මිනිත්තු 8යි තත්පර 46ක් අවසානයේ මිනිස් ඉතිහාසයට එක් වූ පීඩිතයා – මට හිතෙන හැටි – සිසිර යාපා ලියයි

ලෝකයේ පොලිස්කාරයාට සේවය කරන එක සුදු ජාතික පොලිස් කාරයෙකුගේ වම් දණහිස විසින් ලෝකයේ අන් අයසේම අප කිසිවෙක් නොදැන සිටි මිනිසෙක් බිහි කරනු ලැබීය. පොලිස් පීඩකයාගේ වම් දණහිසත් මහපොළොවත් අතර හිරවූ අප කිසිවෙක් නොදැන සිටි කල්ලෙකුගේ ගෙල මිනිත්තු 8යි තත්පර 46ක් අවසානයේ මිනිස් ඉතිහාසයට එක්විය. කිසිවෙක් නොදැන සිටි 46 හැවිරිදි කළු ජාතික පීඩිතයා දැන් ලෝකයම දන්නා මිනිස් අභිමානයකි. ඔහු ඊයේ (2020.06.10) තමන් මරා දැමූ ඇමරිකන් බිම තුළම මිහිදන් විය. හේ ජෝර්ජ් ෆ්ලෝයිඩ් ය.අතිශය සාමාන්‍ය කල්ලෙකු වූ ජෝර්ජ් ෆ්ලෝයිඩ් අවසන් ගමන් ගියේ තමා මරා දමා දින 16ක ට පසුවයි. අවසන්ගමන් ගියේ රන් ආලේපිත දෙනකයි. ජෝර්ජ් ෆ්‍රොයිඩ් ට පෙර එලෙස රන් ආලේපිත දෙනක අවසන්ගිය පුද්ගලයන් ඇත්තේ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ජෝර්ජ් ෆ්‍රොයිඩ් ට වඩා ජිවතුන් අතර සිටියදීම ලෝකයා දැන සිටි ජනප්‍රිය පුද්ගලයන් ය. විශේෂත්වය නම් ඒ දෙදෙනාම කල්ලන් වීමය.
එක් අයෙකු පොප් ගායක මයිකල් ජැක්සන් ය. අනෙකා ජේම්ස් බ්‍රවුන් ය.
සාමාන්‍ය ජිවිතයක් ගෙවමින් සිට සාමාන්‍ය මිනිසෙකු සේ සිය සමීපතම ඥාති ජනයා මැද කොහේ හෝ තැනක මිහිදන් වන්නට සිටි මිනිසෙක් අද අවසන් ගමන් ගියේ ලෝකයා පුරා මිනිස් හෘදය සාක්ෂියක් ඇති මිලියන ගණනක් ගැහැණුන් සහ මිනිසුන්ගේ ගෞරවය මතිනි. ගෙවුණු දින 16 පුරා ගණනින් නොගැණුනු මිනිස් සමූහයක් කළු, දුඹුරු මෙන්ම සුදු සම ගැන කිසිඳු බෙදීමක් නොතකා ජෝර්ජ් ෆ්ලෝයිඩ් වෙනුවෙන් මිනිස් දම්වැලක් ලෙස ඔහුගේ දේහයට අවසන් ගෞරවය දැක්විය.
ජෝර්ජ් ෆ්ලෝයිඩ් වෙනුවෙන් වූ අවසන් දේව මෙහෙය පැවැත්වූ එක්සත් ජනපදයේ, හුස්ටන් වල හිල්ක්‍රොෆ්ට් හී අංක 13950 දරන ස්ථානයේ ‘Fountain of Praise’ දේවස්ථාන ශාලාව තුළ ගණනින් 500 ඉක්මවූ කීර්තිධර පුද්ගලයෝ අසුන් ගෙන සිටියහ. ඒ අතරින් බොහෝ දෙනෙක් ජෝර්ජ් ෆ්ලෝයිඩ් ගැන එතෙක් නමින් හෝ දැන සිටි අය නොවීම විශේෂත්වයක්.
තමන් මෙන්ම ලෝක පොලිස්කාරයාට සේවය කළ පොලිස්කාරයෙකු අතින් කෲර ලෙස මියගිය මිනිසා වෙනුවෙන් ඇමරිකන් පොලිස්කාර සුද්දෝ දින ගණනක් විටින් විට දණ නමා ජෝර්ජ් ෆ්ලෝයිඩ් ට ගෞරවය දැක්වුහ. තම අණට නටන පොලිස්කාරයෝ අතලොස්සක් වෙනුවෙන් ‘ලෝක චණ්ඩියා’ වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු සාතිශය සුළුතරයක් පෙනී සිටිද්දී ප්‍රාන්ත ආණ්ඩුකාරවරු, සෙනට් සභිකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තොග ගණනින් ඒ පිඩක කල්ලිය සුළුතරයක් බවට තල්ලු කළෝය. ලෝකය තුළ ට්‍රම්ප් සහ ජෝර්ජ් ෆ්‍රොයිඩ්ව මරාදැමූ පොලිස්කාරයා ගඳ ගහන නීචයන් බවට පත් කළෝය.

ජෝර්ජ් ෆ්ලෝයිඩ් දැන් කව්රුත් දන්නා නමකි. සජීවී මිනිස් සිතුවමකි.
ජෝර්ජ් ෆ්ලෝයිඩ්ගේ අවසන් කටයුතු සිදුකළ සන්ධ්‍යාවේ ‘Fountain of Praise’ සිට කළු කෙල්ලක මෙසේ කීවාය.
“අපි නීතිය වහාම වෙනස් කළ යුතුයි. මට ඇහුණා කව්දෝ කියනවා ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කළයුතු බව. ඒත් කවද්ද එහෙම එකක් තිබුණේ..?” ඈ නමින් බෘක් විලියම්ස්. ඇය ෆ්ලෝයිඩ්ගේ සහෝදරයකුගේ දියණියක්. ඒ තැනදීම ජෝර්ජ් ෆ්ලෝයිඩ්ගේ සහෝදරයෙකු වන ෆ්ලොනිස් ෆ්ලෝයිඩ්, “මට සමහර රාත්‍රීන් හී නින්දෙන් ඇහැරෙනවා. මගේ සහෝදරයව මතක් වෙනවා. මම මුලදී මේ කතාව විශ්වාස කළේ නැහැ. දැන් මම කියන්නේ මගේ සහෝදරයා වෙනුවෙන් යුක්තිය ඕනේ. ඔහුගේ කතාව මේ ලෝකය වෙනස් කරනවා…”යි කීවේය.
‘Fountain of Praise’ හී ජෝර්ජ් ෆ්ලෝයිඩ් වෙනුවෙන් පැවතී අවමංගල හමුවේදී රැස්ව සිටියන් ඇමතූ ඇල් ශාෆ්ටන් පියතුමා ‘පොලිස්කාරයන්’ පසුබිමේ වන කතාව ලෝකයාට කීය. “ඔවුන් රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් භාවිතා කරමින් උද්ඝෝෂණ මැඩ පවත්වනවා. ඔවුන් මෙය සිදු කරන්නේ ඉහලින් ලැබෙන නියෝග මතයි. මේ මරාදැමූ පුද්ගලයාට යුක්තිය ඉටුකරනකම් උද්ඝෝෂණ නතර කරන්නේ නැහැ. ඒවා මැඩපවත්වන්නේ පාලකයන් විසින්….” යන්න ඇල් ශාෆ්ටන් පියතුමාගේ කතාවේ අඩංගුවයි.

මේ කිසිවක් මෙසේ වේයැයි ජිවතුන් අතර සිටියදී ජෝර්ජ් ෆ්ලෝයිඩ් සිහිනෙන්වත් නොසිතන්නට ඇති.
එසේ නොසිතා අවුරුදු 46 පුරා ජෝර්ජ් ෆ්ලෝයිඩ් නම් වූ අතිශය සාමාන්‍ය ඇමරිකානු කල්ලා ඇමරිකන් නීතිය අනුව ජිවත්ව තිබිණි. එසේ නොවුනානම් ඒ ඉද හිටය.

දැන් මියගිය ජෝර්ජ් ෆ්ලෝයිඩ් නම් අසාමාන්‍ය කළු ජාතික මිනිසා ඇමරිකානු නීති වෙනස් කරමින් හිදී. අත්අඩංගුවට ගන්නා අය පිළිබඳව ඇමරිකානු ප්‍රාන්ත නීති දැන් අභියෝගයට ලක් වෙමින් තිබේ. ඒ නීති නිසැකවම වෙනසකට ලක් වෙමින් තිබේ.
‘ලෝක චණ්ඩියා’ වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිළ නිවස වන White House (ධවල මන්දිරය) ඉදිරිපිට වූ 16වන වීදිය දැන් නම් කර ඇත්තේ ‘Black Lives Matte’ නමිනි. ඒ ජෝර්ජ් ෆ්ලෝයිඩ් නමිනි. (‘Black Lives Matte’ යනු ඇමරිකාව තුළ ජිවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ජනයා ලක්වන වර්ගවාදයට එරෙහිව පිහිටුවාගත් රාජ්‍ය නොවන සංවිධානයකි. සරලව කිව්වොත් NGO එකකි.)
ඇමරිකාවේ Minneapolis සිට ලොවපුරා විසිරෙමින් ජෝර්ජ් ෆ්ලෝයිඩ් වෙනුවෙන් සහ ඔහු මරා දැමීමට එරෙහිව ජනතාවෝ දින ගණනක් පුරා වීදි සරති. විරෝධතා දක්වති. ලෝක පොලිස්කාරයා කුජීත කරති.

ත් ඒ ජනතාව අතරින් කිසිවෙකුත් මිනිත්තු 8යි තත්පර 46ක් සිය වම් දණහිසින් ජෝර්ජ් ෆ්ලෝයිඩ් නම් මිනිසා යටකරගෙන සිටි පොලිස්කාරයාගේ නම දනිත්ද? පාලක කල්ලියේ උසිගැන්නුම සිය රැකියාව මෙන්ම නීතියයැයි සිතූ ඒ පාහර, මෘග, නින්දිත, තිරිසන්, කාලකන්නි, පොලිස් කාරයාගේ නම නොදන්නා මිලියනගණන් ජනතාව මිනිත්තු 8යි තත්පර 46ක ට පසු ජෝර්ජ් ෆ්ලෝයිඩ් නම් මිනිසෙක් ගැන දැන ගනියි. ඔහු නමින් දණ නමයි.

එලෙසින්ම කටුනායක නිදහස් වෙළද කළාප බිම, හලාවත් ධිවර උද්ඝෝෂණ බිම, වියට්නාමයේ ඇමරිකන් නාපාම් බෝම්බයෙන් පිළිස්සුණු බිම, බොලිවියාවේ ඈත ලා හිගුවෙරා කුඩා පාසල් බිම, මොරටුව කොරලවැල්ල වෙරළ බිම, ඉතාලියේ කලබ්‍රියා හී ස්ට්‍රොන්ගොලි බිම….ආදී බොහෝ තැන්වල පාලකයන්ගේ පොලිසිය විසින් පහරදී මරා දැමූ ගැහැණුන් සහ මිනිසුන්ගේ නම් වගවාසගම් ජෝර්ජ් ෆ්ලෝයිඩ් සේම අමරණීයව සලකුණු වෙයි. එහෙත් ඒ මිනිසුන් මරාදැමූ පාලක හෙන්චයියන්ගේ නම් කොතැනක හෝ නොලියවෙයි. ගෞරව බුහුමනට ලක් නොවෙයි.

හාම්පුතුන් ‘උසි’කියු පමණින් බුරාපනිනා ඇමරිකානු රාජ්‍යයේ පොලිස්කාරයන් පවා නොදන්නා ඇත්ත එයයි.
ජෝර්ජ් ෆ්ලෝයිඩ්ගේ අවසන්ගමනට පෙර දින ඔහු ජිවත් වූ හුස්ටන් සිට ගුවන් සැතපුම් 9876ක් දුරින් පිහිටි කොළඹ කොල්ලුපිටියේ ඇමරිකන් තානාපති කාර්යාලය අසල සහ ලිප්ටන් වටරවුම් අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන්ට මෘග ලෙස පහරදී ‘සතුටු සිතින්’ ගෙදර ගිය එක් පොලිස්කාරයකුගේ හෝ නම නොදන්නා ලෝ පුරා වන ජනයා, ඒ පොලිසියෙන් ගුටි කෑ කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව….වැන්නවුන්ගේ නම් වගවාසගම් දන්නේ ඒ අර්ථයෙන්ම යැයි මට හිතෙයි.

කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව….වැන්නවුන් ජීවත්වන මේ බිමේම සමේ පැහැයෙන්, කතා කරන භාෂාවෙන්, අරගලයේ අරමුණින් ජිවත් වූ සහෝදර ජනකොටසක් ඇමරිකන් අධිරාජ්‍යයේ උපරිම සහය ඇතිව තලා, පෙලා, මිරිකා, වදයට ලක්කොට බර අවියෙන් පහරදී ඝාතනය කරන විට පීඩකයාට දේශපාලන ශක්තිය දුන් අය කිසිවෙක් මේ අත්අඩංගුවට පත් වූ උදවිය අතර නැතැයි මට නොසිතෙයි. එදා ඇමරිකන් පොලිස්කාරයාගේ හයියෙන් යුද්ධයට මුවාවී සමාජයම ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී, මිල්ටරිකරණයට ලක්කරද්දී කොළඹ,කොටුවේ දුම්රියපළ ඉදිරිපිට තාප්පයේ “ව්‍යාජ යුද්දය නතර කරව්!” යනුවෙන් ලියා ඇලවූ පෝස්ටරය ඇදී අය මෙදා ගුටි කෑ අය අතර නිසැකවම වන බව මට හිතෙයි.

“මොන ව්‍යාජ යුද්දයක්ද, මේක තමයි ඇත්ත යුද්දය. අඩුම තරමින් මේකට ජනඝාතක යුද්දය කියලවත් ලියන්න බැරිද….?” කියද්දී ඒ අකුරු ඇදී උදවිය විසින් සහෝදර ජනයාගේ හිස් මතට බර අවි වලින් පහරදෙන හැටි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ඉගැන්වූ බව උජාරුවෙන් කී බව මට මතකය.

එදා අප ඇමරිකන් විරෝධී වන විට මේ උදවිය ඇමරිකන් රාජ්‍යයේ සහය උපරිමයෙන් ලද ආණ්ඩුවක යුද්දයකට කොන්දේසි විරහිතව එළිපිටම සහය දුන් බව මට මතකය.

ඒ මතකයන් කිසිවක් විසින් කොල්ලුපිටියේ ඇමරිකන් තානාපති කාර්යාලය අසල සහ ලිප්ටන් වටරවුම අසල කළ පොලිස් පහරදීම් යටපත් කිරීමට අපට සිත් නොදෙයි. දේශපාලන බර අවියෙන් පහර කෑ ජිවතුන් අතර සිටින අප පමණක් නොව මිය ගිය උන් පවා කොතැනක හිද හෝ එසේ කරතැයි මම නොසිතමි.

එය එසේ නොවන නිසාම දවස අවසන් වන විට කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුම අසලදී ජෝර්ජ් ෆ්ලෝයිඩ් නමින් ඇමරිකාවට එරෙහිව සැලසුම් කළ උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් පහරදීම බොහෝ දෙනා විසින් විවෘතව හෙලා දැක තිබේ. මටනම් හිතෙන්නේ පුළුල් පරාශයක ජනයා එක් කරන එම විවෘතව හෙලා දැකීමේ බැදීම ජෝර්ජ් ෆ්ලෝයිඩ් නමින් හෝ තව දුරටත් දේශපාලන අරමුණින්ම ශක්තිමත් වියයුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *