ප්‍රේම කීර්ති ද අල්විස් නමින් ගුවන් විදුලි මැදිරියක් නම් වේ..

මීට තිස් එක් වසරකට පෙර අඳුරුම යාමයක අප අතරින් සමුගත් සදාදරණීය කලාකරුවානන් වූ ප්‍රේමකීර්තිද අල්විස් නමින් ලංකාවේ පළමු වට ගුවන් විදුලි මැදිරියක් නම් කිරීම අද දින දවස 6.03ට ලක් FM ගුවන් විදුලියේදී සිදුවේ.. මතකයන් රාශියක මහා කලාකාමීත්වයකින් ඔද වැටුනු මේ විසල් මිනිසා නමින් මෙතෙක් ලංකාවේ සිදුවූ ගුණ වැයුම් අල්පය.. ඔහුද සේවය කළ හා ඔහු සභාපතිත්වය දැරූ ගුවන් විදුලි සංස්ථාවේ පවා මෙතෙක් ප්‍රේමකීර්ති නමින් වන වෙන් කිරීමක් සිදු නොවූ පරිසරයක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මේ තැබෑ පියවර පැවසිය යුතුමය.

Frame බින්ද ප්‍රේම් ප්‍රාසංගික අත්දැකීම.
FM 106 | 106.2 අහන්න.
Facebook Live ඔස්සේ බලන්න.
#ලංකාවේලක්එක #Frameබින්දprem

පහත දැක්වෙන්නේ අද මුහුණු පොතෙහි ඇස ගැසුනු ප්‍රේමකීර්ති නමින් ලියූ සටහන් කීපයකි.

ප්‍රේම් නොවූ ප්‍රේම්..Image may contain: 1 person

සොදුරු මිනිසෙක් අපෙන් සමු අරන් අදට වසර 31කි තෙලි තුඩත් කටහඩත් තම ශක්කිය කර ගත් ඔහු පිළිබදව රසවත් වූ කතා රැසකි. ඒ රසවත් චරිතය කෙසේ වෙතත් ඔහුගේ බුද්ධිමය ශක්තිය වර්තමාන බිහි වී ඇති කිසිදු මාධ්‍ය වේදියකුට නොමැති එකකි. එය ඔහුගේ ම දක්ෂතාවයකි.

දිනක් රූපවාහිනී සංස්ථාවේ ආපන ශාලාවේ ප්‍රේම් සිටින වෙලාවක එතනට එනවා යකා වැහීගෙන ටයි මහත්තයා මොකද ටයි මහත්තයා ප්‍රේම්ට කියනවා දොස්තර හොදහිත එකට ගීයක් ලියන්න කියලා. මේක ප්‍රේම්ට අමතක වෙලා ප්‍රේම්ට ටයි මහත්තයා මෙහෙම කියනවා ” ප්‍රේම් තමුසෙට බැරි නම් බෑ කියලා” සැරට කියනවා. පස්සේ ප්‍රේමකීර්ති ලියනවා අපි ආසවෙන් අහපු ලස්සන සින්දුවක් වෙන ” බෑයි කියලා බෑයි කියලා බෑ” කියපු සින්දුව.

තවත් දවසක ප්‍රියා සූරියසේන එනවා අරක්කු බෝතලයකුර්හ් අරන් සින්දුවක් ලියා ගන්න. හැබැයි ප්‍රේම්ට මොකක්ද හදිස්සි ගමනක් යන්න වෙලා තියනවා, ලග තියන කොලයක මොකක්ද එක ලියලා ප්‍රියාගේ සාක්කුවට දාලා යනවා. ප්‍රියා පොඩි අමනාප කමකින් ඒ කොලේ අරන් බලනවා ඒකේ තියෙන්බේ හරි අපූරු පදවැලක් ඒ” අප දෙදෙනා අද වාගේහෙට දවසෙත් හමු විය යුතු වේ – අද දවසේමවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ ” කියලා කියන ප්‍රේම ගීතය.හැබැයි ඒකේ ලියවෙන්නේ හෙටත් මේ විදිහටම බෝතලයක් අරන් වරෙන් කියන එක.

තවත් දවසක් ත්‍රිකුණාමල වෙරලේ වික්ටර් රත්නායකයි, ප්‍රේමුයි වැතිරිලා ඉන්න කොට දකිනවා තරුවක් ඒක දැකලා ප්‍රේම් හයියෙන් කෑ ගහලා කියනවා ” තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහිම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා” කියලා.පස්සේ ඒකත් ලස්සන ගීතයක් වෙනවා.

ප්‍රේම්ගේ තියන දක්ෂතාවයටමද මන්දා නිතර කැපිලි කෙටිලි වලට ලක් වූ පුද්ගලයෙක් ඒ කැපිලි කෙටිලිත් ඔහු තම තෙලිතුඩ හරහා විචිත්‍රවත් ගීත නිර්මාණ කරා. ඔහුව මන්නාරමට මාරුවක් ලැබුන අවස්ථාවේ ෆ්‍රෙඩීට ලියනවා ” මන්නාරම් පිටි වැල්ලේ” සින්දුව, මීට අමතරව ඔහුට එන කැපිලි කෙටිලි වලට පිළිතුරක් දෙනවා “මරු සිරා” චිත්‍රපටියට ලස්සන සින්දුවක් ලියනවා ඒකත් ලියුම් කවරයක පිට පැත්තේ ජෝති හා m.s ගායනා කරන, ” තැටිය මැද්දේ කලු කරාපු – පහන් තිරය මැදට ආපු” සින්දුව ලියනවා.

ඒ ලෙසම තවත් රසවත් වැඩක් සිදු වෙනවා ප්‍රේම්ට , ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක විකාශනයක් පටන් ගන්න සූදානම් වන විට ම පුටුව වැටුනලු ඒ හඩ ගුවන් විදුලිය හරහා ඇසුනලු එතකොට ප්‍රේම් කිව්වලු,
” වැටුනේ පුටුව විතරයි
ප්‍රේම කීර්ති වැටුනේ නෑ” කියලා.

ප්‍රේම කීර්ති ද අල්විස් රටේ හිටිය ප්‍රබලම සන්නිවේදකයා , භාෂාවේ සියලු දෑ භාවිතා කරමින් ගීත 4000 කට වඩා නිර්මාණය කරපු ගී පද රචකයා , එසේම සම්මතය ඉක්මවා යමින් කලාවක් හොයා ගත් කලා කරුවා ඒ ඔහුව අපෙන් උදුරා ගත්තේ 1989 ජූලී 31 දින රාත්‍රි 9ට විනාඩි විස්සකට ලංව. ඒ සොදුරු මිනිසා නැති විමේ පාපය හා ශාපය අද අපි තවමත් විදිනවා. එදා ප්‍රේමකීර්ති වියෝව දැන ගත් පසු ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතා මෙ ලෙස සටහනක් තබනවා,
” කවියකුගේ ජිඋවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල්පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු වීමේ පුවත අසා අපි එම රාත්‍රිය පහන් වන තුරු කදුලු සැලුවෙමු,” යන්නයි.

එදා අවසන් වචන කිහිපය පවසා ඇත්තේ ඒ රුදුරු වෙඩි පහර තම හදවතට වැදීමට සුලු වේලාවකට පෙර තම පුතාටය, ඒ ” බංචෝ එනවා නේද, එනව නේද ” යැයි පවසා නළල සිඹය.

ඔහුගේ වියෝව මුලුමහත් ලංකාවට විශාල වූ පාඩුවකි, නමුත් ඔහු කියූ යම් දෙයක් සද්සුදක් සේ පැහැදිලිය . ඒ, “පැසුණු උන් අකලට නැසුණු කල – අකලට පැසුණු ය්න් කට මැද දොඩනු ඇත.” යන්නයි.

“ප්‍රේම් නොවු ප්‍රේම්” ඔබ තවමත් සදා ජීවමානයි ….

(සටහන සදහා තොරතුරු අන්තර්ජාලය හා විවිධ මාධ්‍ය වැඩ සටහන් තුලින්)

✍️.. ප්‍රභා …………

එකම මගක පියවර මැන යන්නයිImage may contain: 1 person, closeup
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි..

අදටත් ඒ ගීත ආදරණීය මිනිසුන්ගෙ හිත් තුළ ජීවමානය. ආදරණීය ප්‍රේම්…. යුගයේ සොදුරුතම මිනිසෙකුගේ නික්ම යෑමෙන් වසර තිස් එකකට පසුවත් ඔහු අප අතර ජීවමානය.

වචනයට යා හැකි දුර කොතරම්ද ඒ හදවත් දෙකක් අතර දුරකි. නමුත් ඔහු අප වෙනුවෙන් ඉතිරි කළ හැම වචනයක්ම හදවත් දස දහස් ගණනක් ස්පර්ශ කරන හාදුවකි.

අද ද ඔහු නොමැති ශෝකයෙන් හඩන, තැවෙන තනිවූ තරු රැසකි. ඇය මෙන්ම මම ද ඔබ ද ඒ අතර එක් තරුවකි. තරු වලට එළිය දී දැවෙන ඔහු තවමත් ඉර කි.

 

– නාමලි පෙරේරා –

මෙයට වසර තිස් එකකට පෙර , එනම් 1989 වසරේ අද වැනි දවසක ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ශක්‍යතාවයෙන් පිරි කලාකරුවා අප අතරින් වෙන් ව ගියේ ය. රාත්‍රි කළුවර මැද හෝමාගම නිවසට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ප්‍රේමකීර්ති ද අල්විස් ව පිටතට කැඳවාගෙන යන්නේ ප්‍රශ්න කිරීම පිණිස බවත් ආපසු එවන බවත් පිළිණ දෙමිනි. හතළිස් දෙහැවිරිදි ප්‍රතිභාපූර්ණ ගීත රචකයා , ජනකාන්ත නිවේදකයා නිවසට මීටර දෙසියයක් නුදුරින් වෙඩි පහර වැද අවසන් ගමන් ගියේ ය.Image may contain: one or more people and closeup

තම කලා දිවියේ කූඨප්‍රාප්තිය සනිටුහන් කරන්නටත් පෙර ම තුවක්කුවක් විසින් නිහඬ කරවනු ලැබූ ප්‍රේමකීර්ති ද අල්විස් පිළිබඳ ව ධර්මසිරි ගමගේ සූරීන් මෙසේ ලීවේ ය. “කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බඳු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අඳුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු. පසුදා උදෑසන ඔහු හෝමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත වැතිර සිටියේය. නල දත ඉතිරි වන සේ මුවට වෙඩි තබා තිබුණ ද මරණයට සිනහව උදුරාගත නොහැකි විය” භීම සමයක තවත් එක් නිර්මාණශීලී මිනිස් ජීවිතයකට එලෙස බලහත්කාරයෙන් නැවතීමේ තිත තැබිණ.

අද වනවිට ප්‍රේමකීර්ති ද අල්විස් යන නාමය අන්දලුසියාවේ මලාගා හි වීදි සංචාරය කරවන දැවැන්ත සුරුවමක් බව ට පත් ව ඇත. ප්‍රේමකීර්ති ලියූ ගීත වල යටිපෙළ අර්ථය හෝ පසුබිම් පුවත යැයි පැවසෙන ග්‍රම්‍ය කතා පුවත් වමාරා කමින් සයිබර් අවකාශය තුළ හෝ නේක සභා මැද , වේදිකා මස්තකයේ ප්‍රේමකීර්තිගේ ආලෝකයෙන් දැල්වෙන කුදු ප්‍රාණීන් රැසක් ප්‍රේමකීර්තිගේ ගීත රසය ට තමා විසින් ගෙන ආ කුණු රසයක් මුසු කරමින් රස විඳිති. ප්‍රේමකීර්ති ගේ පෙර විවාහයේ සහ පසු විවාහයේ බිරින්දෑවරුන් අදටත් ජීවත් වන බව ද ප්‍රේමකීර්ති ගේ දුව සහ පුත්‍රයා අදටත් ජීවත් වන බව ද ඒ දුවටත් පුතාටත් මේ වන විට දරුවන් සිටින බව ද අමතක කරන සමහර වැඩිහිටි ළදරුවන් ඔහුගේ ගී වලට පසුබිම් වුණේ යැයි නේක කතාන්දර පවසමින් සභා කුල්මත් කරති. එම ප්‍රලාප සහ ප්‍රවාද අවසානයේ දී ප්‍රේමකීර්ති ද අල්විස් යනු බීමට ගිජු සහ බෝතලයට කෑදරයෙක් ලෙස අර්ථ ගැන්වෙන බව නොසිතන ඔවුන් ප්‍රේම්ගේ ආලෝකයෙන් තම අනාගතය ආලෝකමත් කරනු පිණිස පල් හෑලි සාහිත්‍යානුසාරයෙන් බෙදා හරිති.

ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ ගී පද රචකයාගේ ගීත ඇසුරින් සාකච්ඡා කරන්නට බොහෝ දෑ ඇත. ඔහු වික්ටර් රත්නායකයන්ට ලියන ගීත මේ තරම් ප්‍රශස්ත වන්නටත් පරිපූර්ණ වන්නටත් හේතුව කිමෙක්දැයි අප වික්ටර් රත්නායකගෙන් විමසා බැලිය යුතු ය. “තනි තරුවේ” , “සඳ කැන් වැසිලා” , “ඔබෙ දෙතොල් පෙති ලිහී” , “අපි හැඟුම්වලට ඉඩ දී” , “ආදරයේ උල්පත වූ අම්මා” , “තරු අත් අකුරින්” සහ “මියුරු කල්පනා” වැනි ගීත නිදසුන් ලෙස දක්වමින් වික්ටර් – ප්‍රේම් සුසංයෝගයේ ස්වභාවය සහ ගැලපීම පිළිබඳ ප්‍රශ්න කළ යුතු ය. ඉන් නොනැවතී ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ සමහර ගීත වල ට අව්‍යක්ත ලෙස සහ බලහත්කාරයෙන් එබ්බවූ යෙදුම් පිළිබඳව ද විමසිය යුතුම ය. නිරංජලා සරෝජනී ගැයූ “ඔබ දැක ගැනීමේ” ගීතයේ “දෙඇසේ කැවේ කැවේ – වැලි ලෑ විලාසේ” යන ගී පදය වත්මන් ගීත රචකයෙක් ලීවේ නම් අත්තනායක එම්. හේරත් වැනි විෂුවල් මවාගෙන ගී රස විඳින විචාරකයින් වියතුන් සභා මැද පරල වනු ඇත. මාලනී බුලත්සිංහල ගැයූ “ඉරණම කෙතරම් විසකුරු වූවද” නම් ගීතයේ ” තැන තැන පැන යන දිවියන් පසුපස ඔබ මල්මිටි තැබුවා” යන යෙදුම ද ඊට දෙවැනි නැත. වික්ටර් රත්නායක , සුනිල් එදිරිසිංහ වැනි ගායකයන් ඉදිරියේ ප්‍රවේසම්සහගත ව පෑන හැසිරවූ පද රචකයා ට ගායිකාවන් අරභයා භාවතිෂ්‍ය යෙදුම් වලින් ගීත නිම කරන්නට තිබූ හදිසිය කුමක්දැයි සාකච්ඡා කළ යුතුම ය.

සිංහල සිනමා ගීතය සහ ප්‍රේමකීර්ති ද අල්විස් අතර ඇති සබඳතාව සමාන කළ හැකි වන්නේ සිංහල සිනමාව සහ ෆරීනා ලායි අතර ඇති සබඳතාවට ය. ප්‍රේම් සිංහල සිනමා ගීතය තුළ ෆරීනා ලායි ට පණ පොවන විට මාලනී ට , ස්වර්ණා ට , අනෝජා ට පණ පෙව්වේ සුනිල් ආරියරත්න , අජන්තා රණසිංහ , ධර්මසිරි ගමගේ සහ කුලරත්න ආරියවංශ වැන්නන් ය. මාලනී සහ ගීතා නිත්‍ය පෙම්වතිය වූ සිංහල සිනමාවේ අයිටම් ඩාන්ස් නර්තනයක් සමගින් සරල වින්දනයේ විශේෂාංගීකරණයට ලක් වූ රූමතිය ෆරීනා ලායි ඉඳහිටක ප්‍රධාන චරිතයක් සමග “සැණකෙලිය” වැනි ජනකාන්ත සිනමා තිරයක “ක්ලෝස් අප්” එකක් සඳහා අවස්ථාව ලැබුවා ය. ඒ ආකාරයෙන් ම ප්‍රේම ගීතය හෝ මුඛ්‍ය ගීතය සුනිල් ට , අජන්තා ට , ධර්මසිරි ගමගේ ට වෙන්වන සිනමා නිර්මාණ තුළ ම ෆ්‍රෙඩී සිල්වා ගේ , පුන්සිරි සොයිසාගේ හෝ නිහාල් නෙල්සන්ගේ හඬින් උපහාසාත්මක හෝ සංවාදාත්මක ආකෘතියේ ගීත ලියන්නට තෝරාගන්නා ප්‍රේම් ඔහුටත් නොදැනීම ෆුල්ටොස් අතැර යෝකර් ද යවන අවස්ථා ඇත.

1972 වසරේ තිරගත වූ “සුජීවා” චිත්‍රපටය සඳහා ධර්මසිරි ගමගේ “චන්දන ඇල්ලෙන් නාලා” ලියන විට කරුණාරත්න අබේසේකර “නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ” ලීවේ ය. ජෝති – ඇන්ජි යුගලයේ පෙමාතුර හඬ වෙනුවෙන් ඔවුන්ගේ පෑන් මෙහෙයවන විට ප්‍රේම් ලියන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ සෝපාහාත්මක හඬට ය.

“අලුත් කලාවක් හොයාගත්ත මං
දියුණුවෙන්න ඕනෑ නම්
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බං පෙත්සම්”

‍1974 වසරේ තිරගත වූ “කස්තුරි සුවඳ” චිත්‍රපටය ට සෝමපාල ලීලානන්ද “මල් වයසේ මධු සිහිනේ / පාට පොදක් තිලක ලා / පෙම්වතියන්ගේ පෙම්වතියන්ගේ මහා සාගරේ” ද , කරුණාරත්න අබේසේකර “හද විමන් දොරින්” ද , ජෝර්ජ් ලෙස්ලි රණසිංහ “ලස්සන ලෝකෙක ඉපදීලා” ද ලියන විට ප්‍රේමකීර්ති ද අල්විස් නැවතත් ෆ්‍රෙඩී සිල්වා වෙනුවෙන් මෙසේ ලීවේ ය.

“ගිගිරි ජගරි හඬවනා – කසෙන් අසුට තලමිනා
තේරු පට්ට තීරු තීරු කළම්බා එමී
කඩුද කොඩිද වන වනා – පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙ මහා රාජා මං”

එම වසරේ ම තිරගත වූ “දුලීකා” චිත්‍රපටයට” සුනිල් ආරියරත්න “සීත රෑ යාමේ / රජ වැඩකාරයෝ” ද ධර්මසිරි ගමගේ “ආදර මල් පවනේ” ද ලියන විට ප්‍රේමකීර්ති නැවතත් ෆ්‍රෙඩී සිල්වා වෙනුවෙන් මෙසේ ලීවේ ය.

“ජැක් සහ ජිල් දවසක් දා
කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා දඩස් කියා”

ප්‍රේමකීර්ති ද අල්විස් සිංහල සිනමා ගීතයේ හිඩෑ පුරවන සක්කයක් බවට පත් වෙමින් වුව ද තම ප්‍රතිභාව සමග නොනවතින අරගලයක යෙදුණේ ය.

“ශ්‍රී මදාරා” චිත්‍රපටය තිරගත වූයේ 1977 වසරේ දී ය. සුනිල් ආරියරත්න සහ කේ.ඩී.කේ ධර්මවර්ධන ද ගීත ලියූ එම චිත්‍රපටයට සුනිල් එදිරිසිංහ වෙනුවෙන් ප්‍රේම් ලියූ මේ ගී පද අනෙක් සියලුම ගීත අභිබවා ඉදිරියෙන් සිට ගත්තේ ය.

“හිසේ ගිනි ඇවිලෙතේ – පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ – පිසින්නේ කවුරුදෝ”

1976 වසරේ තිරගත වූ “දුහුළු මලක්” චිත්‍රපටයට “බොඳ මීදුම් කඳු රැල්ලේ / රන් කෙන්දෙන් බැඳ” ලියන අජන්තා රණසිංහ හට තියුණු තරගයක් දෙන ප්‍රේම්, මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් “රෝමය ලෙසේ අතීතයේ ගිනි ඇවිලේ” ගීතය රචනා කළේ ය.

“තුන් යම පුබුදා ජීවිතයේ කාලය පියඹනවා
වැහිබීරුම දුටු ලිහිණින් වාගේ
කැළඹේ ලොව කැළඹේ
වෙණ වයා නැළවෙමූ නීරෝ වගේ අපී”

“මංගල තෑග්ග” චිත්‍රපටය තිරගත වූයේ 1987 වසරේ දී ය. කුලරත්න ආරියවංශ ලියූ “තුරුලක හුරතල් පින්නේ” ගීතය යටපත් වන විට කැමිලස් පෙරේරා ලියූ “වාසනා වේවා” ජනප්‍රියත්වයේ උපරිම තලයට ළඟා විය. ඒ අතර එඩ්වඩ් ජයකොඩි , බන්දුල විජේවීර සහ සුනිල් එදිරිසිංහ වෙනුවෙන් ප්‍රේමකීර්ති ලියන “එක යායේ කකා වැටී” ගීතය මධ්‍යම පාංතිකයන්ගේ සර්වකාලීන මංගල ගීතය ලෙසින් ජනාදරයට පත් විය. අදටත් එසේම ය.

“එක යායේ කකා වැටී – එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ – කළ ආරස්සා
නාස් ලණුව දමනවාලු – කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා”

1974 තිරගත වූ “දිනුම් කණුව” චිත්‍රපටය ට සුනිල් ආරියරත්න “ඉරට අකීකරු සඳට අකීකරු” නම් යුග ගණනක් රැව් දෙන ගීයක් ලියන විට ෆ්‍රෙඩී සිල්වා සහ ජෝතිපාල වෙනුවෙන් “එළි වෙනවා රෑ වෙනවා” යැයි ගීයක් ලියන ප්‍රේම් එතැනින් සැනසෙන්නේ නැත. ඔහු වික්ටර් රත්නායක වෙනුවෙන් සදා අමරණීය ගීයක් තිළිණ කළේ ය.

“මියුරු කල්පනා නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද සිතත් හිනැහුණා
වරෙක නැලැවුණා – වරෙක ලතැවුණා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුණා”

මේ සා දිග විසල් විස්තරයක් ලියා සිටින්නේ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ නිර්මාණකරුවාගේ සැබෑ අතීතය සහ වර්තමානයේ උත්කර්ෂයට නගන ව්‍යාජ ප්‍රලාපයන් සමග සසඳා බලනු පිණිස ය. ඉතිහාසය තුළ ඔහුට නිවැරදි ස්ථානගත වීමකට අවසර නොලැබුණු අතර ප්‍රේමකීර්ති තම සමකාලීනයන් සමග සසඳන විට හැදෑරීම පසෙක ලා සහජය පිළිබඳ විශ්වාස කළ බව ද පෙනී යන්නේ ය.

වරක් ෆ්‍රෙඩී සිල්වා අනුස්මරණ උළෙක දී නුවන් නයනජිත් කුමාර මෙසේ පැවසීය. “එකදාස් නමසිය අසූ නමයේ දී ප්‍රේමකීර්තිව මරා නොදැම්මා නම් අද වන තුරු ම සමාජය ඔහුට හිමි ගෞරවය සහ කතිකාව පුද නොදෙනු ඇත”. එය අමිහිරි සත්‍යයක් බව පසක් කරමින් අදටත් ප්‍රේම් අරභයා ගොඩ නැගෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ සහ සමථ මණ්ඩලාකාරයේ ලොග් වාර්තා විනා සබුද්ධික සංවාද නොවේ.

මිත්‍රවරුනි ;

හතළිස් දෙහැවිරිදිව නොසිතූ මොහොතක අවාසනාවන්ත ලෙස සමුගත් කලාකරුවකු අරභයා කතිකාවක් ගොඩ නගනු පිණිස උපකල්පනීය පෞද්ගලිකත්වය හැර පෘථුල සංවාද මාතෘකා ඕනෑවටත් වඩා ඇති බව ඔබට නොපෙනෙන්නේ ද ?

– සහන් කසීර වික්‍රමසිංහ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *