නොස්ටැල්ජියාවක සැරිසැරුම – 02- සංජීවනී අමුණුගම

මදනලකින් සැනසෙන්න වගේම නොස්ටැල්ජියාවක සැරිසරන්නත් පුලුවන් ,ඒ ඔස්සේ ඇඬෙන්නත් පුළුවන්, මදහසක් නැගෙන්නත් පුලුවන්. හැබැයි එක දෙයක්, ඒ මොනම හැඟීමක් ඇතුලෙවත් පසුතැවීමක් නෑ. පසුතැවෙන්න දේවල් කරලා නෑ. මම කියන දේ අයින් කරලා අපි වෙනුවෙන් ජීවත් වුනාම එහෙමයි, හැම තීන්දු තීරණයක්ම අපි වෙනුවෙන් ගත්තෙ පිරිසිදු හිතකින්මයි. ඉතින් මොකටද පසුතැවීමක්.? හෘද සාක්ෂිය අදටත් , නිශ්චල ඒත් ගැඹුරු ජල කඳක් වගේ. එහෙම තමයි වෙන්නත් ඕන.  ඒකට මගපෙන්නපු කෙනෙක් හිටියා.

“ඉර” …ඔව් ,ඒ ඉර හැමදාමත් පෙන්නලා දුන්නේ සත්‍යය , යථාර්ථය . පෙරඹරින් නැග ඇවිත් මුදුන් වෙන හෝරාවෙදි ඩිංගිත්තක් සල්ලාපයේ යෙදුනාම , ටිකක් උණුහුම දැඩි වුනත් ,ඇත්තමයි දැනුනෙ  හැල්ලුවක්.තැවෙන දැවෙන හැම මොහොතකම දැවෙමින් නිවෙන හැටි කියලා දුන්නෙ ඒ ඉර, ! යථාර්ථවාදීව ජීවත් වුනාම මොන තරම් අමාරු තැන් පහුකරගෙන ගියත් ආපස්සට හැරිලා බලන දවසක දැනෙන තෘප්තිය විඳින්න පුලුවන් බව කියලා දුන්නෙත් ඒ ඉරම තමයි . පෑල දිග ක්ෂිතිජ රේඛාවෙන් තිතක් වෙලා නොපෙනී යන කම් හැමදාමත් ඉර දිහා බලාගෙන මං මෙනෙහි කලේ ඒ සැහැල්ලුව..අදත් එහෙම දවසක්.. ටික ටික අඳුරට ඇහැ හුරු වෙනකොට මතක් වෙනවා හෙටත් ආයෙම ඉර පුරුදු විදියටම එන වග..

මටත් තව කරන්න යුතුකම් ඉතිරි වග. මැසිවිලි නොනගා , කාලයෙන් ප්‍රයෝජන ගත යුතු වග.
කමටහන් වඩවන්න එකත්පසව ඉඳගන්නම ඕනෙ නෑ..පහලින් පේන මහවැලිය දිහා බලාගෙන උනත් ඒක කරන්න පුලුවන්..

දරදඬුයි , වගේ පෙනුනට කන්දක් බොහොම සංවේදියි. දරාගන්න බැරිම අවස්ථාවකදිත් කඳුළු හංගං හිනාවෙන්නත් , අහක බලන් ඒ කඳුළු හංගන්නත් කඳු හරි දක්ෂයි. සූක්ෂමයි. තේරෙනවද දැන්.., කන්දක තරම…
ඉතින් ,,  ඔබටත් ඕනෙ නම් සැනසෙන්න, දවසක පසුතැවෙන්නෙ නැතුව ඉන්න.., මම වගේ , “මම” අමතක කරන්න ,ඒ වෙනුවට “අපි” ගැන හිත්නන!

සංජීවනී අමුණුගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *