වසන්ගතය ! – කොවිඩ් 19 ලොව සසල කරයි – (අවසන්) කොටස

හැඳින්වීම

මා ස්ලෙවෝයී ශිෂෙක්ගේ “Pandemic!” කෘතියේ හැඳින්වීම සිංහලට පරිවර්තනය කළේ පසුගිය අප්‍රේල් මස 25 වනදාය. ඉන් හරියටම සති හයක කාලයක් ගත වන අද දිනය වන විට සමස්ත කෘතියේ සම්පූර්ණ පරිවර්තනයක් ඔබ වෙත ලබා දෙන්නට හැකි වීම ගැන මා තුළ ඇත්තේ අවංක සතුටකි. මේ කොටස පළ වීමත් සමග ශිෂෙක්ගේ නවතම කෘතිය සිංහල බසින් පළ කිරීමේ ව්‍යාපෘතිය නිමා වෙයි. සම්පූර්ණ කෘතිය PDF ආකෘතියට සකසා ඔබට නොමිළයේ බාගත කර ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීම පමණි, කරන්නට ඉතිරිව ඇත්තේ.

මේ ව්‍යාපෘතියේ අරමුණ වූයේ පෙර නොවූ විරූ ගෝලීය අර්බුදයක දිය සුළියට හසුවෙමින් සිටින ශ්‍රී ලංකා දූපතේ අප හට එම අර්බුදය වටහා ගැනීමට උපකාර විය හැකි සංකල්පීය කව්ළුවක් විවර කර ගැනීමය. ඒ සඳහා සමකාලීන ගෝලීය බුද්ධිමය සංවාදය වෙතට කිසියම් ප්‍රවේශ මාර්ගයක් තනා ගත යුතු වීම නොවැලැක්විය හැකිය. මෙරට මැතිවරණ සහ පක්ෂ දේශපාලනයේ සීමිත රාමුව තුළ කොටුවී තිබෙන ඒකාකාරී දේශපාලන සංවාදය වෙනස් කළ හැකි වන්නේ එසේ පිටත ලෝකයේ සංවාදයට විවෘත වීම මගින් පමණි.

ඒ සමගම කිව යුත්තක් නම් මේ කෘතියේ කතුවරයා සතුව අපගේ සමකාලීන පැවැත්මේ අර්බුදය සඳහා අවිවාදිත පිළිතුරු තිබේ යැයි අප කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැති බවයි. (එවන් විසඳුම් ඇත්තේ කව්රුන් සතුවද?) නමුත්, ඔහු මේ අර්බුදයේ නිමේෂය තුළ සිදු කොට ඇති බුද්ධිමය සහ දේශපාලනික මැදිහත්වීමේ වැදගත්කම වත්මන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව කිසියම් හෝ අවබෝධයක් ඇති කිසිවෙකුටත් බැහැර කළ හැකි යැයි අපි නොසිතමු.

Picture of Slavoj Zizek

පැහැදිලිවම තවත් මෙවන් මැදිහත්වීම් රැසක් ඇත. කොරෝනා වෛරස් වසංගතය හමුවේ ගොඩ නැගෙමින් තිබෙන අධිකාරීවාදී සමාජ පාලනය පිළිබඳව ජියෝජි අගම්බෙන්ගේ විග්‍රහය ඒ අතුරින් ප්‍රමුඛය. “හෝමෝසේෆියන්ස්” කෘතියේ කතෘ යුවාල් නොවා හරාරිගේ අදහස් දැක්වීමද බොහෝ දුරට ඒ හා සමාන්තරව යයි. වෛරසයේ ප්‍රහාරය හමුවේ යුරෝපා සංගම් ව්‍යාපෘතිය තුළ කවර පරිවර්තනයක් සිදු වෙමින් තිබේද යන්න වටහා ගැනීමට අප සවන් දිය යුතු බුද්ධිමතුන් ගණනාවක් සිටී. යානීස් වරූෆකීස් ඒ අතුරින් ප්‍රමුඛය. ෂන්තාල් මූෆ් ඇතුළු ලැක්ලාවියානු පශ්චාත්-මාක්ස්වාදී පාසැල දේශපාලන විද්‍යා විශ්ලේෂණය අතින් පමණක් නොව වාමාංශික උපාය මාර්ග සංකල්පගත කිරීම අතින්ද ඉතාම වැදගත්ය. වත්මන් අර්බුදයට පෙර ලියැවුණු කෘතියක් වුවද මූෆ්ගේ “For a Left Populism” (2018) සමකාලීන අර්බුදයට මුහුණ දීමේ වාම උපාය මාර්ගයක් ගැන සිතීමේදී අප ඉක්මණින් සාකච්ජාවට ගත යුතු යැයි සිතමි.

මෑතකදී මා සමග දීර්ඝ දුරකථන සංවාදයක නිරත වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මට යෝජනා කළේ අප ඉක්මණින්ම අන්තෝනියෝ නෙග්‍රි සහ මයිකල් හාඩ්ගේ මෑතකාලීන කෘතීන් කිහිපයද නැවත කියවා බැලිය යුතු බවයි. ඔවුනගේ “Empire” කෘතිය තුළ ධනවාදී ගෝලීයකරණය තේරුම් කරනු ලැබ ඇති ආකාරය සමග අපට යම් යම් නොඑකඟතා තිබුණද (ඒ කාරණයේදී අපට වඩාත් ඒත්තු යන්නේ නව-ලිබරල්වාදය හෙජමොනික ව්‍යාපෘතියක් ලෙස තේරුම් කරන ඩේවිඩ් හාවීය), විප්ලවීය ඒජන්තයා පිළිබඳ ගැටළුවේදී ඔවුන් ඉදිරිපත් කරන අදහස් නැවත සලකා බැලිය යුතුය යන්න මගේ දේශපාලන විද්‍යා ගුරුවරයාගේද යෝජනාවයි.

එසේම, ලෝකයේ අප ජීවත් වන කලාපයේ අරුන්දතී රෝයි, රාමචන්ද්‍ර ගුහා යනාදී වාමාංශික බුද්ධිමතුන් විසින් මේ දිනවල සිදු කෙරෙමින් පවතින බුද්ධිමය මැදිහත්වීම් ගැනද අප ඉදිරියේදී සුවිශේෂී අවධානයක් දැක්විය යුතුව ඇත. අප ප්‍රශ්නය වටහාගත යුත්තේ ගෝලීයව වුවත් එයට මුහුණ දිය යුතුව ඇත්තේ බොහෝ විට කලාපීයව සහ දේශීයවය. කොරෝනා අර්බුදයේ දේශපාලන සහ සමාජයීය ගම්‍යතා ගැන ශ්‍රී ලංකාවේ හරවත් සාකච්ජාවක් තවමත් ආරම්භ වී නොතිබුණද, ඉන්දියාවේ ඉතාම වැදගත් දේ ලියැවෙමින් සහ විවාදයට ලක් වෙමින් ඇත. අප වහාම ඒවා කියවන්නට සහ සාකච්ජාවට ලක් කරන්නට වෙලාව සොයා ගත යුතුය. අපට අපගේම විශ්ලේෂණයක් ගොඩ නගා ගත හැක්කේ මෙසේ පවත්නා දැනුමේ නවතම වර්ධනයන් ඇසුරු කිරීමෙන් මිස දැනටමත් අප දන්නා දේ පුනරුච්ජාරණය කිරීමෙන් නොවේ. මේ චින්තකයින් කියන්නට යන දේ අප දැනටමත් දන්නවා යැයි සිතා ගැනීමෙන්ද නොවේ.

දැන් සිදුවීම් බොහෝ වේගවත්ය. පෝලන්තයේ පරිවර්තනීය යුගයක මධ්‍යයෙහිම සිටි ලේක් වැලේසා වරක් ප්‍රකාශ කළ පරිදි “දේවල් කොතරම් වේගයෙන් සිදු වන්නේද යත් අප හට විශ්මයට පත් වීමටවත් වෙලාවක් නොමැත.” සිදුවීම්වල මේ වේගවත්භාවය ග්‍රහණය කර ගන්නට නම් අප දැන් දෙගුණයක් වේගයෙන් වැඩ කළ යුතුව තිබේ. ” ලුවිස් කැරොල්ගේ “Alice in Wonderland” කෘතියේ කියැවෙන පරිදි “අප දැන් සිටින තැනම සිටීම සඳහා හැකි තරම් වේගයෙන් දිව යා යුතුය; කොතැනකට හෝ යාමට නම් දෙගුණයක් වේගයෙන් දිව යා යුතුය.” අර්බුදයේ යුගයක වැඩෙහි නිරත වනවා යනු එයයි. අපේ යුගයේ වඩාත් සක්‍රීය ගෝලීය වාමාංශික බුද්ධිමතා, ස්ලේවෝයී ශිෂෙක්, අපට දී ඇති ආදර්ශය එයයි.

කොරෝනා අර්බුදය හමුවේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳව අඳුරු අසුබවාදී චිත්‍රයක් දිස්වෙමින් තිබුණද අද දිනයේ මිනියපොලිස් නගරයේ සිට ලොව පුරා පැතිරෙන සමාජ යුක්තිය සඳහා වූ විරෝධතාවයේ හඬ (එය හරයෙන් වාමාංශිකය) අපට පවසන්නේ අපගේ සුබවාදී අපේක්ෂාවන්ද කිසිසේත්ම අත් නොහළ යුතු බවයි. අවිනිශ්චිතතාවයේ මොහොත අල්ලා ගැනීමට වාමාංශික බලවේග සමත්ය. ඇතැම්විට, අපගේ ජීවිත කාලය තුළ අප මෙතෙක් දැක නොමැති ආකාරයේ පරිවර්තනීය කාල පරිච්ජේදයකට අප අවතීර්ණ වෙමින් සිටිනවා විය හැකිය.

නමුත්, ඒ පරිවර්තනය සිදු වනු ඇත්තේ කවර දිශානතියකටද? ශිෂෙක් පවසන ලෙසට නිදහස් වෙළඳපළවාදයේ සහ වාර්ගික අධිපතිවාදයේ නොහොත් ම්ලේච්ජත්වයේ දිශානතියටද? නොඑසේනම්, වෙළඳපලේ ඛණ්ඩාංකවලට පිටතින් නිෂ්පාදනය සහ බෙදාහැරීම සංවිධානය කර ගන්නා ගෝලීය සහයෝගීතාවයේ සහ පොදු සුබසාධනයේ නොහොත් “කොමියුනිස්ට්වාදයේ” දිශානතියටද? මෙය තීරණය වනු ඇත්තේ දේශපාලන අරගලය මගිනි. උදා වී ඇත්තේ ඉතිහාසයේ ඛණ්ඩනයේ නිමේෂයකි. අර්නෙස්ටෝ ලැක්ලාවූගේ වචනයෙන් කිව හොත් දේශපාලනිකයේ (the political) නිමේෂයකි. මේ විවිධ වාමාංශික කණ්ඩායම් තමන් සතු සියලු ශක්තීන් ගොණු කරගත යුතු කාලයකි. අවශ්‍යව ඇත්තේ විශ්වීය සහයෝගීතාවකි. නොසැලෙන අධිෂ්ඨානයකි; තත්පර ගණනින් ළඟ පෙනෙන තියුණු වේගවත් උපායික මනස්ය; සියවස් ගණන් දුර දකින පරිණත ගැඹුරු චින්තනයන්ය.

ශිෂෙක්ගේම වචනයෙන් කිව හොත් මේ උදාව ඇත්තේ සමාප්ත කාලයන්ය (End Times). වත්මන් ධනවාදී සංවර්ධනය තවදුරටත් පවතිනවා යනු මිනිස් වර්ගයාගේත් සමස්ත ජෛව ගෝලයේත් අවසානය ඉක්මණින් උදා වනවා යන්නයි. කොරෝනා වෛරසය යනු ඒ මහා ව්‍යසනයේ සංඥාවක් පමණි. ඒ අරුතින් මේ ඇරඹෙමින් ඇත්තේ අවසන් සටන (Endgame) යැයිද කිව හැකිය.

උපග්‍රන්ථය

මිතුරන්ගෙන් ලැබුණු ප්‍රයෝජනවත් ලිපි දෙකක්

මට පුද්ගලික පාපෝච්චාරණයකින් ආරම්භ කරන්නට ඉඩ දෙන්න. මම මුළු කාලයම කියවීමට සහ වැඩ කරන්නට සිදු වන නවාතැනක සිරවී සිටින්නට කැමැත්තෙමි. මා සංචාරයේ යෙදෙන විට වුවත් කැමති වන්නේ මා ගමන් කරන ස්ථානයේ ඇති මුළුමහත් ආකර්ෂණීය බවම නොතකා හැර කදිම හෝටල් කාමරයකට වී සිටින්නටය. ප්‍රසිද්ධ සිතුවමක් ගැන ලියැවුණු හොඳ රචනාවක් මට ජනයාගෙන් පිරුණු චිත්‍රාගාරයක් තුළදී එම සිතුවම නැරඹීමට වඩා බොහෝ අගනේය. නමුත්, දැන් මට මෙසේ සිරවී සිටින්නට බල කෙරී තිබීම ඉතාම අසීරු වූවක් යැයි දැනේ.

මට මෙය පැහැදිලි කිරීම පහසු වනු පිණිස අර්නස්ට් ලුබිච්ගේ “නිනච්කා” නමැති වැඩ සටහන් පෙළෙහි එන විහිළු කතාවක්, මුල් වරට නොවූවද, නැවතත් සිහිපත් කරන්නට ඉඩ දෙන්න:

“වේටර්, කරුණාකරලා ක්‍රීම් නැති කෝපි එකක් ගේන්න.”

“සමාවෙන්න සර්, අපි ළඟ ක්‍රීම් නැහැ. කිරි විතරයි තියෙන්නේ. කිරි නැති කෝපි එකක් ගෙනාවට කමක් නැද්ද?”Zizek – Senselogic

කරුණුමය තලයේදී කෝපිවල වෙනසක් සිදු නොවේ. වෙනස් වන්නේ ක්‍රීම් නැති කෝපි කිරි නැති කෝපි බවට පත් වීම පමණි. වඩාත් සරලව කිව හොත්, හඟවන ලද නිශේධනය එක් කොට නිකම් කෝපි එක කිරි නැති කෝපි එකක් බවට පත් කිරීමය. මගේ හුදෙකලාභාවයටද සිදුව ඇත්තේ එම දෙයමය. මේ අර්බුදයට පෙර එය “කිරි නැති” හුදෙකලාභාවයක් විය – මට එළියට යාමට හැකියාව තිබුණද මම නොයා සිටීමට තීරණය කළෙමි. දැන් එය නිශේධනයක වියහැකියාවක් නොහඟවන හුදෙකලාභාවයේ නිකම්ම කෝපිය.

රියෝ දි ජැනෙයිරෝහි වැඩ කරන ලකානියානු මනෝ විශ්ලේෂකයෙකු වන මා මිත්‍ර ගේබ්‍රියෙල් තුපිනම්බා මට මේ විරුද්ධාභාසය ඊමේල් පණිවිඩයකින් පැහැදිලි කළේය:

“වඩාත්ම කාංසා සහගතව සිටින්නේ සහ බෙලහීනත්වයේ නරකම ෆැන්ටසි වෙතට නිරාවරණය වී සිටින්නේ කොහොමටත් නිවසේ සිට වැඩ කළ අයවළුන්ය. මන්ද යත්, ඔවුන්ගේ පුරුදු චර්යාවන් වෙනස් කිරීමකින් හෝ ඔවුනට තම දෛනික ජීවිතයේ නිර්මාණය වී ඇති නව තත්ත්වයේ සුවිශේෂත්වය සලකුණු කළ නොහැකි නිසාය.”

ඔහුගේ තර්කය සංකීර්ණ වුවත් පැහැදිලිය. අපගේ දෛනික යථාර්ථයේ විශාල වෙනසක් සිදුව නැති නම්, අපට තර්ජනය දැනෙන්නේ කිසිදු තැනක දෘෂ්‍යමාන නොවන අවතාරමය ෆැන්ටසියක් ලෙසිනි; ඒ හේතුව නිසාම එය වඩාත් බලවත් වේ. නාසි ජර්මනිය තුළ යුදෙව් විරෝධය වඩාත් ප්‍රබල වූයේ යුදෙව්වන් සංඛ්‍යාව ඉතාම අඩු පෙදෙස්වල බැව් සිහිපත් කර ගන්න – ඔවුන්ගේ අදෘෂ්‍යමානභාවය ඔවුන්ව භයානක අවතාරයක් බවට පත් කළේය.

තුපිනම්බා ස්වයං-හුදෙකලාභාවයේ සිටියද දුරකථනය හෝ ස්කයිප් ඔස්සේ රෝගීන් විශ්ලේෂණය කිරීම කරගෙන යයි. මින් පෙර න්‍යායික හේතූන් මත රෝගීන් මුණ නොගැසී දුරකථනයෙන් හෝ ස්කයිප් ඔස්සේ මනෝ විශ්ලේශණීය ප්‍රතිකාර කිරීමට තදින්ම විරුද්ධ වූ මනෝ විශ්ලේෂකයින් රෝගීන් සෘජුව මුණ ගැසීම කළ නොහැක්කක් වූ විට සහ එයින් ඔවුනගේ ආදායම් අහිමි වීමක් අදහස් වූ විට වහාම එය භාරගත්තේ කෙසේදැයි ඔහු ඔහුගේ ලිපිය තුළ කිසියම් උත්ප්‍රාසයකින් යුක්තව සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ තර්ජනය පිළිබඳව තුපිනම්බාගේ ප්‍රථම ආවර්ජනාව වන්නේ එය “සන්තුෂ්ටියේ මූලධර්මයට ඔබ්බෙන්” යන රචනාවේ ආරම්භයේදී ෆ්‍රොයිඩ් සඳහන් කළ දෙයක් ඔහුගේ සිතට රැගෙන ආ බවයි: ෆ්‍රොයිඩ්ගේ සිතට වද දුන් ආරම්භක ප්‍රහේළිකාව වූයේ “යුද්ධයේදී තුවාල ලැබූ සොල්දාදුවන් කිසිදු අනතුරකට ලක් නොවී පැමිණි සොල්දාදුවන්ට වඩා හොඳින් ඔවුනගේ ක්ෂතිමය අත්දැකීම් සමග ගණුදෙණු කරන්නට සමත් වීමයි.” තුවාල නොලැබ පැමිණි සොල්දාදුවන් හට අනවරත සිහින දැකීම්, යළි සිතට නැගෙන ප්‍රචණ්ඩ දසුන් සහ යුද සමයේ ෆැන්ටසි තිබිණ. තුපිනම්බා මෙය 2013 වසරේ බ්‍රසීලයේ පැවති “ජූනි සවාරිය” නමැති ප්‍රසිද්ධ දේශපාලන උද්ඝෝෂණය පිළිබඳ ඔහුගේ මතකය සමග සම්බන්ධ කරයි.

“…විවිධාකාර සටන්කාමී සංවිධාන වලින් පැමිණි මගේ මිතුරන් බොහොමයක් උද්ඝෝෂණයේ පෙරමුණේම සිට පොලිසියේ පහර කෑම්වලට සහ තුවාලවලට ලක් වූහ; ඔවුන් එම පැවති වාතාවරණයෙන් “සලකුණු ලැබීම” මගින් කිසියම් ආකාරයක විෂයීය සහනයක් ප්‍රකට කළහ. එකල මගේ සහජඥානයට හසු වූ දෙයක් නම් ඔවුන් පහර කෑමෙන් ලත් තැළුම් විසින් ඒ මොහොතේ අධිපතිව පැවති අදෘෂ්‍යමාන දේශපාලන බලවේග ඔවුනට හසුරුවාගත හැකි පුද්ගලික පරිමාවකට සංකෝචනය කරන ලද බවයි. ඒ රාජ්‍යයේ ආශ්චර්යමත් බලයට කිසියම් සීමාවක් ලබා දීම මගින්ය. එය හරියට ශරීරවල වූ කැපුම් සහ තැළුම් අනෙකාට කිසියම් සීමාවක් ලබා දුන්නා සේය.”

(මෙහි “අනෙකා” යනු මතිබ්‍රමයක්ව හොල්මන් කරන්නා වූ මහා බලැති අදෘෂ්‍යමාන ඒජන්තයායි). මේ පරස්පරතාව එච්.අයි.වී අර්බුදය පැමිණි කාල පරිච්ජේදය තුළද පැවති බව තුපිනම්බා තවදුරටත් හඳුනා ගනී:God bless you, Mr Zizek. We forgive you for being too attached to ...

“…එච්.අයි.වී අර්බුදයේ අදෘෂ්‍යමාන ව්‍යාප්තිය මොළේ කොළොප්පම් කරන්නක් විය. ගැටළුවේ පරිමාව සමග අපට පෑහෙන්නට නොහැකි වීම හමුවේ යමෙකුගේ ගමන් බලපත්‍රයේ එච්.අයි.වී සලකුණ සටහන් කිරීම වනාහි පැවති තත්ත්වය සඳහා ගෙවිය යුතු ඉහළ මිලක් යැයි ඇතැමුන්ට පෙනුණේ නැත. එය පැවති තත්ත්වයට කිසියම් සංකේතීය වපසරියක් ලබා දීමක් විය. එය අඩු තරමින් වෛරසයේ බලයට කිසියම් මිම්මක් ලබා දෙනු ඇති අතර අපට දැනටමත් එය වැළඳී ඇත්නම් අපට තවමත් ඉතිරිව ඇත්තේ කවරාකාර නිදහසක්දැයි දකින්නට හැකි වන ආකාරයේ වාතාවරණයක් එයින් අපට ලබා දෙනු ලැබිණ.”

අප මෙහිලා ගණුදෙණු කරන්නේ ලකාන් විසින් විස්තාරණය කරන ලද යථාර්ථය සහ යථ අතර ඇති වෙනස සමගයි. යථාර්ථය යනු බාහිර යථාර්ථයයි; අපට හුරු පුරුදු අපගේ සමාජ සහ භෞතික අවකාශයයි; අපට අපව මෙහෙයවා ගන්නට සහ අනෙක් අය සමග අන්තර්ක්‍රියා කරන්නට හැකි වන්නේ ඒ තුළය. යථ යනු අදෘෂ්‍යමාන සහ ඒ හේතුව නිසාම මහා බල සම්පන්න සේ දිස් වන අවතාරමය සංඝටකයකි. මෙම අවතාරමය ඒජන්තයා අපගේ යථාර්ථයේ කොටසක් බවට පත් වන මොහොතේදී (එයින් වෛරසයකට හසු වීමක් අර්ථවත් වුවද) එහි බලය යම් වපසරියකට සීමා වේ; එය අපට ගණුදෙණු කළ හැකි කිසියම් දෙයක් බවට පත් වේ (අප සටන පරාජයට පත් වුවද). යථාර්ථය වෙතට මෙවන් තැන් මාරුවක් සිදු වන්නට අසමත් වන තාක් කල් “අප එක්කෝ කාංසා සහගත මතිභ්‍රමයකට හසු වේ (එනම් පරම ගෝලීයත්වය); නැතහොත්, අප අපව අනවශ්‍ය අවදානමකට නිරාවරණය කරගන්නා ආකාරයේ රඟ දැක්වීම් ඔස්සේ පලකට නැති සංකේතීයකරණයන් සමග ගැවසෙමින් සිටී (එනම් පරම ප්‍රදේශත්වය)”

මෙම “පලකට නැති සංකේතීයකරණයන්” දැනටමත් විවිධ ආකෘති ගෙන තිබේ – ඒ අතුරින් වඩාත් ප්‍රචලිත එක නම් අවදානම නොතකා හැර ඇමෙරිකාව නැවත වැඩට යා යුතුය යන ට්‍රම්ප්ගේ කැඳවීමයි. එවන් ක්‍රියාවන් නිවසේ සිට පාපන්දු තරඟයක් නරඹන අතර හරියට තමන් කරන දෙයින් තරඟයේ ප්‍රතිපලයට කිසියම් ඉන්ද්‍රජාලික බලපෑමක් සිදු කළ හැකිවාක් මෙන් රූපවාහිනී තිරය ඉදිරිපිට කෑගසමින් අත්පොළොසන් දෙනවාට වඩා අන්තය. නමුත් මෙයින් අදහස් වන්නේ අප අසරණ බවම නොවේ: විද්‍යාව කොරෝනා වෛරසය පාලනය කිරීමේ තාක්ෂණික මගක් සොයා දීමට පෙර පවා අපට මේ උගුලෙන් ගැලවී යා හැකිය – තුපිනම්බා යළිත් මෙසේ පවසයි:Slavoj Žižek on Brexit, the crisis of the Left, and the future of ...

“වසංගත මර්දනයේ පෙරමුණේ සිටින වෛද්‍යවරුන් සහ පරිවාර ප්‍රජාවන් තුළ වෙසෙමින් අන්‍යොන්‍යාධාර ක්‍රම නිර්මාණය කරන පුද්ගලයන් වැනි අය විකල් මතිභ්‍රමයකට ලක් වන්නේ අඩුවෙන්ය; මට මේ කාරණයෙන් ගම්‍ය වන්නේ අද දිනයේ කිසියම් ආකාරයක දේශපාලන වැඩවල යෙදීමෙහි “සමපාර්ශ්වීය” විෂයීය වාසියක් තිබෙන බවයි. කිසියම් මැදිහත්වීමක් ඔස්සේ කරනු ලබන දේශපාලනය (එසේම මෙහිදී ඇති එකම මාධ්‍යය වන්නේ රාජ්‍යයයි; නමුත්, මෙය අනිශ්චිත වූවක් විය හැකි යැයි මම සිතමි) අපට පවත්නා තත්ත්වය වෙනස් කිරීම සඳහා මාධ්‍යයන් සපයයි; එසේම අපට අහිමිව ඇති දෙයට නියම රාමුවක් ලබා දීම සඳහාද මාධ්‍යයන් සපයයි.”

එක්සත් රාජධානිය තුළ වෛරසයේ ප්‍රතිපලයක් ලෙස උපකාර අවශ්‍ය වූවන්ට සහාය වීම සඳහා තරුණ නිරෝගී පුද්ගලයන් 400,000 කට වඩා පිරිසක් ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූයේය යන්න මේ දිශානතිය සඳහා හොඳ සංඥාවකි. නමුත්, අප අතර සිටින මේ ආකාරයෙන් සම්බන්ධ වීමට නොහැකි අයවළුන් පිළිබඳ තත්ත්වය කුමක්ද? වසංගතයේ යුගයක් තුළ ජීවත් වීමේ මානසික පීඩනය දරා ගන්නට අපට කළ හැක්කේ කුමක්ද?

මෙහිදී මගේ ප්‍රථම රීතිය වන්නේ මෙයයි: මේ කිසියම් අධ්‍යාත්මික අව්‍යාජත්වයක් සොයා යාමට කාලයක් නොවේ. අපගේ සත්තාවේ අත්‍යන්ත අගාධය අභිමුඛ වීමට කාලයක් නොවේ. අප අතරින් වියෝ වූ ජාක් ලකාන්ගේ ප්‍රකාශයක් භාවිත කරන්නේ නම්, කිසිදු ලැජ්ජාවකින් තොරව ඔබගේ රෝග ලක්ෂණය සමග අනන්‍ය වන්නට ප්‍රයත්න දරන්න. එයින් අදහස් වන්නේ (මා මෙහිදී එය තරමක් සරලත්වයට නංවමි) ඔබගේ දෛනික ජීවිතය ස්ථාවර කර ගන්නට උදව් වන කුඩා චාරිත්‍ර, රීතින්, විකාර විලාස යනාදී සියල්ලම මුළුමනින්ම භාර ගන්න. මානසික බිඳ වැටීම වළක්වා ගන්නට උපකාර විය හැකි සෑම දෙයක්ම මෙහිදී වලංගු වේ. මෙවන් අර්චනකාමී බැහැර කිරීම්වල ආකෘතීන් පවා ඊට අයත්ය: “(තත්ත්වය කොතරම් බරපතල වේදැයි) මම ඉතාම හොඳින් දනිමි; නමුත්, කෙසේ වෙතත්…(මම සැබවින්ම එය විශ්වාස නොකරමි).” ඕනෑවට වඩා දුර දිග හිතන්න එපා. නිකම් අද දවස ගැන අවධානය යොමු කරන්න. ඔබ නින්දට යන තෙක් කරන දේ ගැන පමණක් හිතන්න.Life Is Beautiful Movie Trailer, Reviews and More | TV Guide

ඔබට මෙහිදී “Life is Beautiful” චිත්‍රපටයේ ඉදිරිපත් වන සෙල්ලම යළි ක්‍රියාවට නැගීම සලකා බැලිය හැකිය (රොබර්ටෝ බෙනිග්නි අධ්‍යක්ෂණය කළ Life is Beautiful චිත්‍රපටයේ දැක්වෙන්නේ නාසි කඳවුරකට රැගෙන යන ලද පියෙකු තම කුඩා පුත්‍රයාට එහි සිදුවන සියල්ලම තමන් දෙදෙනා කැමැත්තෙන්ම සහභාගී වන සෙල්ලමක් බවත් එම සෙල්ලමෙන් ජය ගන්නා කෙනාට ත්‍යාගයක් ලෙස යුද ටැංකියක් ලැබෙන බවත් මවා පෙන්වන කතන්දරයකි – පරිවර්තක). ලොක් ඩවුන් කිරීම යනු ඔබත් ඔබේ පවුලේ අයත් නිදහසේ සහභාගී වන සෙල්ලමක් පමණක් යැයිද ඔබ එයින් ජයග්‍රහණය කළ හොත් ඔබට විශාල ත්‍යාගයක් ලැබෙන්නට නියමිත බවද හඟවන්න. චිත්‍රපට සහ රූපවාහිනිය සම්බන්ධයෙන් ගත් කල, ඔබේ සියලුම වරදකාරී සන්තුෂ්ටීන් තුළ සිත් සේ ගිලී යන්න. ඒ ව්‍යසනකාරී ඩිස්ටෝපියාවන්, සිනාවද පටිගත කරන ලද “Will and Grace” වැනි විකට වැඩ සටහන් හෝ අතීතයේ පැවති මහා සටන් පිළිබඳ “යූ ටියුබ්” නාලිකා විය හැකිය. මා කැමතිම වැඩ සටහන වන්නේ “Trapped” හෝ “Valhalla Murders” වැනි ස්කැන්ඩිනේවියානු (අයිස්ලන්ත ඒවා වඩාත් හොඳය) අඳුරු අපරාධ කතාය.

කෙසේ වුවත්, නිකම්ම රූපවාහිනී තිරයට යටත් වීමෙන් ඔබට සම්පූර්ණ ගැලවීමක් නොලැබෙනු ඇත. ප්‍රධාන අරමුණ විය යුත්තේ ඔබගේ දෛනික ජීවිතය ස්ථාවර සහ අර්ථවත් ආකාරයකට ව්‍යුහගත කර ගැනීමය. මගේ තවත් මිතුරෙකු වන ජර්මානු Die Welt පුවත් පතේ සේවය කරන ජනමාධ්‍යවේදියෙකු වන අන්ද්‍රේයාස් රොසෙන්ෆෙල්ඩර් දැන් මතු වෙමින් පවතින දෛනික ජීවිතය කෙරෙහි වන නව ස්ථාවරය තේරුම් කළේ මේ අයුරිනි:

“මේ නව ආචාර ධර්මය ගැන මට වික්‍රමාන්විත හැඟීමක් ඇති කර ගත හැකිය; ජන මාධ්‍යවේදය තුළද එසේය. සෑම අයෙක්ම තම නිවසේ සිට දිවා රෑ වැඩ කරයි; වීඩියෝ කොන්ෆරන්ස්වලට සහභාගී වෙයි; ඒ අතරම දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන්ට ඉගැන්වීමද සිදු කරයි; නමුත්, ඔහු හෝ ඇය එසේ කරන්නේ මන්දැයි කිසිවෙකුත් අසන්නේ නැත. මන්ද යත්, එය තව දුරටත් “මට එයින් මුදල් හම්බ කරන්නත් විනෝද සවාරියක් යන්නත් ලැබෙනවා” යන පිළිතුර දිය හැකි ආකාරයේ ප්‍රශ්නයක් නොවන බැවිනි. මක් නිසාද යත්, නැවත වරක් නිවාඩු ගමන් පවතීද කියා හෝ මුදල් පවතීවිද කියා කිසිවෙකුත් දන්නේ නැත.

එය මෙබඳු ලෝකයක් ගැන අදහසකි; ඔබට නවාතැන් පළක්, ආහාර සහ ජලය වැනි මූලික අවශ්‍යතා තිබේ; අන් කවරදාටත් වඩා දැන් සැබවින්ම වැදගත් වන්නේ අන්‍යයන්ගේ ආදරය සහ කිසියම් නිෂ්ටාවකි. යමෙකුට “වැඩියෙන්” දෙයක් අවශ්‍ය වන්නේය යන අදහස දැන් යථාර්ථවාදී නොවන ලෙසකි.

එය පරාරෝපිත නොවන ජීවිතයකි; වැදගත් ජීවිතයක් යැයි යමෙකු පැකිලීමකින් තොරව හැඳින්විය යුතු එකකි. ඒ ගැන මෙයට වඩා හොඳ තේරුම් කිරීමක් මට සිතා ගත නොහැකිය. එසේම, වසංගතය පහව ගිය පසුවද මේ ආකල්පයෙන් කිසිවක් ඉතිරිව පවතීවී යැයි මම අපේක්ෂා කරමි.

පරිවර්තනය: සුමිත් චාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *