අස්පර්ශනීය සුරතාන්තයේ මෝහනීය ස්පර්ශය  Aamis (Spoiler Alert)

මිනිස් සිත වූ කලී මිණිය නොහැකි ගැඹුරු සාගරය තරම් කුහුල දනවන්නා වූත් වටහාගැනීමට ඉතාමත් අපහසු වූත් අතිශය සංකීර්ණ ප්‍රපංචයකි. එය තුළ හටගන්නා ගූඪ මනෝභාවයන් සහ ආශාවන්ගේ සංකීර්ණත්වය, ව්‍යාකූලත්වය සහ මෝහනීය භාවය හේතුවෙන්ම ඒ පසුපස හඹායමින් අනවරත ගමනක යෙදෙන මිනිසා එනිසාම ආත්මීය වශයෙන් ගිලන්භාවයට පත්වන්නේ පහන් දැල්ලක දීප්තිමත් ආලෝකයට ආකර්ෂණය වන පළඟැටියෙකු ඒ පහන් දැල්ල කරණකොටගෙනම දැවී විනාශ වී යන පරිද්දෙනි.

Aamis සිනමාපටය වූ කලී මිනිස් සිත ගැඹුරේම සැඟවී ඇති එවන් සංකීර්ණ ගූඪ මනෝභාවයන් රූප මාධ්‍යය හරහා කරළියට ගෙන්වා ඒවා ඉතා සියුම් ලෙස විච්ඡේදනය කර බැලීමකි.

ඇඟිලි තුඩක ස්පර්ශයක් හෝ නොලැබ ස්ත්‍රියකට සහ පුරුෂයෙකුට ගැඹුරු අස්පර්ශනීය බැඳීමකින් වෙළිය හැකිද? එය එක්තරා අන්දමක මායාවක් ලෙස ඔබට හැඟී යනු නිසැක ය. නමුත් එම මායාව යථාර්ථයක් බවට පත් වූ කල එහි මෝහනීය සංස්පර්ශය කොතෙක් ද යන වග Aamis හරහා නිර්මලී සහ සුමෝන් අපට කියාදෙති.Image may contain: 2 people, people standing

“නිර්මලී”

සිය කුටුම්භය සහ රාජකාරී ජීවිතය සමග ඒකාකාරී දිවිපෙවෙතකට උරුමකම් කී වෛද්‍යවරියක්

“සුමෝන්”

සිය පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා විස්මිත අපූරු තේමාවක් පිළිබඳව හදාරන විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක්

ඔවුන් අතර ඇතිවන බැඳීම කෙබඳු ආකාරයේ එකක් ද? එය කුමක් කරණකොටගෙන, කුමක් අරභයා ඇතිවී ද? අවසානයේ එය කුමන අන්තයක් කරා ඔවුන්ව රැගෙන යාවිද?

Aamis සිනමාපටය නැරඹීමට ගත් කල මා හට නිතැතින්ම අවබෝධවූයේ එහි කතා සන්දර්භයට අයත් සිදුවීම් අපට යම්තාක් දුරට හුරුපුරුදු වනවා සේම ඒවා බෞද්ධ සාහිත්‍යය තුළ නවමු ප්‍රපංචයන් නොවන බවයි. කතා සන්දර්භයත්, ගලායෑමත් එකිනෙකට වෙනස් වුව ද මේ හා සමාන කතා පුවත් කීපයක් අපට ජාතක කතා සාහිත්‍යය තුළ දැකගත හැකිය. මහා සුතසෝම ජාතකයට සහ චුල්ල පදුම ජාතකයට ඒ අතරින් හිමිවන්නේ ප්‍රධාන තැනකි. මාංශ පරිභෝජනයට ඇති අධිකතර රස තෘෂ්ණාව හේතුවෙන් අගතිගාමී තත්වයට පත්වන මහා සුතසෝම ජාතකයේ පෝරිසාදයාත්, සිය ප්‍රාණසම පෙම්වතිය සන්තර්පණය කිරීම උදෙසා තමාගේ උරහිස පලා ඉන් රුධිරය ලබාදුන් චුල්ලපදුම කුමාරයාත් චිත්‍රපටය පුරාවට විවිධ අවස්ථාවන්හිදී මගේ සිහියට නැගිණි.

මාංශය කරණකොටගෙන අහඹුවක් ලෙස ඔවුන්ගේ හමුවීම සිදුවිය. ඉන්පසුව ඒ ඇසුර තුළින් ඔවුන් ලද තෘප්තිය බලවත්ම මාංශය වූ හෘදය මාංශය විනිවිද ගොස් ආත්මය ආක්‍රමණය කළ කල ඉන් ගැලවීයාමට ඔවුන්ට නොහැකි විය.Image may contain: 2 people, people sitting, people eating, food and indoor

නිර්මලී සිටියේ කේඩෑරි වී ගිය රුකක් බඳු සිය ඒකාකාරී ජීවිතය පිළිබඳව නුරුස්නා අතෘප්තිමත් හැඟීමකිනි. එය ඈ වෙතින් ප්‍රකට නොවූ අතර ඇය ද ඒ පිළිබඳව හරිහැටි වටහාගන්නේ සුමෝන්ගේ ආගමනයත් සමගිනි. සුමෝන් ඇයගේ ජීවිතය තුළට ඇතුළුවන්නේ ඒ අතෘප්තිකර වූ හිඩැස් අතරට පිළියමක් වශයෙනි. සුමෝන් ඇයට අනුභවකිරීම සඳහා ලබාදුන් විවිධ මාංශ හරහා ඇය අමුතුම රසයක් වින්දා ය. ඒ රසය ඇගේ ඒකාකාරී ජීවිතයට මිහිරියාවක් එක් කළ අතර ඒ තුළින් ඇති වූ ආකර්ෂණය ඇයව සුමෝන් වෙත වඩාත් සමීපකරලීමට හේතුවක් විය. එය එක්තරා අන්දමකින් සිරගතව තිබූ ඇගේ ජීවිතය සහ හදවත බාහිර ලෝකයට නොබියව විවරකිරීම සඳහා කරන ලද නිහඬ ඇරයුමක් විය. ඇයගේ ජීවිතය ඇයට කොතරම් ඒකාකාරී එකක් වී තිබුණේ ද යත් ප්‍රතික්ෂේප කිරීමකින් තොරව එම ඇරයුම පිළිගැනීමට ඇය නිරායාසයෙන්ම පෙළඹුණා ය.

ඔවුන් දෙදෙනාට අවශ්‍ය වූයේ සිය පොදු තෘෂ්ණාව සහ තෘප්තිය හමුවේ එකිනෙකාගේ හැඟුම් සන්තර්පණය කරගැනීමට ය. මාංශ පරිභෝජනය ඔවුහු ඒ සඳහා කදිම තෝතැන්නක් බවට පත්කරගත්හ. තමා වෙත එකිනෙකා පිළිබඳව වන හැඟීම් සන්නිවේදනය කරලීම උදෙසා ඔවුහු එය අපූර්ව මාධ්‍යයක් බවට පත්කරගත්හ. එය හුදු ලිංගික හෝ කායික සන්තර්පණයකට ඔබ්බෙන් පැවති බැඳීමකි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයේ ආරම්භක සමයේදී සුමෝන් පරිගණකය හරහා ප්ලේටොනික ප්‍රේමය (Platonic Love) යන වදන පිරික්සා බලන රූපරාමුව ඒ පිළිබඳව අපට ඉඟිකරයි.

නමුත් හැඟීම් සන්තර්පණය සඳහා හටගන්නා ප්ලේටොනික ප්‍රේමයක් තුළ වුව ද එකිනෙකා තුළ ජීවත්වීමේ, එකිනෙකාගේ කොටසක් බවට පත්වීමේ ආශාවක් පැවතිය නොහැකිද? ඔවුන් තුළ වූ එම ආශාව උග්‍රවන්නට වන්නට එය පීඩනයක් දක්වා වර්ධනය විය. එය ප්‍රබල ලෙස බලපෑවේ සුමෝන් කෙරෙහි ය.Image may contain: 2 people, drink and outdoor

කායික සන්තර්පණයක් කරා ගොස් සමාජය ඉදිරියේ මෙම සබඳතාවය “අසම්මතයක්” ලෙස හංවඩු ගැසෙනු දැකීමට ද ඔවුන්ට අවැසි නොවී ය. එය එම පීඩනය තව තවත් දැඩිවීමට හේතුවක් විය. අවසානයේ එය මුදාහැරුණේ සමාජ සම්මතයෙන් ඔබ්බට ගිය එක්තරා වියරුවක, විකෘතියක ස්වරූපයෙනි.

එම ප්‍රබල පීඩනය මුදාහැරීමට සුමෝන්ට මාධ්‍යයක් අවැසි විය. ඔවුන් දෙදෙනාගේම බැඳීම තීව්‍ර කළ පොදු රස තෘෂ්ණාව ඔහු එයට තෝතැන්නක් බවට පත්කරගත්තේ ය. ඔහු ඒ සඳහා ෆැන්ටසියක් ගොඩනගාගත්තේ ය. එම ෆැන්ටසිය යථාර්ථයක් බවට ද පත්කරගත්තේ ය. නිර්මලී සමග වූ බැඳීමට ඔහු කොතරම් මෝහනීය ලෙස ආකර්ෂණය වී සිටියේ ද යත් සිය ෆැන්ටසිය යථාර්ථයක් බවට පත්කරගැනීමේදී විඳීමට සිදු වූ ශාරීරික වේදනාව පවා ඔහුට මිහිරක් විය. ඒ වේදනාව පිළිබඳව සේයාවකුදු කිසිවිටෙකත් ඔහුගේ මුහුණේ සටහන් වී නොතිබුණි. ඔහු වේදනාවට පත්වූයේ එලෙස තමා තුළින් ඇයව සන්තර්පණය කිරීමට නොහැකි වූ අවස්ථාවල දී ය. ඒ තරමටම නිර්මලී පිළිබඳව සුමෝන් තුළ වූ හැඟීම් ප්‍රබල විය.

අවසානයේ ඔහුගේ අරමුණ සාර්ථක විය. ඔහුගේ සිරුරේ කොටස් රසවිඳීම හරහා තම අභ්‍යන්තරය තුළට ඔහුව කැඳවාගත් නිර්මලී ඒ තුළින් අසීමිත වින්දනයක්, රසයක් මෙන්ම නිදහසක් ද ලැබුවා ය. එය ඔවුන් දෙදෙනා අතර වූ බැඳීම වඩවඩාත් තීව්‍රකරලීමට හේතුවක් වූ අතර සුමෝන්ගේ නොමඳ ප්‍රීති ප්‍රමෝදයට ද හේතුවක් විය.

එය නිර්මලීට මෙතෙක් ඈ නුදුටු නිදහසකට සහ ලෝකයකට දොරටු විවරකිරීමක් විය. ඇය නිදහසේ ඒ ලොව තුළ සැරිසැරුවා ය. එහි මෝහනීය රසවින්දනය හේතුවෙන් ඉන් වියුක්තව තවත් ජීවත්වීමට නොහැකි යැයි සිතෙන තරමටම ඇබ්බැහියකින් එයට බැඳුණා ය.

ඒ ඔවුන් දෙදෙනා තුළ වූ හැඟීම් සන්තර්පණයේ සුරතාන්තය විය. ඒ තුළින් ඔවුහු දෙදෙනාම මහත් ආනන්දයක් ළඟාකරගත්හ. නමුත් ඒ ආනන්දය ඇබ්බැහියක් බවට පත්වීමේ යථාර්ථය කෙළවර වූයේ ඛේදවාචකයකිනි. එය එක්තරා අන්දමක වියරුවක් හෝ විකෘතියක් ලෙස ද ඇතැමෙකුට පෙනී යා හැකි ය. සැබැවින්ම එය සම්මතය හමුවේ විකෘතියකි. වියරුවකි. එලෙස විකෘතියක් ලෙස මුදාහැරුණේ සිය හැඟීම් සන්තර්පණය කරගැනීම සඳහා ඔවුන් දෙදෙනා ගොඩනැගූ ෆැන්ටසිය තුළ වූ පීඩනය යි.Image may contain: 2 people, closeup

සුමෝන් සහ නිර්මලී අතර පැවති වඩාත් තීව්‍ර ලෙස නිරූපණය කර දැක්වීම සඳහා සිනමාකරුවා ඉතා සූක්ෂම ලෙස භාවිතයට ගන්නා නිර්මලීගේ මිතුරිය වන ජැමී සහ එඩීගේ සම්මතයෙන් බැහැර සම්බන්ධතාවය ද අවසන කෙළවර වන්නේ ගැටලුකාරී ඛේදවාචකයකට මාවතක් විවරකරමිනි. එය නිර්මලීට සිය සබඳතාවයේ ඛේදවාචකයකය පිළිබඳව කල්තබා ඉඟිකරන ලද රතු එළියකි. නමුත් ඒ පිළිබඳව වටහාගත්ත ද තෘෂ්ණාවෙන් මඩනා ලද ආශාවේ හැඟුම් දහරින් මත් වූ නිර්මලීගේ සිත ඒ පිළිබඳව තැකීමක් සිදුකළේ නැත. ඒ මෝහනීය ආකර්ෂණය තුළින් ඇතිවූ ඇබ්බැහිය එතරම්ම ප්‍රබල විය. එම හැඟීම වඩාත් තීව්‍ර වන්නේ නිර්මලී සහ සුමෝන් වැනි ඉතා උගත්, බුද්ධිමත්, සමාජයේ වැදගත් යැයි සම්මත ස්ථරයකට අයත් දෙදෙනෙකු පවා මෙවන් ඇබ්බැහියක ගොදුරු බවට පත්වීමේ යථාර්ථය මැනවින් නිරූපණය කිරීම තුළිනි. එය පුද්ගල ගූඪ මනෝභාවයන් හා තෘෂ්ණාවේ සීමාව මිනිසා භෞතිකව අත්පත්කරගන්නා සීමාවන්ගෙන් බොහෝ ඔබ්බෙහි පවතින බව සක්සුදක් සේ පැහැදිලි කර දැක්වීමකි.

සිනමාපටය අවසානයේ ලෝකයා අබිමුව එකිනෙක පැටලෙන ඔවුන්ගේ දෑත් සම්මතය තුළ රහසක් වූ, ඔවුන් අතර වූ සබැඳියාව සහ ෆැන්ටසිය ඔවුන් විසින් ජයග්‍රහණය කරන ලද බවට සපයන ඉඟියකි. එය එක්තරා අන්දමක ඔවුන් ඔවුන්ගේ ලෝකය තුළ තෘප්තියක් හිමිකර ගැනීමකි. නමුත් ඒ ජයග්‍රහණය සහ තෘප්තිය කොතරම් කාලයකට වලංගු වේද යන පැනය නරඹන්නන් තුළ පැනනගින්නේ නිතැතින්ම ය.

මාගේ පළමු ඇසෑම් සිනමා අත්දැකීම වන Aamis සිනමාපටය ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ නව මානයක් ගැඹුරු ලෙස සහ ඉතාමත් අපූර්ව අන්දමින් ස්පර්ශ කිරීමක් ලෙස හඳුන්වාදීමට මම කැමැත්තෙමි. එය ඉන්දීය සිනමාව තුළ වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ප්‍රශස්ත ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ අග්‍ර ඵලයකි. කෙටියෙන් කියතොත් මෙහිදී සිනමස්කරුවා රූප මාධ්‍යය කොටගනිමින් ගොඩනගන්නේ ප්‍රබල මනෝවිද්‍යාත්මක ප්‍රපංචයකි. ගැඹුරු දර්ශනයකි. එවැනි ගැඹුරු දර්ශනයක් කෙටි කාලසීමාවක් තුළ අපූර්ව ලෙස රූප මාධ්‍යය හරහා ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා සිනමාකරුවා ප්‍රකට කර ඇති දක්ෂතාවය සැබැවින්ම අගය කළ යුතුම ය. සිනමාපටය හුදු නිර්මාණයක් යැයි නොහැඟෙන තරමටම ඉතාමත් තාත්වික අන්දමින් එය නිරූපිත ය.

සිනමාවට හුරුපුරුදු මුහුණුවරයන් නොවූව ද නිර්මලී ලෙස ලීමා දාස් සහ සුමෝන් ලෙස ආඝදීප් භෞරා විසින් ප්‍රකට කර ඇති රංගන කුසලතාවය ද ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ පවතින බව ද සඳහන් කළ යුතුම ය. අතිශය තාත්වික එම රංගනය සිනමාපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. සම්මාන කීපයකට ද පාත්‍ර වී ඇති Aamis සිනමාපටය සඳහා හිමි වී ඇති IMDb අගය 8.1 කි.

සිනමාපටය පුරාම අපට අත්විඳීමට ලැබෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි කිසියම් මායාකාරී බවකි. නමුත් ඒ මායාකාරී බව තුළින් නිරන්තරයෙන්ම ඉස්මතු කරන්නේ නියත යථාර්ථයකි. පෙර නොවූ විරූ අපූර්ව රසයක් සමගින් ඉතා පුළුල්, ගැඹුරු මනෝවිද්‍යාත්මක ප්‍රපංචයක් සහ දර්ශනයක් පිළිබඳව ප්‍රේක්ෂක මනස සිත් කාවදින අන්දමින් ඥානණය කිරීමට මෙහිදී සිනමාකරුවා මැනවින් සමත් වී ඇති ආකාරය අපට දැකගත හැකිය.Image may contain: 2 people, text that says 'LYRICAL. LAYERED AND QUIETLY HORRIFYING. COMPANION MUMBAIFILMFESTIVAL ESTIVAL HOW FAR WOULD YOU GO το YOUR DESIRE? AAMIS RAVENING'

Aamis වෙතින් පිළිබිඹු කරන යථාර්ථය අදාළ වන්නේ නිර්මලී සහ සුමෝන් අරභයා පමණක් නොවේ. එය අප හා අප අතර පවතින සීමාවන් අතික්‍රමණය කළ ඕනෑම සබැඳියාවකට, ඇබ්බැහියකට අදාළව ද කියවාගැනීමට අපට හැකිය. එය විශ්වීය යථාර්ථයකි.

Aamis වූ කලී හුදෙක් නිර්මලීගේත් සුමෝන්ගේත් කතාව පමණක් නොවේ. එය මිනිසාගේ චිත්ත අභ්‍යන්තරයේ අඳුරුම අහුමුළු කරා එල්ලකරන ලද අධි වෝල්ටීයතාවයකින් යුතු ප්‍රබල ආලෝක ධාරාවකි. Aamis යනු අන් කිසිවක් නොවේ. තමන් තුළ පවතින තෘප්තිමත් නොවූ ආශාවන් හඹායමින් අනවරත ගමනක යෙදෙන, එම අතෘප්තිකර ආශාවන් වෙනුවෙන් ෆැන්ටසීන් ගොඩනගන, ඒ ෆැන්ටසීන් යථාර්ථයක් බවට පත්කරගැනීමට වෙරදරන, ඒවා යථාර්ථයක් බවට පත්කරගැනීමට යෑමේදී විසංවාදයන්ට සහ ඛේදවාචකයන්ට ගොදුරුවන පෘථග්ජන මිනිසුන්ගේ කතාවයි. ඒ සෑම කතාවක්ම ආරම්භවන්නේ මිනිසා තුළ පවතින අතෘප්තිමත් බව තුළිනි. තෘෂ්ණාවකිනි. ඉන් මිනිස් ජීවිතය තුළ ඇතිකරන කිසියම් හිඩැසකිනි. අවසානයේ මනස දමනය කරගත නොහැකි මිනිසාගේ ආත්මය ඉතා ඛේදනීය ලෙස එම අතෘප්තිකර ආශාවේ ගොදුරක් බවට පත්වේ. මෙවැනි ගැඹුරු දර්ශනයක් සමාජගත කරලීමෙහි ලා සිනමාකරුවා විසින් උපයෝගී කරගන්නා ලද සමාජීය සන්දර්භය සහ ප්‍රපංචය ද, එය නිර්මාණාත්මක අන්දමින් හසුරුවාගෙන ඇති ආකාරය ද ඉතාමත් විශිෂ්ට ය.

සිනමාපටය නරඹා අවසානයේ මගේ සිත නිතැතින්ම යොමුවූයේ මහින්ද දිසානායකයන් විසින් රචිත ගුණදාස කපුගේ ශූරීන්ගේ හඬින් ගැයෙන එක්තරා ප්‍රකට ගීතයක් වෙත ය. එය මෙම සිනමාපටය තුළින් කුළුගැන්වෙන ජීවිතය පිළිබඳව ගැඹුරු දෘෂ්ටිය වඩාත් තීව්‍ර කරමින් මනස තුළට ග්‍රහණය කරගැනීමට උපකාරී වන්නකි.

“දියාළුවෝ වේලි තනා
ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වියැට වලින්
අටු පුරවා නම් ….

රුක් වඩුවෝ ලී කපලා
යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පුටු
රුවට තනා නම් ….

ලෝකුරුවෝ ගිනියම් කොට
යකඩ තලා පණ පොවලා
මුවහත ඇති අවි ආයුධ
නිම කරවා නම්….

සසර පුරා සරන තුරා
දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වෙයි
නුවණක් ඇත්නම්….”

මෙම ගීතය සඳහා පාදක වී ඇත්තේ සුඛ සාමණේරයන් අරභයා වරක් බුදුරජාණන්වහන්සේ විසින් දේශනාකරන ලද ධම්මපද ගාථාවකි.

“උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා”

(ධම්මපදය – දණ්ඩ වග්ගය)

(කුඹුරුවලට ජලය ගෙනයන ගොවියෝ තමන් කැමැති ලෙස ඇළ වේලි කපා වතුර ගෙනයති. දුනු හී තනන්නෝ හී දඬු නවා තමන්ට රිසි ලෙස දුනු හී සාදති. වඩුවෝ ලී දඬු නවා තමන්ට අවැසි ලෙස භාණ්ඩ තනති. එලෙස නුවණැත්තෝ තමා විසින්ම තමන් දමනය කරගනිති.)

පෘථග්ජන මිනිස්සු සිය ජීවිත කාලය පුරාම අතෘප්තිකර ආශාවන් පසුපස හඹායමින් අනවරත ගමනක යෙදෙති. ඒවා උදෙසා ෆැන්ටසීන් ගොඩනගති. ඒ ෆැන්ටසීන් යථාර්ථයක් බවට පත්කරගැනීමට වෙර දරති. ඒවා යථාර්ථයක් බවට පත්කරගැනිමට නොහැකි වූ කල අපේක්ෂාභංගත්වයට පත්වෙති. බිඳෙති. ඇතැමෙක් එම ෆැන්ටසියෙන් මිදී හදිසියේම යථාර්ථය වෙත ඇරුණු නෙත් උපදවාගනිති. නමුත් ඇතැම්විට එවිට බොහෝ ප්‍රමාද වී තිබෙන්නට ද ඉඩ ඇත. Aamis චිත්‍රපටය ඔබ මේ අතරින් කුමන වර්ගයට අයත් තැනැත්‍තෙකු ද යන්න පිළිබඳව විනිශ්චය කර බැලීමට ඔබ තුළම පෙළඹවීමක් ඇතිකරන සිනමාකෘතියකි.

ඔබේ ජීවිතය තුළ ඇති තෘප්ත නොවූ හිඩැස් තුළින් හිස ඔසවන ෆැන්ටසිය හෝ ඇබ්බැහියට ඔබව මුළුමනින් ගිලගැනීමට ඉඩතබනවා ද යන්න ඔබ සතු තීරණයක් මෙන්ම තෝරාගැනීමකි. එය ඔබ තුළින් බිහිවනවා මෙන්ම එය පිටුදැකීමේ අවබෝධය සහ ශක්තිය ද බිහිවන්නේ ඔබ තුළින්ම ය. ඔබ එය අනාවරණය කරගත යුතු ය. Aamis ඔබට යළි යළිත් සිහිපත්කරවන යථාර්ථය එය යි.

– හංසිනී කවින්දි –

 

Directed by – Bhaskar Hazarika

Produced by – Poonam Deol
Shyam Bora

Written by – Bhaskar Hazarika

Starring – Lima Das
Arghadeep Baruah

Music by – Quan Bay

Cinematography – Riju Das

Edited by – Shweta Rai Chamling

Production company –
Signum Productions, Metanormal
Wishberry Films

Release date – 28 April 2019 (TFF)
22 November 2019 (India)

Running time – 108 minutes

Country – India

Language – Assamese

Leave a Reply

Your email address will not be published. Required fields are marked *