කවිය පිනවීම නැත්නම් සමාජ වගකීමෙන් මුග්ධ වෙනවා – වනසිරිගම සිරි රතන හිමි

ලංකාවේ කවිය හුදු පිනවා ගැනීමේ කියවීම් ඉලක්කයක් කිව්වොත් ?

කවිය වූ කලී තමන් සමාජ ගත කරන කරුණ සමඟ බද්ධව පවතින්නක්. සමාජ විවරණය කවිය තුළ දැකගත හැකියි. කවිය මඟින් පාඨකයාව රිදවන්න හෝ පිනවන්න අවශ්‍යයි. කියවන්නාට කවිය ලං වන්නේ එතකොට. පිනවීම නැත්නම් සමාජ වගකීමෙන් මුග්ධ වෙනවා. කවිය සමාජ ගත වූවත් සමාජය හා බැඳී පවතින දෙයක්. එම නිසා කවිය ජන ගත වූ විට කවියේ බලාපොරොත්තුව සඵල වෙනවා. පිනවීම තුළ කවිය සාර්ථකයි.

 විරිත්, ආකෘති, පද ගැලපුම්, මෙවැනි කවියක තිබිය යුතු මූලිකාංග අඩංගු කවි දන්නට ලැබෙනවා අඩුයි හැබැයි කවි ලියවෙනවා .. මෙය කවියේ වර්ධනයට බලපාන්නක්ද ?

කවියක සාර්ථකත්වයට ආකෘතිය බලපානවා. වර්තමානයට ගැලපෙන කවි විදිහට මා දකින්නේ සමාජ ගත කරන පණිවිඩයයි. කවිය වර්ධනය කරනවාද මර්දනය කරනවා ද යන්න කෙරෙහි බලපාන්නේ පවතින සමාජ තත්ත්වයයි. කවිය ලියන වෙලාවට පවතින තත්ත්වයට අනුව කවිය ලියවීම කවියේ වර්ධනයට බලපාන බවයි මගේ මතය.

 සාම්ප්‍රදායික කවිය කුමන හෝ කාල පරිච්ඡේදයක් නියෝජනය කළා.. එහෙත් ඔබ වහන්සේ දකිනවද දශයකකට හෝ දෙකකට සිට මෙතෙක් කවි එවැනි යුගයක් හෝ නිමැවුම් ඉලක්කයක් සහිතව ගොඩ නැගුණා කියා..

කාලයක් තිබුණා සාම්ප්‍රදායික කවිය නියෝජනය කරන යුගයක්. වර්තමානය තුළ දක්නට ලැබෙන බොහෝ කවි ලියවෙන්නේ ආර්ථික, සමාජීය, දේශපාලනික කරුණු මත. එය මා අගය කරන කරුණක්. කවි ලියන්නේ කාටද, කුමක් ද කියන එකයි වැදගත්. වර්තමානයේ ඉතා සාර්ථක කවියෝ රාශියක් දක්නට ලැබෙනවා. කවි පොත් දක්නට ලැබෙනවා. ඔවුන් සාම්ප්‍රදායික යුගයක් නියෝජනය කරනවාට වඩා ඔවුන්ගේ කවි වල හැඩ පණිවිඩය අතිශය වැදගත්. ඒ අතර සාම්ප්‍රදායික කවි පොත් දක්නට ලැබෙනවා. ඔවුන් අගය කරන අයත් දකින්නට ලැබෙනවා. වර්තමානයට සරිලන කවිය රචනා වීමයි යුගයේ අවශ්‍යතාවය.

 සමාජ සංවර්ධනය හෝ ඥානනය උදෙසා කවි වෙනුවට බොහෝ තැන්හි දකින්න ලැබෙන්නේ මනස්ගාත කිව්වොත් ?

සමහර තැන්හි දී ඒ සඳහා මා එකඟ වෙනවා. ඇතැම් විට නෑ. නූතන කවියෝ සමහර තැන්හි හුදු ප්‍රලාපයන් ලියනවා. ඒත් හුඟක් කවියෝ කවිය පිළිබඳව අවබෝධයෙන් යුතුව කවි ලියනවා. තමන් පවතින තත්ත්වය භාෂාව, අත්දැකීම් මත සාර්ථක කවි නිර්මාණය වෙනවා. කවියා කවිය ලියන ආකාරයටයි, ලියන කවිය මනස්ගාත ද ඥානනය උදෙසා ද යන්න තීරණය වන්නේ.

ඉතිං අපට කියන්න කවියට හිත ගියේ ධම්ම පදය අස්සෙන්ද නැත්නම් ගමේ සුවඳ අස්සෙන්ද ?

කවි ලියන්න පෙළ දහමේ ආභාෂය ජීවිතයට ලැබුණ අතර කවියට වස්තු විෂය සමාජය තුළින් ලැබුණු වාර බොහෝයි. කවි ලියන්න ධම්ම පදය වගේම ගමේ සුවඳත් බලපෑවා.

 කවි පොත් දෙකක් එක සැරේ ඇයි ?

අවුරුදු කිහිපයකින් කවි පොතක් ලියන්න බැරි වුනා නිසාත් එකතු කරගත්ත කවි ප්‍රමාණය වැඩි වුණු නිසාත් කවි පොත් දෙකක් කරන්නට වුණා.

 සිරිරතන හාමුදුරුවෝ ගැන සහ කවි ලියන සිරිරතන හාමුදුරුවෝ දෙනමක්ද ?

ක්ෂේත්‍ර දෙකක් නියෝජනය වෙනවා. ක්ෂේත්‍ර දෙකක් වුණත් සිතුම් පැතුම් හා අදහස් එක සමාන නිසා දකින්නේ එක් අයෙකු ලෙසටයි.

 කවද්ද පොත් දොරට වඩින්නේ

2020.07.26 වන දින. සවස 2කට බණ්ඩාරවෙල නගර සභා ශාලාවේදී එළි දක්වනු ලැබූවා

 ඇත්තටම ඔබ වහන්සේගේ කවි වල පාදක පාත්‍රයන් මොනවද ?

කවි ආකෘතිය තුළ සඳැස් නිසඳැස් කෙටි කවි දකින්න පුළුවන් අතර සාමාජීය හා ආර්ථික විෂයන් ආශ්‍රිතව ද විවිධ පැතිකඩ ඔස්සේ රචනා නිර්මාණ තියෙනවා.

 කවියට නිදහසක් අවශ්‍යද ?

ඔව්. සීමා නැතිව නිදහසේ ලියන කවි ගොඩක් සාර්ථකයි.

 

කතා කළේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *