කොමියුනිස්ට්වාදයද? ම්ලේච්ඡත්වවාදයද? එතරම්ම සරලයි – වසන්ගතය ! කොවිඩ් 19 ලොව සසල කරයි – ( 11 වන කොටස )

හැඳින්වීම

මේ ශිෂෙක්ගේ “Pandemic!” කෘතියේ අවසන් පරිච්ජේදයයි. නමුත්, මෙම ලිපි පෙළෙහි තවත් එක් කොටසක් ඉතිරිව පවතී. එනම්, කෘතියට එකතු කොට තිබෙන කෙටි උපග්‍රන්ථයයි. තව දින දෙක තුනකින් එම කොටසද පළ කිරීමෙන් පසුව ස්ලේවෝයී ශිෂෙක්ගේ නවතම කෘතියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය ඔබ අතට පත් වනු ඇත. එය PDF පොතක් ලෙස සකසා එළි දැක්වීමට තවත් දින කිහිපයක් වුවමනා වේ.

මේ පරිච්ජේදයේදී ශිෂෙක් වත්මන් අර්බුදයට ප්‍රායෝගික විසඳුම් මාර්ගය ලෙස ඔහු යෝජනා කරන “කොමියුනිස්ට්වාදය” යන්න වඩාත් හොඳින් පැහැදිලි කරයි. ඔහු නැවත නැවතත් අවධාරණය කරන පරිදි මෙහිදී ඔහු ඉදිරිපත් කරන්නේ කොමියුනිස්ට්වාදය පිළිබඳ පරමාදර්ශී හෝ මනෝරාජික අදහසක් නොවේ. සරලව, ඔහු පවසන්නේ මෙපමණකි. සමස්ත මිනිස් වර්ගයාම බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස පැවැත්ම පිළිබඳ තීරණාත්මක ප්‍රශ්නය ඉතාම ප්‍රබල ලෙස මතු වී තිබේ. ඒ හමුවේ අපට තෝරා ගැනීමට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නම්, කිසියම් සමාජ පංතියක, කිසියම් ජනවර්ගයක, කිසියම් ජාතික රාජ්‍යයක, නැතහොත් කිසියම් ප්‍රජාවක පැවැත්ම මුල් කොට ගත් අධිකාරීවාදී මාර්ගයයි. ඇමෙරිකානු මාදිලියේ ධනවාදය වෙනුවෙන් පෙනී සිටින අයවලුන්ද ස්වදේශිකවාදයන් වෙනුවෙන් පෙනී සිටින අයවලුන්ද යන දෙපිරිසම මේ කාණ්ඩයට අයත්ය. ශිෂෙක් ම්ලේච්ජත්වවාදය යැයි කියන්නේ එයටය. ඒ මාර්ගයේ අවසන් ප්‍රතිපලය වනු ඇත්තේ තම තමන්ගේ ස්ව-අභිලාෂයන් නැතහොත් ලාභයන් ඉලක්ක කර ගෙන ජාතීන් අතර නැතහොත් කණ්ඩායම් අතර ඇවිලෙන විනාශකාරී යුද්ධයකි.

අනෙක් විකල්පය නම් අන්‍යොන්‍ය සහයෝගීතාව සහ සාමූහිකත්වය මුල් කොට ගත් පොදු ගෝලීය විසඳුමක් සඳහා වන මාර්ගයක් සොයා ගැනීමයි. එය ඉතාම සීමිත නමුත් ප්‍රායෝගික අරුතින් ගත් කල කොමියුනිස්ට්වාදී විසඳුමකි. වත්මන් අර්බුදයේ ප්‍රබලතාව හමුවේ මේ දෙකින් තොර වෙනත් විකල්පයක් තමන්ට නොපෙනෙන බවයි ශිෂෙක් පවසන්නේ. ඒ අනුව ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ රෝසා ලක්සම්බර්ග් ඉදිරිපත් කළ “සමාජවාදයද? ම්ලේච්ජත්වවාදයද?” යන උදෘතය සමකාලීන ලෝක තත්ත්වයන්ට ගලපා නැවත ඉදිරිපත් කරයි.

කෙසේ වුවත්, ශිෂෙක්ගේ “කොමියුනිස්ට්වාදයේ” අඩු තරමින් තලයක් දෙකක් පවතින බව පැහැදිලිය. එකක් නම් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සක්‍රීය සහභාගීත්වය ඇතිව පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවයක් සහ පොදු සුබසාධන සේවයක් පැවතීමයි. අනෙක නම්, ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් ඇතුළු පුළුල් සහයෝගීතා ජාලයක පැවැත්මයි. මේ දෙඅතින්ම සිදු වන්නේ ජාතික රාජ්‍යයේ අධිකාරී බලය දුර්වල වීම බව පැහැදිලිය. මේ යුගයේ ස්වදේශිකවාදයේ නාමයෙන් සැබවින්ම සිදු වන්නේ කුමක්ද? ජාතික රාජ්‍යයන් තුළ බලය අත් පත් කරගන්නා අන්ත ජාතිකවාදී කණ්ඩායම් ස්වදේශික ප්‍රජාවන් මත බලය අභ්‍යාස කිරීමයි. ගෝලීය අර්බුද සමයකදී එය ඉතාම විනාශකාරී තැනකට ගමන් කළ හැකිය. එසේම, දැන් ජාත්‍යන්තර පර්යායද පවතින්නේ සුවිසල් වියවුලක් මැදය. එක්සත් ජනපද නායකත්වයේ පිරිහීම, යුරෝපා සංගමයේ අර්බුදය සහ චීනයේ නැගීම හමුවේ මේ වියවුල කල් ඇදෙන එකක් බවට පත් විය හැකිය. එයද මිනිස් වර්ගයාගේම විනාශය කරා යොමු වන යුද්ධයක් වෙත දිශානත වීමේ අනතුරක් තිබේ.Badiou's Communism: No to the Party, No to Anarchism | Path to the ...

ශිෂෙක් ප්‍රයත්න දරන්නේ මෙම බහු-විධ අර්බුදය හමුවේ වාමාංශයේ පැත්තෙන් කිසියම් ප්‍රායෝගික විසඳුමක් යෝජනා කරන්නටය. ඒ පිළිබඳව කොතෙකුත් විවේචන තිබිය හැකිය. නමුත්, වත්මන් ගෝලීය අර්බුදයේ නිමේෂය තුළ අපට “Pandemic!” කෘතියෙන් ඉදිරිපත් කෙරෙන අදහස් සමූහය නොතකා හැරීමට හැකි යැයි මම විශ්වාස නොකරමි. ශිෂෙක් යෝජනා කරන දේ ප්‍රතික්ෂේප කරන්නෙකු වෙනත් ඒත්තු යන සුළු විසඳුම් මාර්ගයක් යෝජනා කරන්නට සමත් විය යුතුය.
බොහෝ කලක් අප්‍රායෝගික, මනෝරාජික සහ අන්ත වාමාංශික ස්ථාවරයක් නියෝජනය කළේ යැයි විවේචනයට ලක් වෙමින් සිටි වඩාත් ජනප්‍රිය ගෝලීය බුද්ධිමතා දැන් ප්‍රායෝගික විසඳුමක අභියෝගය සමග අප ඉදිරියට පැමිණ ඇත. ලෙනින්ගේ ක්‍රියාවේ පුනරාවර්තනයක් ගැන කතා කළ රැඩිකල් වාමාංශික න්‍යායවේදියා ලෙනින්වාදී රාමුව ඉක්මවා යන හෙජමොනික ආමන්ත්‍රණයක් කරන්නට ඉදිරිපත්ව සිටී. පංති දේශපාලනය ලැකානියානු ලෙස නැවත අර්ථකථනය කළ මාක්ස්වාදියා විවිධ සමාජ පංතීන් සහ කණ්ඩායම්වලට ඒත්තු ගැන්විය හැකි ආකාරයේ විසඳුම් මාර්ගයක් යෝජනා කරමින් සිටී.

ඔහු ඒ සියල්ල කරන්නේ ධනවාදී නිදහස් වෙළඳපළෙහි ඛණ්ඩාංකවලට පිටතින් නිෂ්පාදනය සහ බෙදාහැරීම සංවිධානය කළ යුතු බව අවධාරණය කරමින්ය. ගෝලීය පොදු සුභසාධනයක්, විශ්වීය අවම වැටුපක්, පරිසර විනාශයට එරෙහි නව සංවර්ධන මාවතක් වැනි උදෘත මත පදනම් වෙමිනි. කොටින්ම “Pandemic!” කෘතිය තුළින් ඉදිරිපත් කෙරෙන යෝජනාවලට පශ්චාත්-මාක්ස්වාදී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන්ටද එකඟ විය හැකිය. තමන් අර්නෙස්ටෝ ලැක්ලාවූ සමග එක්ව “Hegemony and Socialist Strategy” (1985) කෘතිය රචනා කරන විටදී වාම හෙජමොනික දේශපාලනයේ මූලික අවශ්‍යතාව වී තිබුණේ පංතිමය නොවන පසමිතුරුතාවන් වාමාංශික දේශපාලන කතිකාවට ඇතුලත් කරගැනීම වුවත් අද දිනයේ අවශ්‍ය වී ඇත්තේ පංතිමය පසමිතුරුතාව නැවත වාමාංශික කතිකාවට ඇතුලත් කරගැනීම යැයි තම අලුත්ම කෘතිය වන “For a Left Populism” (2018) තුළ පැහැදිලිව සඳහන් කොට ඇති ශන්තාල් මූෆ්ට පවා අප හමුවේ සිටින මේ “හෙජමොනික ශිෂෙක්” සමග එකඟ විය හැකි බැව් පැහැදිලිය.

ඒ අරුතින් පසුගිය දශක තුනක පමණ කාල පරිච්ජේදය තුළ රැඩිකල් දේශපාලන න්‍යාය ආශ්‍රිතව ඇති වූ විවාදයන් ඇසුරු කොට ඇති කිසිවෙකුටත් “Pandemic!” කෘතියෙන් ශිෂෙක් ගන්නා හෙජමොනික හැරවුමේ වැදගත්කම මග හැරී යා නොහැකිය.


කොරෝනා වසංගතයේ ප්‍රතිපලයක් ලෙස කොමියුනිස්ට්වාදයේ කිසියම් ආකෘතියක් පැමිණෙනු ඇතැයි මා දිගින් දිගටම යෝජනා කළ පසුව මා ඇලන් බදියූගේ සිට බ්යුන්-චුල් හාන් දක්වා වාමාංශයේ සිට දක්ෂිණාංශය දක්වා තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට සහ සමච්චලයට පවා ලක් වූයෙමි. මේ කර්ණ කටුක හඬ නැගීම්වල මූලික හරය පහසුවෙන් උපකල්පනය කළ හැකි වූවකි. එනම්, වසංගතයම විනාශකාරී නැග්මක් ලෙස භාවිත කරමින් ධනවාදය වඩාත් ප්‍රබල ස්වරූපයකින් නැවත පැමිණෙනු ඇත යන්නයි; අප සියලුම දෙනා අපගේ ජීවිත චීන මාදිලියේ රාජ්‍ය යාන්ත්‍රණ මගින් සහමුලින්ම පාලනය කරනු ලැබීම වෛද්‍ය අවශ්‍යතාවක් ලෙස සලකා නිහඬව භාර ගනු ඇත යන්නයි; පැවතුම්වාදී භීතිය උත්කෘෂ්ට ලෙසම අදේශපාලනික වන අතර එය අපව මෙහෙයවන්නේ අන් අය අරගලයේ සගයන් ලෙසින් දකින්නට නොව මාරාන්තික තර්ජනයක් ලෙස දකින්නටය යන්නයි.

හාන් පෙරදිග සහ බටහිර අතර පවත්නා සංස්කෘතික වෙනස්කම් පිළිබඳව ඇතැම් සුවිශේෂී විදර්ශනාවන් කිහිපයක්ද මෙයට එක් කළේය. ඔහුට අනුව, සංවර්ධිත බටහිර රටවල් සැබෑ සතුරන්ගෙන් තොරව ජීවත් වීමට හුරු වී සිටි බැවින් වසංගතයට අධි-ප්‍රතිචාර දක්වමින් සිටී; ඔවුන් විවෘතව සහ අනෙකා ඉවසමින්ද ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයන් නොමැතිවද සිටියෙන්, සැබෑ තර්ජනයක් මතු වූ විට අධික වශයෙන් කලබලයට පත් විය.

නමුත්, සංවර්ධිත බටහිර ලෝකය මේ කියා පාන ලෙසට සැබවින්ම නිර්බාධීද? අපගේ සමස්ත දේශපාලන සහ සමාජ අවකාශය පුරාම ලෝක විනාශය පිළිබඳ දැකුම් පැතිර ගොස් නොමැතිද? පාරිසරික විනාශය, මුස්ලිම් සරණාගතයන් පිළිබඳ බිය, LGBT (මෙය අධිපති විෂම ලිංගික සබඳතාවලින් වෙනස් වූ ලිංගික නැමියාවන් ඇති ලෙස්බියන්, පිරිමි සමලිංගික, ද්වි-ලිංගික සහ පාර-ලිංගික යනාදී කණ්ඩායම් හැඳින්වීමට යොදන කෙටි යෙදුමකි – පරිවර්තක) සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ න්‍යායන්වලට එරෙහිව අපගේ ගතානුගතික සංස්කෘතිය රැක ගැනීමේ කලබලකාරීත්වය යනාදියයි, ඒ. ඔබ නිකම් වල් විහිළුවක් කරන්නට උත්සාහ කරන්න. එවිට ඔබට වහාම දේශපාලන නිවැරදිභාවයේ වාරණයේ බලය කොතරම්දැයි දැනෙනු ඇත. අපගේ නිර්බාධී බව දැනට වසර ගණනාවකට ඉහතදී එහි ප්‍රතිපක්ෂය බවට හැරී ඇතMy ❤️ will go on: Slavoj Zizek: Global communism or the jungle ...

තවද, බලහත්කාරයෙන් ඇති කළ හුදෙකලාවෙන් සැබවින්ම හැඟවෙන්නේ අදේශපාලනික පැවතුම්වාදයක්ද? කැත්රීන් මලබූ මෙලෙස ලියන විට මම ඇය සමග බෙහෙවින්ම එකඟය:

” ඇතැම්විට, විකල්පය වෙතට ඇති එකම ප්‍රවේශ මාර්ගය වනුයේ විනිශ්චය අත් හිටවීමක්, නැවතී සිටීමක් සහ සමාජයීය බව වසා දැමීමක් විය හැකිය. එය මිහිතලයේ හුදෙකලා වී ඇති සියලුම මිනිසුන් සමග සමීපතාවක් දැනීමේ මාර්ගය විය හැකිය. මා මගේ තනිකම තුළ හැකිතාක් හුදෙකලාව සිටින්නට ප්‍රයත්න දැරීමට හේතුව එයයි.”

මෙය ගැඹුරු ලෙසම ක්‍රිස්තියානි අදහසකි. මට තනිකම දැනෙන විට, දෙවියන් විසින් මා අත හැර දමා ඇතැයි දැනෙන විට මා කුරුසිය මත හිඳින ජේසුස් වැනි වේ; ඔහු සමග පූර්ණ සහයෝගීතාවක් ඇත්තෙකු වේ. අද දවසේ කිසිවෙකුටත් මුණ ගැසීමට අවසර නොමැති සිර කුටියක තනි වී සිටින ජූලියන් අසාන්ජේ හටද මෙය ගැලපේ. දැන් අප සියලුම දෙනා අසාන්ජේ වැනිය. එසේම, අද දිනයේ වෛද්‍යමය තර්ජනය මගින් සාධාරණීකරණය කරනු ලබන බලය අව-භාවිතයේ යෙදවීම් වැලැක්වීමට අපට ඔහු වැනි චරිත අන් කවරදාටත් වඩා වුවමනා වේ. හුදෙකලාව සිටින අපට අන් අය සමග සම්බන්ධ වීමට ඇති ප්‍රධාන රැහැන් පට වන්නේ දුරකථනය සහ අන්තර්ජාලයයි. ඒ දෙකම රාජ්‍යය විසින් පාලනය කෙරෙන අතර රාජ්‍යයට කැමති පරිදි අපව ඒවායින් විසන්ධි කොට දැමිය හැකිය.

ඉදින්, කුමක් සිදු වනු ඇත්ද? මින් පෙර විය නොහැකියාවක් ලෙස පෙනුණු දේ දැනටමත් සිදුවෙමින් පවතී. නිදසුනක් ලෙස, එක්සත් රාජධානියේ දුම්රිය සේවය තාවකාලිකව රජයට පවරා ගන්නා බව 2020 මාර්තු 24 වනදා බොරිස් ජොන්සන් නිවේදනය කළේය. ජූලියන් අසාන්ජේ කෙටි දුරකථන පණිවිඩයකදී යානීස් වරූෆකීස් හට මෙලෙස පවසා තිබේ: “අර්බුදයේ මේ අලුත් අදියර අඩුම තරමින් අපිට පැහැදිලි කරන දේ තමයි ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියන එක. දැන් හැම දෙයක්ම වෙන්න පුළුවන්.” ඇත්ත වශයෙන්ම, සෑම දෙයක්ම දැන් සෑම අතටම ගලා යයි; හොඳම තැන සිට නරකම තැනට. එබැවින් දැන් අප සිටින තත්ත්වය ප්‍රගාඪ ලෙසම දේශපාලනිකය. අප සිටින්නේ රැඩිකල් තෝරා ගැනීම් දෙසට මුහුණ හරවාගෙනය.

ලෝකයේ ඇතැම් කොටස්වල රාජ්‍ය බලය අර්ධ වශයෙන් අඩපණ වී යාමට හැකිය; සාගතයේ සහ පාරිසරික විනාශයේ අනතුර උත්සන්න වුව හොත්, ප්‍රාදේශීය හමුදා නායකයින් පොදුවේ පැවැත්ම සඳහා කරන අරගලය තුළ ප්‍රචණ්ඩ ආකාරයෙන් තම භූමි ප්‍රදේශ පාලනය කරනු ඇත. අන්තවාදී කණ්ඩායම් “අපගේ ජාතියට ශක්තිය සහ පුනර්ජීවනය ලැබීම සඳහා මහල්ලන්ට සහ දුර්වලයන්ට මිය යන්නට දෙන්නැ”යි කියන නාසි උපාය මාර්ගය ඉදිරිපත් කිරීමට හැකිය. (එෆ්.බී.අයි විසින් රැස් කර ගනු ලැබූ රහස් තොරතුරු වලට අනුව, දැනටමත් ඇතැම් කණ්ඩායම් කොරෝනා වෛරසය පොලිස් භටයන්ට සහ යුදෙව්වන්ට බෝ කරන ලෙසට එය ආසාදනය වූ තම සාමාජිකයින්ව උනන්දු කරවයි).

ඒ ආකාරයෙන් ම්ලේච්ජත්වය කරා පිරිහුණු වඩාත් ශෝධිත ධනවාදයක් ගැන දැනටමත් එක්සත් ජනපදය තුළ කතාබහට ලක් වෙමින් පවතී. පසුගිය මාර්තු දෙවන ඉරිදා සවස කැපිටල් අකුරින් ලියූ ට්වීටර් පණිවිඩයක් තුළ එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය: “අපට ප්‍රතිකාරය ගැටළුවට වඩා නරක දෙයක් වීමට ඉඩ දිය නොහැකිය. දින 15ක කාල පරිච්ජේදයකින් පසුව අප කුමන මාර්ගයේ ගමන් කරන්නේදැයි තීරණය කරන්නෙමු.” කොරෝනා වෛරස් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන උප ජනාධිපති මයික් පෙන්ස් එදිනම පෙරවරුවේ පැවසුවේ දැනටමත් කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති පුද්ගලයන් හට ඉක්මනින්ම නැවත වැඩට යාමට ඉඩ සලසන මග පෙන්වීම් රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ ෆෙඩරල් මධ්‍යස්ථාන විසින් ඉදිරියේ එන සඳුදා දිනයේ නිකුත් කරනු ඇති බවයි. තවද, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සංස්කාරක මණ්ඩලය අනතුරු හැඟවූයේ “2008-2009 කාලයට වඩා ආර්ථික අවපාතයේ හානිය අඩු කරගැනීම සඳහා ෆෙඩරල් සහ ප්‍රාන්ත නිලධාරීන් කොරෝනා වෛරසයට එරෙහි තම උපාය මාර්ග ගලපා ගත යුතු” බවයි.

ට්‍රම්ප්ගේ සමීප නිරීක්ෂණයට ලක් වන “නිව්යෝර්ක් ටයිම්ස්”හි ගතානුගතිකවාදී කොලම් රචකයෙකු වන බ්‍රෙට් ස්ටෙෆන්ස් පවසා ඇත්තේ “අප වෛරසයට වඩා බලවත් විසඳුමක් සොයා ගන්නා තෙක් කොරෝනා වෛරසය දෙවන ලෝක යුද්ධය සමග සැසඳිය හැකි තරමේ තර්ජනයක් ලෙසින් සැලකීම තදබල ලෙස ප්‍රශ්න කළ යුතුව ඇති” බවයි. ටෙක්සාස්හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා වන ඩෑන් පැට්‍රික් “ෆොක්ස්” නිව්ස් වෙත ගොස් තර්ක කළේ මහජන සෞඛ්‍ය ක්‍රියා මාර්ග විසින් එක්සත් ජනපද ආර්ථිකයට හානි කෙරෙණු දැකීමට වඩා තමන් මිය යාමට සූදානම් බවය. එසේම ඔහු තව දුරටත් පැවසුවේ රට පුරා වෙසෙන වැඩිහිටි ඥාතීන් රැසක් තමන් සමග එකඟ වනු ඇති බවයි. ඔහු මෙලෙස පැවසීයThe New York Times's Bias Should Not Surprise Us Anymore

“මගේ පණිවිඩය මෙයයි. අපි නැවත වැඩට යමු; අපි නැවත ජීවිතය පටන් ගමු; අපි ඒ ගැන බුද්ධිමත්ව වැඩ කරමු. අප අතර සිටින වයස 70ට වැඩි පුද්ගලයන් අපේ ආරක්ෂාව අපම සලසා ගනිමු.”

මා දන්නා තරමින් මෑතකාලීනව එවන් ප්‍රවේශයක් අනුගමනය කරන ලද එකම අවස්ථාව වූයේ රුමේනියාවේ චව්චෙස්කුගේ පාලනයේ අවසන් වසර කිහිපයයි. එහිදී විශ්‍රාමික පුද්ගලයන් කුමන සෞඛ්‍ය තත්ත්වයක සිටියද ඔවුන්ව රෝහල්වලට ඇතුලත් කර නොගන්නා ලදී. මන්ද යත්, ඔවුන් තවදුරටත් කිසිදු ලෙසකින් සමාජයට ප්‍රයෝජනවත් අය ලෙසින් නොසලකන ලද බැවිනි. එවන් විනිශ්චයන් මගින් දෙනු ලබන පණිවිඩය ඉතාම පැහැදිලිය: තෝරා ගැනීම ඇත්තේ ගණනය කළ නොහැකි නැතහොත් අති මහත් ප්‍රමාණයක මානවීය ජීවිතත් ඇමෙරිකානු (එනම්, ධනවාදී) ජීවන මාදිලියත් අතරය. මේ තෝරා ගැනීම තුළ අහිමි වන්නේ මානව ජීවිතයි. නමුත්, එකම තෝරා ගැනීම මෙයද? අප දැනටමත්, එක්සත් ජනපදය තුළ පවා, වෙනස් යමක් කරමින් නොසිටිමුද?

ඇත්ත වශයෙන්ම, සමස්ත රටක්ම හෝ ලෝකයම පවා කාල නියමයකින් තොරව අගුළු ලා තැබිය නොහැකිය. නමුත්, එය පරිවර්තනයට ලක් කිරීමට සහ නව ආකාරයකින් නැවත පටන් ගැනීමට හැකිය. මට මෙහිදී භාවාතිශය අගතීන් කිසිවක් නොමැත. අපට කුමක් කරන්නට සිදු වේදැයි දන්නෝ කවරහුද? ඒ අත්‍යවශ්‍ය සමාජ සේවාවන් පවත්වා ගැනීම සඳහා රෝගය සුව වී ප්‍රතිශක්තීකරණය ලබා ගත්තවුන් ඒකරාශී කිරීමේ පටන් තවදුරටත් ජීවත් වීම යනු තේරුමක් නැතිව දිග් ගැසුණු වේදනා විඳීමක් පමණක් බවට පත් වූ අය හට වේදනා රහිතව මිය යාමට හැකි වන ආකාරයේ බෙහෙත් පෙති සූදානම් කර තැබීම දක්වා වූ දේවල් විය හැකිය. නමුත්, අපට තෝරා ගැනීමක් තිබෙනවා පමණක් නොවේ; අපි දැනටමත් තෝරා ගැනීම් සිදු කරමින් සිටින්නෙමුCoronavirus: Three out of four Americans under some form of ...

පවත්නා අර්බුදය වනාහී රාජ්‍ය බලය තම කාර්ය භාරය ඉටු කළ යුතු වූත් අප නුදුරු අනාගතයේදී කිසියම් ආකාරයේ සාමාන්‍ය තත්ත්වයක් ප්‍රතිස්ථාපනය වේය යන අපේක්ෂාවෙන් යුතුව රාජ්‍යයේ උපදෙස් පිළිපදිමින් සිටිය යුතු වූත් අදේශපාලනික මොහොතක් ලෙස දකින්නන්ගේ ස්ථාවරය බරපතල අත් වැරැද්දක් වන්නේ මෙනිසාය. අප මෙහිදී රාජ්‍යයේ නීති සම්බන්ධයෙන් ඉමෑනුවෙල් කාන්ට් ලියූ පහත දැක්වෙන ප්‍රකාශය අනුගමනය කළ යුතුය:

“ගරු කරන්න, නමුත් සිතන්න, චින්තනයේ නිදහස පවත්වා ගන්න.”

අද දිනයේ අපට අන් කිසිදු කලකට වඩා කාන්ට් “තර්ක බුද්ධියේ මහජන භාවිතය” යැයි කියූ දෙය වුවමනා වේ.

වසංගත නැවත පැමිණෙනු ඇති බව පැහැදිලිය. ඒ නියඟවල සිට පළඟැටි තර්ජන දක්වා වන සෙසු පාරිසරික තර්ජන සමග බද්ධ වෙමිනි. ඉදින්, දැන් අසීරු තීන්දු තීරණ ගත යුතුව තිබේ. මෙය සාපේක්ෂ වශයෙන් අඩු මරණ සංඛ්‍යාවක් සිදු වන තවත් එක් වසංගතයක් පමණක් යැයි පවසන්නන් හට නොවැටහෙන කාරණය මෙයයි. ඔව්, මෙය තවත් වසංගතයක් බව සැබෑය. නමුත්, මෙවන් වසංගත පිළිබඳව අතීතයේ කරන ලද අනතුරු හැඟවීම් සහමුලින්ම යුක්ති සහගත බව දැන් අපට පෙනේ. එසේම, ඒවායෙහි අවසානයක් නොමැත. අපට සැබවින්ම “නරකම දේ සිදු වූවා…මධ්‍යතන යුගයේ වසංගත ගැන හිතන්න…” යන යටහත් පහත් “ප්‍රඥාවන්ත” ආකල්පය ඇති කර ගත හැකිය. නමුත්, මේ සංසන්දනය කරන්නට සිදු වීමම අපට බොහෝ දේ පවසයි. අප මේ අත් දකින කලබලකාරීත්වය කිසියම් ආකාරයක සදාචාරාත්මක ප්‍රගතියක් සිදු වෙමින් තිබේය යන කාරණයට සාක්ෂි දරයි; එය ඇතැම් විට කුහක එකක් පවා විය හැකිය: එනම්, අප තව දුරටත් වසංගත අපගේ දෛවය ලෙස භාර ගන්නට සූදානම් නැත යන්නයි.

“කොමියුනිස්ට්වාදය” පිළිබඳ මගේ සංකල්පය පැමිණෙන්නේ මෙතැනදීය. එය පැමිණෙන්නේ ගූඪ සිහිනයක් ලෙසින් නොව දැනටමත් සිදු වෙමින් පවතින (නොඑසේනම්, අඩු තරමින් බොහෝ දෙනෙකුට අවශ්‍ය යැයි හැඟෙන) දෙයකට කියන නමක් ලෙසිනි. දැනටමත් සලකා බලමින් තිබෙන නැතහොත් අර්ධ වශයෙන් ක්‍රියාවට පවා නගමින් තිබෙන ක්‍රියා මාර්ග ලෙසිනි. එය දීප්තිමත් අනාගතයක් පිළිබඳ දැක්මක් නොවේ. නමුත් “ආපදා ධනවාදයට” එරෙහි විෂ නාශකයක් වන “ආපදා කොමියුනිස්ට්වාදයකි.”

මුහුණු ආවරණ, පර්යේෂණ කට්ටල, සහ ආශ්වාසයකයන් යනාදී ඉක්මණින්ම අවශ්‍ය වන දේවල් නිපදවීම සංවිධානය කරමින්ද, හෝටල් සහ සෙසු නවාතැන් හල් හුදෙකලා කරමින්ද, අලුතින් විරැකියා පෝලිමට එක් වූ සියලුම දෙනාට අවම පැවැත්මක් සහතික කරමින්ද, මේ සියලුම දේ වෙළඳපළ යාන්ත්‍රණයන් නොතකා හරිමින් ක්‍රියාවට නගමින්ද, රාජ්‍යය ඉතාම සක්‍රීය භූමිකාවක් භාර ගත යුතු වනවා පමණක් නොවේ. සංචාරක කර්මාන්තය වැනි අංශවල සිටින මිලියන ගණනක් දෙනා ගැන සිතන්න; අඩු තරමින් කිසියම් කාලයකට ඔවුනගේ රැකියාවන් නැති වී යනු ඇත; නොඑසේනම්, ප්‍රයෝජනයක් නැතිව යනු ඇත. ඔවුනගේ ඉරණම හුදෙක් වෙළඳපළ යාන්ත්‍රණයන්ට හෝ එක වරක් පමණක් ගෙවන පාරිතෝෂිකයකට භාර දිය නොහැකිය. එසේම, සරණාගතයින් තවමත් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ දරමින් සිටින බව අප අමතක නොකළ යුතුය. වසංගතයකට ලක්ව අගුළු ලා තිබෙන ප්‍රදේශයක් ඔවුනට තවමත් ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස පෙනේ නම්, ඔවුනගේ අපේක්ෂා භංගත්වය ගැන සිතා ගැනීමටවත් නොහැකිය.

තවත් දේවල් දෙකක් පැහැදිලිය. ආයතනික සෞඛ්‍ය පද්ධතියට ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සහයෝගය මත රඳා පැවතීමට සිදු වනු ඇත. ඒ දුබලයන් සහ මහල්ලන් රැක බලා ගැනීම පිණිසය. එසේම, අනෙක් අන්තයෙන් අවශ්‍ය සම්පත් නිපදවීම සහ බෙදා හැරීම සඳහා කිසියම් ආකාරයක කාර්යක්ෂම ජාත්‍යන්තර සහයෝගීතාවක් සංවිධානය කර ගත යුතුය. රාජ්‍යයන් නිකම්ම හුදෙකලා කොට දැමුව හොත්, යුද්ධ ඇවිලෙනු ඇත.

මා “කොමියුනිස්ට්වාදය” ගැන කතා කරන විට අදහස් කරන්නේ මේ ආකාරයේ වර්ධනයන්ය. එසේම, නව ම්ලේච්ජත්වයක් හැරෙන්නට මම එයට කිසිදු විකල්පයක් දකින්නේ නැත. එය කොතරම් දුරට වර්ධනය වනු ඇත්ද? මට එය කිව නොහැකිය. මා දන්නේ එහි අවශ්‍යතාව සෑම තැනකම වහ වහාම දැනෙමින් තිබෙන බව පමණි. එසේම, කොහෙත්ම කොමියුනිස්ට්වාදියෙකු නොවන බොරිස් ජොන්සන් වැනි දේශපාලකයන් එය ක්‍රියාවට නගමින් සිටින බවද පෙනේ.Žižek and the Paradoxical Privatization of… Communism | Polity

ම්ලේච්ජත්වවාදයෙන් අපව වෙන් කරන රේඛාවන් ඉතාම පැහැදිලිව ඇඳී ඇත. අද දිනයේ ශිෂ්ටාචාරයේ එක් සංඥාවක් නම් ලෝක ගෝලය වෙලා ගත් විවිධාකාර යුද්ධ දිගටම පවත්වාගෙන යාම සහමුලින්ම උමතු සහ නිරර්ථක දෙයක්ය යන හැඟීම වර්ධනය වීමයි. අප මුහුණ දෙමින් සිටින අර්බුදයේ මට්ටම හා සැසඳූ කල සෙසු ජන වර්ග සහ සංස්කෘතීන් කෙරෙහිත් ලිංගික සුළුතරය කෙරෙහිත් දක්වන නොරුස්සන සුළු බව කිසිදු වැදගැම්මකට නැති දෙයක්ය යන අවබෝධයද එවැන්නකි. ඇතැම් යුද කාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය වුවද, කොරෝනා වෛරසයට එරෙහි අපගේ අරගලය සඳහා “යුද්ධය” යන යෙදුම භාවිත කිරීම ගැටළුකාරී යැයි මා සිතන්නේ මෙනිසාය. වෛරසය යනු අපව විනාශ කිරීමේ සැලසුම් සහ උපාය මාර්ග සහිත සතුරෙකු නොවේ. එය හුදෙක් මුග්ධ ලෙස තමාවම පිටපත් කරමින් යන යාන්ත්‍රණයක් පමණි.

පැවැත්ම පිළිබඳ අපගේ ග්‍රස්තිය හෙළා දකින්නවුන් හට මග හැරෙන කාරණය මෙයයි. මෑතකදී අලෙන්ක සුපැන්ජිච් මානව වර්ගයා න්‍යෂ්ටික ස්වයං-විනාශයකට ලක් වේය යන තැති ගැන්ම ගැන ශීත යුද කාලයේදී ලියැවුණු මොවිස් බ්ලොෂෝගේ ලියැවිලි නැවත කියැවීය. පැවැත්ම සඳහා වන අපගේ අසරණ ප්‍රාර්ථනාවෙන් හැඟවෙන්නේ “වෙනස් වීම ගැන අමතක කරන්න, අපි මේ පවතින තත්ත්වය තුළම ආරක්ෂිතව ඉඳිමු, අපි අපේ නග්න ජීවිත රැක ගනිමු” යන ස්ථාවරය නොවන බව බ්ලොෂෝ පෙන්වා දෙයි. සැබවින්ම සත්‍ය වන්නේ එහි අනෙක් පැත්තයි: අප නව මානවීයත්වයක් නිර්මාණය කරන්නේ මානව වර්ගයා ස්වයං-විනාශකාරීත්වයකින් ගලවා ගන්නට දරන ප්‍රයත්නය තුළින්මය; අපට එක්සත් මානවීයත්වයක් පෙරදැකිය හැක්කේ මේ මාරාන්තික තර්ජනය තුළින්ම පමණකි.

පරිවර්තනය: සුමිත් චාමින්ද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *