අත්හරිමි…… එතැන් සිට පෙම් කරමි……..

පේ‍්‍රමය යනු පාලනය අතහැරීමයි.
-පාවුලෝ කොයියෝ – පියෙද්‍රා ගඟබඩ හිඳ මම වැළපීමි –
ඒ මා මෙතෙක් පේ‍්‍රමය ගැන කියවූ අගනාම කියවීමයි. හදවත් අල්ලාගත් පළමු මොහොතේ සිට ම අනෙකාව තමන්ට රිසි සේ තම රාමුවට ගළපාගන්නට උත්සාහ කරන කල පාලනය අත්හළ පේ‍්‍රමයක හැඟීම අපි කිසිවෙකුත් කිසිදා අත්විඳ ඇත් ද?පාලනය අත්හිරින තැන ඇත්තේ පේ‍්‍රමයයි. තම සිත් ගිය නෙත් ගිය රුව හමුවන තෙක් ඔහුගේ හෝ ඇයගේ සියළු ගුණ අගුණ ඇවතුම් පැවතුම් සිනාමුසු මුහුණින් විඳගන්නා අප ඒ හදවතට අයිතිවාසිකම් හිමිවන පළමු අවස්ථාවේ සිට ම වෙහෙසෙන්නේ ඔහු හෝ ඇය අපේ හදවත් තුළ ඇති අච්චුවකට දමා අපට රිසි සේ වෙනස් කරගන්නටය.

හදවත් හිමිවන්නට පෙර සිනහවෙන් ඉවසූ අනෙකාගේ අඳුරු තැන් රුදුරු තැන් අපට කැපී පෙනෙන්නට ගන්නේ එවිටය. අප ඊට කිපී අනෙකාට වෙනස් වෙන්නට බලකරන්නේත් එවිටය. එසේ බලන කල අප ළංකර ගන්නේ අප පේ‍්‍රම කරන උන් හෝ අපට පේ‍්‍රම කරන උන් හෝ නොව අපට රිසි සේ වෙනස් කරගන්නට හැකි යැයි අපට හිතෙන උන්ය. එවැනි ඇරඹුමක් ඇති පේ‍්‍රමයක කිසිදා පාලනය අත්හළ පේ‍්‍රමයක හැඟීම අල්ප මාත‍්‍රයක් හෝ අපට විඳගත නොහැකිය. එනිසාම එවැනි පේ‍්‍රමනීය හදවත් මේ මහපොළව මත දුලබය. නැති තරම්ය.

නීති දමා වැටකොටු බැඳ පරිස්සම් කරන තැන පේ‍්‍රමය නැතුවා ම නොවේ. සමහරවිටෙක පේ‍්‍රමය දැනෙන්නට එවැනි සීමා මායිම් තිබිය යුතු බව ඔබ ද අදහනවා විය හැකිය. එහෙත් මොහොතක් සිතන්න. පේ‍්‍රමයක් ඇති තැනක එකඳු මොහොතක හෝ එය නොදැනී යා හැකි ද? කවර මොහොතක හෝ එය ඇඟිල්ලෙන් ඇන අනෙකාට දැනවිය යුතු ද? පේ‍්‍රමය දැනෙන තැන ජීවිතය අමතක නොවී ජීවත්වන බව ද ඒ මොහොතේ ම දැනිය යුතුයැයි මම විශ්වාස කරමි.

හැම හදවතක් තුළ ම පේ‍්‍රමයේ සිහිල් දිය දහරක් නිහඩවම ගලා යන්නේ ය. ඒ කවුරුන් හෝ පැමිණ සිරවී තිබූ උල්පතක් පෑදූ පසුය. එසේ උල්පත් පාදන්නේ සැබැවින් ම පේ‍්‍රමණීය මිනිසුන් ය. පේ‍්‍රමණීය ගැහැණුන් ය. ඔවුන් සමුගත් පසු ද ඔවුන් ගැන තෙතබරිත මතකයන් හදවත් තුළ ඉතිරි වන්නේ ඒ නිසා ය.

ඉන් පසු ඔවුන් අප හැරගොස් කවුරුන් ආ ගිය ද හදවත් තුළ දලූ මල් පුබුදුවන්නේ ඔවුන් අවදි කළ පේ‍්‍රමයේ උල්පතින් ගලා යන නිහඬ දිය දහර ය. එවැනි හිත් හිමිවන්නේ කලාතුරකිනි. පේ‍්‍රමයේ අරුමැසිය කියා දී ඔවුහු නිහඬව ම නික්ම යන්නෝ ය. ඒත් ඔවුන්ගේ පියවර හඬ අප හදවත් තුළ සදාකල් දෝංකාර දෙනු වළක්වාලිය ද නොහැකිය.

සියල්ල වෙනස් වන ලෝකයක පේ‍්‍රමය පමණක් නොවෙනස් ව පවතිනු ඇතැයි මම විශ්වාස නොකරමි. එහෙත් මට මා විය හැකි තැනක ඔබට ඔබ විය හැකි තැනක අපට නවතින්නට නොව අලූත් ගමනක නොබිඳෙන ගමනක් ඇරඹිය හැකි නම් ඉන් එහා ලබන්නට ජයක් ඇතැයි මම නොසිතමි.

අප හමුවන තෙක් වෙන් වෙන් ව ආ ගමනක ඔබට සේ ම මට ද අපට වෙන්වූ සිහින තිබේ. එතෙක් අප ජීවත් කරවූ අප‍්‍රමාණ බලාපොරොත්තු තිබේ. ඔබ හමුවූ පමණින් ඒ සියල් බලාපොරොත්තු ඉටුවේ යැයි සිතන්නට තරම් මම බොළඳ නොවෙමි. ඔබ සමග යන ගමනක ඔබ සමග මගේ සිහින ඉටුකරගන්නට මම අලූත් සිහිනයක් දකිමි. ඒ මග වැටෙන බිඳෙන තැන්වල නොවැටෙන්නට නොව මා හා වැටී නැගිටින්නට හෝ වැටුණු මට නැගී සිටින්නට හිත දෙන අයෙකු වී නම් ඔබ, එය මට පහදා දිය නොහැකි චමත්කාරයක් බව පමණක් කියමි.

එහෙත් ඔබ කිසිදා මා වෙනුවෙන් ඔබේ සිහින රිදවා නවතා ගන්නේ නම් ඔබ ව මා වෙනුවෙන් කැප කරන්නේ නම් මම ඔබට පිටව යන්නට අවසර දෙමි. ඔබ ඔබේ සිහින ඉටුකරගන්නා ගමනට සෙවණැල්ලක් මිස බාධකයක් වන්නට වේ නම් මම එතැන පේ‍්‍රමය ඇතැයි නොඅදහමි. එතැන ඇත්තේ ආත්මාර්ථය පමණි.

ඔබේ සිහිනය ඔබ පමණක් දකින ඔබට පමණක් අගය ඇති සිහිනයක් නිසා ඒ සිහිනවලට ද සැබෑවන්නට අයිතියක් ඇත. ඒ නිසා ම ඔබ ඔබේ සිහින හඹා යා යුතුය. එහෙත් අඳුරු තැන් රුදුරු තැන් හමුවන එහෙව් ගමනක සවියට තනියට අල්ලා ගන්නට අතක් හිතක් තිබිය යුතුම ය. එබැවින් ම මා නිතැතින් ම ඔබ අසල හිඳිමි. ඔබට රිසි සේ ඉගිළෙන්නට ම නොවේ තුරු වදුලූ කඳු මුදුන් මත හැපී රිදෙන්නට ද මල් ගොමු අතර දැවටී සිහිල් දිය යට කිමිදී සැනසෙන්නට ද මම ඉඩ හරිමි. හදවත කූඩුවක් නොකොට දොර හැර තබමි. එහෙත් රිදී පැරදී එන විටෙක හදවතට ගෙන ලොවෙන් සඟවා අත් තටු පිරිමැද බිඳුණු සිත් පිරිමැද යළිත් ඔබ අතහරිමි. ඔබට රිසි ඔබේ සිහිනය දිනාගන්නට ඔබේ මාවතට. එසේ රිදුණු බිඳුණු මා හද ද පේ‍්‍රමයෙන් නිවා තවා සිහින මාවතට යළිත් ඇරලවන ඔබට හැර සිහින දිනාගත් දිනක එහි සතුට අන් කවරෙකු හා විඳගන්න ද මම.

එහෙත් අත් හරින්නට යැයි කියන විට පවා තදින් අල්ලා වැළඳගන්නට සිතෙන විට ඔබ ව, පාලනය අතහැර පේ‍්‍රම කරන්නට හැකි ද යන්න මම තනිවමම යළිත් සිතා බැලීමි. පෙර කී සේ ම ඔබට පෙරත් ආ ගිය උන් ඇති හදවත තුළ මේ තරම් පේ‍්‍රමයේ සුවඳැති කුසුම් කිසිදාක පිපී නැත. ඒ සුවඳැති කුසුම් ඔබ පෑදූ නිසල දිය උල්පතේ අරුමය ය. ඔබ අවදි කළ පේ‍්‍රමයේ දිය උල්පත හදවතම තෙතබරිත කොට ගලායද්දී මම සෙමෙන් ඔබේ අත අතහරිමි. තදින් අල්ලා රිදවන තැනක හදවත් නතර කළ යුතු නොමැති නිසා ම බොහෝ කලකට පසුව මම පාලනය අතහරිමි. ඒ මොහොතේ සිට මම ඔබට පේ‍්‍රම කරමි.

ඔබට රිසි සිහින හඹා යන්නට ඔබට දැන් හැකි ය. ඔබ කැමති උස් කඳු මුදුන් මත නැවතී පියාපත් විහිදා තරු අතර පියාඹා යා හැකි ය. ඔබ කැමති මල් ඉති ළඟට ළංවී එහි සුවඳ විඳගත හැකි ය. ගැඹුරු නිසල දිය මත ඔබේ අත් තටුවලින් ජල තරඟ නැංවිය හැකිය. රිසි ම නම් කවුළු හැර ඇති හදවතක ලැගුම් ගත හැකිය. එතැන නැවතී දිනාගත් සිහින වෙනුවෙන් සව්දිය පිරිය හැකි ය.
එහෙත් රිදුණු තැවුණු විටෙක අවැසි නම් මම ඔබ වෙනුවෙන් ඔබ අසල නිති රැඳෙමි. හදවතින්.

ඔබ ව සිහිනයක් කර මම ඔබ ව හඹා එමි. ඔබට නොදැනෙන්නට. ඔබට නොරිදෙන්නට. එහෙත් සෑම සිහිනයක් ම සැබෑ නොවන බව සේ ම ඇතැම් සිහින බිඳි යන බව ද මම තරයේ සිත තබාගමි. එවිට සිහින බිඳුන ද ඔබට ද මට ද නොරිදෙනු ඇත. පේ‍්‍රමය පමණක් ම ඉතිරිවනු ඇත.

ඔබ ව හමුවනු රිසි විට නෙත් පියා මා හදට කන් දෙමි. ඔබ අවදි කළ පේ‍්‍රමයේ දියදහර සෙමෙන් මා හද මැද ගලා යන නිහඬ හඬ අසමි. යළිත් ඔබ එනතුරු මග බලා හිඳිමි. රිදුණු තටු පිරිමදින්නට මල් පෙති සෙමෙන් පුබුදමි. උස් තුරු වියනින් සෙවිලිකර පේ‍්‍රමයේ දියදහර සිඳී යා නොදී රැකගමි.

මේනුකා දම්සරණී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *