කම්කරුවන්ගේ කඳුළද හූරන් කෑ තොණ්ඩමන්ගේ මළගම – ( වීඩියෝ සහිතයි )

වතු කරයේ හෑම මනුස්සයෙකුගේම මිනිස් අයිතීන් සූරා කා අවසන්ය. හුදෙක් ඔවුන්ට ඇඳි වතක් ඇතැයි පැවසුවොත් කීමට ඇත්තේ ඇත්ත නම් ඇඳි වතද ඔවුන්ට නොමැති බවය. හාම් පුතුන් බලධාරීන් හා වතු පාලකයන් ඔවුන්ගේ රීරි මාංෂ උරා බී අවසන්ය. ඉන්නට තැනක් නැත. ලැයිම උන්ගේය. කන්නට යමක් නැත. රොටියට ලැබෙන පිටි ටික උන්ගේය. ළමුන්ට ඉගෙන ගන්නට නැත. ළමුන් උන්ගේය. උන්ට අවැසි දේ මිස වෙනත් ඉගෙනීමක් නොමැත. දවස තිස්සේම පණ නැහෙන්නේ තේ ගස් යට වුවත් තේ උගුරද උන්ගේය. කළු නාටු ගැසුනු ප්‍රාණීන් මිනිස් වෙස් ගන්වා වතු මැද ක්‍රියාත්මක වන යන්ත්‍ර බවට පත් කොට ඇත. ඇහැට කනට පෙනෙන්නට ඇති නම් එහෙව් ගැහැණුන් උන්ගේ අනෙකුත් අවශ්‍යතාද ඉටු කර ගැනීමට යොදා ගැනීම සාමාන්‍යයක් වී ඇත.

මේ දර්ශනය වන්නේ උකස් කරනු ලැබූ කදුළුය. තොණ්ඩමන් මිය ගියේය. සත්‍ය ලෙස තොණ්ඩමන් මිය ගියාට වතුකරයේ දෙමළ ජනතාවට ලැබෙන රෙද්දක් නැත. තවත් එක් සූරාකන්නෙක් මිය ගොස් ඇත. එහෙත් සිදුව ඇත්තේ කුමක්ද ? මිය ගිය එකාට අදාළව වෙනත් අනේක විධ වහල් කම් යටතේ තමන්ගේ කදුළද උන්ගේ බලය තර කිරීමට දේශපාලනික ප්‍රදර්ශනය සදහා යෙදවිමට සිදුව ඇත. මේ මිනිසුන් පුහුණු කරන්නේ අඬන්නටය. එහෙව් ඇඩීම් ලෝකයාට ප්‍රදර්ශනය වන්නේ වතුකරයේ මිනිසුන් තොණ්ඩමන්ට ලැදි බවත් හා භක්තිවන්තව සිටි බවකි. අපි පසුගිය දින කිහිපයේම දුටුවේද එයය. ඒත් ඇත්ත නම් පීඩිතයන්ට පාදඩ රදළයින්ගේ මළගම අපේක්ෂා සහගත දෙයක් මිස අන් යමක් නොවන බවයි..

ඔවුන්ට ඇත්තටම ඇඩෙන්නේ එකෙක් මැරුණාට පසුව ඒ වහල් බවින් මිදීමට නොහැකි වීම නිසාය. ඒ තවත් එවැනිම නරුමයෙකුගේ දැති රෝද අස්සේ සිරවීමට සිදුවීම නිසාය.. මෙවැනි සංදර්ශන මිස ඇත්ත පොළොවේ දුක් විදින මිනිසුන් ඇත්තට හඬන්නේ ලැයිම් කාමර අස්සේ දුවාදරුවන්ගේ කුස පොත්ත පුරවා ගැනීමට රොටියක් නොමැති කමිනි.. එබැවින් මේ මිනිසුන් ඇඩීම අස්සේ සිනාසෙන බව පමණක් අමන පාලකයන් විසින් මතක තබා ගත යුතු සත්‍යයයි.

– තුසිත පතිරණ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *