රාජපක්‍ෂලා අඳිමින් ඉන්නේ පැරණි දූෂිත කැත චිත්‍රයමයි – බිමල් රත්නායක

අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගෙන. එකක් අපේ අපේක්‍ෂක කණ්ඩායම ගැන මූලික හැඳින්වීමක් කරන්න. අනෙක අගමැති රාජපක්‍ෂ මහතා ඊයේ(28) කර තිබු ප්‍රකාශයක් ගැන කරුණු පැහැදිලි කරන්න.

පාර්ලිමේන්තුවක මූලික කාර්යභාරයයන් අතර ප්‍රමුඛ දේවල් තුනක් තිබෙනවා. රටට උචිත නීති සම්පාදනය, රාජ්‍ය මුදල් විනිවිද පෙනෙන ලෙස නිසි පරිදි කළමණාකරණය කිරීම, ජනතා ප්‍රශ්නවලට නිසි ලෙස අවධාරණය යොමු කර ඒවා විසඳීම. ඒ සඳහා නිසි ලෙස ක්‍රියාකරන ජනතා නියෝජිතයින් තමයි පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්න ඕනෑ. ඔවුන්ට තමන්ට අදාළ විෂය පිළිබඳව ද නිසි අවබෝධයක් තිබිය යුතුයි.

අද ලංකාව ලෝක බලවතුන්ගේ ෆුට්බෝලයක් වෙලා. පසුගිය කාලය තුළ ලෝක බලවතුන්ගේ වුවමනාවට අපේ රට අහිතකර ගිවිසුම් කීයක් ගැහුවද? මේවා ගැන මුලින්ම පාර්ලිමේන්තුවේදී රටට හෙළිකළේ ජවිපෙ මන්ත්‍රීවරු. බොරුකාර දේශප්‍රේමීන් නොවෙයි අද වැඩිවැඩියෙන් අවශ්‍ය කරන්නේ ඇත්තට රටට ආදරය කරන ජාතික ජන බලවේගය වැනි පක්ෂවල නියෝජිතයින්. අද අප රටේ පාලනතන්ත්‍රය තුළ දූෂණය ඉහවහා ගිහින් කියල බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළත් කතා කරනවා. එ වගේම කෙනෙක් ගණකාධිකාරිවරයෙක් වූ පලියටම පාර්ලිමේන්තුවට සුදුසු නැහැ. ඔහු ගණකාධිකාරිවරයෙන් වගේම අදූෂිතයෙක්ද විය යුතුයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෑ ජනතා ප්‍රශ්නවලට සංවේදී නියෝජිතයින්. සමහර මන්ත්‍රීවරු පසුගිය අවුරුදු පහටම එකම වචනයක් ජනතාව වෙනුවෙන් කතාකර නැහැ. දවසක් හෝ කතා නොකළ මන්ත්‍රීවරු 10ක් ඉන්නවා පාර්ලිමේන්තුව තුළ. පසුගිය කාලවකවානුවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීම මන්ත්‍රීවරු ජවිපෙ මන්ත්‍රීවරු කියලා ස්වාධීන සමීක්‍ෂණ කණ්ඩායම් පවා තම වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා. අනුර දිසානායක සහෝදරයා අංක 01. මා සිටින්නේ දෙවන ස්ථානයේ. තුන්වන ස්ථානයේ ඉන්නේ නලින්ද ජයතිස්ස සහෝදරයා. සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පස්වෙනි ස්ථානයේ. විජිත හේරත් සහෝදරයා 19වැනි ස්ථානයේත් නිහාල් ගලප්පත්ති සහෝදරයා විසිදෙවැනි ස්ථානයේත් සිටිනවා. නවක මන්ත්‍රීවරු අතරින් ක්‍රියාකාරීම මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා. අපේ මන්ත්‍රීවරු හයදෙනා පාර්ලිමේන්තු වාර 3267කදීම ජනතා ප්‍රශ්න ගැන කතා කරලා තිබෙනවා. අනුර සහෝදරයා පමණක් 827 වතාවක් කථාකරලා තිබෙනවා. පෙරකී සමීක්‍ෂණ වාර්තාවල කාර්යක්‍ෂම මන්ත්‍රී ලැයිස්තුවේ මහින්ද රාජපක්‍ෂ ඉන්නේ 146වෙනි ස්ථානයේ. නාමල් 151 වෙනි ස්ථානයේ. ඔන්න රට ගැන ජනතාව ගැන ආදරය කරන බව කියන දේශප්‍රේමීන්ගේ ඇත්ත තත්වය. සජිත් ගත්තම ඉන්නේ 72වැනි තැන. මේ අයදට මේ රටේ ජනතාව නැවත ඡන්දය දිය යුත්තේ?

මේ මැතිවරණයේදී අපි ජාතික ජන බලවේගය විදිහට ඉතාමත් ශක්තිමත් කණ්ාඩායමක් ඉදිරිපත් කර තියෙනවා. මේ අය ඡන්දය ළං වෙනකොට ජනතාවට ළංවෙන උගත්තු නෙවෙයි. දීර්ඝ කාලයක් ජනතාව සමග ගැටෙමින් වැඩ කරන පිරිසක්. රනිල්, සජිත්, රාජපක්‍ෂ පිල්වල ඉන්න වියතුන් කථාකරන විට අපිට පේනවා ඔවුන්ට රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් නැති බව. මහ බැංකුව කඩලා සිල්ලි ගත්තු 118දෙනෙක් ඉන්නවා කියල කොමිෂන්වලින් හෙළි වුණා. පසුගිය ආණ්ඩුව මේක හැංඟුවා. මේ ආණ්ඩුවත් මේක හංගනවා. දැන් ගෝඨාභය ජනාධිපතිතුමනි, පුළුවන්නම් මේ 118 කවුද කියලා රටට හෙළිකරන්න. සමහරුන්ට ප්‍රධාන පක්‍ෂවලින් අපේක්‍ෂකත්වයත් දීලා. අපි කියන්නේ නැහැ හොරුන්ගෙන් අඩුම හොරාව පත්කරන්න කියලා. අපේ අපේක්‍ෂකයෝ 291ටම අපි වගකියනවා. කිසිදු දූෂිතයෙක් චෝදනා ලබපු කෙනෙක් අපේ ලැයිස්තුවල නැහැ. අපේ අපේක්‍ෂකයන් 291න් 136ක්ම උපාධිධාරීන්. උපාධිධාරීන් සහ වෘත්තිකයන් එකතුව ගත්තම 178ක්. අදූෂිත, නීතිය නොකඩන, නොකඩපු හිටපු මන්ත්‍රීවරු 15ක්ම අපේ ලැයිස්තුවේ ඉන්නවා. වෘත්තීය සමිති නායකයින්, ගොවි නායකයින්, කාන්තා නායිකාවන්, ශිෂ්‍ය නායකයින් රැසක්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. සුළු හෝ දූෂණයක්, නීතිය කැඩීමක් ඔවුන් කර තිබෙනවද කියලා හොයලා බලන්න ඔබට පුළුවන්.

අපේ ජාතික ලැයිස්තුවේ ඉන්න 29 දෙනාගෙන් 11ක්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු. මහාචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය කුමාර් ඬේවිඞ්, මහාචාර්ය විජේ කුමාර්, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, මහාචාර්ය ජිනසේන හේවගේ, මහාචාර්ය ප්‍රේමදාස ජයකොඩි, මහාචාර්ය සුසිරිපාල මානවඩු. ප්‍රවීණ කලාකරුවන් වන ප්‍රවීන සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ, ප්‍රවීන රංගන ශිල්පී සමාජ ක්‍රියාකාරී ජගත් මනුවර්ණ වැනි අයත් අපේ ලැයිස්තුවේ ඉන්නවා. ඔවුන් හැම දෙනාම දශක ගණනාවක්ම තමන් නියම ජනතාවාදීන් බව ඔප්පු කරලා තියෙනවා. නීතිඥවරු, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු, ගණනාවක්ම අපේ ලැයිස්තුවේ ඉන්නවා. ඒ වගේම කොරෝනා උවදුරේදී බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ ගැටලුවලට මැදිහත් වුණු, ඔවුන් තම ගම්බිම් බලා පිටත් කර යැවීමට පෙරමුණ ගෙන ක්‍රියාකළ ‘ඩා බිඳු සාමූහිකය’ වැනි වෘත්තීය සංවිධානවල නායිකාවන්ද අපේ ලැයිස්තුවල ඉන්නවා.

අද ලංකාවේ මෙතෙක් වනාන්තර ආරක්‍ෂා කිරීමට තිබූ චක්‍රලේඛත් අහෝසි කරන්නයි රාජපක්‍ෂ පාලනය හදන්නේ. ඒක මූලිකවම කරන්නේ එම්.සී.සී. ගිවිසුම ගේන ඇමරිකාව පිනවන්න. ඔවුන්ගේ වුවමනාවටයි. එක පැත්තකින් පස් බලපත්‍ර ඉවත් කරලා මහා විනාශයක් රාජපක්‍ෂලා කරනවා. පරිසරයට ආදරය කරන්න පුළුවන්ද මේ වගේ මිනිස්සුන්ට? රාජපක්‍ෂ, රනිල් හෝ සජිත් පිලේ ඉන්නවද එහෙම පරිසරයට ආදරය කරන මිනිස්සු?

දැන් අගමැති ජාතිය අමතලා විශේෂ ප්‍රකාශ කරනවා. මැතිවරණ නීතිය අනුව එහෙම පුළුවන්ද? ඔහුත් අපේක්‍ෂකයෙක්. ඔහු කියනවා, කරුණගේ ප්‍රකාශය, ක්‍රිකට් ලෝක කුසලාන පාවාදීම වැනි සිල්ලර දේවල් කතා කරන්න එපාලු, ඒවා වැඩක් නැහැලු. ඒව සුළු දේවල්ලු. රටට කීර්තිය ගෙන දුන් ක්‍රීඩකයන් පවා අද මේ අය හෑල්ලුවට ලක්කරනවා. ඒ ගොල්ලන්ගේ පක්‍ෂවල තිබෙන ප්‍රශ්න කොහොමද ජාතික ප්‍රශ්න වෙන්නේ? දැන් කියනවා විදෙස් කුමන්ත්‍රණයක් තියෙනවලු. අපි කියනවා, ජනාධිපති මල්ලිට පුළුවන්නම් අයිය කියපු කුමන්ත්‍රණය මොකක්ද කියලා රටට හෙළිකරන්න කියලා. මේ එන්නේ විදුලි පුටුව චිත්‍රපටයේ දෙවන කොටසයි. රාජපක්‍ෂවරුන්ගේ කෝකටත් තෛලය කුමන්ත්‍රණ තමයි. මේ ගොල්ලෝ හැම ඡන්දයක් කිට්ටුවම කුමන්ත්‍රණ කතා කියනවා. සමහර විට ඡන්ද කිට්ටු කරල ඒ ගොල්ලන්ට වාසිදායක සිදුවීම් රට තුළ කෘත්‍රීමව හදන්න පුළුවන්. දැන් මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා, සිල්ලර කාරණා ගැන අවධානය යොමු කරන්න එපාලු. ලොකු චිත්‍රය ගැන අවධානය යොමු කරන්නලු. පුංචි පුංචි පින්සල් පාරවල්වලින් තමයි ලොකු චිත්‍රය ඇඳෙන්නේ. එම්.සී.සී. ගිවිසුම, කොළඹ වරාය ඉන්දියාවට දීම, ඇමරිකාව ළඟ දණ ගැසීම, මහ බැංකු හොරු රැකීම, ඒ හොරුන්ට තනතුරු දීම, මේ තමයි ලොකු චිත්‍රය.

විල්පත්තුව ගැන කරපු ඝෝෂාව දැන් කෝ? තව පැත්තකින් සමාජ ක්‍රියාකාරිකයින්, නීතිඥයන් අත්අඩංගුවට ගන්නවා. නිලධාරීන්ට බැන වදිනවා. මේවත් සිල්ලර කාරණාද? තොණ්මන්ගේ මළ ගෙදර, රාජපක්‍ෂ භූමිකාව සිල්ලරද? කරුණා හමුදාවේ 3,000ක් මැරුවා කියල ප්‍රසිද්ධියේ කියන එක සිල්ලරද? පැරණි දූෂිත කැත ලොකු චිත්‍රයම තමයි රාජපක්‍ෂලා මේ අඳිමින් ඉන්නේ. අපි මේ රටේ ජනතාවගෙන් අහනවා, මේ දූෂිත පිල් දෙකට ඇයි තවදුරටත් ඡන්දය දිය යුත්තෙ කියලා. ප්‍රතිපත්තියක් මත කරන දේශපාලනයක් මේ දෙගොල්ලන්ටම තියෙනවද?

එම්.සී.සී. ගිවිසුම ගැන පරීක්‍ෂා කිරීමට ආණ්ඩුව විසින් පත් කළ ගුණරුවන් මහතාගේ කමිටුවම කියනව එම්.සී.සී, ගිවිසුම ගැන අදහස් ගත් අයගෙන් 75%ක්ම ඊට විරුද්ධව ලිඛිත ප්‍රකාශ දුන්නයි කියලා. දැන් ජනාධිපතිවරයා හදනවා නැවත වාරයක් එම ගිවිසුම ගැන ජනතා අදහස් ගන්න. මේ කරන්නේ අගෝස්තු 05 වනකල් කල් මරලා ඡන්දය දිනලා ආපසු මේ ගිවිසුම ගහන්න. මේ බොරුවලට රැවටුණා තවත් මදිද? අපි ජනතාවට කියන්නේ මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ පුළුවන් තරම් දිනවල පාර්ලිමේන්තුවට යවන්න. මේ හොරුන්ව පාර්ලිමේන්තුවෙන් පන්නලා රට බේරාගන්න ඉදිරියට එන්න කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *