මම මැතිවරණයට ආවේ මිනිසුන් සිහිනවල අතරමං කරන්න නෙවෙයි – නිපුන රණවක

 මාතර පැත්තේ නිපුන කියන නම දැන් ඇහෙනවා වැඩිපුර . කොහොමද මැතිවරණය.?

තවමත් මැතිවරණය පැවැත්වීමේ දින නිශ්චිතව සදහන් කොට නෑ. ඒත් ඕනෑම මැතිවරණයක වගේම මේ මැතිවරණයේදිත් අපේක්ෂකත්වය ලබා ඇති පිරිස් නොයෙකුත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් පවතිනවා.. මාතර දිස්ත්‍රික්කය පුරාමත් පවතින වසන්ගත තත්වය තිබියදී දුරස්ථ භාවය හා සෞඛ්‍යා රක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් දැනුවත් වීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.. එය මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස ගණන් ගන්න බෑ. මොකද මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා අනිවාර්යෙන්ම අපේක්ෂකයාට අදාළ අංකයක් නිකුත් නොකර ප්‍රචාරක කටයුතු සිදු වන්නේ නෑ. කොහොම නමුත් අපේක්ෂකයන් විවිධ තාක්ෂණික ක්‍රම වේද උපයෝගි කර ගනිමින් මැතිවරණයට සම්බන්ධ කටයුතු සිදු කරමින් පවතිනවා..

 ප්‍රශ්නයේ මුල් කෑල්ලට උත්තර දුන්නේ නෑනේ ?

( සිනා සෙමින් ) ආ මෙහෙමයි ඇත්තටම නිපුන කියන නමට වඩා මට වටින්නේ ඇත්තටම මාතර මිනිස්සුන්ට වැඩක් කිරීමේ අභිලාසය. ඒ වැඩ කියන එකෙන් අදහස් කරන්නේ විදුලි කණු හිටවන එකවත් .. පාරට තාර ටික දාල දෙන එකවත්, බල්බ් නැති තැන්වලට බල්බ් දාල දෙන එකවත් නෙවෙයි.. ඒවා මහජන ආයතන විසින් ඉටු කළ යුතු කාර්යයන්. ඇත්තටම අවශ්‍ය වෙන්නේ මිනිසුන්ගේ ජීවිත නගා සිටුවාලීම සදහා වන සංවර්ධනීය වැඩ සටහන් දියත් කිරීමක්.. ඉතිං ඒ සදහා වැඩ කටයුතු මද වශයෙන් කරලත් තියෙනවා අපි සැලසුම් කරලත් තියෙනවා තව බොහෝ දේ .. ඒ වැඩ සමග නම කියවෙනවා නම් එදාට තමයි මම ඇත්තටම සතුටු වන්නේ නම නිසා..

 ඔබ මේ දේශපාලන රාමුවට ආධුනිකයි.. බොහෝ පතාකයින් ඉන්නවා දිස්ත්‍රික්කය තුළ හිතනවද තරඟයක් දෙන්න පුළුවන් කියල.

මෙහෙමයි, තරඟ කිරීම කියන දේ එක් පක්ෂයක් තුළ අපේක්ෂකයන් අතර තියෙන්න බෑ.. අපි සාමූහිකව පෙනී ඉන්නවා පක්ෂයක් ලෙස ආණ්ඩුවට විශාල බලයක් ගොඩ නගා දීම සදහා.. ඒ සදහා මමත් පොදු ජන පෙරමුණ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අනෙකුත් නායකයෙනුත් පෙනී ඉන්නවා.. මා ආධුනිකයි තමයි, ඒ නිසාම මා සමග තරග වදින ජ්‍යේෂ්ඨයන්ට ගරු කරමින් ඔවුන්ගේ අවවාද හා මඟ පෙන්වීම මත මේ ගමන යාමටයි අදහස් කරන්නේ. අප යන මඟ වැදි නම් ඔවුන් පෙන්වා දේවි. එසේම හැම විටම මා හිතන්නේ කවරෙකුට වුවත් අවවාද අනුසාසනා අවශ්‍යයි මේ ගමන යාමට. කෙසේ නමුත් අපි හැමෝම මේ රටේ සංවර්ධනයට ජනාධිපති තුමන් හා අගමැති තුමන් ශක්තිමත් කිරිම සදහා යෝධ බලයක් ගොඩ නැගිය යුතුමයි යන අධිෂ්ඨානයේ මේ සියලු දෙනා ඉන්නේ..එසේම දෙනියායට වග කියන දෙනියායේ ආසනයට නායකයෙක් අවශ්‍යයි .. ඒ අඩුව මෙතෙක් තිබුනා මම හිතනවා ඒ අඩුව පුරවන්න හැකි වේවි කියල ජනතාව ලබාදෙන සහයෝගයෙන්

 ඔබ තරුණයෙක්. ඒ වගේම ඉගෙනීම් කටයුතු කරනු ලැබූවේ මාතරින් පිටත. කොහොමද මාතර දන්නේ..?

ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි. මා ඉපදුනා වගේම මෙතෙක් ජිවත් වුනේ මාතර. මාතර කොනේම සිංහරාජ මායිමේ තිබෙන දෙනියායේ මගේ වාසස්ථානය වුනේ.. දෙනියායේ තිබෙන ඇළ දොළ මං මාවත්, සිංහරාජ වනාන්තරය. කුඹුරු, තේ වතු, මේවා මට හොදට හුරු පුරුදු ඒවා සමග සහ ඒවායේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවත් සමගමයි මම ජීවත් වුනේ.  උසස් අධ්‍යාපන සදහා කොළඹ ප්‍ර දේශයට යොමු වුනත් අනිවාර්යෙන්ම සති අන්තයේ හෝ නිවාඩුවට පැමිණියේ ගමට ඒ නිසාම මට මාතර අස්සක් මුල්ලක් නෑරම හොදට හුරු පුරුදු දිස්ත්‍රික්කයක් වගේම මාතර මගේ බිම කියන අදහස මට තියෙනවා. මා තරුණයෙක් ලෙස තරුණයන්ගේ වගේම මේ දිස්ත්‍රික්කවල වසන වයස් සීමාවෙන් තොරව ඇසුරු කරන ඇසුර ලැබූ කෙනෙක්.

ඇත්තටම කියන්න මාතර බොහෝ අඟ හිඟතා ඇති ප්‍රදේශ තිබෙනවා. ඒවාට සංවර්ධනය ගෙන යාමට වැඩ පිළිවෙලක් තිබෙනවාද ?

ඔව්, මාතර බොහෝ දුෂ්කරතා ඇති ප්‍රදේශ තිබෙනවා. ඒවා දුෂ්කර වී තිබෙන්නේ ඉතා සුළු අඩුපාඩුකම් සහිතව. අනිවාර්යෙන්ම එම ප්‍ර දේශ දියුණු කිරිම සදහා දේශපාලනික උදව් අවශ්‍යයි. මොකද ඔවුන්ගේ බොහෝ අඩුපාඩුකම් මෙතෙක් පැවැති කිසිවෙකු විසින් ඉටු කොට නෑ. එසේ හදුනා ගත් ප්‍රදේශ තිබෙනවා. මා දැනටමත් බොහෝ ප්‍ර දේශවලට ඒ කියන භෞතික අඩුපාඩුකම් සපුරාලීම සදහා වන වැඩ පිළිවෙල සකස් කොට අවසන්. ඒවා සපුරා ලිය හැකි වගේම අනිවාර්යෙන්ම විසදිය යුතු ගැටළු වෙනවා. මේ අතරේම ඒ ඒ ප්‍ර දේශයන්හි වෙසෙන ජනතාවගේ දියුණුවට ඒ කියන්නේ රැකියා අස්ථා හෝ ජිවනෝපායන් සැකසීම සදහා වන වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මා මැතිවරණයට ඉදිරිපත් වන්නටත් පෙර සිටම බොහෝ ප්‍ර දේශීයකයන්හි සංචාරය කොට ස්වයං රැකියා සදහා වන වැඩ කටයුතු සිදුකරනු ලැබූවා. ප්‍රාග් ධන පහසුකම් නැතිව වැඩක් කර ගැනීමට නොහැකියි. මා ඒ සදහා අවශ්‍ය ණයපහුසුකම් ලබාදීම සදහා කටයුතු කරනු ලැබූවා ඒ වැඩ පිළිවෙල දීර්ගව සිදුකරගෙන යන වැඩ පිළිවෙලක්.. ඉතිං අපි ඉදිරියේදි මනා සැලසුමක් සහිතව ඒවා ජනතාවගේ ජීවන තත්වය දියුණු කරලීම සදහා සිදුකරනවා.

පවතින වසන්ගත තත්වයෙන් සංචාරක වැනි ව්‍යාපෘතීන්ට දැඩි බලපෑම් සිදු වුනා. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ හිත ගිය තැනක් තමයි. දෙනියාය සහ සිංහරාජය .. නැවත ඒ පළාත් වෙත සංචාරකයන් පමුණුවා ගැනීම සදහා වැඩ පිළිවෙලක් තිබෙනවාද ?

කොවිඩ් 19 නිසා බලපෑම් වුනේ සංචාරක ව්‍යාපාරයට පමණක් නොවෙයි.. ඒ හා බැදුනු ආර්ථික ගොඩ නැගීම් වගේම ඉන් පරිබාහිරවත් බොහෝ ආයතන ව්‍යසනයට ගොදු වුනා.. මේ නිසා ඔවුන්ට නැවත තම ආර්ථික පසුබිම සකස් කර දිය යුතුමයි. කෘෂි කාර්මික අංශය මාතර වැනි දිස්ත්‍රික්කයකට වඩා වැදගත් වෙනවා .. එය නැවත ආරම්භ කිරීමත් වැනසුනු ආර්ථිකමය තත්වයන් නගා සිටුවන්නත් වැඩ පිළිවෙලක් තිබෙනවා .. විශේෂයෙන් ඔබ සදහන් කළ පරිදි සංචාරක ආකර්ශනයට පාත්‍ර වූ දෙනියායේ ප්‍රදේශයේ බොහෝ ස්ථාන මේ වන විට කිසිවෙකු නොපැමිණෙන තැන් බවට පත් වෙලා.. අපි ඉතා ඉක්මනින් එම ස්ථාන වෙත යලිත් සංචාරකයන් ලගා කරවීම සදහා වන වැඩපිළිවෙලක් සකස් කොට තිබෙනවා. විශේෂයෙන් දෙනියාය සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමටත් ස්වාභාවික සම්පත් වනාන්තරවලට කිසිදු හානියක් නොව පරිදි එම වැඩකටයුතු සිදුකිරීමටත් උත්සාහ ගන්නවා.

ඉතිං කියන්න මේ දක්වා ආ ගමනේදී ජයග්‍රහණය සදහා වන පියවරයන් සපුරාගෙන තිබෙනවාද?

ඔව් ඇත්ත වශයෙන්ම බොහෝ ආසනවල මේ වන විට විශාල පිරිස් මා වෙත ඇදෙමින් ඔවුන්ගේ සුහදතාවය හා සුබ පැතුම් එක් කරනවා. එය මා ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ.. අකුරැස්ස දෙව්න්දර ගන්දර මාතර කඹුුරුපිටිය හක්මන යටියන දෙනියාය පල්ලේගම ඈත තිබෙන මෙදේරිපිටිය මොරවක වරල්ල වැනි ආසන මට්ටමින් ජනතාව ඉතා උනන්දුවකින් මගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරිම ඇත්තට සතුටක්.

 තරුණයන් සදහා විරැකියාවේ ප්‍රශ්නයක් දිගටම තිබෙනවා.. ඔවුන්ට අදාලව ඔබ විසින් තෝරා ඇති වැඩ පිළිවෙල කුමක්ද?

තරුණයන් සදහා වන වැඩපිළිවෙලකට වඩා ජනතාව වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් රජයක් ලෙස අපි සකස් කොට අවසන්. බොහෝ තරුණයින් රැකියාවක් සදහා බල ගැන්වෙන වට වඩා ස්වයං රැකියාවන් හෝ තමාට සමාජයට මුසු කළ හැකි දෑ සදහා උනන්දු කිරීම අනිවාර්යක්.

නිපුනට මනාපයක් ගැසීම කෙනෙකුට අපරාදයක් ලෙස දැනුනොත්

ඇත්තටම මනාපයක් ගැසීම මගින් අපරාදයක් වෙන තැනක හිතන මිනිසුන් මාතර නෑ කියල මම හිතනවා.. මෙතෙක් කළ වැඩ ටිකක් තිබෙනවා ඒ ජනතාව දන්නවා මට කළහැකි දේ මොනවාද යන්න. අනෙක් විශාල පිරිසක් එකතුවෙමින්ඉන්නවා මේ කියන වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම සදහා .. මට ලබා දෙන හැම ඡන්දයකටම වටිනාකමක් එකතු වෙනවා ඒ තමන්ගේ වගේම තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය පිළිබද සලකලා.. මම මැතිවරණයට ආවේ මිනිසුන් සිහිනවල අතරමං කරන්න නෙවෙයි. මාතර අනාගතය කියන නම යෙදුවෙත් ඒ නිසාමයි ඉදිරියට අපට වයස තිබෙනවා. ඒ වයස ජනතාව වෙනුවෙන් යොමු කිරීමඅනිවාර්යයක්.. එහෙත් මේ සියල්ල සමග මට ලබා දෙන මනාපය අපරාදයක් ලෙස දැකිය යුතු නෑ කියන එක මම පිළිගන්වා.

– සාකච්ඡා කලේ – තුසිත පතිරණ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *