Troy (ට්‍රෝයි) – ( සැලෝලයිට් පුරය – 01 ) – හංසිනී කාවින්දි

ඉතිහාසයෙන් සිනමාවට නැගුණු යුද්ධයේ යථාර්ථවාදී පිළිබිඹුව

Remember……
I’ll still be here
As long as you hold me
In your memory

(ඔබ ඔබගේ මතකයේ මා රඳවාගෙන සිටින තාක් මම මෙහි හිඳින්නෙමි….)

ඉතිහාසය යනු කාලයේ අනවරත දිය දහරාවන් අතරින් ගලා එන්නා වූ අපගේම මිනිසුන්ගේ අපූරු මතකයන් පිළිබඳව කතාන්දරයකි. යුග ගණනාවක් ගතවුව ද වසර දහස් ගණනක් ගතවුව ද අප ඔවුන්ව අපගේ මතකයන් තුළ රඳවාගෙන සිටින තාක් ඔවුන් කිසිදා මියයන්නේ නැත. Troy වූ කලී එලෙස වසර දහස් ගණනක් පුරා කාලයේ අනවරත දිය දහරාවන් අතරින් ඇදී අවුත් අදටත් අප මතකයන් තුළ ජීවත්වන අපූරු මිනිසුන් රැසක් සහ කිසිදා අමතක නොවන, අමතක නොකළ යුතු සිදුවීම් රැසක් පිළිබඳව කතාන්දරයකි.

ට්‍රෝයි පුරය මෙන්ම ග්‍රීසිය සහ ට්‍රෝයි අතර වසර දහයක් මුළුල්ලේ ඇවිලීගිය දීර්ඝකාලීන යුද්ධය පිළිබඳව පුරාවෘත්තය පිළිබඳව නොදන්නා කෙනෙකු අප අතරින් සොයාගත නොහැකි තරම් ය. ඒ තරමටම එම පුරාවෘත්තය ඉතිහාසය තුළ ඉතාමත් ජනප්‍රිය ය. එය වඩාත් අපූරු පුරාවෘත්තයක් ලෙස ඉතිහාසයට මෙන්ම සාහිත්‍යයට ද එක්වන්නේ පුරාණ ග්‍රීක කවියෙකු වූ හෝමර්ගේ “ඉලියඩ්” සහ “ඔඩිසි” යන කාව්‍ය කෘතීන් හරහා ය. අප බොහෝදෙනෙකු ට්‍රෝජන් සංග්‍රාමය සහ එහි විරුවන් පිළිබඳව හඳුනාගන්නේ මා ඉහත සඳහන්කරන ලද සාහිත්‍යමය ග්‍රන්ථ ඇසුරිනි. “ට්‍රෝයි” චිත්‍රපටය ද නිර්මාණය වී ඇත්තේ එම ට්‍රෝජන් සංග්‍රාමයේ පුරාවෘත්තය පදනම්කරගනිමිනි. එය හෝමර්ගේ “ඉලියඩ්” කාව්‍යය ඇසුරුකරගනිමින් නිර්මාණය වූවක් මිස “ඉලියඩ්” කාව්‍යය නොවන බව මෙම සිනමාපටය නරඹද්දී ඔබට මනාව වැටහෙනු නිසැක ය.

“ට්‍රෝයි” සිනමාපටය මෙය හෝමර්ගේ “ඉලියඩ්” කාව්‍යය සිනමාවට නැගීමක් ලෙස හඳුනාගනිමින් මෙම චිත්‍රපටය නොනැරඹිය යුතු යැයි මම විශ්වාස කරමි. මන්ද මා දකිනා ලෙස මෙය ඉලියඩ් ඇසුරුකරගනිමින් නිර්මාණය වූ එකක් වුව ද ඊට වඩා හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් සහ අරමුණක් මූලිකකොටගෙන නිර්මාණය වී ඇති සිනමාපටයක් වන බැවිනි. ඉලියඩ් වනාහි පුරාවෘත්තය අභිනන්දනය කළ කාව්‍ය ග්‍රන්ථයක් වන අතර ට්‍රෝයි සිනමාපටය පුරාවෘත්තය පදනම්කරගනිමින් ඉන් ඔබ්බට ගිය යථාර්ථවාදී නිර්මාණයක් ලෙස මම දකිමි. මෙම චිත්‍රපටයේ විශේෂත්වය මෙන්ම විශිෂ්ටත්වය ලෙස ද මා හඳුනාගන්නේ එයයි. පුරාවෘත්තය සම්පූර්ණයෙන්ම ඉතිහාසය වන්නේ ද නැත. එමෙන්ම පුරාවෘත්තය පදනම්කරගනිමින් ගොඩනැගෙන සාහිත්‍යය ද පූර්ණ ව්ශයෙන් ඉතිහාසය වන්නේ ද නැත. ප්‍රකට ජපන් නාට්‍යකරුවෙකු වූ චිකමත්සු පවසා ඇති පරිදි “සාහිත්‍යය වූ කලී සත්‍යයත් කල්පිතයත් අතර අතරමැදි කලාපයකට අයත්වන්නා වූ දෙයකි.” මෙය ඓතිහාසික පුරාවෘත්ත සම්බන්ධ සාහිත්‍යයට ද එක ලෙස බලපැවෙත්වෙන කියමනකි. ඒ අනුව එම කියමන හෝමර්ගේ “ඉලියඩ්” සඳහාත්, ට්‍රෝයි සිනමාපටය සඳහාත් එක ලෙස අදාළ වේ යැයි මම සිතමි. ඉතිහාසය කුමක් වුව ද, පුරාවෘත්තය කුමක් වුව ද ඒ පිළිබඳව නිර්මාණකරුවන් කීපදෙනෙකුගේ දෘෂ්ටිය කීප ආකාරයකින් පැවතිය හැකිය. මා මේ කරුණු සියල්ලක්ම සඳහන් කළේ ඔබට “ඉලියඩ්” සහ “ට්‍රෝයි” සිනමාපටය අතර ඇති වෙනස හඳුනාගනිමින් ඉන් වඩාත් තීව්‍ර රසවින්දනයක් ලබාගැනීම පහසුවනු පිණිස ය.

අප කවුරුත් දන්නා පරිදි ට්‍රෝජන් සංග්‍රාමයට පාදකවන්නේ ග්‍රීසියේ ස්පාර්ටාහි මෙනලොවුස් රජුගේ සුරූපී බිරිය හෙලන් ට්‍රෝජන් හි පැරිස් කුමරුන් විසින් සඟවාගෙන යෑමේ කතා පුවතයි. එතෙක් ට්‍රෝයි සම්බන්ධයෙන් සාමකාමී පිළිවෙතක් අනුගමනය කළ ග්‍රීසිය ට්‍රෝයි රාජධානියට එරෙහිව දස වසරක් පුරාවට නොනවතින යුද්ධයකට මුලපුරන්නේ ඒ සමගිනි. මෙනලොවුස් යුද්ධය සඳහා උපකාර පතමින් තම සහෝදරයා වන අතිශය යුධකාමී මයිසීනියානු පාලකයා වූ ඇගමෙනොන් සොයා යයි. ඇගමෙනොන් කිසිසේත්ම සාමය ප්‍රිය කළ පාලකයෙකු නොවී ය. ග්‍රීසියේ නායකත්වය යටතේ කුඩා ග්‍රීක රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් සහ යුධ වීරයන් විශාල සංඛ්‍යාවක් යුද්ධය සඳහා එක්වේ. එහිදී ගිණිය නොහැකි තරමේ විශාල දේපළ සහ ජීවිත හානියක් සිදුවේ. වටිනා ජීවිත රැසක් යුද්ධයට බිලිවේ.

සාමය ප්‍රිය නොකළ ඇගමෙනොන් හට මෙනලොවුස්ගේ පිහිට පතා ඒම අඬන්න සිටි මිනිසාට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. ඇගමෙනොන් ට්‍රෝයි වෙත ඇසගසාගෙන සිටියේ බොහෝ කාලයක සිටගෙන ය. ඔහුගේ ධනයට සහ බලයට ඇති කෑදරකම සියලු සීමාවන්ගෙන් ඔබ්බෙහි පැවතුණි. ඒ වනවිට ට්‍රෝයි රාජධානිය වෙළඳ හා ආර්ථික වශයෙන් ඉහළ තලයක පැවති ධනයෙන් ආඪ්‍ය වූ රාජධානියක් විය. සැබැවින්ම එය වෙළඳ කේන්ද්‍රස්ථානයක් විය. ආයුධ සඳහා ද ට්‍රෝයි රාජධානිය ප්‍රසිද්ධියක් ඉසිලුවේ ය. අතිශය යුධකාමී සහ බලකාමී පාලකයෙකු වූ ඇගමෙනොන් සත්‍ය වශයෙන්ම සිය සොහොයුරාට යුද්ධය සඳහා උපකාර කරන්නේ ඒ සියල්ල අත්පත්කරගැනීමේ අසීමිත ආශාවෙන් යුතුව ය. එය සැබෑ සහෝදර ප්‍රේමය අරභයා සිදුවූවක් නොවී ය. හුදෙක් අවමානයෙන් වියරු වැටී සිටි මෙනලොවුස් ඇගමෙනොන්ගේ බළල් අතක් වූවා පමණි. ඇගමෙනොන්ගේ බලකාමය, යුධකාමය සහ වස්තුකාමය වෙනුවෙන් ගිණිය නොහැකි තරම් ජීවිත සංඛ්‍යාවකට වන්දිගෙවීමට සිදු විය. අවැසි නම් ඔහුට මෙම යුද්ධය නැවැත්වීම සඳහා සියලු අවකාශ පැවතුණි. මෙම යුද්ධයේ ප්‍රකට විරුවෙකු වන ඉතාකාහි පාලකයා වූ ඔඩිසියස් (යුලිසීස්) යුද්ධයට එකතුවන්නේ ද අතිශය දේශපාලනික කරුණක් හේතුවෙනි. ඉතිහාසය මෙම යුද්ධයේ පසුබිම සඳහා හුදු පිරිමියෙකු හා ගැහැනියක අතර ඇතිවූ අනියම් සම්බන්ධතාවයක් හේතු වූ බව හුවාදැක්වූව ද සිනමාකරුවා සිය සිනමාකෘතිය හරහා ඉතා යථාර්ථවාදී ලෙස විනිවිද දකින්නේ ඒ සඳහා පසුබිම් වූ සත්‍ය දේශපාලනික පසුබිමයි. එය වර්තමාන ලෝකය සඳහා ද එක ලෙසින්ම අදාළවන්නා වූ නියත දේශපාලනික යථාර්ථයකි. සෘජු හෝ වක්‍රාකාරයෙන් වස්තුකාමය සහ බලකාමය පදනම්කරගත් දේශපාලනය විශාල විනාශයන්ට මුලපුරන්නේ ඒ ආකාරයෙනි. මෙම යුද්ධයේ කැපීපෙනෙන විරුවෙකු වූ ඇකිලීස් සහ ඇගමෙනොන් අරභයා ඔඩිසියස් විසින් ප්‍රකාශකරන ලද මෙම කියමන ඒ බව මනාව පසක්කරවන්නකි.

“Achilies fight for glory. Agamemnon fight for sand.”

ඇගමෙනොන් යුධ වැදුණේ ඔහුගේ බලකාමය පදනම්කරගත් දේශපාලනික අරමුණු වෙනුවෙනි. ඔහු සිය කූට අරමුණු මුදුන්පත්කරගැනීම සඳහා මෙම සංග්‍රාමය දඩමීමා කරගත්තේ ය.

පුරාවෘත්තය තුළ මෙන්ම හොමර්ගේ ඉලියඩ් කාව්‍යය තුළ ද යුද්ධයට සහභාගී වූ බොහෝ වීරවරුන් පිළිබඳව සඳහන් වී ඇතත් ට්‍රෝයි සිනමපටය තුළින් වඩාත් කැපීපෙනෙන්නේ ඇකිලීස්, ඇගමෙනොන් සහ ට්‍රෝයි යුධ විරුවා වූ හෙක්ටර්ගේ චරිතයන් පමණි. ඉලියඩ් වෙනම වීර කාව්‍යයක් පවා වෙන්කළ ඔඩිසියස් සඳහා ද මෙහි වෙන් වී ඇත්තේ කුඩා ඉඩකඩකි. මෙය ට්‍රෝජන් සංග්‍රාමයේ අනිකුත් විරුවන්ට මෙන්ම පුරාවෘත්තයට ද කරන ලද යම් අසාධාරණයක් ලෙස ඇතැමෙකු පැවසුවත් මා නම් එය දකින්නේ සිනමාකරුවා සිය සිනමාකෘතිය තුළින් අරමුණු කරන දෙය වඩාත් හොඳින් ප්‍රේක්ෂකයා වෙත දැනවීම සඳහා ඉතා ප්‍රවේසමෙන් පුරාවෘත්තයේ සාරය එක්කැටි කොටගෙන මනාව හැසිරවීමක් ලෙසිනි. සැබැවින්ම එය පහසු කටයුත්තක් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන වේදිකා තලය තුළ ඇකිලීස්, හෙක්ටර් සහ ඇගමෙනොන්ගේ චරිත ඉතා සූක්ෂම අන්දමින් ඝට්ටනයට ලක්කරන සිනමාකරුවා එයින් විදහා දක්වන්නේ එකම සමාජීය සහ දේශපාලන ප්‍රපංචයක් තුළ පුද්ගලයන් කීපදෙනෙකුගේ අරමුණු, අපේක්ෂාවන් සහ හැසිරීම් විවිධාකාර වන බවයි. එය එක්තරා අන්දමකින් සංකීර්ණ මිනිස් හැසිරීම් රාශියක සාරයක් එක්තැන් කිරීමට ගත් ප්‍රශස්ත මට්ටමේ උත්සහයකි. සිනමාපටයේ සෙසු චරිත, මෙම චරිත තුන සහ ඒවායේ එකිනෙකට වෙනස් චරිත ලක්ෂණයන් මනාව හුවාදක්වමින් ඒ තුළින් යුද්ධයේ යථාර්ථය පිළිබඳව ප්‍රේක්ෂකයා තුළ ප්‍රබල හැඟීම් ඇතිකිරීමට සමත්වන්නේ චරිත මනාකොට හැසිරවීමේ සිනමාකරුවා සතු හැකියාව ද ප්‍රකට කරවමිනි. මෙම කාර්‍යයේදී වඩාත් වැදගත්ම කොටසක් ඉටුකරනු ලබන්නේ ඔඩිසියස්ගේ චරිතය විසිනි. සිනමාපටයට අනුව කතාවේ කථකයා වන්නේ ද ඔහු ය. චිත්‍රපටයේ කැපී පෙනෙන චරිතයක් නොවූව ද මා ඉහත සඳහන් කළ චරිතවල හැසිරීම සඳහා ඔඩිසියස්ගේ චරිතය වෙතින් එල්ලවන බලපෑම සුළුපටු නොවේ. එය එකී චරිතයන් අතරින් දිවෙන සියුම් හුයක් බඳු ය.

ඇකිලීස් රජුන්/පාලකයන් පිළිබඳව විශ්වාසය නොතැබූ, ඔවුන්ව නොතැකූ අයෙකු විය. ඔහු විශ්වාසය තැබුවේත් ගෞරවයෙන් සැලකුවේත් සෙබළුන් ය. ඔහුට අනුව යුද්ධයේ සැබෑ වීරත්වය සහ ගෞරවය හිමිවන්නේ සෙබළුන්ට ය. එය සැබෑවකි. රජුන් සහ පාලකයන් යුද්ධයට මුලපිරුව ද යුධවදින්නේත්, සිය ජීවිතවලින් වන්දිගෙවන්නේත් සෙබළුන් ය. ඇකිලීස් මෙම යථාර්ථය වටහාගත් තැනැත්තෙකු විය. එනිසා ඔහු සෙබළුන් අගනා කොට සැලකුවේ ය. නමුත්, යුධවැදීම සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික අරමුණ වූයේ ගෞරවය සහ වීරත්වය අත්පත්කරගැනීමයි. වසර දහස් ගණනාවකින් පසු වුවද මිනිසුන් ඔහුව වීරයෙකු ලෙස අභිනන්දනය කිරීම ඔහුට අවැසි විය. සැබැවින්ම ඔහුට “වීරයෙකු” ලෙස “අමරණීය” වීමට අවැසි විය. පුරාවෘත්තයන්ට අනුව ඔහුගේ මව වූ තේටීස් දෙවඟනගේ අමරණීය මග නොව මරණය කරා යන “යුද්ධයේ මග” ඔහු තෝරාගත්තේ එබැවිනි. සියවස් ගණනක් පුරා දනන් තුඩග පැවතෙන පුරාවෘත්තය ඔහුගේ අරමුණ සාර්ථක වූ බවට සාක්ෂි දරයි. නමුත් එය එක්තරා අන්දමක වියරුවකි. ජීවිත සිය දහස් ගණනක් බිලිගත් වියරුවකි. එහෙත් සිනමාපටයේ අවසානයේ කියැවෙන පරිදි ට්‍රෝජන් සංග්‍රාමය ඔහුව එම වියරු සිහිනයෙන් අවදිකිරීමට හේතු විය.

ඇගමෙනොන් යුධවැදුණේ බලය, වස්තුව වෙනුවෙනි. ඔහුව යුද්ධය කරා මෙහෙයවූයේ ඔහුගේ අසීමිත තණ්හාවයි.

හෙක්ටර් මේ දෙදෙනාගෙන්ම හාත්පසින්ම වෙනස් වූ අයෙකි. ඔහු සාමය ප්‍රිය කළ අයෙකි. ඔහු යුධවැදුණේ තම රාජ්‍යයත් එහි වැසියනුත් ආරක්ෂාකරගැනීම වෙනුවෙනි. තම ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

සෑම අතින්ම දක්ෂතම තැනැත්තා ඇකිලීස් වුව ද ට්‍රෝජන් සංග්‍රාමයේ සැබෑ විරුවා ලෙස හෙක්ටර්ව හැඳින්වීමට මා කැමති වන්නේ එනිසා ය.

එකම යුද්ධය පිළිබඳව ඔවුන් තිදෙනාගේ අරමුණු ද, දැක්ම ද හාත්පසින්ම එකිනෙකට වෙනස් විය. ඒ අරමුණුවල වෙනස් බව ඉතිහාසයට අපූරු පුරාවෘත්තයක් දායාද කළේ ය. සිනමාකරුවා හුදු පුරාවෘත්තයෙන් ඔබ්බට ගොස් මින් විනිවිද දකින්නේ ඒ අරමුණුවල සැබෑ යථාර්ථය යි.

මෙය හුදෙක් යුද්ධය පිළිබඳව කතාවක් පමණක් නොවේ. මෙය යුද්ධය හේතුවෙන් අභියෝගයට ලක්වන ඉතා සියුම් වූත් හෘදයාංගම වූත් මානව සබඳතා පිළිබඳව කතාන්දරයකි. ප්‍රියම් රජු සහ හෙක්ටර් අතර ඇති අපූරු පියපුතු සබඳතාවය ද, හෙක්ටර් සහ පැරිස් අතර ඇති සහෝදර සබඳතාවය ද, හෙක්ටර් සහ ඇන්ඩ්‍රොමිකි අතර පවතින හෘදයාංගම අඹුසැමි සම්බන්ධතාවය ද මීට කදිම නිදසුන් ය. නමුත් මේ සඳහා වඩාත්ම ප්‍රශස්ත නිදසුන ලෙස මා දකින්නේ ඇකිලීස් සහ ට්‍රෝයි රජකුමරිය වූ බ්‍රිසේස් අතර ඇතිවන හෘදයාංගම ප්‍රේම බන්ධනය යි. ඇකිලීස්ගේ වසර ගණනාවක යුධ ජීවිතය තුළ බ්‍රිසේස් ඔහුට සාමයේ, ප්‍රේමයේ සහ ජීවිතයේ ආලෝකය ළඟාකර දුන්නා ය. ඒ බව අවසන් මොහොතේ ඇකිලීස්ගේ මුවට නැගෙන වදන්වලින් සහ ඔහුගේ නෙතින් රූරා වැටුණු කඳුළින් මනාව පැහැදිලි වේ.

“You gave me peace, in my life time of war.”

සිය සෙබළුන් පෙරලා පිටත් කර හැරි ඇකිලීස් නතරවන්නේ බ්‍රිසේස් වෙනුවෙනි. තණ්හාවෙන් අන්ධ වී ගිය මිනිසෙකුගේ අන්ධ ආශාවන් වෙනුවෙන් තවදුරටත් සිය සෙබළුන් බිලිදීමට ඔහුට අවශ්‍ය නොවී ය. අතරමග ඔහු හා සටනට පිවිසි ට්‍රෝජන් සොල්දාදුවෙකු ඔහුට යාඥාකරමින් පවසන්නේ තමාට පුතෙකු සිටින බැවින් තමාව මරා නොදමන ලෙස ය. ඔහුව අත්හරින ඇකිලීස් ඔහුට පවසන්නේ වහා සිය පුතුව ට්‍රෝයි නගරයෙන් පිටතට රැගෙන යන ලෙස ය. බ්‍රිසේස්ගේ ප්‍රේමය ඒ තරමටම ඔහු කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකර තිබුණි.

නමුත් යුද්ධයේ නියත යථාර්ථය පිළිබඳව ඇකිලීස් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකරන ලද්දේ ඒ සෑම දෙයකටම වඩා හෙක්ටර් විසින් යැයි මම සිතමි. තමා විසින් ද්වන්ධ සටනේදී ඝාතනය කළ හෙක්ටර්ගේ මෘතදේහය ළඟ කාටත් හොරා වැළපෙන ඇකිලීස් යුද්ධයේ හදකම්පාකරවන සුළු මානව හදවතේ බිඳවැටීමට කදිම නිදසුනකි. ඔහු හෙක්ටර්ට පවසන්නේ මලවුන්ගේ ලොවේ දී මිතුරන් ලෙස නැවත හමුවෙනා ලෙසයි. සිය ප්‍රාණ සම වැඩිමහල් පුතුගේ දේහයට අවසන් ගෞරවය ලබාදීම වෙනුවෙන් සතුරාගේ පාමුළට එන ප්‍රියම් රජු දෙවුරෙන් නැගිටුවාලමින් ඇකිලීස් පවසන්නේ හෙක්ටර් ඔහුගේ ජීවිතය තුළ ඔහුට හමු වූ හොඳම ප්‍රතිවාදියා වන බවයි. ඇකිලීස් අබිමුව දණින් වැටෙන ප්‍රියම් රජුගේ තෙතැති නිල් පැහැති දෑස් මගේ හදවත තුළ ඇති කළේ ප්‍රබල කම්පනයකි. බොහෝ මිනිසුන්ට යුද්ධයේ කුරිරු බව අත්කරදෙන වදනින් කිවනොහැකි වේදනා කන්දක් මම ප්‍රියම් රජුගේ දෑස් තුළින් දැකගතිමි.

සිනමාපටය අවසානයේ ට්‍රෝයි නගරයේ බිඳවැටීම යුද්ධයේ කුරිරු බව ඉතා සියුම් ලෙස ප්‍රේක්ෂක හදවත් තුළ චිත්‍රණය කිරීම සඳහා ගත් අති විශිෂ්ට ගණයේ ප්‍රයත්නයකි. හදවත අවුළුවාලන සුළු සංගීතට සමග මුසු වී නැගී එන නගරවාසීන්ගේ මුරගෑම්, නගරය පුරා ඇවිලෙන ගිනි ජාලාවන්, අසිපත් ගැටෙන හඬ ආදිය හදවත තුළ ප්‍රබල කම්පනයක් ඇතිකරමින් නෙතට කඳුළක් නැංවීමට සමත් ය. එය ඒ තරමටම තාත්වික මෙන්ම සංවේදී ජවනිකා පෙළකි. යුද්ධයේ බියකරු යථාර්ථය පිළිබඳව සංවේදී අයුරින් ප්‍රේක්ෂක හැඟීම් තීව්‍රකරන අපූරු නිර්මාණාත්මක ජවනිකා රාශියක් චිත්‍රපටය පුරාම දැකිය හැකි ය.

අවසානයේ ඇගමෙනෝන් සිය අරමුණ ජයගත්තේ ද? ඇගමෙනොන්ගේ අවසානය මගේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගිය රසවින්දනය නතර කළේ එක්තරා ප්‍රකට ධම්මපද ගාථාවක් අසලිනි.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකෝ කුතො භයං

(තෘෂ්ණාව නිසා ශෝකය උපදී.
තෘෂ්ණාව නිසා භය උපදී,
තෘෂ්ණාවෙන් මිදුණහුට ශෝකයක් නැත,
භයක් නම් කොයින් ද?)

(ධම්මපදය, පිය වග්ගය)

වෛරයෙන් අන්ධ වූ මෙනලොවුස්ගේ අරමුණු අවසානයේ ඉටු වී ද? ඔහුගේ වෛරී අරමුණු ඔහුගේ අවසානය ඔහු කරා ළඟා කළේ ය.

“නහී වේරේන වේරානී
සම්මන්තිධ කුදාචනං
අවේරේනව සම්මන්තී
එස ධම්මෝ සනන්තනෝ”

(වෛරයෙන් වෛරය නොසංසිඳේ. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන්ම ය. එය සනාථන ධර්මයකි.)

(ධම්මපදය, යමක වග්ගය)

සිනමාපටය අවසාන වන්නේ යුද්ධයේ නිස්සාර බව පිළිබඳව නියත යථාර්ථය පිළිබඳව ප්‍රේක්ෂකයාට මැනවින් පසක්කරවමිනි. ඔඩිසියස් ඇකිලීස්ගේ දේහය දවාලන්නේ විනාශ වී නටබුන් වූ ට්‍රෝයි නගරය මධ්‍යයේ දී ය. බොහෝ චිතකයන් දවාලූ ගිනිදැල්වල දුම්‍ රොටු නගර මධ්‍යයෙන් අහසට එක්වෙයි. ජයග්‍රහණය සැමරීමට කිසිවෙකුත් නොමැත. අවසානයේ ජයග්‍රහණය කළ කිසිවෙකු ද නොමැත. ඉතිරි වී ඇත්තේ කඳුළු, රිදුම්, වේදනා, පෑරුම්, අහිමිවීම්, පසුතැවීම් සහ සුසුම් පමණි. ඇකිලීස්ගේ චිතකයට ගිනිතබන ඔඩිසියස් ඔහුට පවසන්නේ සාමය සොයාගන්නා ලෙස ය. ඔඩිසියස් දැන නොසිටිය ද ඒ වන විටත් ඇකිලීස් සිය ජීවිතය තුළ සාමය සහ ප්‍රේමයේ ආලෝකය දැක තිබුණි. එය ඔහුට හිමිවූයේ ට්‍රෝජන් සංග්‍රාමය නිසාවෙනි. එනිසා මින් සැබෑ ලෙස ජයගත් එකම පුද්ගලයා ඇකිලීස් ලෙස මම දකිමි. යුද්ධය තුළින් ඔහු සාමය අනාවරණය කරගත්තේ ය. ඇගමෙනොන් වැන්නන් නොව ඇකිලීස් සහ හෙක්ටර් වැන්නවුන් සැබෑ විරුවන් ලෙස මා දකින්නේ මෙම හේතු කාරණා නිසාවෙනි. මෙම සිනමාපටය තුළින් සිනමාකරුවා මිථ්‍යා ඇදහීම් පිළිබඳව දෘෂ්ටීන් ද කිසියම් අභියෝගයට ලක්කරන බවක් ද මට හැඟී යයි. ප්‍රථමයෙන්ම ට්‍රෝයි වෙරළ අත්පත්කරගනිමින් එහි වෙරළේ වූ ඇපලෝ දෙවියන් උදෙසා වෙන්කළ දෙවොලේ වූ ඇපලෝ ප්‍රතිමාවේ හිස සිය එක් කඩු පහරකින් වෙන්කරන ඇකිලීස්ගේ දර්ශනය එය කදිමට සංකේතවත් කරයි. ට්‍රෝයි රාජ සභාව තුළ හෙක්ටර් සහ ප්‍රධාන පූජකයා අතර ඇතිවන මතගැටුම් ද ඊට නිදසුන් සපයයි. සිනමාකරුවා චිත්‍රපටයේ කිසිදු ස්ථානයක ඉලියඩ්හි මෙන් යුද්ධය සඳහා දෙවියන්ගේ මැදිහත්වීම් හුවාදක්වන්නේ නැත. ඔහු මෙය නිරූපණය කරන්නේ අතිශය තාත්වික යථාර්ථවාදී සිදුවීමක් පරිද්දෙනි. සිනමාපටය වඩාත් යථාර්ථවාදී ස්වාධීන මගක් ගත් නිර්මාණයක් වන්නේ එම හේතුව නිසාවෙනි. ඉලියඩ් කාව්‍යය හා ට්‍රෝයි සිනමාපටය තුළ මා දකින ප්‍රධාන වෙනස වන්නේ ද එය යි.

හෝමර්ගේ “ඉලියඩ්” කාව්‍යය වූ කලී එම යුද්ධයේ පසුබිම විස්තර කිරීම සඳහාත්, එහි වීරයන් අභිනන්දනය කිරීම සඳහාත් රචනා වූ සාහිත්‍ය ග්‍රන්ථයකි. නමුත් එය සහ ඊට පදනම් වී ඇති පුරාවෘත්තය ඇසුරින් නිර්මාණය වුව ද “ට්‍රෝයි” සිනමාපටය වූ කලී ඊට වඩා හාත්පසින්ම වෙනස් යථාර්ථවාදී මාර්ගයක් ගත් යුද්ධයේ නියත යථාර්ථය පිළිබිඹු කරන ස්වාධීන නිර්මාණයකි. ඒ තුළින් ප්‍රකට වන්නේ පුරාවෘත්තයේ ජීවගුණය සුරකිමින් එය තම අරමුණු තුළ හැසිරවීමෙහි ලා සිනමාකරුවා වෙත පවතින අපූර්ව හැකියාවයි.

විශිෂ්ට කැමරාකරණයක්, පසුතල නිර්මාණයක්, අංගරචනාවක්, වේශ නිරූපණයක් මෙන්ම රංග වස්ත්‍රාභරණ නිර්මාණයක් ද මෙම සිනමාපටය තුළින් අපට මනාව දැකගත හැකිය. රූපරාමු සමගින් මුසුකොට කදිමට ගළපා ඇති සංගීත භාවිතය ද, චිත්‍රපටය අවසානයේ ජොෂ් ග්‍රෝබන් විසින් ගායනා කරනු ලබන අපූරු ගීතය ද සිනමාපටයෙන් උද්දීපනය කරන හැඟීම් වඩාත් තීව්‍රකරමින් එහි රසාත්මක වින්දනය මෙන්ම අර්ථාන්විත බව ද වැඩිකරලීමට ඉටුකර ඇති මෙහෙවර අති විශාල ය. මෙය දැඩි වෙහෙසක් මෙන්ම විශාල වියදමක් ද දරා නිර්මාණය කර ඇති විශිෂ්ට චිත්‍රපටයක් වන බවට දෙස් දෙන සලකුණු සිනමාපටය පුරාම අපට දැකගත හැකිය. ආරම්භයේ සිට අවසානය දක්වාම කතාවේ ජීවගුණය රැකගනිමින් ප්‍රේක්ෂකයා ඒ කෙරෙහි ආකර්ෂණය කොට ඇදබැඳ තබාගැනීමට මෙම සිනමාපටය මැනවින් සමත් වී ඇත. සිය රූපරාමු ඔස්සේ සිනමාකරුවා කාල යාත්‍රිකයෙකු සේ අපව වසර දහස් ගණනක ඈත අතීතයට රැගෙන යන්නේ සිය නිර්මාණය තුළ අපව ද ජීවත්කරවමිනි. අපූරු, ඉපැරණි සටන් ජවනිකා රැසක් වඩාත් තාත්වික ලෙස අත්විඳහැනීමේ අවස්ථාව ද මෙම සිනමාපටය තුළ දී ප්‍රේක්ෂකයාට හිමිවේ.

ඉංග්‍රීසි බසින් එක්සත් ජනපදයේ නිර්මාණය වී ඇති මෙම සිනමාපටය වුල්ෆ්ගෑන්ග් පීටර්සන්ගේ සිනමා නිර්මාණයකි. ඉතා ජනප්‍රිය හොලිවුඩ් තරු රැසක් මෙයට රංගනයෙන් දායකත්වය සපයා ඇති අතර එයට හිමිවී ඇති IMDb අගය 7.2 කි. මගේ ප්‍රියතම සිනමාපට ලැයිස්තුවේ “ට්‍රෝයි” සිනමාපටයට හිමිවන්නේ මුල් පෙළ ස්ථානයකි. එමෙන්ම මා වැඩිම වාර ගණනාවක් නරඹා ඇති සිනමාපටය වන්නේ ද ට්‍රෝයි සිනමාපටය යි. කොපමණ වාර ගණනක් නරඹා ඇතත් දැන් වුව ද එය නැරඹීමේ දී මට එය අලුතින් රසවින්දනය කළ හැකිය. මම එය මෙම සිනමාපටයේ විශිෂ්ටත්වය ලෙස දකිමි. ට්‍රෝජන් සංග්‍රාමය සහ ඉලියඩ් කාව්‍යය පදනම්කරගනිමින් බොහෝ රූප කාව්‍යයන් බිහිවී ඇති අතර “ට්‍රෝයි” සිනමාපටය ඒවා අතරින් ඉතාමත් විශිෂ්ටතම නිර්මාණයක් බව මාගේ අදහසයි. බොහෝ ඓතිහාසික කතා පුවත් පාදක කරගනිමින් සිනමා නිර්මාණයන් බිහිකරන ලාංකීය සිනමාවට ද ට්‍රෝයි සිනමාපටයෙන් ගත හැකි දේ බොහෝමයක් ඇතැයි මම සිතමි.

චිත්‍රපටයට ප්‍රබල ආලෝකයක් එක් කළ එහි විශිෂ්ට රංගනය පිළිබඳව ද මෙහි දී කතා කළ යුතුම ය. චිත්‍රපටයේ සෑම රංගන ශිල්පියෙකු වෙතින්ම පාහේ ප්‍රකට වී ඇත්තේ ඉතාමත් විශිෂ්ට රංගන හැකියාවකි. එයිනුත් වඩාත් විශිෂ්ට වන්නේ ඇකිලීස් ලෙස ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වන බ්‍රැඩ් පිට් සහ හෙක්ටර් ලෙස එරික් බැනා විසින් ප්‍රකට කර ඇති අද්විතීය රංගන කෞෂල්‍යය යි. සැබැවින්ම එය චිත්‍රපටයට එක්කර ඇත්තේ ප්‍රබල ආලෝකයකි. සිනමාපටය නැරඹීමට පෙර “ඉලියඩ්” කාව්‍යය සහ ඓතිහාසික පුරාවෘත්තය රසවිඳීමේදී මගේ සිත තුළ ඇකිලීස් සහ හෙක්ටර් පිළිබඳව ඇඳීගිය චිත්‍රයට ඔවුන් දෙදෙනාගේ රූපකායන් සහ රඟපෑම් සෑම අතින්ම සමපාත විය. මෙම වස්තුබීජයම පාදක කරගනිමින් නිර්මාණය වී ඇති රූප කාව්‍යයන් කීපයක්ම මා නරඹා ඇතත් එම චරිතයන්ට උපරිම සාධාරණයක් ඉටු වූ සිත් කාවදින රංගනයක් දුටුවේ ඔවුන් දෙදෙනා වෙතිනි. එනිසා “ට්‍රෝයි” සිනමාපටය වූ කලී සිනමාකරුවා විසින් ඊට උචිතම රංගන ශිල්පීන් තෝරගැනීමත්, රංගන ශිල්පීන් විසින් ඊට නිසි සාධාරණයක් ඉටුකිරීමත් කදිම ලෙස සංකලනය වූ අපූරු චිත්‍රපටයක් ලෙස හඳුන්වාදීමට මම කැමැත්තෙමි. මෙම සිනමාපටයේ සුරූපී හෙලන්ගේ චරිතය නිරූපණය කිරීම සඳහා පළමුවෙන්ම තෝරාගෙන ඇත්තේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සහ සුන්දර නිළියක වන ඓශ්වර්‍යා රායි ය. “ට්‍රෝයි” සිනමාපටය ඇකඩමි සම්මාන ඇතුළු ප්‍රකට සම්මාන උළෙලවල් කීපයකදී සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන උළෙලවල්හි දී සම්මානයට ද පාත්‍ර වී ඇත.

“ට්‍රෝයි” සිනමාපටය යනු හුදු ට්‍රෝජන් සංග්‍රාමයේ ඓතිහාසික පුරාවෘත්තය පිළිබඳව වන සිනමාපටයක් පමණක් නොවේ. එය “ඉලියඩ්” ද නොවේ. ඒවා අනුසාරයෙන් නිර්මාණය වුව ද ස්වාධීන මගක් ගත් සිනමා නිර්මාණයකි. ඉන් ඉතා සියුම් ලෙස විනිවිද දකින්නෙත්, පිළිබිඹු කරන්නේත් එදා මෙන්ම අදටත්, හෙටටත් එක ලෙස වලංගුවන යුද්ධයේ දේශපාලනික මුහුණුවර සහ එහි නියත යථාර්ථය යි. කෙටියෙන්ම කියනවා නම් “ට්‍රෝයි” සිනමාපටය අපට කියාදෙන්නේ යුද්ධයක දී ජයගන්නා කිසිවෙකුත් නොමැතිය යන නියත යථාර්ථය යි. සිනමාපටයේ එන ඔඩිසියස්ගේ යුද්ධය සම්බන්ධයෙන් වන ඉතා ප්‍රබල කියමනකින් මම මගේ සටහන අවසන් කරමි. වචන කීපයකට සීමාවන ඉතා සරල වාක්‍යයක් වන ඉන් කියැවෙන්නේ යුද්ධය පිළිබඳව වචන දහස් ගණනකින් කියා නිමකළ නොහැකි කතාවකි. සැබැවින්ම එය යුද්ධයේ සැබෑ ප්‍රතිරූපය යි.

“War is young men dying and old man talking !!!!”

(යුද්ධය යනු මහළු මිනිසුන් සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර තරුණ මිනිසුන් මියයෑමයි.)

– හංසිනී කවින්දි –

***********************************************

Directed by – Wolfgang Petersen

Produced by – Wolfgang Petersen
Diana Rathbun
Colin Wilson

Screenplay by – David Benioff

Based on Iliad by Homer

Starring – Brad Pitt
Eric Bana
Orlando Bloom
Diane Kruger
Brian Cox
Sean Bean
Brendan Gleeson
Peter O’Toole

Music by – James Horner

Cinematography – Roger Pratt

Edited by – Peter Honess

Production company – Warner Bros. Pictures
Helena Productions
Latina Pictures
Radiant Productions
Plan B Entertainment
Nimar Studios

Distributed by – Warner Bros. Pictures

Release date – May 13, 2004 (Cannes)
May 14, 2004

Running time – 163 minutes

Country – United States
United Kingdom
Malta

Language – English

Budget – $185 million

Box office – $497.4 million

Leave a Reply

Your email address will not be published. Required fields are marked *