පොතකින් දැනුන කවියක් 20 – අශෝක කුලතුංග

කෘතිය : ගොළු වෙණ තුරුලු කරගෙන
කතෘ : ලහිරු කරුණාරත්න
ප්‍රකාශනය : සන්ථව

දළඹු මළගම.

මෙතැන මේ මළ සිරුර
දළඹුවෙකුගෙ බව ඇත්ත
සහතිකයි කසන බව
ගෑවුනෝතින් බූව

ඒත් එහෙමයි කියා
දමා යන්නට හැකි ද
ටිකක් නවතින්න….
පේනවද මිය නොගිය

ඔහුගෙ සමනල පැතුම ?
එන්න ඔහු සරසන්න
රැගෙන සමනල ඇඳුම
අපට හැකි එම පමණ.

“කටු තුඩක පිනි පහස” හා “වැහි බිංදු කට හඬ”නම් කාව්‍ය සංග්‍රහ ද්විත්වයෙන් තම කාව්‍ය ප්‍රතිභාව මැනවින් පාඨක හදවතෙහි රූපණය කළ ලහිරු කරුණාරත්න කවියාගේ අභිනව කාව්‍ය සරණිය “ගොළු වෙණ තුරුලු කරගෙන” නමින් පසුගිය දා ජනගත කෙරිණි. ඉතා සියුම් පරිකල්පනීය ගුණයෙන් සුඟන්දවත් කවි පියුම් බොහොමයක් මෙහි අන්තර්ගත ය. විවිධ සමාජ, දේශපාලන හා සංස්කෘතික අනුභූතීන් මෙන් ම රූපාන්තරණ වන ප්‍රේමය ද ඒ අතර වේ. මානුෂිය සහජීවනය සහ සමාජ සංහිදියාව අරමුණු කරගනිමින් “දළඹු මළගම” පද්‍ය පෙළ රචිත ය. දළඹුවකු මිය යාමේ සංසිද්දියක් කවියා මේ සඳහා පාදක කරගනී.

අතීතයේ පටන් ම සමාජය විවිධ බෙදීම් වලින් ගහණ ය. ජාති, ආගම්, කුල, ධනය යන ප්‍රධාන අංගයන්ගෙන් ඒවා සුපෝෂිත ය. වර්තමානය වන විට එය පාසල, උපකාරක පංතිය, ආචාර්ය මණ්ඩලය, ජංගම දුරකතන, ප්‍රවාහන, විලාසිතා පමණක් නොව ආහාර දක්වා ම බෙදීම් පුළුල් ව පවති යි. ඉනුත් සමාජය තුළ විවිධ අඩතේට්ටකම් වලට හා අවතක්සේරුවට ලක්වන්නේ දුගී දුප්පත් අසරණ සමාජ පංතිය යි. දළඹුවා අවලස්සන ය; සමට අහිතකර ය. මේ නිසා කිසිවකු දළඹුවකු සුරතල් නොකර යි.

“මෙතැන මේ මළ සිරුර
දළඹුවෙකුගෙ බව ඇත්ත
සහතිකයි කසන බව
ගෑවුනෝතින් බූව”

දළඹුවකු ලෙස කවියා සංකේත කරන්නේ සමාජය විසින් පිළිකෙව් කරන පුද්ගලයෙකි. ඔහු හා ඇසුර අන් අයට පීඩාවක් විය හැකි ය. නමුත් එවන් ජීවිතයක වුව අවසාන සුසුම් පොද නිමා කළ මොහොතේ මහ මග දමා යාම මිනිසුන් ලෙස අපට කළ හැකි ද යන්න කවියා සමාජයෙන් ප්‍රශ්න කරයි. සමාජය කෙතරම් ගැරහීමට ලක් කළ ද දුෂ්කර දළඹු ජීවිකාවෙන් අනතුරුව ඌ ලොව දකින්නේ සමාජය ම ආදරය කරන සමනලයකු ලෙසිනි. මේ නිසා ම කථකයා අන් අයගේ උදවු උපකාර අයදින්නේ ඔහුගේ අනාගත සිහින වෙනුවෙනි. කවියා ඉතා සරල ව අපූර් ව ලෙස පද බඳින්නේ මෙලෙසිනි.

“පේනවද මිය නොගිය
ඔහුගෙ සමනල පැතුම ?
එන්න ඔහු සරසන්න
රැගෙන සමනල ඇඳුම
අපට හැකි එම පමණ.”

සමාජයේ කුමන තරාතිරමක් නියෝජනය කළ ද මිය ගියේ මනුෂ්‍යයෙකි. මිනිසුන් ලෙස අපට හැකි පමණ අනෙකා වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම නම් අපට එවන් දළඹු මිනිසුන්ගේ එක් සමනල පැතුමක් ඉටු කිරීමට මුල පිරීමට හෝ හැකි නම් එය කොතරම් අගනේ ද? ඉතා ම සරල පද සංයෝජනයකින් කවියා සමාජ ගත කරන්නේ ප්‍රබල සමාජ ඛේදවාචකයකි. මිනිසා මනුසත්කමින් අන්ධ වී යන යුගයක කවියා යත්න දරන්නේ සියලු මිනිසුන් තුළ සහජීවනය ගොඩ නැගීමට යි; ජාති, ආගම්, කුල, පාට, පක්ෂවලින් නොබෙදී සංහිදියාවේ පහන් දැල්වීමට යි. මේ හේතුවෙන් ම කවියාගේ සමාජ දෘෂ්ටිය පැසසිය යුතුය.

ඉතා සරල නිදහස් ආකෘතිය තුළ පාඨක හදවතෙහි කරුණා භාවයන් උද්දීපනය කිරීමත්, සමාජ ඛේදවාචකයක් කෙරෙහි පාඨක මනස විවෘත කිරීමත්,කවියා සතු යහපත් සමාජ දෘෂ්ටිය සංකේතාර්ථ ව නිරූපණය කිරීමත් සැලකූවිට ලහිරු කරුණාරත්න කවියා විසින් රචිත “ගොළු වෙණ තුරුලු කරගෙන” කාව්‍ය සංග්‍රහයේ එන “දළඹු මළගම” පැදි පෙළ සාර්ථක නිර්මාණයක් ලෙස විශද කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *