පොතකින් දැනුන කවියක් 19 – අශෝක කුලතුංග

කෘතිය : රෝස නිල් පාට හීන
කතෘ : වින්යා ජයසේකර
ප්‍රකාශනය : ගොඩගේ

….වැස්සකට පසු….

දිගු නියං සමයකට පසු
කලාතුරකින් ලත් සුළං අවසරය
වෙන් වෙන් ව ගිය වලා යුවළක්
ළං කළා රමණීය වෙළුමකට
සා පිපාසිත බිම මත
සිහිල දී වැසි දිය තෙත
සිඹ වෙළා උන් දූලි පැහැ
වැලඳ ගති සැණෙන් බොර පැහැ
නොමද සජ්ජායනා විය ජාල මැඩි
තවද සසලව ගලති දිය කඩිති
තුරු පත් අගිසි ගිම් හරිති
වෑස්සෙන්නට ඉඩ දිදී දිය බිඳිති
හතිලමින් වලාකුළු අතර
සුළං කෙඳිරියකි මුසු
සිහිල් තෙතමනය
තවද උල්පතකි තෙත සිඳුණු
දිය කෙඳිත්තක්
යන්තමින් තෙමුණ
ඉතිරි කර කැළඹීම ඉදිරියට
ඉතා සන්සුන්ය දැන්
වැස්සකට පසු අහස

2019 ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගයේ ප්‍රශස්ත කාව්‍ය අත්පිටපතක් ලෙසින් තේරී පත් ව මුද්‍රිත වූ “රෝස නිල් පාට හීන” පද සරණිය වින්යා ජයසේකර කිවිඳියගේ ප්‍රථම කවි අස්වැන්න ය. පද්‍ය නිර්මාණ හතළිහකින් සමන්විත මෙහි සමාජ විෂයයන් මෙන් ම ප්‍රේමය අනුභූති කර ගත් නිර්මාණයන් ද අන්තර්ගත ය. “වැස්සකට පසු” හිසින් රචිත කාව්‍ය පෙළ ස්ත්‍රී, පුරුෂ සම්භෝගය අරමුණු කරගනිමින් නිර්මිත ය. ස්වභාවික පරිසරයේ හටගන්නා වර්ෂාවක් වස්තු විෂය කරගන්නා කිවිඳිය ජිවිතයේ අව්‍යාජ බැඳීමක් ව්‍යංග ව නිරූපණය කරයි.

“දිගු නියං සමයකට පසු
කලාතුරකින් ලත් සුළං අවසරය
වෙන් වෙන් ව ගිය වලා යුවළක්
ළං කළා රමණීය වෙළුමකට”

දිගු කාලීන නියඟයකට පසු ව අහම්බෙන් හැමූ සුළං නිසාවෙන් වෙන් ව පැවති වලාවන් යුගලක් ගැටී වර්ෂාවක උල්පත බිහි කරයි. මෙකී ස්වභාවික සංසිද්ධිය තුළින් කිවිඳිය රූපණය කරන්නේ පාඨක හදවත කළඹවන අති ශුංගාර සිතුවමකි. දිගු කාලයක් පුරා විරසක ව සිටි ප්‍රේමනීය යුවළක් අහඹු සිදුවීමක බලපෑමෙන් නැවත ආදරයෙන් එක් තැන් වෙති. “වලා යුවළක්” ලෙසින් කිවිඳිය සංකේත කරන්නේ මේ අඹු – සැමි යුවළ යි. විරසක ව සිටිය ද නැවත ප්‍රේමයෙන් වෙළුණු අවස්ථාවේ ඔවුහු සංවාසයේ මිහිරියාව උපරිමයෙන් විඳිති. වින්යා එය මනෝරම්‍ය ලෙස පද බඳින්නේ පාඨක සිතෙහි මනෝරාගය වඩාත් තීව්‍ර කරමිනි.

“නොමද සජ්ජායනා විය ජාල මැඩි
තවද සසලව ගලති දිය කඩිති
තුරු පත් අගිසි ගිම් හරිති
වෑස්සෙන්නට ඉඩ දිදී දිය බිඳිති”

වැසි වසින විට අවට පරිසරය යම් යම් විපර්යාසයන්ට ලක් වේ. මැඩියන්ගේ නාද, ගලා යන කුඩා ජල කෙඳිති මෙන් ම තුරු පත් අගින් බේරෙන දිය බිංදු එහි අපූර්වත්වයක් රූපණය කරයි. ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශව සංවාසයේ දී කාන්තාවකගේ සිරුරෙහි සිදුවනහෝමෝන ක්‍රියාවලියේ විපර්යාසයන් පිළිබඳ කිවිඳිය ඉතා සංයමයෙන් ඉහත පද්‍ය ඛණ්ඩයෙන් විද්‍යමාන කරන්නී ය. නමුදු මාගේ කියවීමට අනුව “නොමද සජ්ජායනා විය ජාල මැඩි” යන පද්‍ය පාදය අත්‍යාවශ්‍ය නොවන බව කිව මනා ය. අනුරාගික ව එක්වන යුවළකගේ හද ගැස්ම, සිහින් නුරා ස්වරයන් පාඨක මනස ශුංගාරයෙන් කළඹවති. එ’තරමට ම ඇයගේ සරල බස්වහර සාර්ථක ය.

“ඉතිරි කර කැළඹීම ඉදිරියට
ඉතා සන්සුන්ය දැන්
වැස්සකට පසු අහස”

වර්ෂාවෙන් පසු ව ආකාසයේ පවතින නිදහස් බව මතුපිටින් අදහස් කළ ද අඹු, සැමි යුවළකගේ අනුරාගික එකතුවීමකට පසු ව දෙදෙනා තුළ ම ඇතිවන්නේ නිහඬවූත්, නිදහස් වූත් කාල අවකාශයකි. කිවිඳිය එය මැනවින් ඉහත පද්‍ය කොටසින් විශද කරයි.
ස්ත්‍රී, පුරුෂ සංවාසය පිළිබඳ නිරූපණයේ දී කිවිඳිය භාවිත කරන නිදහස් ආකෘතියත්, සරල බස්වහරත්, වාච්‍යාර්ථයට එහා ගිය ජීවන අත්දැකීමක් උපයුක්ත කිරීමත්, පාඨක හදවතෙහි අනුරාගික හැඟීම් තීව්‍ර කරන චිත්ත රූප චිත්‍රණය කිරීමත්, ස්ත්‍රියක විසින් ම මෙ වැනි අනුභූතියක් තෝරා ගැනීම හා ඉතා සංයමයෙන් එය ඉදිරිපත් කිරීමත් සැළකූවිට වින්යා ජයසේකරගේ “වැස්සකට පසු” කාව්‍ය පෙළ සාර්ථක නිර්මාණයක් ලෙස විශද කළ හැකි ය.

අශෝක කුලතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *