලීස්, ලෝන් ගෙවන එක. දරුවන් හදන්නේත් දරුවෙකු නඩත්තු කරන්න තරම් ආර්ථික ශක්තිය ගොඩනගාගෙන නෙමේ. වටේ පිටේ අයට ඕනේ නිසා. ගැහනියට අයිති වැඩ සහ පිරිමියාට අයිති වැඩ කියලා වෙන් කරගෙන ඉන්න නිසා දෙදෙනා අතරේ කිසි සහයෝගයක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙම පීඩනයකින් ගතකරන ජීවිතයක් හුදු යුතුකම් ඉටුකිරීමක් විතරයි.

ජොබ් එකක් කරනවා නේ.. මොකද සැටිස්ද ? ජීවිතේ ගැට ගහගන්න ඇති ද නැත්නම් ජොබ් කියන එකට වෙන අර්ථ කථන තියෙනවද

ඇත්තටම සැටිස් තුසිත අයියේ. මම වුර්තීයෙන් ත්‍රිමාණ සජීවීකරන ශිල්පියෙක් සහ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීයෙක් (3D/ Visual Effects Artist ). ඒකත් කලාවක් නේ. මම කරපු නිර්මාණ පාරතොටේ, ටීවී එකේ දකිනකොට, ඒවාට ප්‍රතිචාර එනකොට මට දැනෙන්නේ කවියකට විචාරයකට ප්‍රතිචාර එනකොට දැනෙනවා වගේම සතුටු දායක හැඟීමක්. මගේ ජොබ් එක ජොබ් එකක් නොවෙන්නේ ඒ නිසයි. ආසාවෙන් නිර්මාණ බිහිකරන එක මගේ ජොබ් එක වෙලා. ජීවිතේ ගැටගහන්න උපයන මුදල හොඳටම ඇති. ඊට වඩා මට වටින්නේ මට රැකියා ස්ථානයෙන් දීලා තියෙන නිදහස. මම කරන කලාව එයාල ගොඩ දෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒත් මම සාහිත්‍ය වැඩ කියලා මොනවදෝ කවි ලියන විචාර ලියන බරපතල වැඩ කොටසක් කරනවා කියලා දන්නවා. ඒ නිසා ඒවට ඕනේ වෙලාවක යන්න එන්න කියල නිදහස දීලා තියෙනවා. ඔෆිස් වැඩ අතරේ මොනවා හෝ ලියන කියන දෙයක් කරනවා දැක්කට කවුරුවත් මොකුත් අහන්නේවත් කියන්නේවත් නැහැ. ආදායම් මාර්ගයකට එහා ගියපු දෙයක් බවට රැකියාව පත්කරගන්න පුලුවන් නම් වෙන අර්ථකන අවශ්‍ය නැහැ.

 මනුස්සයෙක් වශයෙන් මැරෙන්න ආසම විදිය මොකද්ද ? ( මෙහි මනුස්සයෙක් වශයෙන් යන්න අවධාරණයි)

තමුන් කොහොම මනුස්සයෙක්ද කියන එක තීරණය කරන්න පුලුවන් වෙන්නේ වෙන කිසිම කෙනෙක්ට නෙමෙයි තමුන්ගේම හර්දසාක්ෂියටයි. තමුන් දිහා පිටින් නොබලා තමුන් ඇතුලෙන්ම විතරක් බලලා හර්දසාක්ෂිය සාධාරණීකරණය කරගන්න කෙනෙක් හර්දසාක්ෂියට කරන්නේත් බොරුවක්. තමුන්ටම බොරු කරගන්න මනුස්සයෙක් අනුන්ට මොනවා නොකරාවිද. මනුස්සයෙක් වශයෙන් හර්දසාක්ෂියට එකඟව මැරෙන්න නම් මනුස්සයෙක් හැටියට හර්දසාක්ෂියට එකඟව ජීවත් වෙන්න ඕනේ. මම හර්දසාක්ෂියට එකඟව ජීවත් වෙනවා. කාහේවත් හිත් රිද්දන්නේ නැතුව හැමෝටම උදව් පදව් කරගෙන සැහැල්ලුවෙන් වගෙම සීරියස් විදිහට ජීවත් වෙනවා. හර්දසාක්ෂියට එකඟව යහපත් මනුස්සයෙක් හැටියට මැරෙන්න තමා බලාපොරොත්තුව.

කියන්න සාහිත්‍යයට කලාවට කරන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද ? ලංකාවේ කලාව යථාර්තවාදීද යන පැනය සමග

ලංකාවේ කලාව යථාර්තවාදීද කියන එකට මුලින්ම උත්තර දෙන්නම්. කලාව හැමවෙලේම යථාර්තවාදීම වෙන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. නමුත් නිර්මාණකරුවන් යථාර්තවාදී වියයුතුයි. තමුන්ගේ නිර්මාණයට අවංක වියයුතුයි. යතාර්ථවාදීද නැද්ද කියන එක නිර්මාණයෙන් නිර්මාණයට රඳා පවතිනවා.

ලංකාවේ කලාව ඇතුලේ දිනන්නේ ඉබ්බෝ මිසක් හාවෝ නෙමෙයි. හයියෙන් දුවනකොට ඉක්මනට හති වැටෙනවා. වැඩිය දුර යන්න බෑ.හෙමින් ඇවිදන් යද්දි වටේපිටේ ගොඩක් දේවල් පේනවා වගේම ඉක්මනින් හතිවැටෙන්නේ නැති නිසා ගොඩක් දුර යන්න පුළුවන්.මම ලංකාවේ කලාව ඇතුලේ සැලකියයුතු දුරක් ඇවිත් ඉන්නවා කියලා හිතනවා. යන්නත් සෑහෙන දුරක් තියෙනවා. අධ්‍යනයත්, අභ්‍යාසයත් සමග ඒ දුරත් හෙමින් ඇවිදගෙන පුලුවන් තරම් යනවා. මගේ පරිමාවෙන් මට කලාවට කරන්න පුලුවන් උපරිම සේවය මම කරනවා. කලාව ජීවිතයට ඇඳගත්තා කියන්නේ මැරෙනකන් ගැලවීමක් නැහැ.

අත්සන ගත්තේ  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *