The Reader – ( සැලෝලයිට් පුරය – 02) – හංසිනී කාවින්දි

(Spoiler Alert)

ඉතින් ඔබට පුළුවන් ද?
මට ඇසෙන්නට කියවන්න
ජීවිතය………

“අරුණෝදයේ ළා හිරු රැස් මත නටන
පිනි බිඳුවක් ලෙසින් ඔබ මට මුණගැසිණ
දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිනි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැගිණ”

(මහගමසේකර)

අපගේ ජීවිත ගමන් මග තුළ අප අත්දුටු හමුවීම් මෙන්ම වෙන්වීම් ද රාශියකි. සැබැවින්ම ඒවා ගිණිය නොහැකි තරම් ය. ඇතැම් හමුවීම් සහ වෙන්වීම් කිසිදු මතක සටහනක් නොතබාම මතකයෙන් මැකී යන අතර ඇතැම් හමුවීම් සහ වෙන්වීම් අපේ මතකයන් තුළින් හදවතට කිඳා බැස ජීවිතය ආක්‍රමණය කරන්නේ අපටත් හොර රහසිනි. ඇතැම් හමුවීම් අපගේ ජීවිත ජීවනයෙන් සහ ආනන්දයෙන් පුරවාදමන අතර එම හමුවීම්වල නියත අවසානය වන “වෙන්වීම්” අප ජීවිතය තුළ ඉතිරිකරන්නේ සදාකාලික කඳුළක් සහ පසුතැවිල්ලකි.

හැනා ස්මිත්
මයිකල් බර්ග්

ඔවුන් දෙදෙනා අපට කියාදෙන්නේ මෙලොව ඇති සියලුම හමුවීම් සහ වෙන්වීම්වල පවතින මේ නියත යථාර්ථය යි. ඔවුන් දෙදෙනාගේ කතාව තුළින් අප කියවන්නේ එපරිද්දෙන් වන හමුවීම් සහ වෙන්වීම්වල නිමා නොවනා කතාන්දරය යි.

හැනා මයිකල්ගේ ජීවිතයට ඇතුළු වූයේ මා විසින් ලිපිය ආරම්භයේ දීම සඳහන් කරන ලද මහගමසේකරයන්ගේ කවියෙන් පැවසෙන පරිද්දෙනි. සැබැවින්ම එය අහඹු මෙන්ම අපූරු ආගමනයක් විය. එවකට ඔහු සොළොස් හැවිරිදි නව යෞවනයේ පසු විය. එම ආගමනය මට සිහිකරන්නේ අප කවුරුත් කියවා රසවිඳ ඇති සරච්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” නවකතාවේ නොරිකො සං විසින් දෙවෙංදොරා සං මිදොරි අවන්හලට පළමු වරට ඇතුළු වූ අන්දම විස්තර කරන ආකාරය යි. නොරිකො පවසන පරිදි මිදොරියේ විවර වූ දොරෙන් ඔහු ඇතුළු වූයේ හදිසියේ පැමිණි සුළඟක් පරිද්දෙනි. එමෙන්ම හැනා ද මයිකල්ගේ දිවියට අහඹු ලෙස අවතීර්ණ වූයේ හදිසියේ ඇතුළු වූ සුළඟක් මෙනි. ඇය සුළඟක් මෙන් ඔහුගේ ජීවිතයට පැමිණියා ය. සුළඟක් මෙන් ඔහුගේ ජීවිතය තුළ පෙරළි කළා ය. එමෙන්ම යළිත් ආ පරිද්දෙන්ම සුළඟක් ලෙසින් පිටවී ගියා ය. නැවතත් සුළඟක් මෙන් අහඹු ලෙස පැමිණියා ය. පොත් හා සබැඳි මේ සිනමාපටය නරඹන විට එම හැඟීම් හා බැඳුණු පොත් පිළිබඳව සිහිවීම පුදුමයට කරුණක් නොවූව ද පොත් මට ආශ්චර්‍යයක් වන්නේ යම් සේ ද මෙම සිනමාපටය ද මා හට එලෙසින් ආශ්චර්‍යයක් ලෙස හැඟුණු කලාකෘතියකි. පොත් තුළින් අප ජීවිතය කියවන්නේ යම් සේ ද මෙම අපූරු සිනමාපටය තුළින් ද අපට ජීවිතය කියවිය හැකිය.

මයිකල් සහ හැනා අතර වූයේ අහසට පොළව තරම් වෙනස් වූ සුවිසල් වයස් පරතරයකි. නමුත් දෙදෙනා අතර ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගුණි. ඔවුන් දෙදෙනාගේ හමුවීම දෙදෙනාටම ඉතා සුවිශේෂී විය. ඔවුන් දෙදෙනාට ඔවුනොවුන්ව තදින්ම අවැසි විය.

ඔවුන් අතර සිදුවූයේ එක්තරා අන්දමක ගනුදෙනුවකි. නමුත් ඒ ගනුදෙනුව හුදු භෞතික වටිනාකම්වලින් ඔබ්බට ගිය ජීවිතය පිළිබඳ ගනුදෙනුවක් විය. හැනාට අවැසි වූයේ තමා නුදුටු ජීවිතය ඔහු හරහා දැකීමට ය. ඔහු ඇයට ඒ සඳහා දෙවියන් විසින් ලබාදෙන ලද වරප්‍රසාදයක් බඳු විය. එම වරප්‍රසාදයේ ආලෝකයෙන් ඇයගේ ජීවිතය පිරී ඉතිරී ගියේ ය. ඇය කියවීම පිළිබඳව, පොත් පිළිබඳව දැඩි පිපාසාවකින් පසුවූවා ය. මයිකල් ඇයගේ කියවීම පිළිබඳව පිපාසයට මෙන්ම ජීවිතය පිළිබඳව පිපාසාවට ද කදිම තෝතැන්නක් විය. එය එක්තරා අන්දමකින් වියළි කතරක් වැනි වූ ඇගේ දිවියට ඇදහැලුණු වර්ෂාවක් විය. ඇය ජීවිතය පිළිබඳව නොතිත් පිපාසාවකින් යුතුව ඒ සෑම දිය බිඳුවක්ම මහත් අභිරුචියකින් උරා බීවා ය. ඔහු ඇයට ඇසෙන්නට පොත් කියවද්දී ඒ තුළින් ඇය ජීවිතයේ ආලෝකය දුටුවා ය. ඉන් ප්‍රීති ප්‍රමෝදයට පත්වූවා ය. ඒ නිසාම ඇය ඔහු කෙරෙහි ඉතා සියුම් ලෙස හදවතින් බැඳුණා ය.

මයිකල්ට අවැසි වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. හැනාට සත්‍ය වශයෙන්ම අවැසි දේ කිසිසේත් නොදනිමින්ම ඔහු ඇය වෙත බැඳුණේ ය. ඇයව වටහාගැනීමකින් තොරවම ඔහු ඇයට සමීපවූවේ ය. ඔහු තුළ වූයේ නව යෞවනයේ නැගී එන ජීවිතාශාවන් හමුවේ පුබුදු වූ කුතුහලය පිරුණු නොතිත් පිපාසාවකි. හැනා එයට රස දෝතක් වූවා ය. ඔහු ඇයව වටහා නොගත්ත ද, ඇය ඔහුව හොඳින් වටහාගෙන තිබුණි. ඇයගේ වයසත් සමග ජීවිතයට එක්ව තිබූ පරිණතභාවය එයට හේතුවක් වන්නට ඇත. ජීවිතයේ මුල් පියගැට කෙළවර සිටි ගැටවරයාට හැනා ආශාවන් මෙන්ම ජීවිතය පිළිබඳව කදිම කියවීමක් විය. ඔහු හැනාට ඇසෙන්නට පොත් කියවද්දී, හැනා ඔහු තුළින් පොත් කියවද්දී, ඇය ඔහුට ජීවිතය පිළිබඳව කදිම කියවීමක් බවට පත්වූවා ය. ඔහු එය වටහාගන්නේ ඔහු ද වයසින් මෙන්ම ජීවිත අත්දැකීම්වලින් පරිණතභාවයට පත්වෙද්දී ය. සිපිරිගෙය තුළ සිටින හැනා වෙත නැවත ළංවීමට ඔහුව පොළඹවන්නේ කාලයත් සමග ඔහු හැනා පිළිබඳව සිදු කළ ඒ කියවීමයි. මෙම චිත්‍රපටය සඳහා “The Reader” යන නාමය කොතරම් උචිත ද, එය ඉන් ඔබ්බට ගොස් සිනමාපටයට කොතරම් ගැඹුරු අරුතක් සම්පාදනය කරන්නේ ද යන්න මා වටහාගන්නේ මෙවැනි කරුණු තුළිනි.

වරින් වර බිඳෙමින් ඔවුහු තව තවත් තදින් බැඳුණෝ ය. ඔවුන්ගේ අපූරු සබැඳියාව මට සිහි කළේ ජෝන් ඩෙන්වර් විසින් ගායනා කරනු ලැබූ ඉතා ජනප්‍රිය කදිම ඉංග්‍රීසි ගීතයකි.

“You fill up my senses like a night in a forest,
Like the mountains in spring time,
Like a walk in the rain, like a storm in the desert,
Like a sleepy blue ocean.
You fill up my senses, come fill me again.”

(ඔබ මගේ සිතිවිලි පුරවාලූවෙහි ය….

වනාන්තරයක නිහඬ රාත්‍රියක් මෙන්,
වසන්තයේ කඳු මුදුනක් මෙන්,
වර්ෂාව අතරින් කෙරෙන ඇවිදයාමක් මෙන්,
කතරකට කුණාටුවක් මෙන්,
නිද්‍රාසහගත ගැඹුරු නිල් සාගරයක් මෙන්,

ඔබ මගේ සිතිවිලි පුරවාලූවෙහි ය)

ඔහු ඇයට ඇසෙන්නට තව තවත් කියවූවේ ය. ඇය ඔහුට ආමන්ත්‍රණය කළේ “Kid” (කොල්ලා) යන ආදරණීය ආමන්ත්‍රණයෙනි. එය ඔවුන් අතර වූ සබැඳියාව හුදු ලිංගිකත්වයෙන් ඔබ්බට ගිය ස්නේහයත්, ලිංගිකත්වයත්, ප්‍රේමයත්, ජීවන පිපාසාවත් එක්කැටි වූ අපූර්ව සබඳතාවයක් බව අපට මැනවින් ඉඟිකරවයි. ඉතින් අප මෙම සබැඳියාවට නමක් දෙන්නේ කෙලෙසින් ද? කල් ගතවෙත්ම මෙම තරුණයාගේ ජීවිතය කෙරෙහි තමන් ඇතිකර තිබූ බලපෑම ඇය වටහාගත්තා ය. එය ඔහුගේ ජීවිතය අවුල් ජාලයක් බවට පත්වීමට හේතු වනු ඇති බව ඇය අවබෝධකරගත්තා ය. එනිසා ම ඇය ඔහුගේ ජීවිතයට අහඹු ලෙස අවතීර්ණ වූ පරිද්දෙන්ම නිහඬවම ඉන් පිටව යෑමට ද තීරණය කළා ය. එයට තවත් කරුණක් ද හේතු විය. තමා පෙළූ දුබලතාවය සමාජයෙන් වසන් කිරීමට ද ඇයට අවැසි විය. කාර්‍යාලය වෙත උසස්වීමක් ලැබීමත් සමගම ඇය නික්මයන්නේ එබැවිනි. අවසානයේ සිය දුබලතාවය සමාජය ඉදිරියේ හෙළිකිරීමට ඇය තුළ වූ නොකැමැත්තම ඇයව ලෝකයක් ඉදිරියේ දරුණු අපරාධකාරියක ලෙස හංවඩුගැසීමට හේතු විය.

එලෙස මයිකල්ගේ ජීවිතයෙන් පිටවී ගිය හැනා නැවතත් ඔහුට මුණගැසෙන්නේ අධිකරණ භූමියක දී ය. එවකට ඔහු නීති සිසුවෙකු විය. එය ද අහඹු හමුවීමක් විය. ඒ අහඹු හමුවීම ඔහුව ගල්ගැස්සවීමට සමත් විය. ලෝකයක් ඉදිරියේ දරුණු අපරාධකාරියකව චෝදනා ලැබ සිටියේ වරක් ඔහුව ප්‍රේමයෙන් මුසපත් කළ ඒ සොඳුරු රුවට හිමිකම් කී තැනැත්තී හැනා ය. ඔහු හඳුනා සිටි හැනාට එවැන්නක් සිදුකළ නොහැකි බව ඔහු දැන සිටියේ ය. අධිකරණය තුළ දී ඔහු ඇය පිළිබඳව මෙතෙක් දැන නොසිටි සත්‍යයක් අනාවරණය කරගැනීමට සමත්විය. නමුත් අධිකරණයට ද වැසුණු සත්‍යයක් වූ එය අනාවරණය කරගත් එහි සිටි එකම තැනැත්තා ඔහුම පමණක් විය. එම සත්‍යය සමාජයට අනාවරණය කිරීමට ඇය තුළ වූ නොකැමැත්තම ඇයව දරුණු අපරාධකාරියක බවට පත්කොට ජීවිතාන්තය තෙක් සිරගත කිරීමට හේතු විය. සැබැවින්ම එහි දී නැගුණු සෑම චෝදනාවකටම ඇය කොටස්කාරියක වූවා ය. නමුත් ඒ එසේ කිරීමට ඇයට අවැසි වූයේ නැත. සැබැවින්ම ඇය ජීවිතාන්තය තෙක් දඟගෙයට නියම වූයේ ඇයට කියවීමට හෝ ලිවීමට නොහැකි වූ නිසාවෙනි. එය ලෝකයට හෙළිදරව් කිරීමට ඇය අකමැති වූ නිසාවෙනි. පොත් ඇයට ජීවිතය පිළිබඳව පිපාසාවක් ඇති කළේ ය. නමුත් අවසානයේ එලෙස ජීවිතාශාව දැල්වූ පොතක්ම ඇයව ජීවිතාන්තය තෙක් දඟගෙයට නියමවීමට හේතුවක් විය. අධිකරණයේ දී හැනා මයිකල් වෙත හෙලන සමුගැනීමේ බැල්ම සැබැවින්ම මගේ හදවත සසලකිරීමට සමත් විය. එය එක්තරා අන්දමකින් ඔහු පිළිබඳව ඇය තුළ වූ හැඟීම පිළිබිඹු කරවන්නක් විය. එමෙන්ම එය ඇය පිළිබඳව සත්‍යය ලොවට වසන්කරන මෙන් ඔහුගෙන් සිදුකළ නිහඬ ඉල්ලීමක් ලෙස ද මට හැඟී ගියේ ය. හැනා වෙනුවෙන් මගේ හදවත එතරම්ම බරවූයේ ද ඒ නිසාවෙනි. සැබැවින්ම ඇය අන් අය ඇය පිළිබඳව පැවසූ අන්දමේ අපරාධකාරියක නොවූවා ය. ඒ පිළිබඳව හොඳින්ම දැන සිටියේ ඔහුම පමණි. එය ඔහුගේ සිත තුළ පසුතැවීමක් වරදකාරී හැඟීමක් ඇතිකරලී ය. හැනාව හමුවීමට ඔහු බන්ධනාගාරයට යෑමට තීරණය කරන්නේ ඒ නිසා ය. නමුත් තාරුණ්‍යයේ හැඟීම් සමගින් එහි අනෙක් කෙළවරේ සිට ඔහුට අතවැනූ ජීවිතය ඔහුව ආපසු හරවාලීමට සමත් විය.

බිරිඳගෙන් වෙන්වීමත් සමගම හැනා පිළිබඳව වූ මතකය යළි යළිත් ඔහුගේ සිත පාරවන්නට විය. පෙර කී පශ්චාත්තාපයෙන් යුතු වරදකාරී හැඟීම් යළිත් ඔහුගේ සිත තුළ හොල්මන්කරන්නට විය. පොත් කියවා ඇයට කැසට්පටවල පටිගත කොට යැවීමට ඔහු පෙළඹුණේ ද ඒ නිසාවෙනි. ඇතැම්විට එය ඔහුගේ සිතට සැහැල්ලුවක් ගෙනදීමට සමත්වන්නට ඇත. වසර ගණනාවක් පුරා අඳුරින් වැසී ගොස් තිබූ හැනාගේ ජීවිතයට නවමු ආලෝකයක් ගෙනඒමට එය සමත් විය. ඔහු විසින් ඉසින ලද දිය පොදින් පණ ගසා ආ ඇයගේ ජීවිතය යළිත් බලාපොරොත්තුවෙන් සහ ජීවයෙන් පිරී ඉතිරී ගියේ කේඩෑරි වූ මලානික පැළෑටියක් අලුතින් දලු දමන්නාක් මෙනි. ඇය මහත් අභිරුචියකින් කැසට්පට හරහා ඇදී එන ඔහුගේ හඬට සවන්දුන්නා ය. වසර ගණනාවකට පෙර මෙන්ම ඒ තුළින් ඇය ජීවිතයේ ආලෝකය ග්‍රහණය කරගත්තා ය. ඇයගේ මහලු දෑස් නැවතත් ජීවයෙන් පිරී තිබුණි. ඇයට ඒ සියල්ල මහාර්ඝ වස්තූන් විය. ඉතා ප්‍රවේසමින් සහ පිළිවෙලට ඇය ඒවා ඇසුරුම්කර රඳවා තැබූ ආකාරයෙන් ඒවා ඇයගේ ජීවිතයට සිදුකළ බලපෑම මනාව පිළිබිඹු වේ.

ඇයට ඔහු සමග නැවතත් කතාකිරීමට අවැසි විය. ඔහුව දැකීමට අවැසි විය. එනිසාම ඇය අසීරුවෙන් මහත් පරිශ්‍රමයක් දරා ලිවීමට සහ කියවීමට ඉගෙනගත්තා ය. ඇය ඔහුට පෙර පරිදිම ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරමින් තමාට පෙරළා ලියන ලෙස ඉල්ලාසිටියා ය. නමුත් ඇයට පෙරළා ලීවේ ඔහු නම් නොවේ. ඒ ලිපි සෑම එකක්ම කියවන ඔහු නිහඬවම සුසුම් හෙළමින් ප්‍රවේසමින් ඒවා එකතු කර ලාච්චුවක දමා වසා තැබුවේ ය. ඇයගේ ලිපිවලින් පිරීගිය වැසුණු ලාච්චුව සිනමාපටය තුළ සිනමාකරුවා විසින් භාවිතා කරන්නට යෙදුණු ප්‍රබල මෙන්ම අපූරු සංකේතයක් ලෙස මට හැඟේ. හැනා යනු ඔහුගේ ජීවිතයේ වැසුණු ලාච්චුවකි. ලිපි කියවා නිහඬව එහි තැන්පත්කරන්නාක් මෙන් ඔහු ද හැනා පිළිබඳව මතකයන් එකින් එක අවුස්සා බලා නැවතත් නිහඬවම එය ලාච්චුවට දමා වසා තබයි. බන්ධනාගාර නිළධාරිනිය හැනා පිළිබඳව ඔහු සමග කතා කළ අවස්ථාවේ ඔහු ඇය සමග ඒ පිළිබඳව සංවාදයේ යෙදෙන්නේ හීන වූ උනන්දුවක් ඇත්‍තෙකු පරිද්දෙනි. නමුත් එය සැබෑවටම එසේ නොවී ය. ඇය පිළිබඳව මතකය ඒ මොහොතේත් ඔහුගේ සිත තුළ දැල්වෙමින් පැවතුණි. හැනාට නව නිවසක් පිළියෙල කරන ඔහු වෙතින් ප්‍රකට වූ උද්‍යෝගය, එම නිවසේ බිත්තියේ ඔහු එල්ලා තබන චිත්‍රය, එය ඔවුන් වසර ගණනාවකට පෙර පාපැදි සවාරියක යෙදුණු මාර්ගය වැනි මාර්ගයක කදිම සිතුවමකි. ඒ සියල්ලක්ම ඔහු තුළ ඇය පිළිබඳව වූ සැබෑ හැඟීම් මනාව පිළිබිඹු කරවන්නක් විය. එම සිතුවම දෙස බලාසිටින ඔහුගේ හිනැහෙන නිල් පැහැති දෑස් නිහඬවම කියාපෑවේ පෙර මතක පිළිබඳව මෙන්ම හැනා පිළිබඳව ද ඔහු තුළ දැල්වුණු ආලෝකය යි. එය ප්‍රේක්ෂකයා තුළ ප්‍රබල හැඟීම් දැනවීමට සමත්වන්නකි.


අවසානයේ ඔහු හැනාව හමුවේ. නමුත් ඒ පෙර සිටි හැනාවත් ඔහු පෙර සිටි මයිකල්වත් නොවී ය. ජීවිතය සහ කාලය ඔවුන් දෙදෙනා තුළම විශාල වෙනසක් ඇතිකර තිබුණි. ඔවුන් සංවාදයේ යෙදුණේ සමීපතමයන් නොව අමුත්තන් දෙදෙනෙකු පරිද්දෙනි. ඇතැම්විට එය හැනා තුළ බලාපොරොත්තු කඩවීමකට සහ බිඳවැටීමකට හේතුවක් වන්නට ඇත. එය ඇයගේ අවසන් තීරණය සඳහා ද ඇතැම්විට බලපෑම් ඇතිකරන්නට ඇත. නමුත් එය සැබැවින්ම මයිකල්ට අවැසිව තිබූ දේ නම් නොවන වග මා වටහාගත්තේ ඇයව බැහැදැකීම මල් කළඹක් ද අතැතිව එන මයිකල්ගේ පසු හැසිරීමයි.

සිපිරිගෙයින් පිටව යාමට ඇය කිසිසේත්ම සූදානම්ව නොසිටියා ය. එහි සියල්ලක්ම තිබූ පරිද්දෙන්ම විය. ඇය ජීවිතය පිළිබඳව අවසන් තීරණය ක්‍රියාවට නංවන්නේ ඈ තුළ ජීවිතාශාව දැල්වූ පොත් මත නැගීසිටිමිනි. එය වචනයෙන් කිවනොහැකි බොහෝ දේ නිහඬවම කියාපාන රූපරාමුවකි. ඇයව ජීවිතයේ අවසානය දක්වාම ඔසවා තැබුවේ පොත් ය. ඇයට ජීවිතය ගතකිරීමට බලාපොරොත්තුවක් දුන්නේ ද ඒවාම ය. එමෙන්ම ඇයගේ ජීවිතයේ අවසානය දක්වාම ඒවා ඈ අසළ විය.  ඒවා ඈ තුළ කුහුලත් ජීවිතාශාවත් දැල්වී ය. කිසිදා ලිවීමට සහ කියවීමට ඉගෙනගෙන නොසිටි ඇය අවසන් සමයේ එය ද උගත්තා ය. එය එක්තරා අන්දමකින් ඇයගේ ජීවිතය පිළිබඳව අරමුණු සාක්ෂාත් කරගැනීමක් විය. ඉතින් එනයින්ම ජීවිතය පරිපූර්ණ වූවා යැයි ද, තවත් ඉන් ඔබ්බට පලක් නැතුවා යැයි ද ඇතැම්විට ඈ සිතන්නට ඇත. ඇතැම්විට මයිකල් සහ ඇය අතර වූ අවසන් හමුව ද ජීවිතයේ අගිස්සේ සිටි ඇයගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු බිඳවැටීමට හේතුවක් වන්නට ඇත. යළි සමාජගතව අලුත් ගැහැනියක ලෙස ලෝකයට මුහුණදීම පිළිබඳව අවිනිශ්චිත හැඟීම් ඈ තුළ ජනිතවන්නට ඇත. නැවත මයිකල්ගේ ජීවිතයට ඇතුළුවීම ඔහුගේ ජීවිතය අවුල්කරදැමීමක් ලෙස ද ඇතැම්විට ඇයට සිතෙන්නට ඇත.

කෙසේ වුව ද ඇයගේ අවසන් තීරණයට බලපෑ සත්‍ය හේතුව දන්නේ ඇයම පමණි. ඇතැම්විට මේ සෑම හේතුවක්ම ලොකු කුඩා වශයෙන් එයට බලපාන්නට ඇත. ඇයගේ අවසානය සිදුවන්නේ ප්‍රේක්ෂකයාට ඇය පිළිබඳව මෙන්ම ජීවිතය පිළිබඳව ද සිතන්නට බොහෝ දේ ඉතිරිකරමිනි. කලාකෘතියක විශිෂ්ටත්වය වන්නේ එයයි. එය සෑමවිටම රසවින්දනය කරන්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යමින් සිතීමට බොහෝ දේ ඉතිරිකරයි. එමගින් රසවින්දනය කරන්නාගේ මනස තුළ ජීවිතයේ යථාර්ථය පිළිබඳව ආලෝකය දල්වයි. “The Reader” වූ කලී එවැනි විශිෂ්ට ගණයේ සිනමා කෘතියකි.

හැනාගේ අවසන් ලිපියේ ඇය පවසන්නේ මයිකල්ට “හෙලෝ” යැයි පැවසූ බව දන්වන ලෙසයි. එම “හෙලෝ” යන වචනය තුළ වචනයෙන් කිව නොහැකි බොහෝ දේ ගැබ් වී ඇත. “හෙලෝ” යනුවෙන් පවසමින් නිහඬවම ඔහුගේ දිවියට ඇතුළු වූ ඇය යළිත් “හෙලෝ” යනුවෙන් පවසමින් නිහඬවම ඉන් පිටවී ගියා ය. ඇගේ අවසන් “හෙලෝ” පණිවුඩය ඒ නිහඬ සමුදීම පිළිබඳව ප්‍රේක්ෂකයාගේ හදවත ගැඹුරේම සංවේදී සිතුවිලි ඇතිකරලීමට සමත්වන්නකි.

හැනාගේ අවසන් කැමැත්ත පරිදි මයිකල් ඇයගේ මුදල් අඩංගු වූ කුඩා තේ ටින් එක ද රැගෙන ඇයව සිපිරිගෙයට නියමවීමට හේතු වූ ඒ ග්‍රන්ථය රචනා කළ මාර්තාව හමුවීමට යයි. ඇය මාර්තාව සිය අවසන් ලිපියේ හඳුන්වා ඇත්තේ “දුව” යන ආමන්ත්‍රණයෙනි. සැබැවින්ම එම ආමන්ත්‍රණය හදවතට කොතරම් සමීප ද, ලෙන්ගතු ද, දයාබර ද? ඒ සියල්ලක්ම හඟවන්නේ හැනා තුළ සැඟවී තිබූ දීප්තිමත් ආත්මය යි. ඇයගේ අතීතය ගැන ඇය පසුතැවිලි වන්නට ඇත. ටෝල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය කෘතිය අතට ගත් හැනාගේ මුහුණින් ප්‍රකට වූ හැඟීම් ඒ පිළිබඳව මට ඉඟිකරලී ය. නමුත් වසර ගණනාවක සිර දඬුවම වුව ද ඇය තුළ වූ දීප්තිමත් ආත්මය විනාශකර දැමීමට කිසිසේත්ම හේතුවක් නොවීය. මයිකල්ගේ මතකය තුළ හැනා සැමදා ජීවත්වීමට හේතුවක් වූයේ ද ඇයගේ ආත්මය තුළ වූ එම දීප්තිය යි.

මාර්තා එම මුදල් භාරගැනීම ප්‍රතික්ෂේපකරන්නේ එය පව් සමාකරගැනීමක් වේ යැයි පවසමිනි. නාසිවාදීන් අතින් කුරිරු වධ බන්ධනයන්ට ලක්ව මියගිය සිය පවුලේ සාමාජිකයන් පිළිබඳව මතකය ඇයට ඊට ඉඩ නොදෙන්නට ඇත. නමුත් හැනා පිළිබඳව මයිකල් සමගින් සංවාදයේ යෙදෙද්දී ඇයගේ දෑස කඳුළින් පිරී, හඬ බරවී තිබුණි. මුදල් ප්‍රතික්ෂේප කළ ඇය හැනාගේ පැරණි කුඩා තේ ටින් එක ළඟ තබාගනී. එමෙන්ම ඇය එය තැන්පත් කරන්නේ ඇයට මහඟු වස්තුවක් වූ පවුලේ සාමාජිකයන්ගේ සේයාරුව අසළිනි. හැනා ඇයට ඇයගේ පවුල සමගින් බැඳුණු මතකයකි. එය අමිහිරි එකක් වුව ද ඔවුන් අසළින්ම ඇය එය තැන්පත්කිරීම හැනා පිළිබඳව මාර්තා තුළ වූ ළතෙත් හැඟීම පිළිබිඹු කරවන්නකි. එය ඇය හැනාට සමාව ලබාදුන් බව නිහඬවම සංකේතවත් කරන්නකි. එය මාර්තාගේ හදවතේ සැහැල්ලුවට ද, හැනාට ස්වර්ගය කරා ප්‍රවිෂ්ට වීමට ද හේතුවක් වන්නට ඇත. “සමාව”……එය කොතරම් අපූරු වචනයක් ද? අපූරු ක්‍රියාවක් ද? එය මිනිස් ආත්මයට කොපමණ සැහැල්ලුවක් හා ආලෝකයක් ගෙන එන්නේ ද? මාර්තා නිඬවම ලොවට හෙළි කරන්නේ එම සොඳුරු යථාර්ථය යි.

“The Reader” සිනමාපටය වූ කලී මා නැරඹූ සිනමාපට අතරින් ඉතාමත් විශිෂ්ට ගණයේ ලා සැලකිය හැකි නිර්මාණයකි. සැබැවින්ම එය නිහඬතාවය තුළින් ගැයෙන ජීවිතය පිළිබඳව ළයාන්විත සොඳුරු ගීතයක් බඳු ය. වෙනස්ම ආකාරයේ, අපූරු කතා තේමාවක් රැගත් මෙම සිනමාපටය කලාතුරකින් දැකිය හැකි අන්දමේ අති විශිෂ්ට සිනමාත්මක ආකෘතියක් රැගත් නිර්මාණයකි. මෙහිදී සිනමාකරුවා සෑම කුඩා සිදුවීමක්, වස්තුවක් වුව ද යොදාගනිමින් ප්‍රේක්ෂකයා තුළ ගැඹුරු හැඟීම් ඇතිකරලීමට සමත් වී ඇත්තේ සිනමාකරුවෙකු ලෙස ඔහු සතු දක්ෂතාවය මනාව පිළිබිඹු කරවමිනි. ඔහු කතා සන්දර්භය තුළ රූපරාමු, කැමරාව මෙන්ම සිද්ධීන් ද හසුරුවන්නේ ඒ සෑම දෙයක් තුළින්ම කලාත්මක ලෙස කිසියම් අරුතක් සම්පාදනය කරමිනි. මයිකල් හැනාට කියවන පොත් පවා කතා සන්දර්භය තුළ හා සිනමාපටයේ සිනමාත්මක ආකෘතිය තුළ ඔහු විසින් අපූර්ව අන්දමින් හසුරුවනු ලබන්නේ ඒවා තුළින් හැනාගේ ජීවිතය පිළිබඳව වචනයෙන් කිවනොහැකි බොහෝ දේ නිහඬවම කියාපාමිනි. දෙබස්වලින් නොව රූපවලින් කතාකිරීමේ කලාව එබඳු ය. The Reader හි සිනමාකරුවා එම කලාව ඉතාමත් හොඳින් ප්‍රගුණ කළ අයෙකු වන බවට දෙස්දෙන කදිම නිදසුන් රාශියක් මෙම සිනමාපටය පුරාම අපට දැකගත හැකිය. මයිකල් හැනාට කියවීම සඳහා තෝරාගන්නා හෝමර්ගේ “ඔඩිසි”, ලියෝ ටෝල්ස්ටෝයිගේ “යුද්ධය සහ සාමය”, ඩී. එච්. ලෝරන්ස්ගේ “චැටර්ලි ආර්‍යාවගේ පෙම්වතා” සහ ඇන්ටන් චෙකොෆ්ගේ “බල්ලා කැටුව යන කාන්තාව” වැනි සාහිත්‍ය කෘතීන් හැනාගේ ජීවිතයේ නොයෙක් අභ්‍යන්තර ප්‍රදේශයන් පිළිබඳව අපට නිහඬවම ඉඟි කරයි. ඒ බව වටහාගැනීමට නම් එම සාහිත්‍ය කෘතීන් ද ඇසුරුකර තිබිය යුතු ය. නමුත් එම කෘතීන් ඇසුරුකර නොතිබීම චිත්‍රපටය ස්වාධීන ලෙස රසවින්දනය කිරීමට කිසිදු බාධාවක් නොවන බව ද මම ඉඳුරාම පවසමි. එහෙත් ඒවා ඇසුරුකර තිබීම මෙහි රසවින්දනය වඩාත් තීව්‍ර කරනු ඇති බව නම් නිසැක ය.

එහිදී ප්‍රබල සංකේතයක් ලෙස සිනමාකරුවා යොදාගන්නේ චෙකොෆ්ගේ බල්ලා කැටුව යන කාන්තාව කෘතිය යි. එම කෘතිය පිළිබඳව සිනමාපටයේ කීප තැනකදීම කියැවේ. එහි දී කියැවෙන්නේ ද එක්තරා මිනිසෙකුගේ ජීවිතයට අදිසි කාන්තාවකගෙන් ලැබුණු අදිසි හාදුවක් පිළිබඳව ය. හැනා ද එලෙසින් මයිකල්ට ජීවිතය පිළිබඳව අපූරු පාඩම් රැසක් ඉගැන්වූ අදිසි හාදුවකි. හැනා කියවීමට ඉගෙනගන්නේ ද බල්ලා කැටුව යන කාන්තාව කෘතිය ඇසුරුකිරීමෙනි. එය නිහඬවම බොහෝ දේ සංකේතවත් කරයි. ඒ පිළිබඳව අවබෝධකරගැනීමට නම් ඔබ චෙකොෆ්ගේ බල්ලා කැටුව යන කාන්තාව ද කියවා තිබිය යුතු ය. නමුත් එය කියවා නොතිබීම සිනමාපටය රසවින්දනය කිරීමට බාධාවක් නොවන බව මම යළිත් වරක් පවසමි. එමෙන්ම මෙම සිනමාපටය තුළ ඉතා විශිෂ්ට සහ කලාත්මක අන්දමින් සූක්ෂමව හසුරුවන ලද කැමරා ඇසක් ද අපූරු අංග රචනාවක් හා වේශ නිරූපණයක් ද අපට නොඅඩුව දැකගත හැකිය. වයස්ගත වන හැනාගේ අත්වල සහ මුහුණේ සියුම් රැලි, රේඛාවන් පවා ඉතාමත් තාත්විකව මෙන්ම සියුම් ලෙස නිරූපණය කිරීමට එහිදී ඉතා දක්ෂ ලෙස සමත් වී තිබේ.

මෙම සිනමාපටයේ රංගනය පිළිබඳව කතා නොකර සිටීම සැබැවින්ම එහිදී එයට සිදුකරන බලවත් අසාධාරණයක් ලෙස මම සලකමි. හැනා ලෙස රංගනයෙන් දායකත්වය සපයන ඉතා ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වන කේට් වින්ස්ලට්, මැදිවියේ මයිකල් ලෙස රංගනයෙන් දායකත්වය සපයන රැල්ෆ් ෆයින්ස් මෙන්ම තරුණ මයිකල් ලෙසින් රංගනයේ යෙදෙන ඩේවිඩ් ක්‍රොස් වෙතින් ද ප්‍රකට වන රංගන කෞෂල්‍යය ඉතාමත් විශිෂ්ට ය. එය සිනමාපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. එයිනුත් වඩාත් විශිෂ්ට වන්නේ හැනා ස්මිත් ලෙස කේට් වින්ස්ලට් විසින් ඉදිරිපත්කරන ලද සිත් කාවදින සුළු අද්විතීය රංගනය යි. ඒ සඳහා ඇය 2009 වසරේ විශිෂ්ටතම නිළියට හිමි ඇකඩමි සම්මානයෙන් පිදුම්ලැබීම කිසිසේත්ම පුදුමවීමට කරුණක් නොවේ. සැබැවින්ම ඇයට එය හිමිවිය යුතුම ය. The Reader හි හැනා ස්මිත් ලෙස ඇය ප්‍රකට කළ රංගන කුසලතාවය එතරම්ම තාත්වික ය. එතරම්ම විශිෂ්ට ය. ඇය තුළින් මම කේට් වින්ස්ලට් නම් රංගන ශිල්පිනිය නොව හැනා ස්මිත් නම් ගැහැනියව දැකගතිමි. ඇයව වටහාගතිමි. ඉතින් ඊටත් වඩා යමක් කුමකට ද? මෙම සිනමාපටය නැරඹීමට පෙර කේට් වින්ස්ලට් මගේ හදවත තුළ ලැගුම්ගෙන සිටියේ ටයිටැනික් හි “රෝස්” ලෙස ය. නමුත් මෙය නැරඹීමෙන් පසුව කේට් මා සිත පතුළේ ගැඹුරුම තැනක ලැගුම්ගත්තේ The Reader හි “හැනා” ලෙසිනි. මෙවන් අභියෝගාත්මක චරිතයක් සිත් කාවදිනසුළු අන්දමින් ඉදිරිපත් කිරීමෙහි ලා ඇය විසින් ප්‍රකට කර ඇති එඩිතරභාවය ද සැබැවින්ම අගය කළ යුතු ය.

ඉංග්‍රීසි බසින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය සඳහා හිමි වී ඇති IMDb අගය 7.6 කි. එය ඇකඩමි සම්මාන උළෙල ඇතුළු සම්මාන උළෙලවල් රාශියකදීම සම්මාන රැසක් සඳහා නිර්දේශ වී ඇති අතර සම්මාන රැසක් හිමිකරගෙන ද ඇත. නමුත් මෙය පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සිනමාපටයක් නොවන බව ද පැවසිය යුතු ය.

“The Reader” යනු ලිංගිකත්වය පිළිබඳව කතාවක් නොවේ. එය ගැටවරයෙකු සහ මැදිවියේ ගැහැනියක අතර අනියම් සබඳතාවයක් පිළිබඳව කතාවක් ද නොවේ. මෙවැනි අදහස් හිස තුළ පුරවාගෙන සිටින තාක් ඔබට මෙම අපූරු මෙන්ම විශිෂ්ට සිනමාපටය ස්වාධීන ලෙස රසවින්දනයේ තියුණු ග්‍රහණයට හසුකරගැනීමට නොහැකි වන බව මම ඉඳුරාම පවසමි.

“The Reader” යනු සංකීර්ණ සහ ගැඹුරු වූ මානව සබඳතාවයන් පිළිබඳව අපූරු දෘෂ්ටිකෝණයකින් බැලීමටත්, මානව සබඳතා ගැඹුරින් විනිවිදීමටත් ප්‍රේක්ෂකයා තුළ ප්‍රබල පෙළඹවීමක් ඇතිකරන සිනමාපටයකි. එය ගැඹුරු සහ සංකීර්ණ වූ මානව සබඳතාවයන් පිළිබඳව අපූරු කතාන්දරයකි. මෙම සිනමාපටය මගේ ජීවිතයට එක් කළ ඉතා වැදගත් පාඩමකි. එනම් කිසිදු පුද්ගලයෙකු හෝ මානව සබඳතාවයක් පිළිබඳව මතුපිටින් පෙනෙන දේ ස්පර්ශ කර බලා ඒ පිළිබඳව ඉක්මන් විනිශ්චයකට නොඑළඹිය යුතු බවයි. මන්ද එම පුද්ගලයා හෝ මානව සබඳතාවය තුළ අප දකින දෙයට වඩා හාත්පසින්ම වෙනස්, ගැඹුරු එමෙන්ම සංකීර්ණ දේ සැඟවී තිබීමට හැකි බැවිනි.

සිනමාපටය ආරම්භයේදී ම එක් ගැහැනියක මයිකල් හට පවසන්නේ ඔහුව වටහාගැනීමට සමත් ගැහැනියක මෙලොව සිටීමට නොහැකි බවයි. නමුත් එය කිසිසේත්ම සත්‍යයක් නොවන බව මම ඉඳුරාම පවසමි. මන්ද ඔහුව සැබැවින්ම වටහාගත් කාන්තාවක් මෙලොව වූවා ය. ඒ හැනා ස්මිත්ම පමණි. ඇතැම්විට ඇය ඔහු සැබෑවටම ප්‍රේම කළ එකම කාන්තාව ද, ඔහුට සැබැවින්ම ප්‍රේමකළ එකම කාන්තාව ද වන්නට ඇත. එක්තරා බිමක නිහඬව නිදා සිටින ඇයව දැකීම සඳහා ඔහු සිය දියණියව කැඳවාගෙන යන්නේ එබැවිනි.

ප්‍රේමය වඩාත් මිහිරි මතකයක් වන්නේ එහි රිදුම් වැඩිවන විටදී ය. හැනා මයිකල්ගේ ජීවිතයේ එළිපිට නොකී ප්‍රේමය විය. ඇසෙන්නට ගායනා නොකළ ප්‍රේම ගීතය විය. හැනා ඔහුගේ හදවත තුළ සැමදා රිදුම් දුන් ප්‍රේමයේ මතකය විය.

“එක් වූවෝ පසු කලෙක උනුන් රිදවාගනිති …
බිඳෙති …වෙන්වෙති …
එක් නොවූවෝ සදාකල්හිම විඳවති …
එහෙත් කිසි කලෙක
නොබිඳෙති … වෙන් නොවෙති …

බැඳුණු අතැඟිලි වලට වඩා
බැඳුණු සිතුවිලි ප්‍රේමාන්විත බව⁣
ලෝකයාට කියන්නට
ඔවුහු උත්සුක නොවෙති …
ඒ ප්‍රේමය ඔවුහු මරණය තෙක් රකිති …
මරණින් මතුව ද ඒ ප්‍රේමයම පතති …

එක්වූවෝ ළය ගින්නේ යහන්ගත වෙති …
එක්නොවූවෝ හද සයනේ යෙහෙන් වැජඹෙති..

ප්‍රේමය යනු …
එක් වූවන්ගේ
රජ දැක්ම නොවේ …
ප්‍රේමය යනු …
එක් නොවූවන්ගේ
“හද ගැස්මයි”

(“කලියුගයේ කුමාරයා” – ඩිල්ශාන් පතිරත්න)

හැනාගේ වියෝවෙන් කම්පාවට පත් මයිකල් සමග මම ද නිහඬව හඬාවැටුණෙමි. ඉතා හොඳින් දන්නා හඳුනන සමීපතම තැනැත්තියක මා වෙතින් වියෝ වූ බවට හැඟීමක් මගේ සිත තුළ ඇති වී තිබුණි. සිනමාපටය අවසානයේ හැනා වෙනුවෙන් උපන් ගුප්ත ශෝකයකින් මගේ හදවත පිරී පැවතුණි. මම මගේ කඳුළුවලට කම්මුල් දිගේ ඔහේ ගලායාමට ඉඩහලෙමි. ඒ කඳුළු  “The Reader” සිනමාපටය මට ප්‍රබල රසවින්දනයක් සමගින් පරිපූර්ණ කියවීමක් ද ලබාදුන් බවට නිහඬවම සාක්ෂි සපයයි.

ඉඳින්,

හැනාගේ සහ මයිකල්ගේ කතාව ඔස්සේ සංකීර්ණ මෙන්ම ගැඹුරු මානව සබඳතාවයක් පිළිබඳව අපූරු කියවීමක යෙදීමට මම ඔබටත් ඇරයුම් කරමි.

– හංසිනී කවින්දි –

Directed by – Stephen Daldry

Produced by – Anthony Minghella
                         Sydney Pollack
                         Donna Gigliotti
                         Redmond Morris

Screenplay by – David Hare

Based on – “Der Vorleser” by Bernhard Schlink

Starring –
Kate Winslet
Ralph Fiennes
David Kross
Lena Olin
Bruno Ganz

Music by – Nico Muhly

Cinematography – Chris Menges
                                Roger Deakins

Edited by – Claire Simpson

Production companies-
Mirage Enterprises
Neunte Babelsberg Film GmbH

Distributed by – The Weinstein Company

Release date –
December 12, 2008 (United States)
February 6, 2009 (Berlin)
February 26, 2009 (Germany)

Running time – 124 minutes

Country –
Germany
United States

Language –
English
German
Greek

Budget – $32 million

Box office – $108.9 million

Leave a Reply

Your email address will not be published. Required fields are marked *