කෝපි රස මත කාච නෙත – ( capture & chatter 03) – මනෝහරී වීරසිංහ

ඔයා හිතන්න, ඔයා අසල කෝපි කෝප්පයක් සහ නිවසේ කවුළුවකින් එපිට එක දිගට හිම පියළි වැටෙනවා කියලා .. ඒ දර්ශනය කොහොමද? වඩා කැමති කෝපි එකටද නැත්නම් හිම පතනයටද? හිම පියළි වැටෙන වැටෙන තැන ශ්වේතයෙන් බබලනවා. පිරිසිදු හිම මත හිරු කිරණ වැටී .. අව⁣ට සිහින් දුමාරයකින් පිරෙනවා.
අර තද දුඹුරු කෝපි මත සුදු පෙණ සහිත කිරි මිශ්‍ර වීම කොහොමද? කෙටියෙන් කිව්වොත් එය Cappuccino එකක් උනොත් .. ! Cappuccino කෝප්පයක් රස විඳින අතර හිම කඩා වැටෙන දෙස බලා සිටීමට කවුද අකමැති. එය මනා සුසංයෝගයක්! කෝපි රස දිව පිනවන අතරම ඇස් මත හිම පියළි පැටලෙන මොහොතක් ගැන මවා ගන්න .. ඔ⁣යාගේ ජීවිතයෙ සුන්දරම මතකයක් බවට එය පත් වේවි .. අවට හිම පතනය කැමරාවට හසු කර ගමි. සුදු හිනිදුම අවට වසාගෙන ඇත .. එය කෙසේ කැමරාව මත සටහන් වීදැයි පසුව බලමි. මේසය මත Cappuccino එක මා දෙස බලා සිටී .. එහි රසය බැලීමට පෙර පිංතූරයක් ගනිමි. සමීප දසුනක් ප්‍රමාණවත්ය.

ඔයා තේ යාර ගණන් කරනු දැක තියෙනවද? කිරි තේ එකක් බොන්න කඩයකට ගොඩ වැදුනම අදත් අපිට දකින්න පුළුවන් දර්ශනයක් තමයි .. තේ සාදන අය විසින් කිරි තේ කෝප්පයකින්, කෝප්පයකට මාරු කරමින් තේ වත් කරනු ලැබීම. පෙණ සහිතව කිරි තේ බී ඇති බව ඔයාට මතක ඇති.
කිරි තේ එකක රසවත් බව එය පානය කරන තෙක්ම ඔයාට කියන්න අමාරුයි. දුර සිට දැනෙන සුවඳක් නැතත් එහි පැහැයෙන් යම්කිසි නිගමනයකට එලඹෙන්න පුළුවන්. සමහර අය කිරි අඩු කහට වැඩි සීනි අඩු තේ එකකටද, තව සමහරු කිරි වැඩි කහට අඩු සීනි අඩු තේ එකකටද, තවත් අය කිරි කහට සීනී සමව තේ එකකට ප්‍රියය. තේ එකේ රසය එය සාදන කෙනාගෙ රුචිය අනුව අත් ගුණය අනුවද වෙනස් වේ.

පෙණ සහිතව තේ එකක් සාදා මම එය කැමරාවට හසු කර ගනිමි. එය සමීප දර්ශනයකට වඩා ඉහල තලයක සිට පහළ දෙසට යොමු වීම වඩා හොඳ පිජතූරයක් ලෙස පෙනේ.

නමුත් කෝපි නම් උණු වකුරට මිශ්‍ර වීමේදිම කෝපි සුවඳ දසත පැතිරේ. එය පානය කිරීමට උත්තේජනයක් ඇති වේ. කෝපි කෝප්පයක රසය ඇත්තෙන්ම වෙනස්ය. එය උණුසුම් හැඟීමක් ඇති කරවයි. හදවත සෙනෙහසින් පුරවයි. සීත, වැසි සහිත පරිසරයකටද, රාත්‍රිය වෙහෙසකින් තොරව දිගු කිරීමටද සමත්ය.

One thought on “කෝපි රස මත කාච නෙත – ( capture & chatter 03) – මනෝහරී වීරසිංහ

  • June 17, 2020 at 6:56 pm
    Permalink

    ස්තූතියි. හොඳ ලිපියක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *