ඇසළ පෙරහැර ඇත – නරඹන්නන් නැත

මහනුවර දළදා මාළිගාව, කතරගම, දෙවිනුවර සහ සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන ඇසළ පෙරහැර, ජනතා සහභාගිත්වයක් නොමැතිව කොරෝනා මර්දනය කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දී තිබේ.

මෙවර ඇසළ පෙරහැර සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව කොවිඩ් -19 මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍ය ස්ථානවල හා දේවාලවල මෙවර පෙරහැර සංවිධාන කරන ලෙසටද , විවිධ ප්‍රදේශවලින් පෙරහැරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව යාපනයේ නල්ලූර්, ත්‍රීකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහැරට පැමිණෙන පිරිසට ද මෙවර අවසර නොමැති අතර දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කළ යුතුය.

ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්වරු සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *