අව්‍යාජ කවියෙකුගේ සොඳුරුතම දෑවැද්ද, චින්තක සමන්ගේ ” වැහි වැටෙන දවස් ” ගැන සාමීචිය

කවිය නානා විධ අරුත් ගැන්වීම් අළලා දියුණු වෙමින් පවතින වර්තමානික වටපිටාවක කවිය තම මෙවලමක් බවට පත් කොට ගත් අව්‍යාජ කවියෙකුගේ සොදුරුතම දෑවැද්දක් ලෙස සහෘද පාඨකයා වෙත තිළිණ කිරීමට නියමිතව තිබියදී ඔහු හා ඔහුගේ කවිය පිළිබද lankatarget.com කර්තෘ තුසිත පතිරණ සමග  විචාරශීලී නිර්මාණ ශීල්පීන් හා ශිල්පිනියන් කිහිප සමග කළ සාකච්ඡාවක් මෙසේ පළ කර සිටිමු පහත පළ වන්නේ චින්තක සමන්ගේ කවිය පිළිබද වූ විචාරත්මක ඒ සහෘද දොඩමළුවයි.

 

අශෝක කුලතුංග

චින්තක කමෙන්ට් වහලෙක් නොවේ –  අශෝක කුලතුංග

කවිය සම්බන්ධ ව මුහුණු පොත වැඩබිමක් කරගත් කිහිප දෙනෙක් අතර චින්තක සමන් තරුණ කවියාත් පෙරමුණේ සිටිනවා. විශේෂයෙන් ම සාමාන්‍යයෙන් කවියකට තබන පිළිතුරු (කමන්ට්) මත ම ⁣වහල් නොවී එකී සාහිත්‍ය විෂය හදාරමින් කවිය පිළිබඳ නිරන්තර නිරීක්ෂණයකින් එය භාවිත කරන්නෙක්. මේ නිසා ඉදිරියේ දී ලාංකීය කාව්‍ය ක්ෂේත්‍රයට යහපත් නිර්මාණ ඔහුගේ පන්හිදෙන් ලියවේවි. චින්තක සමන් කවියාගේ දෙවන කාව්‍ය සරණියට ඉති සිතින් සුබ පතමි.

 

 

 

 

 

තමරා ජයතිලක

කවියකුගේ කාර්‍යභරය රසභාවය්න් උද්දීපනය කිරීම නම් චින්තක එය මනාව කරයි – තමරා ජයතිලක 

චින්තක සමන් නම් තරුණ කවියා අ ගන්නට ලැබෙන්නේ මුහුණු පොතෙන්. ඔහු වඩාත් ම ප්‍රචලිත වන්නේ සඳස් කවියකු ලෙස .
ඔහු තම නවක කාව්‍ය සංග්‍රහය “වැහි වැටෙන දවස්” එළි දක්වන්නට හදන අවස්ථාවේදී ඔහුගේ ශක්‍යතාවය පිළිබඳ ව හා කවියකු ලෙස ඔහු අද සිටින ස්ථානය පිළිබඳව යමක් කීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. චින්තක සමන් අප අතරට එන්නේ මුහුණු පොතේ කවියෙකු ලෙසයි .ඔහු විසින් රචිත සුද්දි ට ලියු කවි සහෘද හදවත් ඉතාමත් සියුම් ලෙස ස්පර්ශ කළ බවයි ඇත්ත.
ඔහුගේ සඳස් කොළඹ යුගයේ කවීන් ගේ මෙන් ස්වභාවික වර්ණනා වලින් අනූනයි. ඉන් ගම්‍ය කෙරෙන සුන්දර ආදර කතාව වයස් භේදයකින් තොරව විඳිය හැකියි . මට පෙර පරම්පරාවේ ද , මට පසු පරම්පරාවේ ද , මගේ පරම්පරාවේ ද , සියුම් ආදර හැඟුම් චින්තක ගේ සඳස් වල බහුලයි.
ඔහුගේ කවි වල සමාජ දේශපාලන කියැවීම් හෝ විරෝධාකල්ප යෙදුම් විරලයි. ඔහු දරිද්‍රතාවේ සීමාවන් ස්පර්ශ කරන්නේ සියුම් සංවේදනාවන් උත්පාදනය කිරීමට විනා දේශපාලන කතාවක් හෝ සමාජ සංශෝධනයක් කිරීමට නො වේ .
ඔහු ජාතික ව්‍යසනයක්දී උර දුන් අද සඟ සසුන දුටු ආකාරය.

විකට තරු එළි වලට ඉඩ දී
අමාවක සැඟවිලා හිටියට
සඳ කියන්නේ හතර පේරුවෙ
හැමෝටම බණ කියන කෙනෙකුට..

ඔහු. මෑතකදී. ලිව් කව් අතරින් මගේ හිත වඩාත් ඇදගත්තේ සූරියවච්චසා ගැන ලියු කවයි. ඔහු එහිදී අභියෝග කළේ සුළුපටු චරිතයකට නොවේ.

නාද කොට බේලුව වෙන
කවියෙකු පංචසිඛ නම්
තිම්බරූ දෙවි පුත් ගේ
භද්‍රා නම් දියණියක පිළිබඳ
ගැයුවේය රමණීය කවක්
සුගතිදුන් සම්මුඛව දිනක්

අජපල් රුක්ඛ මූලෙහි
ගෙවුණු අටවන සතියෙහි
සක්දෙවි අණින් රඟදුන්
සූරියවච්චසා ද ඇයමය

” දිගු පුළුල් නෙත් දරන්නී
සියොලඟින් රැස් මුදන්නී
කාම පරිඩාහ නිවන්නී
මහද සොම්නස් වඩන්නී

තෝමරංකුස ලය ඇනී
කිපී මුවහත් ඇතෙකු මෙන්
සදෙව්ලොව අහුමුළු පුරා
ගයනු ඇත ඔහු යාතිකා

නික්ම ගිය පසු පංචසිඛ
ඉදුසල් ලෙනෙහි අඳුරෙහි
ඇසිල්ලක් හෝ සුගතිදූ
හෙළන්නට ඇති සුසුමක්

“මෙ පරිදි ම මන පොබ කොට
කලන්දක භවයක සිට
නෑර ආ රුවක් සිහිකොට”
මා මෙය සිහියේ තබාගෙන ඉන්නවා. ප්‍රවීනයන් ඇස නොගැටුණොත් මෙය මා අතින් කියවේවි. දඟකාර කමට නාන්නට ගොස් දියේ ගිලී මියගිය මල්ලි කෙනෙකු අයියාගේ හිත සසල කළා මෙන්ම මගේද හිත සසළ කළා.

“එපා අද වතුරට බහින්නට” ගෙඹි රැලක් ඇවිටිලි කලා
උන්ට තරවටු කරපු මල්ලී කරඹ අහුරක් විසි කලා
ඉරුණු බෑගය, කහට කමිසය කුඹුක් අත්තක එල්ලලා
මංකඩේ දිය දෙපලු කරමින් ගියා නා ලෝකය බලා

කල්තියා වෙනදටත් වැඩියෙන් අහසෙ සද තරු පිපෙනවා
මොකද්දෝ අත් වැරද්දක් ගැන මමම මට දොස් කියනවා
මල්ලියේ මම තාම වැටි වැටි රුවන් දාගැබ හදනවා
නා ලොවින් කරඩුවක් එනතුරු මග බලාගෙන හිදිනවා

ඉදින් අප කතා කරන්නේ දක්ෂ කවියකු ගැනය. ඔහුගේ යෙදුම් අතිශයින්ම දේශීයයි. ඔහු ගැදිය හා පැදිය අතර වෙනස හඳුනයි. සියුම් ඉසියුම්. භාවයන් ඉස්මතු කරන්නට ඔහු යොදාගන්නා උපමා, උපමේය, සංකේත ගමක, පාරක, ඇලක, දොලක, වැවක නිරතුරු ඇස ගැටෙන දෑය. එනිසා ඔහු අපේ කවියෙකි. ඔහු ලියන්නේ අපටයි. කවියකුගේ කාර්‍යභරය රසභාවය්න් උද්දීපනය කිරීම නම් චින්තක එය මනාව කරයි. ඊට විශ්වමිත්‍ර හෝ භරතමුනි හෝ සාක්ෂි දැරිය යුතු නැත. මේ “අළුත් වැස්සට තෙමෙන්නට අපි මඟ බලා හිඳිමු.
ජයම පතමි සෙනෙහසින්

 


චින්තක භාෂාව සහ රසය කවිය තුලට ඔබ්බවන්නෙ හරියටම රත්‍රං වලට මැණික් ගල් ඔබ්බනවා වගෙ – තදිති තිලකවර්ධන

චින්තක සමන් මුහුණු පොතේදී මට හමුවෙන ආදරණීය සහෘදයෙක්, වගෙම නිබඳ මිතුරෙක්. රහට පදමට ලස්සනම හැඟීම් කවියකට උකහා ගන්නෙක්. ඉතින් මම ඔහුගේ ලඟම රසිකාවියක් කිව්වොත් වැරදි නැහැ. ඔහු භාෂාව සහ රසය කවිය තුලට ඔබ්බවන්නෙ හරියටම රත්‍රං වලට මැණික් ගල් ඔබ්බනවා වගෙ සියුම් හැදෑරීමකින් වීමයි විශේෂත්වය ..ඔහුගෙ සුද්දිට ලියන කවි වගෙම වැස්සත් එක්ක බැඳෙන කවිවලට මා ඉතා ප්‍රියයි..චින්තක මගේ ආදරණීය සහෘදයා කලකට ඉහත ලියපු ⁣සරුංගලේ කවියට මම ඉතා කැමතියි.

සරුංගලයක් කැටුව ගම බලා…………..

කොළඹ බෝ මැඬ යට
තොරොම්බල් ලෑල්ලක
සැදෑයම සේල් වෙන
සරුංගලයක් දුටුවෙමි
කට හැකර වෙලෙන්දිය
මග යනෙන වැසියන්ට
පෙන්වමින් යටැසින්
ඉගිමරනු දුටුවෙමි

එහි වරළ සැලෙන යුරු
බෝ මැඬට මුවා වී
කලක සිට
බලාගෙන උන්නෙමි
වාවගනු බැරි දිනක
ලාභෙටම මිලට ගෙන
ගමෙී යන
අවසාන දුම්රියේ නැගුනෙමි

තේරෙන්න නොතේරෙන්න කවියක් ලියන්න ලේසි නෑ . චින්තක ලියන මේ කවිය එහෙම එකක් . සරුංගලයක් සමග ගමට යාම තමයි තේමාව. ඒත් එය කියවන ඕන ම කෙනෙක්ට තේරෙනව මේ කියන්නේ සරුංගලයක් ගැන නෙවෙයි කියල .වාච්‍යාර්ථය ඉක්මවා ව්‍යග්‍යර්ථ්‍යය මවන්න ඔහු යොදාගන්නේ අත්දැකීමට සමරූපී රූපකයක් තමයි සරුංගලය..

කොළඹ බෝමැඬ යට දි ඔහුට දකින්න ලැබෙන්නේ විවිධ තොරොම්බල් බඩු අතර විකිණීමට ඇති සරුංගලයක් . එය විකිණෙන්නේ සැඳෑයම. එසේ කියමින්ම චින්තක රසිකයාට වහා ඉඟියක් ගෙනෙනව කුමක් ගැන ද යන්න . මෙහි ඇති සියලු සංකේත ඔහුගේ තේමාව කුළුගැන්වීමට රුකුලක් වෙනව. කොළඹ බෝමැඬ කියද්දි ඒ වටා මැවෙන අර්ථයන් බහුලයි.

කතා නායකයා විමසිලිමත් .ඔහු කලක් පටන් මේ සරුංගලය නිරීක්ෂණය කරනවා. එහි බාහිර වරල් සැලෙන හැටි ඔහු දකිනවා. ඔහුට ඒ පිළිබඳ හටගන්නේ සංවේගයක්. බොහෝ දෙනා සිල්ලරට දකින දේ ඔහු ඊට වඩා යථාර්ථවාදී ව දකිනවා. ඔහුගේ දරාගැනීම අවසන් වූ සැණින් එය මිලට ගන්නා ඔහු අවසාන දුම්‍රියේ නැඟී සරුංගලය රැගෙන ගමට යනවා…

කවිය ගලන්නේ කුතුහලය සමග.මීළඟට කුමක් වන්නේ ද යන විමතිය රසික හදේ තෙරපෙන්න ගන්නවා.අැත්තටම හරිම සංවේදී හදවතේ සියුම් නහර පවා හූරන සිතුවිලි සංකේත සමුදායක් රූපක ලෙස මතුකිරීම ඉතාම විශිෂ්ඨයි ….

මෙවන් දෙයක් කෙලෙසක නිවසට ගෙනයන්න ද. ඕන න කෙනෙක් අසරණ වන තැනක්. ඉතා ම සියුම් අයුරින් ඔහු කවියට නගනවා. පිළිකන්නෙන් ඇතුළු වීම, කට කැඩුණු සුනඛයෙකු ආදි අපූරු දේ අවස්ථාව නිරූපණය කිරීමට ඔහු යොදාගන්නව. නිවසේ ඇතිවන කලබලය වඩාත් රසවත් ලෙස ඉදිරිපත් කිරීමට ඔහු දරන වෑයම ප්‍රශස්තයි .

කවියේ අවසානයේ වඩාත් තීව්‍ර බවට පත්වෙනවා. ඔහු එය ගමට කියන ආකාරය ප්‍රබලව ඉදිරිපත් වෙනවා. ඇඟ විකුණා ජීවත් වන වීදි ගනිකාවකට, කතකට පෙම් කළ තරුණයෙක් ඇය සමග ගමට යන අයුරු. ගමේ කයි කතන්දර අම්මාගේ නෑදෑයන්ගේ අවලාද චෝදනා.. දරාගනිමින් මුහුණ පානා ගැටලුව උචිත බස් වහරක් හා රූපක යොදාගනිමින් මානව හිතවාදී ලෙස ඉදිරිපත් කරන ආකාරය සිත්ගනී.

සරුංගලයක් කැටුව ගම බලා…………..

කොළඹ බෝ මැඬ යට
තොරොම්බල් ලෑල්ලක
සැදෑයම සේල් වෙන
සරුංගලයක් දුටුවෙමි
කට හැකර වෙලෙන්දිය
මග යනෙන වැසියන්ට
පෙන්වමින් යටැසින්
ඉගිමරනු දුටුවෙමි

එහි වරළ සැලෙන යුරු
බෝ මැඬට මුවා වී
කලක සිට
බලාගෙන උන්නෙමි
වාවගනු බැරි දිනක
ලාභෙටම මිලට ගෙන
ගමෙී යන
අවසාන දුම්රියේ නැගුනෙමි

ලොව නිසල එමැදියම
සර්පයෙකු මෙන්
පිළිකන්න පැත්තෙන්
නිවස වෙත ඇදුනෙමි
කට කැඩුනු සුනඛයෙකු
රැය සසල කල විට
ඌට වැලි අහුරක්ද යැව්වෙමි

අමිමාද භීතියට පත් විය
ඇය නැගූ විලාපෙන්
මුදුන් උළු මත උන්
සද මඬල
පලා යනු දුටුවෙමි

පහන් වන තෙක් රැය
සරුගලයක් ගැන
බොහෝ පාඩම් උගතෙමි
ඉරුණු තැන් හැකි පරිදි
ප්‍රේමයෙන්
පිළිසකර කෙරුවෙමි

ඉනික්බිති උදෑසන
ගම රටට හඩ ගා
වෙල් දෙනියෙ එය මුදා හැරියෙමි
උපහාස මැද්දේ
මිදී යන විට එය
සුසුමකින් උදාගිර නිවුවෙමි

(චින්තක සමන් හේරත්)

ආදරණීය සහෘදයාණෙනි ..වැහි වැටෙන මොහොතේ තෙත බරිත වෙන්නට මම මග බලමි..ඔබට සුබ පැතුම් සමග මගේ ආදරය මේ අකුරු වලට අමුණමි..


ප්‍රියංකාරගේ බන්දුල ජයවීර

චින්තක ඉවසිලිවන්ත කවියෙක් – ප්‍රියංකාරගේ බන්දුල ජයවීර 

මෑත කාලීනව පුවත්පත් කවි පිටු අතර මෙන්ම මුහුණු පොත තුළින් ද අපට නිතර හමුවන චින්තක සමන් හේරත් කවියා ගේ නිර්මාණ තුළ අතිශය නැවුම් නිර්මාණාත්මක ගුණ ඉවසුම් සහගතව වැඩෙමින් පවතින බව නිරීක්ෂණය කරමි. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ යම් අත්දැකීමක් කවියක් බවට පත්කිරීමේ දී ඔහු දක්වන හදිසි නොවන, ඉවසුම්සහගතභාවයයි!

* මිත්‍රයාගේ බිරිඳ *
ප්‍රිය සම්භාෂණය අවසන
මිතුරා කියූ පරිදි ම
ඇය දුම්රියක නංවා
පිටත් කොට හැරිය ද අලුයම
පිටත් කරගත නොතුහැකි
හැඟීමක් වේ මා තුළ

විසිතුරු තාරකා යට
සාදය උමතු මැදියම
ලිහාගනු බැරිව අත්වැල
රැඟූ රැඟුමන් නැගේ සිහියට
ඔහු සාදයට නා එක
සතුටකැයි කියුවේ ඇයමය

වයින් වීදුරුවකින් මතු උන
ජීවිතේ මලානික අඩවිය
රාත්‍රිය මුළුල්ලේ කී හැටි
බුර බුරා නැගෙනවා මා තුළ

මහද පටු ප්‍රාන්තය පසුකොට
හඬ දිදී දුම්රියක් යනවිට
එය ඇගේ හදවතේ හඬදැයි
තාම හිතනවා ඉඳහිට මම
– චින්තක සමන් හේරත් –

” මිත්‍රයාගේ බිරිඳ ” නමැති කවිය ගොඩනැඟීමේ දී ඔහු යොදා ගන්නා බස්වහර සරල නමුත් කියවන්නා හැඟුම්වලින් ආතුර කරවන සුළු ය!
තම මිත්‍රයා නොපැමිණෙන සාදයක ඔහුගේ බිරිඳ ට රැකවල් සැපයීමේ වගකීම භාරවන මෙම කවියේ කථකයා මුහුණ පානුයේ අනපේක්ෂිත අත්දැකීමකට ය! ඔහු හා සාදයේ දී රැඟුමට එකව තුටුවෙන ඇය පවසන්නී තම ස්වාමි පුරුෂයා එම අවස්ථාවට නොපැමිණීම ඇයගේ සතුට ට හේතු වූ බවය!
තවද වයින් පානයෙන් ඉක්බිතිව හැඟුම්බර වන ඈ තම විවාහ ජීවිතයේ පවත්නා යම් අතෘප්තිකර භාවයක් පිළිබඳව ප්‍රකාශ කරන්නීය !
සාදය අවසන ඇය පරෙස්සමින් දුම්රියක නංවා නික්ම යන ඔහු තුළ ඇති වන්නේ ඇය පිටත් කොට හැරිය ද , පිටත් කරගත නොහැකි හැඟීමකි! මහා බරකි? කවියා එම ” බර” කවිය කියවන අප තුළට ද එන්නත් කිරීමට සමත් වන්නේ ඉතා දක්ෂ අයුරිනි!

ඔහු කවිය අවසන් කරන අයුරු බලන්න !
” මහද පටු ප්‍රාන්තය පසුකොට
හඬ දිදී දුම්රියක් යනවිට
එය ඇගේ හදවතේ හඬදැයි
තාම හිතනවා ඉඳහිට මම”

ඉතින් මට නම් තවම ඒ දුම්රිය ඇන්ජිමක හඬට මුසුව එන ආගන්තුක ප්‍රේමණීය කම්පනයක් හදවතට දැනේ!!!
ඉතින් සැබැවින් ම හොඳ කවියකට කළ හැකි දේ මෙබඳු යැයි සිතමි! ච්න්තක සමන් ගේ කවි පොත ඉක්මනින්ම කියවීමට ලැබේවා යි පතන අතර ඔහුගේ කාව්‍ය ජීවිතය ට උණුසුම් හදින් යුතුව සුබ පතමි


මිරාන් දාමේන්ද්‍ර පෙරේරා

කවිය තමන්ගේ මෙවලමක් කර ගත් කවියෙක් – මිරාන් දාමේන්ද්‍ර පෙරේරා

කවිය බුහුටිව හසුරවන යම් කවියෙකු වේ ද ඔහු කවිය මෙවලමක් කරගත්තෙකි.. කවියෙහි අරමුණ සහ වැදගත්කම හඳුනාගත්තෙකි. එවන් කවියන් අතින් නිර්මිත කවි පාඨකයාගෙන් ඔබ්බට මුළු මහත් සමාජයක් කම්පනයට පත්කරවීමට සමර්ථ ය. චින්තක සමන් කවියා එලෙස කවිය තම මෙවලමක් බවට පත්කරගත්තෙකි. එබැවින් චින්තක සමන් යනු ස්වකීය කවියෙහි අධිපතීත්වය දරන්නෙකි. නිමිති සොයා යෑම හෝ ලැබෙන නිමිති වලට කවි ලීවීමට වඩා තම පංචෙන්ද්‍රීයන්ට ග්‍රහණය වන ඕනෑම දෙයක් අනුභූතියක් බවට හරවා ගැනීමට ඔහු දක්ෂ ය. කිරෙන් දිය වෙන් කරගන්නාක් මෙන් හොඳම අනුභූතින් සොයා යනු වෙනුවට ඕනෑම දෙයක් අනුභූතියකට පෙරළාගෙන ජීර්ණය කරගත හැකි වන්නේ මහපොලවේ පය ගසා සිටින කවියෙකුට පමණි. ඔහුගේ කවි උල්පත කිසිදාක නොසිඳෙන්නේ එබැවිනි.

“එක්තැන්වූ අර්ථය සහ ශබ්ධය කාව්‍යය වන්නේ ය” යන්න රුද්‍රැට ගේ කවිය පිලිබඳ නිර්වචනය යි. කවිය තුල තිබිය යුතු රිද්මීය ලක්ෂණ මෙන්ම කවියා විසින් ඉදරිපත් කරනු ලබන දාර්ශනික තැවරීමක්ද කවිය තුල අඩංගු වියයුතුය යන්න මේ මෙහි මුඛ්‍ය අදහස ලෙස සිතිය හැක. ජීවන අත්දැකීම් මෙන්ම දාර්ශනික හැදෑරීම්ද සමග චින්තක සමන් කවියා ලබා ඇති පරිචය වටහා ගැනීමට ඔහුගේ මුහුණුපොතෙන් උපුටාගත් “සර්කස් එකේ වැඩ කරන වඳුරු පියාට දියනියගෙන් ” නම් කවි පන්තියේ එන පහත කවිය විමසිය හැකිය.
හතර හන්දි වල කැක්කුම් දැනෙනවද
නිතර නිතර ජීවක තෙල් උලනවද
විහිළු තහළු ඔය තරමට තියෙනවද
හිනා නොගියොතින් පඩියෙන් කපනවද
සර්කස් වඳුරෙකුට සිය දියනිය විසින් කෙරෙන ප්‍රකාශයක් ලෙසින් කවි පන්තිය නිර්මිතය. කවියක් තුල මෙන්ම සමස්ථ කවි පන්තියම ද එකම ව්‍යංගයක් බවට හරවා ඉහත කවි පන්තිය ලියැවී ඇත. තම දූ දරුවන් රක්ෂා කරනු පිනිස තම සතුට කැප කරන පියවරුන් බිලිබඳ අනුවේදනීය කතාවක් කවියෙහි යටිපෙල අරුත වී ඇත. “ලෝකය රඟමඩලකි. අප එහි නළුවන් වම් හ” යැයි ශේක්ෂ්පියර් පැවසූවේ අතීතයේ ය. නමුත් නූතනය වන විට ලෝකයම එකම සර්කස් එකක් වී හමාරය. අප අනුන් පිනවීමටත් අපේ පන රැකගැනීමටත් එහි බඩපිනුම් ගසමින් සිටින්නෙමු. සර්කස් රැඟුම් වලින් වෙහෙසට පත්ව සිටින්නෙමු. සමාජ ප්‍රවාහය තුල දිවි රැකගැනීමට සිය පියාණන් විඳින කම්කටොළු ගැන දියනියට අනුකම්පාවකුත් හොඳ අවබෝධයකුත් තිබෙන බව කවියේ පලවෙනි පදයෙන් ම පාඨකයාට වැටහේ. දියණියගේ සිතුම් පැතුම් පිලිබඳ පලමු ඉඟිය ඉදිරිපත් කරමින්ම කවියා ප්‍රවේශය අරගනී. මෙහිදී හතර හන්දි වල උලන තෙල් “ජීවක තෙල්” ලෙස සඳහන් කිරීමෙන් කවියෙහි ගැඹුර තවත් තීව්‍ර කිරීමට සමත් වේ. ජීවක තෙල එක් වරක් නස්න කිරීමෙන් නව අවුරුද්දක් පුරා තිබූ හිස රුජාවක් පහව ගිය බව සාහිත්‍යයේ කියැවේ. ජීවක තෙල එක් වරක් ආලේපන කිරීමෙන් ඕනෑම ශාරීරික වේදනවක් සමනය වේ ය යන්න පැරණි සාහිත්‍යයේ සඳහන් වුවද හතර හන්දි ඇඹරෙන තරමේ දුක් විඳින වඳුරු පියාට එය එක් වරක් ආලේපනය කිරිම නොසෑහෙයි. ඔහුට එය නිතර නිතර ආලේපනය කිරීමට සිදුව ඇත. වඳුරු පියා විඳින දුක් වේදනාවන්ගේ කෲර බවත් ඒවා ඉහිලුම් නොදෙන තරම් ඔහු වයස්ගත බවද ඉන් විශද වේ. සාමාන්‍ය මිනිස් සමාජයට ආදේශ කොට සිතුවහොත් මේ ජීවක තෙල මත් පැන් විය හැක. තමුන් විඳින අනේක දුක් වේදනාවන්ට සදාතනික සුවය යැයි සිතන මුත් තාවකාලික ප්‍රතිකර්මයක් පමණක්ම වන මත්පැන් බොන බීමත් පියෙකු ප්‍රශ්න කරන දියණියක් අපට කවියේ මුල් දෙපදය තුලින් මතුකරගත හැක. මෙහිදී “ජීවක තෙල්” යන්න සංකේතයක් ලෙස යොදාගෙන ඇත. වඳුරු පියාගේ රාජකාරිය අනුන් පිනවීමය. ඊට සමත් විහිළු තහළු උත්පාදනය කරගැනීමට ඔහු සමත්විය යුතුය.නමුත් අනේකවිධ වේදනාවන්ගෙන් හෙම්බත්ව සිටින කෙනෙකුට අනුන් වෙනුවෙන් විහිළු කිරීමට මනස එක්තැන්කොට සකසා ගැනීම අතිශය අසීරුය. එම අසීරුභාවය දියනිය හඳුනාගෙන ඇත. තම පියා සියළු දුශ්කරතා හමුවේ ජීවිතය කලමනාකරණය කරගැනීම දියනියට ඇතිකරවන්නේ ප්‍රශ්නාර්ථයකි. එක අතකින් එය ඇයට පුදුමය උපදවන කාරණයක්ද වී ඇත. ආයතන තුල සේවයට නිසි ඇගයීමක් නොලැබෙන සේවකයන් අපි දැක ඇත්තෙමු. එහෙත් ඔවුන් ලබන සොච්චම් වේතනයද නොතකා එක් අතපසුවීමකින් ඔවුන්ගේ රැකියාව පවා අවධානමට ලක්විය හැක. පැය බාගයක් ප්‍රමාදව සේවයට පමිණීමෙන් අවලාද ඇසීමටත් පඩියෙන් කපාගැනීමටත් සේවකයාට සිදුවේ. ඉහත කියවෙන වඳුරු පියා කෙතරම් කාලයක් සර්කස් සේවයෙහි සිටියද එක් දවසක් හෝ ප්‍රේක්ෂකයන් සිනහගැන්වීමට අතපසු වුවහොත් එදින වේතනය ඔහුට නොලැබී යා හැකියි.
කවියේ පද සියල්ලම ප්‍රශ්න ස්වරයෙන් ඉදිරිපත් වුවද දියණිය ඒ සියල්ල දන්නා බව පාඨකයාට හැඟේ. ඇය මෙම පැණ ඉදිරිපත් කරන්නේ පූර්ව නිගමනයකින් යුක්තව බව පාඨකයාට අවිඤ්ඤානිකව දැනෙන්නට කවියා ඉඩ හැර ඇත. පියා ව ප්‍රශ්න කරන දියනිය නිසා පාඨකයා නිර්මාණය ප්‍රශ්න කරන්නට පෙළඹෙයි. එහිදී පාඨකයාට කවියෙහි යටි අරුත මුණගැසෙන්නට පටන්ගනියි. අනේකවිධ දුක් විඳින පියෙකු කෙරෙහි දයාව කරුණාව දක්වන දියනියකගේ කෝණයෙන් නිර්මිත මෙම කවි පන්තිය තුලින් චින්තක සමන් අප සමාජයේ අඳුරු මුල්ලකට අපගේ ඇස් යොමු කරවයි. ඔහු සමාජ විශමතාවයන් නිසා අසාධාරණයට ලක්වන මිනිසුන් පිලිබඳ ව පාඨකයාට සිහිකැඳවා ඇත. එළිවැට මෙන්ම වචන තෝරාගත් ආකාරය නිසා ද කවිය තුල රිද්මය ද ආරක්ෂා කිරීමට ඔහු සමත්වී තිබේ. එක් තැන් කොටගත් ශබ්ධයද පෙර කී අර්ථය හෙවත් දාර්ශනික තැවරීමද ඉහත කවිය තුල දක්නට ඇත.
සමාජයත් වටපිටාවත් පිලිබඳ අවදියෙන් සිටින්නෙක් වීම චින්තක සමන් ට තම නිර්මාණකරනයට රුකුලක් වී ඇත. මැටිගුලි වන් අනුභූතීන් චමත්කාරජනක නිර්මාණ බවට හැරවීමට නම් කවියා ප්‍රතිභාපූර්ණ වියයුතුම ය. අපූර්ව වස්තූන් නිර්මාණයකරගැනිමෙහි ප්‍රඥාව දියුනු කරගත්තෙකු ලෙස චින්තක සමන් කවියා හැඳින්විය හැකියි. එනිසාම ඔහුගේ කවිය තුලට කිමිදී ගැඹුරු රසවින්දනයක් ලැබීමට රසිකයාද යම් දුරකට රසිකත්වය දියුනුකළ අයෙකු විය යුතුය. එසේ පුහුණු රසිකත්වයක් නොමැතිව වුවද කවියා ගේ මතුපිට ප්‍රකාශනය පවා මදක් ගැඹුරෙන් අයෙකුට තේරුම්ගත හැකි වීම ඔහුගේ කවි තුල අපට දක්නට ලැබෙන සුවිශේෂත්වයයි.
කවියෙකු නිතරම සුපරික්ෂාකාරී විය යුතුය. අනුභූතියක් තෝරාගත් පසු ඊට උචිත ආකෘතියකුත්, රිද්මයකුත්, භාෂා ශෛලීයකුත් තෝරාගැනීම ඉවසීමෙන් සිදුකල යුතුය. කෙසේ වෙතත් කවියෙහි මූලික තැනුම් ඒකකය වන්නේ භාෂාව බව අමතක නොකල යුතුය. අනුභූතියත් නිර්මාණයත් අතර සාම්‍ය බිඳ වැටෙන්නේ නම් කවියා අසාර්ථක වීමට ඇති ඉඩකඩ ද වැඩි වේ. නමුත් චින්තක සමන් කවියා සිය නිර්මාණය එකම ධාරාවක රඳවාගෙන රසිකයා ඒ තුලට සමාධිගත කරවීමට තරම් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකි. ඒ සඳහා ඔහු සතුව මනා භාෂා ඥානයක් පවතින බව ඔහුගේ නිර්මාණ දෙස විමසිල්ලෙන් බැලීමේදී පෙනී යයි. නමුත් කවිය යනු භාෂාව ම පමණක් නොවන බව ඔහු අවබෝධ කරගෙන තිබේ. “ප්‍රති ආශ්වාදන ශක්තිය” හෙවත් තමුන්ගෙන් පරිබාහිර අත්දැකීමක් තමුන්ට ආදේශ කරගනිමින් සහකම්පනයට පත්විය හැකි හැකියාව චින්තක සමන්ගේ නිර්මාණ තුල දකින්නට ලැබේ. එනිසා ම ඔහු දිගු කවි පන්තීන් තුල මෙන්ම කෙටි කවිය තුලදීත් සාර්ථකත්වය අත්පත් කරගැනීමට සමත් වේ. ආඛ්‍යාන කවිය තුලදී පවා හුදු වාර්ථාකරණයක් නොවී පාඨකයා තුල විස්මයාවහ බවක් ඇතිකිරීමේ ප්‍රබල නිර්මාණ බිහිකිරීමේ ඔහු සමර්ථ වන්නේ එබැවිනි.
මනා අභ්‍යාසයත්, ප්‍රතිභාවත් එක ලෙස මෙහෙයවමින් චින්තක සමන් ඔහුතුලින් ඔහුගේ නියම කවියා පාදාගෙන ඇත. අප සුලබව දකින දෑ පෙර නොවූ විරූ නැවුම් ආකාරයෙන් කවිය තුලට එබ්බවීමට ඔහු සතු ව අමුතු පරිකල්පනයක් ඇත. මිනිසෙකු ලෙසද සොඳුරු අව්‍යාජ මිනිසෙකු වන ඔහු කවීත්වය ආභරණයක් ලෙස පැලඳගෙන හැසිරෙන්නෙකුද නොවේ. ලාංකේය කවිය, සාහිත්‍ය වෙනුවෙන් ඉටු කිරීමට ඔහුට විශාල වැඩ කොටසක් ඇති බව මාගේ විශ්වාසයයි. ඔහු එය ඉටුකරනු ද නොඅනුමානයි.

 

රුවින් බුද්ධික

චින්තකගේ කවි මනා සවිඤ්ඥානිකයි – රුවින් බුද්ධික

නූතන කවි පරම්පරාවේ ප්‍රතිභා පූර්ණ කවියන් අතර චින්තක සමන් ගෙ නමට සුවිශේෂී ඉඩක් තිබිය යුතුයි.ඒ ඔහුගේ කවිය තුළ දක්නට ලැබෙන අපූර්වත්වයත්,මනා සවිඥ්ඥානික බවකින් කවිය තුළ භාෂාව යොදා ගන්නා සහජ කවිත්වයත් නිසා.කවිය නිතර නිතර පරිහරණය කිරීම නිසා ඔහු වඩ වඩාත් භාෂාව ගැනත් කවිය ගැනත් ඉගෙන ගනිමින් උගන්වන කවියෙකු බවට පත් වෙනවා.

ලෝකය ගැන නවමු ඇහැක් පාදන්න ඔහුගේ.කවිය හොඳ අවියක්….ජය.

 

 

සාකච්ඡා කලේ –  තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *