දවස සුබම වේවා! – සංජීවනී අමුණුගම

සුබම වේවා! යි ප්රාර්ථනාවත් සමග දවස උදා වුනේ පෙරඹරෙන් නැග ආ හිරු කිරණ ගත දවටාගෙනමයි…උදා වූ දවසත් පෙර ගෙවූ දවස් සේම වෙනසක් නැතැයි සිතිමි. පෙර නම්, අවට සිසාරා බැලූ කල්හි, නිවෙස් තුල හීල සරි කරන වග අහසට නැගෙන දුම් රොටු කියා පෑවේය. දැන් අහම්බෙන් තැනක දෙකක මිස ඉහල නැගෙන දුම් රොටු වලා සමග එක් වන්නෙ කලාතුරකිනි. කාලය දියවී යන ඉක්මන. එදා මෙන් තුරු පතක නුඹ ගැන ලියන්නට අද හිතක් නැතුවාය.

එක අතකට හුදෙකලා කන්දක වීම ද හොඳය…ඉකි ගසා හැඬූ රාත්රීන් කොපමණද . පාමුලට රූරා වැටුනු කඳුළු කැට විටෙක දිය කර හැරියෙ අසරණ ගම්මුන්ගෙ සබ්බ සකලමනාවමය..පියවි සිහි ලැබෙන විට වෙන්නට තිබූ සන්තෑසි වෙලා හමාරය. නැවත නොහඬමියි සිතුවද බොහෝ රාත්රීන් ඒ අදිටන බොඳ කර තැබූ වග මතකය. සසඳා බැලුවොතින් සකල ශරීරයට වඩා හදවතේ බර වැඩිය.
මේ දකින්නේ, ගෙවා දමමින් සිටින්නෙ සිහින නොවේ.ගෙවුනු ,ගෙවෙන යථාවයි. හෙටත් නැගිට ජීවන ගමන යා යුතුය.නමුදු පැසෙහි බර වැඩිය,,දරන්නට අපහසුය…ඉදින්…,පැස සැහැල්ලු කරගනු වස් , එකින් එක පෙලින් පෙල අකුරු ගලපන්නට උවමනාය, ඒ ගැලපෙන අකුරු අතර හිඳින්නී මා ය. සමහර විට ඔබත් හිඳීවි.. ඉදින් . මේ ඇරඹුමයි. තව දෙයක්….සුසර කරගන්න ඔය වීනාවෙ තත්.. අපට ගී ගයන්නත් තියනවා….. පටන් ගනිමු ජෝතිගෙන්… #ඔබෙ_සැප_මගෙ_සතුටයි!
සංජීවනී අමුණුගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *