ලොව වෙන කවරදාකටත් වඩා අර්බුදයකට – තරණය -හසිනි දෙනිපිටිය

කෝවිඩ්-19 වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමඟ සමාජ දුරස්ථභාවය ඇති කිරීමට සිදු විය. මේ නිසා එදිනෙදා කටයුතු සිදු කිරීම අඩාල විය. එයත් සමඟ ම රටක මුදුන් මුල වූ ආර්ථිකය වේගයෙන් කඩා වැටුණි.දශක ගණනාවකට පසුව මෙම වසර තුළ ලොව පුරා ම ආර්ථිකය වේගයෙන් පහළ වැටීම සිදුව තිබේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ගෝලීය ආර්ථිකය 3% කින් පහළ වැටෙන බව ඔවුන් පසුගියදා ප්‍රකාශයට පත් කෙරෙණි.

“…වෙන කවරදාකටත් වඩා අර්බුදයකට…” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ආර්ථික පරිහානිය හඳුන්වා දෙනු ලැබුවා.වර්ෂ 1930 න් පසුව සිදු වු දරුණුතම ආර්ථික පරිහානිය මෙය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පවසයි. මෙම වසංගත තත්ත්වය ලොකයේ රටවල රජයන්ගේ හා මහ බැංකුවල හැකියාව පිළිබඳ කෙරෙන පරීක්ෂණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අවධිය සලකයි. කිසිදු රටකට මිදීමට බැරි වන ලෙස විශාල ආර්ථික හානියක් සිදුව ඇති බව නොරහසකි. මේ නිසා ජනතාවට ද යම් ආර්ථික බරක් පැටවේ.රටේ නිෂ්පාදන හා සේවාවන් බිඳ වැටෙන විට ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අඩු වේ. එසේම බදු බර සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇත.මේ නිසා රටවල ආර්ථිකය පරිහානියට පත් වීම ජනතාවගේ ජිවිතවලට ඍජුව බලපෑම් එල්ල කරයි.

කෝවිඩ්-19 වසංගත තත්ත්වයට පෙර ලෝකයේ පැවති ආර්ථික තත්ත්වය ම කවදා කොහොම යළි ඇතිවෙයි ද යන්න පැවසීමට නොහැකිය. සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය ආධාර ලබා ගනිමි සිය ආර්ථිකය පවත්වා ගෙන යනු ඇත.කෝවිඩ්-19 වසංගතයත් සමඟ එවැනි ණය ආධාර ලබන රටවල් අන්ත අසරණ වී ඇති කාල පරිච්චේදයක් ලෙස මෙම කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දෙයි.ණය පියවීම මෙන්ම ණය ලබා ගැනීම යන අංශ දෙකම මෙම පවතින ආර්ථික යටතේ විශාල අර්බූදයකට ලක්ව ඇත. බොහෝවිට මෙම ආර්ථික තත්ත්වය යටතේ ණය ආයෝජකයින් ණය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩකඩ ඇත. ඒ නිසා ම ණය ගැනීමේ පිරිවැය ඉහළ යනු ඇත. ණයගැති ආර්ථික තත්ත්ව පවතින රටවල් තවදුරටත් විශාල ලෙස පරිහානිය කරා ගමන් කරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

කෝවිඩ්-19 වසංගතය ලෝකය හමුවට පැමිණියේ 2019 වර්ෂයේ අගභාගයේ දී ය. කෙමෙන් කෙමෙන් මෙය ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.මෙය 2020 වර්ෂයේ මේ මොහොත වනවිටත් විශාල ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. මේ නිසා සමාජ දුරස්ථභාවය ලෝකය පුරා ම ක්‍රියාත්මක කිරීමට සිදු විය. මෙම සමාජ දුරස්ථකරණය ආර්ථිකය මෙලෙස පරිහානියට පත් වීමේ මූලික කරුණ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
“2021 වසරේ දී අර්ධ ලෙස ප්‍රකෘති ස්වභාවයට පැමිණීම අපේක්ෂා කරනවා. නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම පූර්ව කොරෝනාවෛරස් සමයට වඩා පහළ මට්ටමක පවතින අතර, එහි ශක්තිමත් බව පිළිබඳ අවිනිශ්චිත බවක් පවතියි.” ගීතා ගෝපිනාත් පවසා තිබේ.
2020 වර්ෂයේ අවසාන භාගයේ දී හෝ මෙම ගෝලීය වසංගතයේ පාලනයක් ඇති වුවහොත් 2021 වන විට ආර්ථික වර්ධන වේගය 5.8% ක් දක්වා ඉහළ යා හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූරෝකථනය කරයි.කෙසේනමුත් 2020 වනවිටත් මෙම ආර්ථික තත්ත්වය පෙර පැවති මට්ටමට ම ගත නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතයය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2021 හෝ 2020 වනවිට වසංගතයේ අවප්‍රමාණයක් බලාපොරොත්තු වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනුයේ වසංගතයේ උච්චත ම අවස්ථාවට තවමත් පැමිණ නොමැති බවයි.

අමෙරිකානු ආර්ථිකය මෙම වසර තුළ 5.9% කින් පහළ වැටෙන බව අපේක්ෂා කරයි.එසේම එරට විරැකියාව මෙම වසර තුළ පමණක් 10.4% ක් දක්වා ඉහළ යනු ඇත. චීන ආර්ථිකය මෙම වසර තුළ 1.2% ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වුවද එය 1976 න් පසු වාර්තා වූ මන්දගාමී ම ආර්ථික වේගය ලෙස ආර්ථික විශ්ලේශකයින් පවසයි. එසේම ඕස්ට්‍රේලියාව ද 1991 න් පසු මෙවැනි ආර්ථික පරිහානියක් පෙන්වූ පළමු අවස්ථාව ද මෙය වේ. ඒ අනුව ගෝලීය ආර්ථිකය 3% කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෙලෙස ආර්ථිකය විශාල ලෙස කඩා වැටී ඇති මොහොතක නැවත ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර 4 ක් ලෝකයට ඉදිරිපත් කරයි. සෞඛ්‍ය සේවා පද්ධති සඳහා වැඩි මුදලක් ලබා දීම, සේවකයන්ට සහ ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර දීම, අඛණ්ඩ මහ බැංකු සහය සහ ප්‍රකෘති තත්වයට පත්වීම සඳහා පැහැදිලි සැලැස්මක් ඇති කිරීම මෙම පියවර හතර තුළ අන්තර්ගත වේ. එසේම වසංගතය පාලනය සඳහා ප්‍රතිකාර කිරීම, එන්නත් සොයා ගැනීම හා එන්නත් බෙදා හැරිම සියලු රටවල් කොන්දේසි විරහිතව එකතු වී කටයුතු කිරීම මේ මොහොතේ වඩාත් වැදගත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙම ආර්ථික පරිහානිය තුළ දී ලෝකයේ සියලු රටවලට දණ නැමීමට සිදුව ඇත. එසේම සියලු ලෝක වාසීන්ට ද එහි අනිසි ප්‍රතිඵල විඳ දාරා ගැනීමට සිදුවනු ඇත. නිසි අනාගත සැලසුමකට හා තුන්කල් විනිවිද දකින අර්ථික සැලසුමක අවශ්‍යතාවය අද ලෝක ආර්ථිකය හමුවේ ඇති අභියෝගයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *