ග්‍රීන් කාර්ඩ් නතර වෙන හැඩක් – තරණය – හසිනි දෙනිපිටිය

විදෙස් ශ්‍රමිකයන් සඳහා වීසා ලබා දීම අත්හිටුවීමට පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.ඒ අනුව දැනට ග්‍රීන් කාඩ්පත් සහ 2020 වසර අවසන් වන තෙක් අනෙකුත් විදේශීය ශ්‍රමිකයින් සඳහා වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.ඉහළ නිපුණතාවයක් ඇති තාක්ෂණික සේවකයින්,වගා සහයකයින්,ගෘහ සේවකයින්,ඉහළ විධායක නිළධාරීන්ගේ වීසා සඳහා මෙමඟින් බලපෑම් එල්ල වෙයි.මෙම තීරණය නිසා පුද්ගලයින් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් අපහසුතාවයට පත් වන බව ධවල මන්දිර බලධාරීන් පවසයි. කෙසේ වුව ද මෙම නව සීමාවන් දැනට වීසා බලපත්‍ර ලාභීන්ට බලපෑමක් නොවනු ඇත. H-1B වීසා බලපත්‍රය මෙම නව වීසා බලපත්‍ර නිතීය යටතට ගැනෙයි.ඒ අනුව පසුගිය වසරේ පමණක් මෙම වැඩසටහන මඟින් විවෘත වූ රැකියා බොහොමයක් අහිමි වී යා හැකි බව විද්වත් මතයයි.ඒ අනුව කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය කර්මාන්තය,සෞඛ්‍ය සේවා අංශ,හෝටල් කර්මාන්තය ඇතුළු තවත් ක්ෂේත්‍රය රැසකට H-1B වීසා බලපත්‍ර නව නිතීය යටතේ අහෝසි වේ.එසේම කෙටි කාලීන J-1 වීසා බලපත්‍ර ද යම් සීමාවක් සහිතව නව නිතීය යටතේ සිදු කෙරේ.බහුජාතික සමාගම්වල කළමනාකරුවන් සහ ප්‍රධාන සේවකයින් සඳහා ලබා දෙන වීසා බලපත්‍ර ද මෙම නියෝගය යටතේ අහෝසි වේ. මීට අමතරව මෙම ජනපති නියෝගයට අනුව ලොතරැයි මඟින් පිරිනමනු ලබන වීසා බලපත්‍ර ක්‍රමය ද අහෝසි වී යනු ඇත.කෙසේනමුත් H-1B යටතේ ගැනෙන තාවකාලික ආගන්තුක වීසා බලපත්‍ර තවදුරටත් නව නියෝගය යටතේ ද ක්‍රියාවට නංවනු ලැබෙයි.

මෙම නියෝගය නිසා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ තාක්ෂණික අංශයේ රැකියාහි නිරත වන පිරිස් සඳහා යි.ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව එම ක්ෂේත්‍ර දැඩි ලෙස හෙලා දකියි.ලෝකයේ දැවැන්තම සමාගම් මේ පිළිබඳ දැඩි කලකිරීමකින් යුතුව හෙලා දකියි.ෆේස් බුක් සමාගම,ඇපල් සමාගම, ඇමසන් සමාගම මෙලෙස අපහසුතාවට පත් වී ඇති ලෝක ප්‍රකට සමාගම් වේ. මේ අතරින් ඇමසන් සමාගමේ පමණක් සේවය ලබන 3000 ක පමණ පිරිසක් සඳහා රැකියා අහිමි වන බව සමාගම පවසයි. මෙම ක්‍රියාවලිය “ හුදෙක් කෙටි දැක්මකින් ලබා ගත් තීරණයක් “ බව ඇමසන් සමාගම පවසයි.කෙසේනමුත් අමෙරිකාවේ ප්‍රබල පුළුල් ව්‍යාපාරික කණ්ඩායමක් වන අමෙරිකානු වාණිජ මණ්ඩලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම නියෝගයට සහය දක්වයි.

මෙම නියෝගය සත්‍ය වශයෙන් ම කෝවීඩ්-19 නිසා පීඩාවට පත් වූ අමෙරිකානුවන් උදෙසා ගත්තක් ද යන්න දෙවරක් සිතිය යුතුය.ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය පවසනුයේ මෙම නියෝගය මඟින් අමෙරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කිරීමට ගත් පියවරක් බවයි.කෙසේනමුත් මෙහි දේශපාලන ස්වභාවයක් ඇත් ද යන්න සැක මතු වනුයේ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා ද සිය සංක්‍රමණ ප්‍රතිපත්තිය මේ වන විට ප්‍රසිද්ධ කර ඇති නිසාවෙනි.කෙසේනමුත් මෙම නියෝගයට විරුද්ධ පිරිස් පවසනුයේ කොවීඩ්-19 වෛරසයට මුවා වී ධුරය දැරූ දින පටන් බලාපොරොත්තු වූ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති ට්‍රම්ප් ඇතුළු පාලන බල අධිකාරිය දැන් දැන් අනුගමනය කරන බවයි.

නෛතික,නිත්‍ය වාසයට මෙන්ම අමෙරිකානු පුරවැසිභාවය ඉල්ලීමට වැදගත් වනුයේ ග්‍රීන් කාඩ්පතයි.එක් වසරකට දස ලක්ෂයකට ආසන්න ග්‍රීන් කාඩ්පත් ප්‍රමාණයක් අමෙරිකාව නිකුත් කරනු ලබයි.මෙම නව ග්‍රීන් කාඩ්පත් නියෝගය යටතේ සංක්‍රමණ දම්වැල් සඳහා අමෙරිකාව තුළ රැදී සිටීමට ග්‍රීන් කාඩ්පත් හිමි නොවේ.ඒ අනුව එරට වාසය කළ හැකි වන්නේ අමෙරිකානු පුරවැසියකුට සිය සහකරුවා හෝ සහකාරිය හා වයස 21 ට අඩු අවිවාහක දරුවන්ට පමණි.විස්තෘත පවුල් ඒකකයක් ලෙසින් තවදුරටත් නව ග්‍රීන් කාඩ්පත් නියෝගය මත රැදී සිටිය නොහැකිය.මහජන නිදහස සඳහා වූ අමෙරිකානු සංගමය පවසනුයේ මෙම නියෝගය නිසා අමෙරිකාවේ රැකියා නිරත වන පවුල්වල සමාජිකයින් දැඩි වේදනාකාරී තත්ත්වයකට පත් වන බවයි. කෙසේනමුත් ග්‍රීන් කාඩ්පත්වලට අදාළ නව නියෝගයන් සඳහා මේ වනවිටත් ජනපති ට්‍රම්ප් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

අමෙරිකාව මේ වනවිටත් කොවීඩ් – 19 වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින රටකි.මේ නිසාවෙන් එරට ආර්ථික බිඳ වැටීමකට ලක්ව තිබීම අරුමයක් නොවේ.නමුත් එවන් අවස්ථාවක මෙවන් තීරණයක් ගැනීම කෙතරම් බුද්ධිමත් ද යන්න ගැටලුවකි.කෙසේවෙතත් මෙම නියෝගය නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ අමෙරිකානු තාක්ෂණික අංශයේ රැකියා නිරත වූ වීසා බලපත්‍ර ලාභීන් වේ.ජනාධිපති ට්‍රම්ප් සිය ධූරය දැරූ මෙම කාලය පුරාම තාක්ෂණික අංශය සමඟ එතරම් යහපත් සබඳතා නොදැක් වූ බව නොරහසකි.නමුත් ට්‍ර්ම්ප් පවසනුයේ අමෙරිකානුවන් කෝටි දෙකකට පමණ සිය රැකියා අහිමි වී ඇති අතර තමන් තම රටෙහි පුරවැසියන්ට මේ මොහොතේ සහය දක්වන බවයි.කෙසේනමුත් මෙම පියවර නිසා අමෙරිකානු ආර්ථිකය කෙලෙස ගොඩනැගෙයි ද යන්න බලා හිදිනු හැර කිරීමට කිසිවක් දැන් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *