මග නොහැරෙන්න, ඔබ ගැන පේ‍්‍රමය….. – මේනුකා දම්සරණී

අප වටා කවුරුන් සිටිය ද අපේ අත්වැල් කවුරුන් හා බැඳී තිබුණ ද ජීවිතය සම සමව බෙදාගත් තැන්වල පවා අපට තනිවම මුහුණ දෙන්නට ජීවිතයේ කුමක් හෝ සටනක් තිබේ. අපේ මුළු ඇතුළාන්තයම කැඩපතකින් දුටුවා සේ කියවාගන්නට තරම් ළෙන්ගතු ගැහැණුන් මිනිසුන් සමග සිටියදී පවා අපට ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත් ව තනිව ම මුහුණ දෙන්නට සටනක් ඇතැයි මම විශ්වාස කරමි. ඇතැම් විට ජීවිතය ඉහළට ම ඔසවා තබන්නේ හෝ ජීවිතය පතුලට ම ඇද දමන්නේත් ජීවිතයට හසරැල් එක්කරන්නේ හෝ දුක්බරිත ම මතකයන් ඉතිරි කරන්නේ හෝ ඒ හුදෙකලා සටනය.එවන් ජීවිතයක ඔබ හමුවන මොහොතක මුළු ලෝකයම අමතක වී සිහිනයක පාවෙන්නට මට අවැසි නැත. ලෝකය ම මතක් වී රිදුම්, වේදනාවන්, අප‍්‍රමාණ පරාජයන්, බිඳවැටීම් අතර මා හා සම දුරින් හෝ එක මගක යන්නට ඔබ සිටිනවා යැයි සපථ වන මොහොතක් විය යුතුය ඒ මොහොත. රිදෙන බව දැන දැනත් කටු අකුල් පිරි මාවතක ඇවිද යන්නට එවිට බිය විය යුතු නැත. මතු යම් දිනෙක, ගෙවා ආ ඒ වේදනාත්මක මාවත දෙස යළි හැරී බලන විට සෙවනැල්ලටත් වඩා සමීපව ඔබ මා අසල රැඳී සිටිනු ඇතැයි හදවතේ ඇති බලාපොරොත්තුව ම ජීවිතයට ජීවත් වෙන්නට උත්තේජනයකි.

කාලය කෙතරම් නපුරු ද නොව මට සිතෙන්නේ ම කාලය කෙතරම් අපූරු ද කියාය. අප කී වරක් නම් අත්වැල් බිඳ වෙන්ව ගොස් ඇත් ද? කාලයේ වැලි තලයෙන් ඔබේත් මගෙත් මතකයන් අප දෙසිතෙන් මැකී වැසී යනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් සිදුවන්නේ ම අනෙකකි. මට සිතෙන්නේ ම කාලය අප අපෙන් දුරස් කළාටත් වැඩියෙන් අපව ළං කළ බවකි. අප දුරස්ව සිටිනා කාලය දින සති වලින් ගණින්ට හැකි වීම ගැන මම සැබැවින්ම තුටු වෙමි. ඒ කාලය අවුරුදු ගණනින් හෝ ජීවිත කාලයකින් හෝ මනින්නට වී නම්… නැත මා ඒ ගැන සිතන්නටත් නොරිසිය. එබැවින් ම ඔබ ගැන පේ‍්‍රමය මගනොහැරෙන්නට මම පරිස්සම් ය. ඔබ නොදැක සිටිනා කාලය ඔබව වැඩියෙන් දැනෙනා කාලයක් වන්නේ එනිසා ය. අප යළිත් කොහේ හෝ තැනක හමුවන්නේ විරසක දවස් ගැන විමසා නොදරුවන් සේ දබර වන්නේ ඒ නිසාය. ඇත්තෙන් ම මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළිය ය.

අපි, අප ගැන බොහෝ කියවාගෙන ඇත්තෙමු. මා සිතන්නේ ඔබත් මමත් එකිනෙකාට වඩාත් ඇලූම් කරන්නේ ජීවිතයේ සොඳුරු තැන්වලටත් වඩා අඳුරු රුදුරු තැන් කියවා තේරුම් ගත් බැවිනි. සියල්ල එසේ වුවත් අප තවමත් එකිනෙකා පේ‍්‍රමයෙන් වැළඳ නොගෙන සම දුරින් එක මගක ඇවිද යන්නේ ඇයි දැයි විටෙක මට සිතේ. එහෙත් අප නොනැවතී දෙමග නොබෙදී තවත් දුර එක ම මග ඇවිද යන්නේ අනන්තය තෙක් යන සමාන්තර රේඛා දෙකක් මෙනි. අප අපව කියවා ගැනීම තවමත් නතරකර නැත. මම ඔබ ව කියවමි. ඒ කියවීම කෙතරම් අපූර්වදැයි මට දැන් සිතෙන්නේ ඒ අතරතුර ගෙවී යන දින, සති, මාස හෝ අවුරුදු හෝ ගැන මට වේදනාවක් ඇති නොවීම නිසාය. ඒ කියවීම තුළ ම ඔබ මට හිමි වීමේ උත්කර්ෂය මම සෑම තප්පරයක ම අත්විඳිමින් සිටිමි. ඔබේ ඇසුර ම වදනකින් තේරුම් කළ නොහැකි අපූර්වත්වයකි.

‘ලොව ම එපා වී ලොව ම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එක ම වදනකින් මගේ ආත්මය සුවපත් වේ’ ඒ ගී පද මා තුළ මවන්නේ ඔබේ රුවම ය. ඔබේ උණුසුමම ය. ඒ, හදවත රිදුණු තැන්වල පවසන සැනසිලි වදන් නිසා නොවේ. ඔබ එවැන්නක් කියන්නේ ද කලාතුරකිනි. එහෙත් එවන් මොහොතක කොහේ හෝ සිට ඔබ, ඇමතුමකින් කෙටි පණිවුඩයකින් මා හා දොඩමලූ වීම ම ප‍්‍රාතිහාර්යයක් යැයි සිතෙන අප‍්‍රමාණ සැනසුමකි. අහම්බෙන් ඔබේ රුව දැකීමම අතීතේ සොඳුරු ඉසව්වක ඔබ හා මා රැුගෙන ගොස් අතහරින අනාගතය ගැන බිඳුණු පැතුම් පවා යළි පුබුදුවන අපූර්වත්වයකි.

කිසිදාක අප හමු නොවුණු තැන්වලත් ඔබ ගැන මතකයක් මට තිබේ. එවන් හුදෙකලා මොහොතක ඔබේ සුවඳ ඔබේ උණුසුම කොහෙන්දෝ විත් මා වැළඳගන්නා සේ මට දැනේ. ඔබේ ඇස් බැල්ම මගේ ඇස් සොයනවා යැයි මට හැගේ. ඒ හැඟීමම ඒ දැනීමම කවදාක හෝ අප අපට හිමිවූ බවට සලකුණක් යැයි මම විශ්වාස කරමි. ජීවිතය ගතවන ඉලක්කම් අවුරුදුවලින් මම ජීවිතයේ වසන්තය හෝ ගිම්හානය හෝ ගණින්නට ඉගෙන නොමැත්තෙමි. එහෙත් මේ ජීවිතයේ වසන්තය යැයි මම සිතමි. ඔබ හිමි නොවිත් ජීවිතයට වසන්තය කෙසේ පැමිණියේදැයි ඔබ ම විමසනු ඇත. ඔබ හිඳින්නේ මගේ හදවතේය. හැම මතකයක ම මේ හැම අකුරක ම හිඳින්නේ ඔබය. මට වසන්තය ඔබ මගේ ළගින් හිඳිනා බව මට හැගෙන මොහොත ය. මට හැම මොහොතක් ම දැනෙන්නේ එසේ නම්, මේ වසක් ඍතුව ගෙවී නොයනා බව පමණක් මම පවසමි.

දිනෙක මා ඔබ හිස මගේ උකුළ මත සතපා ගනිමි. කිසිදාක හමුනොවේ යැයි ලෝකයා කියූ අහසත් පොළවත් මම යා කරමි. සියක් දහසක් දනන් නෙත් අයා බලා සිටියදී මම සෙමෙන් ඔබ වතට පහත් වී, සිපගනිමි ඒ අනන්ත අහස. අහසට නෙත් ඔසවන ලෝකය මා මවිත කරන්නේ සෙනෙහසින් බරිතව පොළවට පාව ආ අහස නැඹුරු වී පේ‍්‍රමයේ මල් පෙතිවලින් සෙමෙන් සිපගනිමිනි. ඉදින්….. එබැවින් ම,

යන්න සිතෙනා හැම වර
යළි හැරී බලමි,
මගනොහැරෙන්න
ඔබ ගැන පේ‍්‍රමය……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *