ඇත්ත මිනිස්සු මහ පොළොවේ නෑ … අපි ඉන්නේ ෆැන්ටසියක – මහී රංග

lankatarget.com වෙබ් අඩවිය signature යන ටොපික් එක ක්‍රියාත්මක කරනු ලැබුවේ සමාජයේ අපි දකින වෙනස් කියවීමක් සහිත මිනිසුන්ගේ අත්සන සටහන් කර තැබීමටයි. එහි බරපතල කම පසුගිය අත්සන තැබූ මිරාන්ගෙන් පසුව නැවත එවැනි කෙනෙකු හමුවෙන්නේ සති කීපයකට පස්සේ වීම විශේෂයක්.. අපි සොයන්නේ වෙනස් මිනිස්සු හිතීම සහ අධ්‍යාත්මය මනුස්සකමට පාර කපන වෙනස් කියවීමක් සහිත මිනිස්සු. මෙවර අපිට මුණ ගැහෙන්නෙත් එවැනි වෙනස් කියවීමක් සහිත මිනිහෙක්. ඔහු ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.. හැබැයි මිනිහා කියවිමෙන් ලංකාවේ සමාජ පන්තීන්ට නිරන්තරයෙන් අමතනවා.. ඒ වෙනස් විදියකට .. මේ මහිරංගගේ අත්සන signature වෙත තැබී අයුරුයි.

ලෝකේ දකින්නේ කොහොම ද ?

මේ ප්‍රශ්නය මගේ ප්‍රියතම ⁣topic එකක් ගැන හාර අවුස්සන්න එකක්. “ලෝකය” පෙනෙන හැටි කෙනාගෙන් කෙනාට වෙනස්. කෙනෙකුට ලෝකය යනු භෞතික දෙයක්. තවෙකුට ලෝකය යනු පවතින සිද්ධියක්. මම පුරුදුවෙලා තියෙන්නෙ අනිකෙකුට කෙලෙස ” ලෝකය ” දිස්වෙනවද යන්න දැක සතුටු වෙන්න. මට “ලෝකය” යනු ඒ මට කතාකරන පුද්ගලයා දකින දෙයයි.

මිනිස්සු ලොකේ දිග පළල භෞතිකව තේරුම් ගැනීම සහ අධ්‍යාත්මිකව තේරුම් ගැනීම් අතර පරතරයක් දකිනවද ?

සත්‍යය වශයෙන්ම භෞතික යනුවෙන් දෙයක් නැහැ. ඇත්තේ සිදුවීමක්. විශ්වය දිගක් පලලක් ඇති තැනක් නෙවෙයි . එය සිද්ධියක්. අපි පරිනාමය වෙලා තියෙන්නෙ තැනක් ලෙස ගෙන එහි පවතින්නයි. ඉතින් ඔව් , ඒ දැකීම් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා . හැබැයි ආධ්‍යාත්මිකව ගන්නා කෙනා ⁣මුලින් භෞතිකව දැක පසුව අවබෝධයෙන් ආධ්‍යාත්මිකව දැකීමයි සිදුවෙන්නේ

 සිරාවට මොකද්ද ජීවිතේ කියන්නේ..?

අපිට හිතාගන්න අපහසු වාරගානනක් තිස්සේ ටික ටික තියුනු වූ සිද්ධියක්. මේ මනුෂ්‍ය අපිට අදාල ටික නම් ජීවිතය සතුට ලෙසින් පවත්වාගෙන යෑමයි. එසේනම් ජීවිතය යනු සතුටින් සිටීම සඳහා යොදාගතයුතු  අවස්ථාවක්.

කටු ගැන මොනවද දන්නේ..? ජීවිතේම කට්ටක් නම් ඒ අස්සේ සෙනසීම මොකද්ද ?

මනුෂ්‍ය ජීවිතය ගත්තොත් අපි අදහස්මය ජීවියෙක්. ඒනිසයි අපි සංස්කෘතික වුනේ. අපි ඉන්නෙ මනසේ නිර්මාණය කරගත් තත්ත්වය වල. සමාජය ආගම දේශපාලනය මේ සේරම ඒ සදහා උදාහරණ . මේ “අදහස්” ඇත්තටම අපිව අපේ මනසට ආසාදනය වන ඒලියන්ල වගේ . අදහසට පණ නැති වුනාට මනුෂ්‍ය මනසකට වැටුනම පණ එනවා. අපි පවා සංස්කෘතියක embodiment එකක්. කට්ට එන්නෙ මේ අදහස් සහ මනුෂ්‍ය සත්‍යය නොගැලපෙන තැන් වලදි. එසේනම් සැනසීම යනු අදහසත් අදහසේ නොගැලපීමත් දැක ඉතා පරිස්සමින් කරගන්නා පුංචි editing එකක්..

 හරි මට ඕනේ දැනගන්න ඔබ කවුද ? කොහේද ඉපදුනේ ?

මම උඹත් අනික් උනුත් වගේම ජීවියෙක්.. සිද්ධියක්… ඉපදුනේ හලාවත ඉස්පිරිතාලෙ

මව් සෙනෙහස පිය සෙනෙහස දැනුනු විදිය

මම පලවෙනි ආප්පෙ.. ආප්ප පුච්චලා තියෙනවනම් දන්නවානෙ පලවෙනි ආප්පෙ ගැන.

 මුල්ම ජොබ් එක මොකද්ද ?

Plastic bag වලට 40 kg වැලි පිරෙව්වා.

 ඊට පස්සේ ජොබ් එක ?

වැසිකිලි සේදුවා

 ඊටත් පස්සේ ජොබ් එක ?

Truck එලෙව්වා

දැන් පිටරකට වුනේ ලංකාවේ ජොබ් උපයන්න මදිනන නැත්නම් උගත්තකමට සරලන වැටුප් නැද්ද?

ලංකාවෙන් ගියෙ සල්ලි ප්‍රශ්නයකට නෙවෙයි. ලෝකය දකින්න. වාසනාවකට තාත්තයි අම්මයි අපිට ඇතිවෙන්න ඉඩම් සල්ලි හෙව්වා ඒකයි ඇත්ත. පිටරටක නැවතුනේ මම ආදරේ කල අය, එයාලගෙන් මට ලැබුනු දරුවො ඒ රටේ ඉපදුනු නිසා. මම කැමතියි මගෙ දරුවො ඉන්න ඉසව්වේ රැඳෙන්න.

ලංකාව ගොඩ යන්න සමාජවාදය උත්තරයක්ද

ලංකාව ගොඩ නොයන්න මූලිකවූ විශාලම ප්‍රශ්නය ජීව විද්‍යාත්මකයි. අපි කාපාල ධාරිතාවයෙන් මදක් කුඩා මනුෂ්‍ය වර්ගයක්. බුද්ධ ධර්මය වැනි අති උසස් දර්ශනයක් වුනත් අපි ගන්නෙ හින්දු විශ්වාසයක් ගානට බොන්සායි කරල. ඒ අපේ මනසට ගන්න පුලුවන් පහසු හැටියට. පුංචි ලමයින්ට නිසි පෝශණයත් නිවැරැදි අධ්‍යාපනයත් දුන්නොත් සමාජවාදය නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය වුනත් අපේ රටේ සාර්ථක වන්න ඉඩ තියෙනවා . මුලින්ම අපි අපේ ප්‍රශ්නය නිවැරැදිව දකින්න තරම් නිහතමානී වුනොත්.

 දේශපාලනය ගැන අදහස කුමක්ද ?

දේශපාලනය අත්‍යාවශ්‍ය අංගයක් ! අධ්‍යාපනයෙන් පෝශණය වී නීතියෙන් පාලනය වියයුතු දෙයක්.

ආර්ට් රියලටිය ගැන කතා කරන දෙයක්ද නැත්නම් හුදු මනෝරාජික පිනවා ගැනීමක් විතරමද ?

පිනවා ගැනීමත් මම හිතන හැටියට හොඳ පටන්ගැන්මක්

කවි ජන කවි, ජාතක කතා, සාහිත්‍යය මේවා මිනිසුන් ගෙනියන තැන ගැන අදහසක් තියෙනවද

ලංකාවෙ අපි සමාජයක් වශයෙන් අපේ මේ අංග රැකගන්න දක්වන උනන්දුව මදි. ඒ නිසාම අපේ අනන්‍යතාවය ටික ටික නැතිවෙලා ගිහින්. ඒත් මුලින්ම සමාජය උසස් තත්ත්වයකට ගේන්න පුලුවන් පිරිසක් එපැයි රට පාලනය කරන්න. හරිහමං ටොයිල්ට් සිස්ටම් එකක් නැති අපි වත්තෙ එක කොනක ටොයිලට් වල , අනික් කොනේ ලිඳ ! වැලි යටින් අසූචි මිශ්‍ර වතුර කාණ්දු වෙද්දි ජනකවි ගැන කුමණ කතාද!!

මැරෙනකම් මොනව හරි ගේමක් ගහගෙන ඉන්න එකද ජීවිතේ කියන්නෙ නැත්නම් අර්ථවත් ජීවිතයක් ගැන අදහසක් තියෙවද

කෙනාගෙන් කෙනාට වෙනස්. අන්න ඒනිසයි ස්වාධීනව සිතන්න ඉඩ ඇති සමාජ වඩා සුදුසු . සිතන්න හැකියාව තියෙනවානම් මනසින් නිර්මාණය කර භෞතිකයට ගෙන ඒමට ඉඩ තිබෙනවා. මුලින් කිව්වා අගේ අපි මනසේ ජීවත්වන ජීවියානෙ.

ඔබ ජාතිවාදියෙක්ද

ජාතිවාදය මට අප්පිරියාම සීන් එකක්. නමුත් මනුෂ්‍ය වර්ග වල මුහුණුවල ඇති වෙනස වගේම මොළයේද භෞතික වෙනස්කම් ඇති බවත් ඒවාට සමරූපීව සියුම් බුද්ධිමය වෙනස්කම්ද ඇති බව දකිනවා. ඒ දැනුම ඇත්තේ යම් වර්ගයක් පහත් කිරීමට නොව නමුත් අවශ්‍ය අමතර සහයෝගය නිර්මාණය කිරීමට බව අවධාරණයෙන් කියනවා.

හුගාක් හිස විශාල  යුරෝපීන් ලෝකෙ පුරා ගිහින් අහිංසක මිනිස්සුන් රවට්ටලා එයාලගෙ ඉඩම් අල්ලගැනීම සිදුවුනෙත් නිකම්ම නෙවෙයි. ලෝකයෙ විවිධ ප්‍රදේශ වලට homo sapien sapiens ව්‍යාප්ත වුනේ එක රැල්ලකින් නෙවෙයි . රැලි කීපයකින් . අප්රිකාවෙන් එලියට ආවෙ අවුරුදු දසදහස් ගනන්වල gap ඇතිව. තවද ලෝකයේ විවිධ ප්‍රදේශ වලට ඊට කලින් ව්‍යාප්ත වුනු මනුෂ්‍යයාට ලගින් නෑකම් කියන වර්ග ඉඳල තියෙනවා . නියන්ඩතාල් වගේ.. ඒ අයත් සමග homo sapien sapiens ඒ ඒ ප්‍රදේශවලදී මිශ්‍ර වුනා කියලයි මම හිතන්නෙ .. අන්න ඒ නිසයි නූතන මනුෂ්‍යයින් රූපෙන් මෙතරම් එකිනෙකාට වෙනස්.

මේ සියල්ල මෙසේ තිබියදී මම විශ්වාස කරන්නේ ජාතිය නිසා කිසිම කෙනෙක් පහතට දැමීමවත් අසාධාරණයකට ලක්කිරීමවත් සුදුසු නැති බවයි. ජාතිවාදය යනු ඒ පහතට දැමීමයි, ඒ අසාධාරණයට ලක්කිරීමයි.

මිනිස්සුන්ගේ ගැටළු කෙලින්ම මූණට කියන එක දිරවන්නේ නැත්තේ ඇයි?

මිනිස්සු ඉන්නෙ මනසින් නිර්මාණය කරගත් ලෝකවල කියල. ඇත්ත මිනිස්සු මහ පොළොවේ නෑ … අපි ඉන්නේ ෆැන්ටසියක  මම මුලින්ම කිව්වනෙ

ලංකාවට ආපුවාම කරන්න කැමතිම ජොබ් එක මොකද්ද

ගොවිතැන

 බයිසිකල් පැදපු අතීතේ ගැන මොකද කියන්න තියෙන්නෙ ?

මම දැන් වැටුනම ඒ අතීතයෙන් ශක්තිය ඇදගෙන ආයෙ නැගිටිනවා. දරුවන්ට එවැනි අතීත තිබීම වැදගත් ඒ නිසයි.

දැනට වත්කම් විදියට ගෙවල් , වාහන , දේපල කොච්චරද ?

පාවිච්චියට අවශ්‍ය පමන තියෙනවා . වැඩි යමක් නැහැ.

මිනිහෙක් විදියට ආසම කරන ලයිෆ් ස්ටයිල් එක මොකද්ද

Off grid self sufficient ජීවිතයක් පරිසරයට අවම හානියක්වන දේවල් ටිකක් සමග. මම කැමති දෙයක් තියෙනවා . ඒ තමයි පිරිසක් එකට තබා උසස් යමක් නිර්මාණය කිරීම.

 

සාකච්ඡා කළේ 

තුසිත පතිරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *