දන්නා කෙනෙකු ගැන නොදන්නා කතාවක්  Dracula_Untold (Spoiler Alert) 03 – හංසිනී කවින්දි

“Sometimes the world doesn’t need another hero.  
Sometimes what it need is a monster.”
(සමහර අවස්ථාවල් එනව ලෝකයට තවත් වීරයෙක් අවශ්‍ය නොවෙන. එවැනි අවස්ථාවන්වල ඇත්තටම ලෝකයට අවශ්‍ය වෙන්නෙ “අමනුෂ්‍යයෙක්”)

කාලය යුග ගණනාවක් හරහා නිමා නොවන අනවරත ගමනක යෙදෙමින් ගලා එන්නේ සිය දහස් ගණනක් වූ රහස් සංඛ්‍යාවක් නිහඬවම අතීතයේ වැලි තලාවන්ගෙන් වසා ලොව වෙතින් සඟවා තබාගනිමිනි. සැබැවින්ම අප “අතීතය” පිළිබඳව දන්නා කරුණු ප්‍රමාණය ඒ පිළිබඳව නොදන්නා කරුණු ප්‍රමාණයෙන් ඉතා කුඩා අංශු මාත්‍රයක් පමණි. ඇතැම්විට අප අතීතය පිළිබඳව දන්නා දේ සැබෑවටම අතීතය තුළ සිදු වී ඇති දේ නොවන්නට ද පුළුවන. “අතීතය” පිළිබඳව වඩාත් විමසිල්ලෙන් යුතුව කියවීමට අප නිරන්තරයෙන්ම පෙළඹිය යුත්තේ මේ නිසාවෙන් යැයි මම විශ්වාස කරමි. ඇතැම්විට අප අසා ඇති, කියවා ඇති අතීතය හරහා වඩාත් නවමු දෘෂ්ටියකට සහ පරිකල්පනයක් වෙත ළඟාවීමට ද අපට හැකිය. මා මේ සාකච්ඡාවට බඳුන් කරන නිර්මාණය ද අතීතය සහ ප්‍රවාදයන් පිළිබඳව එවන් නවමු කියැවීමක් මෙන්ම ඒ තුළින් ගොඩනැගුණු අද්විතීය පරිකල්පනයක අපූරු ප්‍රතිඵලයකි.

“ඩ්‍රැකියුලා”

ඉතාමත් හුරුපුරුදු මේ නාමය ඇසූ පමණින් එය අපගේ සිතට නංවන්නේ ත්‍රාසයත්, භීතියත් මුසු වූ හැඟීම් සමුදායකි. කළු ඇඳුමකින් සැරසුණු, තියුණු උල් දත් සහිත, මුව දෙපසින් වෑහෙන රුධිරය ද සහිත භයානක මිනිසෙකුගේ රුවක් අප සිත් තුළ ඇඳී යන්නේ සැණෙකිනි. මේ වන විට “කවුන්ට් ඩ්‍රැකියුලා” යන නාමය අසා නොමැති, ඔහු පිළිබඳව නොදන්නා අයෙකු අප අතරින් සොයාගැනීම මහත් අසීරු කරුණකි. ඒ තරමටම විවිධ නිර්මාණයන් සහ ප්‍රබන්ධ, ප්‍රවාදයන් ඔස්සේ ඩ්‍රැකියුලා සහ වැම්පයර්වරුන් පිළිබඳව කතාන්දර අපට සමීප වී ඇත. එමෙන්ම නොයෙක් නිර්මාණ හරහා ඩ්‍රැකියුලා චරිතයත්, වැම්පයර්වරුන් පිළිබඳව සංකල්පයත් විවිධ ප්‍රතිරූපයන් සහ මුහුණුවර ඔස්සේ ප්‍රතිනිර්මාණය කර ඇති අන්දම දැකගැනීමට අපට හැකි වී ඇත.

ඩ්‍රැකියුලා පිළිබඳව පුරාවෘත්තය ලොව ප්‍රකට වීම ආරම්භවන්නේ බ්‍රෑම් ස්ට්‍රෝකර් විසින් “ඩ්‍රැකියුලා” කෘතිය රචනා කිරීමත් සමග ය. ඊට පෙර සිටම මෙම ප්‍රවාදයන් සහ සංකල්පයන් පිළිබඳව ලොව පුරා විවිධ විශ්වාසයන් සහ මතවාදයන් පැවතිය ද නූතන ලෝකය තුළ ඒ පිළිබඳව පිබිදීමක් ඇතිවන්නේ බ්‍රෑම් ස්ට්‍රෝකර්ගේ කෘතියත් සමගිනි. ඉන් පසුව මෙම ප්‍රවාදයන් සහ සංකල්පය ලොව ගිණිය නොහැකි තරම් නිර්මාණයන්ට වස්තුවිෂය වී ඇති ආකාරය අපට දැකගත හැකි ය. “Dracula Untold” සිනමාපටය ද එලෙස ඩ්‍රැකියුලා සහ වැම්පයර් සංකල්පය පාදක කොටගත්, එවැනි සිනමාකෘතීන් අතර ප්‍රශස්ත මට්ටමේ ලා සැලකිය හැකි සිනමාකෘතියකි.

බොහෝදෙනෙකු පවසන අන්දමට බ්‍රෑම් ස්ට්‍රෝකර්ගේ “ඩ්‍රැකියුලා” චරිතය නිර්මාණය කිරීම සඳහා ඔහු පාදක කරගෙන ඇත්තේ මින් සියවස් ගණනාවකට ඉහත රුමේනියාවේ වොලැචියා හි පාලකයා වූ “ව්ලැඩ් දි ඉම්පේලර්” චරිතය හෙවත් “ව්ලැඩ් කුමරාගේ” චරිතය යි. ඔහුගේ පෙළපත් නාමය වූයේ “ඩ්‍රැකියුල්” යන්නයි. ඔහු රණශූරයෙකු මෙන්ම ඉතාමත් ලේ පිපාසිත කුරිරු පාලකයෙකු ලෙස බොහෝ ප්‍රවාදයන්හි සඳහන්ව තිබුණ ද අදටත් ඔහුව “වීරයෙකු” ලෙස සලකන ජනතාව රුමේනියාව තුළ හිඟ නොවේ.

“ඩ්‍රැකියුලා හෙවත් මකරාගේ පුත්‍රයා”

මේ අප හොඳින් දන්නා ඔහු පිළිබඳව අප නොදන්නා කතාවකි.

Dracula Untold සිනමාපටය තුළ දී අපට හමුවන ඩ්‍රැකියුලා හෙවත් ව්ලැඩ් දි ඉම්පේලර් අප කියවා ඇති බොහෝ සාහිත්‍ය කෘතීන් හා වෙනත් සිනමාපටවලදී අප දුටු “ඩ්‍රැකියුලා” නම් නොවේ. සාහිත්‍ය නිර්මාණයන් හෝ ජනප්‍රිය ප්‍රවාදයන් සමගින් “Dracula Untold” චිත්‍රපටය කියවීමේ දී එයට ස්වාධීන කියවීමක් ලබා දිය යුතු යැයි මා සිතන්නේ එබැවිනි. මන්ද මෙය ඩ්‍රැකියුලා සහ ව්ලැඩ් සම්බන්ධ පුරාවෘත්තයන් සහ ප්‍රවාදයන් ඇසුරින් ගොඩනැගී ඇති නවමු පරිකල්පනයක් සහිත එමෙන්ම ස්වාධීන නිර්මාණයක් වන බැවිනි.

මෙම සිනමාපටයේ දී අපට හමුවන “ව්ලැඩ් දි ඉම්පේලර්” (සුප්‍රකට “උල තබන්නා”) හෙවත් ඩ්‍රැකියුලා,

ආදරණීය සැමියෙකි
දයාබර පියෙකි
ඉතාමත් හොඳ මිතුරෙකි
තම වැසියන්ගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ පාලකයෙකි.

කුඩා අවධියේ දී ම ඔහුට සිය පියා සහ “සාමය” වෙනුවෙන් විශාල කැපකිරීමක් කිරීමට සිදු විය. එනිසා ඉතාමත් දුෂ්කර, අසීරු ඇසුවන් භීතියෙන් මුසපත්කරවන කාල පරිච්ඡේදයකට උරුමකම් කීමට ඔහුට සිදු වුව ද ඔහු ඒ සියල්ල අතහැර නැවත සිය මව්බිමට සහ ආදරණීයයන් වෙත පැමිණෙන්නේ සාමකාමීව ඉදිරි ජීවිතය ගතකිරීමේ අදහසිනි. ඔහුට සිය අතීතය දැඩි කම්පනයකට සහ පසුතැවිල්ලට හේතුවක් විය. ඒ සියලු අතීත තුවාලයන් මත ප්‍රේමයේ ඔසු ගැල්වූ ජීවිතයේ ඔහු සතු වටිනාම සහ මිහිරිම වත්කම් වූයේ ඔහුගේ ආදරණීය බිරිඳ සහ පුත්‍රයා ය. දිගු කාලීන ශාපලත් කාලපරිච්ඡේදයකට පසුව ඔහුට ජීවිතය හුස්ම ගැනීමට ඉඩක් සලසා දී තිබුණි. උණුසුම් කැදැල්ලක්, කදිම මිත්‍ර සමාගමයක්, සිය රටවැසියන්ගේ ආදරය සහ ගෞරවය ඔහුට හිමි වී තිබුණි. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ඉරණම ලියැවී තිබුණේ අන් අයගේ රුධිරයෙනි.

අහඹු ලෙස දිනක් අන්ධකාරයේ රුදුරු සෙවනැල්ලක් විසින් ඔහුගේ ජීවිතය ස්පර්ශ කරනු ලැබී ය. ඔහු කාටත් හොර රහසේ එය සියල්ලන් වෙතින් සඟවාගන්නේ තම ආදරණීයයන් සහ රටවැසියන් ඉන් භීතියට පත්වීම වළක්වනු පිණිස ය. නමුත් දෛවයේ කුරිරු සරදමක් නිසා තමා හඹා ආ අතීතයේ රුදුරු සේයාවන් හමුවේ ඔහුට එම අන්ධකාරයේම පිහිට පතා එය සොයා එහි දෙපා මුලට යෑමට සිදු විය. එහි බියකරු බව දනිමින්ම එය වැළඳගැනීමට සිදු විය. එම තෝරාගැනීම අතිශයින්ම දුෂ්කර එකක් විය. එයින් ඔහුගේ ආත්මයට සදාකාලිකව සැනසීමත් ස්වර්ගයත් අහිමි විය හැකි බව දනිමින්ම ඔහු එම තෝරාගැනීම සිදු කළේ තමා උදෙසා නම් නොවේ. එය සුවිසල් පරිත්‍යාගයකි. ඔහු එය සිදු කළේ සිය ආදරණීය කුටුම්භයේත් රටවැසියන්ගේත් සුරක්ෂාව වෙනුවෙනි. අන් අයගේ යහපත වෙනුවෙන් සිය ආත්මය යක්ෂයාට බිලිදිය හැක්කේ කා හටද? එසේ සිදු කළ හැක්කේ ශක්තිමත් හදවතක් සහ පිරිසිඳු හෘද සාක්ෂියක් ඇති මිනිසෙකුට පමණි. “Dracula Untold” සිනමාපටය හරහා අප වෙත සමීප කරවන ව්ලැඩ් දි ඉම්පේලර් වීරයෙකු වන්නේ ද එම නිසාවෙනි. එම අසීරු තෝරාගැනීම සිදුකරමින් ඔහු අන්ධකාරයේ පිහිට පතා පැමිණි අවස්ථාවේ යක්ෂයා සහ ඔහු අතර සිදුවන සංවාදය ඔහු සතුව තිබූ ශක්තිමත් හදවත සහ පිරිසිඳු හෘද සාක්ෂිය පිළිබිඹු කරවන්නකි.

“යක්ෂයා – මොන ජාතියේ මිනිහෙක්ද තමන්ගෙම සොහොනට බලාපොරොත්තුවක් හොයාගෙන එන්නෙ?

ව්ලැඩ් – බලාපොරොත්තු සුන්වෙච්ච මිනිහෙක්

තුර්කීන් මගේ රාජධානිය විනාශ කරනව කියල තර්ජනය කළා. ඔබ ළඟ තියෙන බලය වගේ බලයක් එක්ක මට පුළුවන් ඔවුන්ව නවත්තන්න. මගේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. මගේ පවුල ආරක්ෂා කරන්න.

යක්ෂයා – කොච්චර උතුම් අරමුණක් ද ඉම්පේලර් උතුමාණනි,

“ඩ්‍රැකියුල් පෙළපත”

“යක්ෂයාගේ පුත්‍රයා”

ව්ලැඩ් – නැහැ. ඔබට වැරදිලා. ඒකෙ තේරුම “මකරාගේ පුත්‍රයා” අහිංසකයන්ගෙ ආරක්ෂකයා.

යක්ෂයා – ඔබේ මිනිසුන් දන්නවද ඔබ අහිංසක මිනිස්සු කීදෙනෙක්ව මරල තියෙනව ද කියල.

සිය ගාණක් වගේද මැරුවේ?

ව්ලැඩ් – ඔව්

යක්ෂයා – (කෝපයෙන්) ආයෙත් මට බොරු කිව්වොත් මම උඹේ බඩේ ඉඳල මොළේ වෙනකම් පලල, උඹේ බොකු බඩවැල් උඹටම කවනවා.

ව්ලැඩ් – ඔව්, දහස් ගාණක් මැරුවා.

යක්ෂයා – එතකොට ඒ මිනිස්සුන්ව උල තියනකොට මොනවද උඹට දැනුණෙ?

ලැජ්ජාවක්….?
තැතිගැන්මක්….?
බලවත් බවක්….?

මට උත්තර දීපන්!!

ව්ලැඩ් – නැහැ…..මට මුකුත්ම දැනුණෙ නෑ. ඒක ක්‍රියාවට වැඩිය දරුණු අපරාධයක්.

යක්ෂයා – ලේ වැගිරීමකට කැමති නැත්නම් ඇයි ලේ වගුරුවන්නෙ?

ව්ලැඩ් – මොකද මිනිස්සු කඩුවලට බය නැහැ. ඔවුන් බය අමනුෂ්‍යයන්ට. ඔවුන් අමනුෂ්‍යයන්ගෙන් පැන දුවනවා.

එක ගමක් උල තියන එකෙන් මම ගම් දහයක් උල නොතියා ඉන්නව.

සමහර වෙලාවල්වලට ලෝකයට තවදුරටත් වීරයෙක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඇතැම් වෙලාවට ලෝකයට ඕනවෙන්නෙ අමනුෂ්‍යයෙක්වයි.”

තමාට උරුම වූ දරුණු පීඩාකාරී අතීතය තම ආදරණීය පුතුට මෙන්ම රාජධානියේ අනෙකුත් පිරිමි දරුවන්ට ද උරුම වනු දැකීම ඔහුට අවැසි නොවී ය. එනිසා සිය ජීවිතය පිළිබඳව ඉතාමත් අසීරු තීරණයකට එළඹෙමින් එය අන්ධකාරය වෙනුවෙන් කැපකිරීමට ඔහුට සිදු විය. බලාපොරොත්තු සිඳී ගිය ඔහු සිය ආත්මයේ සුසානය වෙත ගමන් කළේ බලාපොරොත්තුවක් වෙනුවෙනි. නමුත් ඒ බලාපොරොත්තුව ඔහු වෙනුවෙන් වූ එකක් නොවී ය.

සිය ජීවිතයේ අසීරුම පරීක්ෂණය ගෙවා ගැනීම සඳහා ඔහුට තවත් ඉතිරි වී තිබුණේ හෝරා කීපයක් පමණි. එතෙක් ඔහු ඉමහත් දුෂ්කරතා මැද දැඩි ඉවසීමකින් යුතුව එම පරීක්ෂණයට මුහුණ දී තිබුණි. එය ඔහු සතුව තිබූ ශක්තිමත් හදවත සහ ධෛර්යය ප්‍රකට කරවන්නකි. නමුත් දෛවය ඔහුට එම පරීක්ෂණයෙන් සමත්වීමට ඉඩ තැබුවේ නැත. ඔහුගේ ඉරණම අන් අයගේ රුධිරයෙන් ලියැවී තිබුණි. එහෙත් අවසාන මොහොත දක්වාම ඔහු සිය උත්සාහය, බලාපොරොත්තුව අතහැරියේ නැත. අවසාන මොහොත දක්වාම ඔහු සිය හදවතේ ආලෝකය පිළිබඳව විශ්වාසය තැබුවේ ය. එම පරීක්ෂණයට මුහුණදීම සඳහා තමාට ශක්තිය ලබාදෙන මෙන් දෙවියන්ට ආයාචනා කළේ ය.

එකම එක් අවස්ථාවක දී හැරුණු විට තමා ගත් තීරණය පිළිබඳව ඔහු පසුතැවිලි වූ බවක් සිනමාපටය පුරාම දැකගන්නට ලැබෙන්නේ නැත. තමා පිළිබඳව සත්‍යය දැනගත් තමා මහත් ආදරය කළ රටවැසියන්ම ඔහුව විනාශ කර දැමීමට උත්සහ ගත් අවස්ථාවේ ඔහුගේ හදවත සහ ඉවසීම දෙද‍රා ගියේ ය. එම රූපරාමුව මට සිහිගැන්වූයේ නන්දා මාලිනියගේ හඬින් ගැයෙන අපූරු සනාථන දහමක් රැගත් මියුරු ගීයකි.

“පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ”

ඔහු සිය ආත්මය සහ ජීවිතය කැප කළේ ඔවුන් සියල්ලන්ම ආරක්ෂා කිරීම වෙනුවෙනි. එනිසාම ඔවුන්ගේ ප්‍රතිචාරය ඔහුව වේදනාවට පත්කළ අනපේක්ෂිත එකක් වන්නට ඇතුවා නිසැක ය. ඉතිරි වී තිබුණේ තවත් ඉතාමත් කෙටි කාලයක් වන බැවින් එය හොඳින් විසඳී යනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ ය. එතෙක් සියල්ල සඟවා තබාගැනීම ඔහුගේ අරමුණ විය. ඔහුගේ ආදරණීය බිරිඳට පවා එම රහස අනාවරණය වන්නේ අහඹු ලෙස ය. ඔහුගේ හදවත දෙදරා ගිය ද ආදරණීය බිරිඳගේ ළතෙත් වදන් හමුවේ ඔහු නැවතත් තමා සැබෑවටම කවුරුන් ද යන වග අනාවරණය කරගත්තේ ය. “Dracula Undold” හි ව්ලැඩ් වීරයෙකු වන්නේ එනිසා ය. ඔහු සෑමවිටම පාහේ අන්ධකාරය තුළින් වුව ද තමා සැබෑවටම කවුරුන් ද යන වග අනාවරණය කරගත් නිසා ය.

සියල්ල ඉක්මනින් හොඳින් විසඳී යනු ඇති බවට ඔහු තමන්ගේ මිනිසුන්ට ශපථ කළේ ය. ඔවුන් තුළ ශක්තිය සහ විශ්වාසයක් ඇති කළේ ය. නමුත් ඒ පොරොන්දුව කිසි දා ඉටුකිරීමට රුධිරයෙන් ලියැවී තිබූ ඉරණම ඔහුට ඉඩතැබුවේ නැත.

ව්ලැඩ් දි ඉම්පේලර් සහ ඔහුගේ සුරූපී බිරිය මරේනා අතර වූ දැඩි ගේහසිත ප්‍රේමයත්, හෘදයාංගම සබැඳියාවත් මෙම අපූරු කතා පුවතට ගෙනඑන්නේ ප්‍රබල ආලෝකයකි. ඉන් එහි රසවත් බව මෙන්ම අපූර්වත්වය වඩවඩාත් වැඩි වී ඇති අතරම එය සිනමාපටය කෙරෙහි ප්‍රේක්ෂකයා වඩාත් තදින් ඇද බැඳ තබාගැනීමට ද සමත් වී ඇත.

ඔවුන්ගේ විවාහ පොරොන්දුව ලෙස ඔවුන් හඳුන්වන අපූරු අරුත් රැගත් කවිය ද සිනමාපටයේ තේමාවට මෙන්ම ඉන් අරුත්ගැන්වෙන බොහෝ දේ සඳහා ද ප්‍රබල ආලෝකයක් එක්කරයි. ඔහු ඒ පොරොන්දුව සැමදා සිය හදවත ගැඹුරේම හොවා රැකගත්තේ ය. ඔහු සතු වූ බලයන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි, ඔහුගේ දුර්වලතාවයක් වන රිදියෙන් තැනූ ඇය විසින් පළඳවන ලද මංගල මුදුව සුරතින් ඉවත්කිරීමෙන් පසුව සිය ළයට සමීපයෙන්ම ගෙලෙහි පළඳින්නේ ද ඒ නිසාවෙන්ම ය.

“Why think separately of this life than the next, when one is born from the last? Time is always too short for those who need it, but for those who love, it lasts forever.”

(” ඊළඟ ජීවිතය සහ මේ ජීවිතය පිළිබඳව වෙන්ව සිතන්නේ කිමද?

ජීවිතය අවසාන වීමෙන් තවත් ජීවිතයක් හටගන්නා කොට,

කාලය එය අවශ්‍ය වන්නන් හට සැමදා ඉතා කෙටිය.

නමුත් ප්‍රේමයෙන් වෙළෙන්නන් හට සැමදා කාලය තිබේ”)

ව්ලැඩ්ගේ සුරතින් මරේනා ගිලිහෙන මොහොත සිනමාපටයේ මා ඉතාමත් සංවේදී කළ රූපරාමුවක් විය. ඔහුගේ සුරතින් ඇයව ගිලිහෙන්නට ගත වූයේ නිමේශයකි. පෙරදිගින් සූර්‍යයා නැග එද්දී, ආලෝකය අන්ධකාරයේ ශක්තීන් දුර්වල කරද්දී ව්ලැඩ්ගේ සුරතින් මරේනාගේ සුරත ගිලිහී ගියේ ය. ව්ලැඩ්ගේ ජීවිතය සදාකාලිකවම අන්ධකාරයට කැපකරමින් ඔහුගේ ජීවිතයේ සූර්‍යයා බැසගියේ ය. වරක් ඔහු මරේනාට පැවසුවේ ඇයගේ මරණයත් සමගම ඔහුගේ සටන ද අවසන් වී යන බවයි. නමුත් මරේනාගේ මරණය අවසානයක් නොව බොහෝ දේ හි ආරම්භය සනිටුහන් කළේ ය. එය ව්ලැඩ්ගේ දිවිය අවසන් කොට ඉන් “ඩ්‍රැකියුලා” හට උපත ලබාදීමට සමත් විය. එදා ව්ලැඩ් පැවසූ පරිදිම මරේනාගේ මරණයත් සමග ව්ලැඩ්ගේ සටන නිමාවට පත්විය. ව්ලැඩ් මියගියේ ය. “ඩ්‍රැකියුලා” උපත ලැබී ය.

නමුත් ඒ “මකරාගේ පුත්‍රයා” ලෙස නොව “යක්ෂයාගේ පුත්‍රයා” ලෙස ය.

මකරාගේ පුත්‍රයා හෙවත් අහිංසකයන්ගේ ආරක්ෂකයා යක්ෂයාගේ පුත්‍රයා බවට පත්වීමට ගතවූයේ නිමේශයකි. ඔහු එලෙස පරිවර්තනය වූවා නොවේ. ඔහුව එලෙස පරිවර්තනය කරන ලද්දේ ද මිනිසුන් විසිනි. මිනිසුන් විසින් පැතිරූ කෲරත්වය සහ අන්ධකාරය විසිනි. මිනිසුන් පතුරුවන අන්ධකාරය අන් සියල්ලටම වඩා භයානක සහ භීෂණකාරී යැයි මා විශ්වාස කරන්නේ එබැවිනි. පිරිසිඳු හෘද සාක්ෂියක් සහිත මිනිසෙකු “යක්ෂයෙකු” බවට පත්කිරීම සඳහා එයට ගතවන්නේ ඉතාමත් සුළු මොහොතකි. මිනිසා යක්ෂයෙකු හෝ දෙවියෙකු බවට පත්කරනු ලබන්නේ ද මිනිසා විසින්ම ය. “Dracula Untold” හි ඩ්‍රැකියුලාගේ උපත නිහඬවම අපට කියාපාන යථාර්ථය වන්නේ එයයි.

එමෙන්ම ජීවිතය තුළ තමා ගන්නා තීරණ සහ තම තෝරාගැනීම් සැබැවින්ම තමන් කවුරුන්ද යන වග ලොවට ප්‍රකට කරන බවත්, අප ජීවිත කොතරම් අන්ධකාරයෙන් වෙළී පැවතිය ද අපගේ හදවත තුළ ආලෝකය දැල්වෙමින් පවතින තුරු ඒ අන්ධකාරයට අප ජීවිත සහමුලින්ම ආක්‍රමණය කිරීමට කිසිසේත් නොහැකි බවත් මෙම අපූරු සිනමාපටය අපට වටහා දෙයි. ව්ලැඩ් තම පුතුට පවසන්නේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු සෑමවිටම තමන්ට ප්‍රථමයෙන් අන් අය පිළිබඳව සිතිය යුතු බවයි. ඒ අනුව මෙතෙක් අප දුටු ඩ්‍රැකියුලා වෙනුවට මෙම සිනමාපටය තුළින් අපට අනාවරණය වන ව්ලැඩ් දි ඉම්පේලර් කියාදෙන්නේ අපගේ ජීවිතය තුළ සෑම විටම පාහේ අන් අය වෙනුවෙන් ද ඉඩක් වෙන් වී තිබිය යුතු බවයි. එය ලෝකය තුළ අපට හිමි කාර්‍යය මැනවින් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලබාදෙනු ඇති බවයි.

ඩ්‍රැකියුලා සහ ව්ලැඩ් දි ඉම්පේලර් පිළිබඳව පුරාවෘත්තයන් ඇසුරින් නිර්මිත, එම පුරාවෘත්තයන්ට නව පරිකල්පනයක් සහ දෘෂ්ටියක් ලබාදුන් ස්වාධීන මගක් ගත් නිර්මාණයක් වන ඉංග්‍රීසි බසින් නිර්මිත “Dracula Untold” සිනමාපටය සඳහා හිමි වී ඇති IMDb අගය 6.3 කි.

සිනමාත්මක කෘතියක් ලෙස ගත් කල “අති විශිෂ්ට” ගණයේ ලා සැලකිය හැකි නිර්මාණයක් නොවූව ද, අඩුලුහුඬුකම් දැකිය හැකි වුව ද, මෙය ආරම්භයේ සිටම අවසානය දක්වාම නෙත් ඉන් ඉවතට නොගනිමින්, ත්‍රාසය, කුතුහලය මෙන්ම මානව සබඳතාවයන් තුළ පවතින හෘදයාංගම බව පිළිබඳව හැඟීම් රාශියක් සිත තුළ ඇතිකරමින් ඔබේ ආකර්ෂණය එක ලෙස රඳවා තබාගත හැකි සිනමාපටයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි ව්ලැඩ් දි ඉම්පේලර් ලෙස ප්‍රධාන චරිතයට පණ පොවන ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ලූක් එවන්ස්ගේ රංගනය සිනමාපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයක් මෙන්ම ආකර්ෂණයකි.

මෙය බ්‍රෑම් ස්ට්‍රෝකර්ගේ “ඩ්‍රැකියුලා” කතාව නොවේ. අප අසා ඇති ව්ලැඩ් දි ඉම්පේලර් පිළිබඳව සාම්ප්‍රදායික පුරාවෘත්තයන් පිළිබඳව කතාන්දරයක් ද නොවේ. මේ ඒ සියල්ලන්ටම නවමු අර්ථකථනයක් ලබාදීමකි. ස්වාධීන නිර්මාණයකි. මෙහි විශේෂත්වය වන්නේ ද එය යි. මෙම සිනමාපටය තුළ දිවෙන අපූරු කතාව ගෙතීමේ දී නිර්මාණකරුවා විසින් ප්‍රකට කර ඇති පරිකල්පනය “ඩ්‍රැකියුලා” නම් නොමැකෙන සිහිවටනය සාහිත්‍යයට දායාද කිරීමේදී බ්‍රෑම් ස්ට්‍රෝකර් විසින් ප්‍රකට කරන ලද පරිකල්පනයට නොදෙවෙනි වන බව මාගේ අදහසයි.

සිනමාපටය අවසානයේ දී ව්ලැඩ්ගේ පුත්‍රයා රාජ්‍යත්වයට පැමිණීමෙන් පසුව ඔහුගේ රුව රැගත් රිදී කාසි ගිනි දැල් මත උණුවෙද්දී ඒ මත සටහන්ව තිබූ ව්ලැඩ්ගේ රුව ඉන් මැකී යන දසුන නිහඬවම ඉඟිකරන්නේ ඔහු පිළිබඳව සත්‍යය ලොවෙන් සැඟවී ගිය ආකාරය යි. ක්‍රිස්තු ධර්මයේ සඳහන් පුරාවෘත්තයන්ට අනුව එදා ජුදාස් විසින් ක්‍රිස්තුස් වහන්සේ රිදී 30කට පාවාදීමෙන් අනතුරුව රිදී සදාකාලිකවම අමනුෂ්‍යයන්ට ශාපලත් වස්තුවක් බවට පත්වී ඇත. සිනමාපටයට අනුව ව්ලැඩ් පිළිබඳව සත්‍යය සැඟවෙමින් රිදී කාසි මතින් ඔහුගේ රුව මැකී යන්නේ ඔහුව “ඩ්‍රැකියුලා” නම් අමනුෂ්‍යයෙකු ලෙස ලොවට නිරාවරණය කරමිනි.

චිත්‍රපටයේ අවසානය සනිටුහන් වන්නේ සැබැවින්ම එය අවසානයක් නොව තවත් කතාවක ආරම්භයක් බව සනිටුහන් කරමිනි. එමෙන්ම අන්ධකාරයේ සෙවනැල්ල කොතරම් දිගු ද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයා තුළ හැඟීම් ඇතිකරවමිනි. “Dracula Untold” හි අවසානය එම චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක් පිළිබඳව අපට ඉඟිකරයි.

Horror ශානරයේ සිනමාපටවලට ඉතාමත් ප්‍රියකරන සිනමා රසිකයන් හට බලාපොරොත්තු වන මට්ටමේ ප්‍රබල horror අත්දැකීමක් ඉන් ලබාගත නොහැකි වුව ද මෙය ත්‍රාසය සහ කුතුහලය නොඅඩුව කැටි වූ නිර්මාණයකි. මෙය හුදෙක් තවත් එක් horror ශානරයේ සිනමාපටයක් පමණක් ලෙස හඳුන්වාදීමට මා මැළි වන්නේ ද එම හේතූන් නිසාවෙන්ම ය. ඇතැම්විට ප්‍රබල horror සිනමා අත්දැකීමක් අපේක්ෂාවෙන් මෙය නරඹන සිනමා රසිකයෙකුට මෙය කිසියම් බලාපොරොත්තු කඩවීමක් වුව ද විය හැකි අතර එය අතිශයින්ම ස්වාභාවික ය. නමුත් මෙය horror සිනමාපටයක රසවින්දනයෙන් ඔබ්බට ගිය රසාත්මක වින්දනයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන සිනමාපටයක් ලෙස හඳුන්වාදීමට මම කැමැත්තෙමි. ඩ්‍රැකියුලා චරිතයේ සහ ව්ලැඩ් දි ඉම්පේලර් පිළිබඳව පුරාවෘත්තයන්හි රසිකයන් සියලුමදෙනා නැරඹිය යුතුම සිනමාපටයක් ලෙස “Dracula Untold” මා හඳුන්වන්නේ එබැවිනි.

සිනමාපටය අවසානයේ ව්ලැඩ්ගේ පුතුගේ සිතට නැගෙන සිතිවිලි සමස්ත චිත්‍රපටයේම කතා තේමාව හකුළුවා දැක්වීමකි.

“තුර්කීන් කවදාවත් යුරෝපා රාජධානීන් ජයගත්තේ නැහැ. ව්ලැඩ් ඩ්‍රැකියුලා කුමරු කියන්නෙ වීරයෙක්. නමුත් ඔහුගේ පින්තූරවත් ප්‍රතිමාවල්වත් නෑ. මම තමයි ඔහුගේ උරුමය. ඔහුගේ පරිත්‍යාගය මට ඉගැන්වුවා අන්ධකාරයෙන් පිරුණු රාත්‍රීන්ට පසුව පවා නැවතත් ඉර පායනව කියලා.

මොකද හදවත ප්‍රමාණවත් තරම් ශක්තිමත් නම්, ආත්මය නැවත උපදින නිසා”

බ්‍රෑම් ස්ට්‍රෝකර්ගේ “ඩ්‍රැකියුලා” චරිතය ප්‍රබන්ධයක් වුව ද “ව්ලැඩ් දි ඉම්පේලර්” යනු සැබෑවටම මෙලොව ජීවත් වූ මිනිසෙකි. ඉතිහාසය ඒ පිළිබඳව සාක්ෂි දරයි. ඉහතින් පැවසෙන පරිදි ඔටෝමන් තුර්කිවරුන්ට කිසිදා යුරෝපා රාජධානි ජයගැනීමට නොහැකි විය. ඔවුන්ට බෝර්ගෝ දුර්ගය තරණය කොට ට්‍රාන්සිල්වේනියාව හරහා යුරෝපයට ඇතුළුවීමට කිසිදා නොහැකි විය. ව්ලැඩ් දි ඉම්පේලර් පිළිබඳව ඓතිහාසික තොරතුරු ගවේෂණය කිරීමේ දී ඔටෝමන් තුර්කීන්ගේ එම යුරෝපා ආක්‍රමණය කිරීමේ උත්සහයන් ව්‍යර්ථ කරදැමීමෙහි ලා ඔහු වෙතින් ඉටු වී ඇති කාර්‍යභාරය අති මහත් බව අපට හඳුනාගත හැකිය. එය එසේ නොවන්නට ඔටෝමන් තුර්කිවරුන් යුරෝපා රාජධානීන් ජයගැනීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි වන්නට තිබූ බව නොපැවසිය හැක්කේ කා හට ද? යුරෝපයේත්, ඉන් නොනැවතී මුළු ලෝකය පුරාත් මුස්ලිම් අධිරාජ්‍යයක් බිහිවීම නොවැළැක්විය හැකි දෙයක් වන්නට තිබූ බව නොපවසා සිටිය හැක්කේ කා හට ද? ව්ලැඩ් දි ඉම්පේලර් පිළිබඳව පුරාවෘත්තයන් කෙසේ වුව ද අදටත් ඔහුව වීරයෙකු ලෙස පිළිගන්නා පුද්ගලයන් හිඟ නොවන්නේ මේ නිසා ය. කරුණු කාරණා කෙසේ වුව ද මේ සියලුම කතා පුවත් මැද “බ්‍රෑන් මන්දිරය” ලෙස හැඳින්වෙන ව්ලැඩ් දි ඉම්පේලර්ගේ ඩ්‍රැකියුලා මාළිගය රුමේනියාවේ ට්‍රාන්සිල්වේනියානු කඳුකරය මැද අදටත් විරාජමානව සිටින්නේ ඉතිහාසයේ හඬගා නොකී රහස් බොහොමයක් අප වෙතින් සඟවා තබාගනිමිනි.

“ජීවිතය තුළ ඉතාමත් දුෂ්කර අවස්ථාවන් එළඹෙනු ඇත. අන්ධකාරය ඔබ වටා රජකරනු ඇත. නමුත් ඔබගේ හදවත තුළ පවතින අලෝකයත්, ඔබ විසින් ගනු ලබන තීරණ සහ තෝරාගැනීමුත් ඒ අන්ධකාරය තුළ වුව ද ඔබට ඔබව අනාවරණය කරගැනීම සඳහා උපකාරී වනු ඇත. එය ඔබට කිසිදා අන්ධකාරය තුළ පරාජිතයෙකු බවට පත්වීමට ඉඩ නොතබනු ඇත. එමෙන්ම එය මතු දිනෙක සැබෑවටම ඔබ කවුරුන්ද යන වග ලොවට හෙළි කරනු ඇත.”

– හංසිනී කවින්දි –

Directed by – Gary Shore

Produced by – Michael De Luca

Screenplay by – Matt Sazama
Burk Sharpless

Starring –

Luke Evans
Dominic Cooper
Sarah Gadon
Charles Dance

Music by – Ramin Djawadi

Cinematography – John Schwartzman

Edited by – Richard Pearson

Production company

Legendary Pictures
Michael De Luca Productions

Distributed by – Universal Pictures

Release date – October 10, 2014

Running time – 92 minutes

Country – United States

Language – English

Budget – $70–100 million

Box office – $217.1 million

Leave a Reply

Your email address will not be published. Required fields are marked *