මට හිතෙන හැටි – 03 – සිසිර යාපා ලියයි

මගේ ජීවිතයේ ඡන්දයක් ගැන කල්පනාවක් තිබුණ පළමු වැනි මැතිවරණය තමයි 1977 මහ මැතිවරණය. ඒ වෙනකොට අවුරුදු 10ක පොඩි එකෙක් උන මට, තිබ්බ ආණ්ඩුව එපාවෙලා තිබුණේ. ඒකට හේතුව තමයි මට තිබ්බ අත්දැකීම්. ඒ කාලේ අපි කුලියට උන්නේ කැළණිය නුංගමුගොඩ. ඉස්කෝලේ ගියේ කැළණියේ ධර්මාලෝකයට. නුංගමුගොඩ ඉඳන් ඉකෝලේට, වරාගොඩට ගියේ පයින්. එකක් 235 ‍රූට් එකේ බස් අඩුයි. අනෙක බස් ගාස්තුව ශත පහත් ලොකු ගාණක්.

ඒ දවස්වල ඉස්කෝලේ යන්න කලින් මම ගල්බොරැල්ලේ තිබ්බ බේකරියේ පාන් පෝලිමට යන්න ඕනේ ගෙදරට පාන් ගන්න. මප්ලර් එකක් බැඳගෙන පාන්දර ඒ ගමන යන එක මහ වදයක්.

ඔය කාලෙයේම අපේ නැන්දා කෙනෙක් කසාද බඳින වැඩේ තිබුණා. එයාලා ගමේ ඉඳන් අපේ දිහා ඇවිත් පහුවෙනිදා නැන්දට ඕන මඟුල් ඇදුම් අඩු වැඩිය ගන්න සළුසලට ගියත් මට මතකයි. තාත්තලගේ ගමේ ගිහින් එනකොට හාල් සේරු කීපයක් සීට් එක යට හංගගෙන කොළඹ ගේන්න අම්මයි තාත්තයි උත්සහ කරපු හැටිත් මට මතකයි.

මං හිතන්නේ ඔය කරදර නිසාම පොඩි එකෙක් උනත් තිබ්බ ආණ්ඩුව මට වදයක් වෙලා තිබුණේ.
ඒ කාලයේ කැලණිය ආසනයේ යූඑන්පී අපේක්ෂකයා සී. සිරිල් මැතිව්. ශ්‍රිලංකා එකෙන් ඡන්දය ඉල්ලුවේ එරීන් සේනානායක. මේ දෙන්නම ගෙයක් ගෙයක් ගානේ ඡන්දය ඉල්ලලා ආවා.

ඡන්දේ ඉල්ලලා තිබ්බ රැස්වීම් දෙකක් මම බැලුවා. එකක් තිබ්බේ නුංගමුගොඩ හන්දියේ. ඒ කාලේ එතන ලොකු පිට්ටනියක් තිබ්බා. දැන් එහෙම හිස් අඟලක්වත් එතැන නැහැ. ඒ රැස්වීම එරීන් සේනානායකගේ.
අනෙක් රැස්වීම තිබුණේ පට්ටිය හන්දියේ. එතැනත් දැන්නම් එහෙම ඉඩක් නැහැ. ඒක යූඑන්පී රැස්වීමක්.
කොහොමහරි ’77 ඡන්ද ප්‍රතිඵල මම ඇහැව්වේ අපේ කුලී ගෙදරට ඉස්සරහ ගෙදර රේඩියෝ එකෙන්. අපේ ගෙදරට කවදාවත් රේඩියෝ එකක් තිබුණේ නැහැ. මට තාමත් මතකයි එදා අපේ අම්මට දත් කැක්කුමක් හැදිලා තිබුණා. ඒ හින්දා සද්ද බද්ද නැතුව කම්බි වැටෙන් රිංගලා ඉස්සරහ තිබ්බ බී. කේ. විල්සන් රුද්‍රිගු මාමාගේ ගෙදරට ගියා ඡන්දේ අහන්න. එහේට අපේ ගෙදර ඉඳලා අඩි දහයක්වත් නැහැ.

මම අහපු පළවෙනි ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොට්ඨාශය අංක සීය. සමන්තුරෙයි ආසනය.
එතැනින් පටන් ගත්තු ශ්‍රීලනිප නායයාම ඉවර උනේ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව 5/6ක බලයක් අරගෙන.
පහුවෙනිදා දවල් වෙනකොට ටයර් සංස්ථාව පැත්තේ ඉඳන් නුංගමුගොඩට පෙළපාලියක් ගියා යූඑන්පී උදවිය. මමත් ඒක පස්සේ වැටුනා. ඒ පෙළපාලිය නතර උනේ නුංගමුගොඩ හංදිය කිට්ටුව තිබ්බ පැරගන් හෝටලය ලඟ. ඒක තිබුණේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ගෙට එහා පැත්තේ.

තමන්ගේ දිනුමෙන් පිස්සු වැටිලා උන්න යූඑන්පියේ හාදයෝ පැරගන් මුදලාලිව කඩෙන් එලියට ඇදලා අරගෙන කොලපාට තීන්තෙන් නෑව්වා. මුගුණුවැන්න වලින් හදපු මාලයක් එයාගේ කරට දැම්මා. අපි ඒ දවස්වල කිරිමණඩලේ නිශ්පාදනය කරපු චොකලට් කිරි බෝතලයක් උදේට බොන්නේ පැරගන් හෝටලයෙන්. අපි පැරගන් මුදලාලිට කිව්වේ ‘පැරගන් බේකරියේ මාමා’ කියලා. තාත්තාගෙත් යාළුවෙක්. අපිටත් ආදරෙයි. යූඑන්පී හාදයෝ පැරගන් හෝටලයේ මාමාට කරපු දේ දැක්ක මම එතැනින් හැරිලා ආයේ ගෙදර ආවා. ඔය කතාව ගෙදර ඇවිත් අම්මලටත් කිව්වා.

අසරණ වෙලා ලැජ්ජාවෙන් බිම බලාගෙන උන්නු ඒ මනුස්සයගේ මුහුණ මට අදටත් මතකයි.
ඔයින් පස්සේ මට මතක 1982 ජනාධිපතිවරණය. එතකොට අපි කැළණියෙන් ගිහින්. අපි උන්නේ දංකොටුව කිට්ටුව කහටවිල කියන ගමේ. ඒ තාත්තාගේ ගම. ඒ පැත්තේ ඔය ඡන්ද දෙකේම ලොකු උණුසුමක් තිවුණේ නැහැ.
ඉන් පස්සේ තිබුණේ වයඹ පාළාත් සභා ඡන්දේ. ඒ පාර තමයි මුස්ලිම් කොන්ග්‍රසයේ අස්රොෆ් ගහ ලකුණෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවේ. ඒ වෙනකොට අපි ජවිපෙ වැඩ. පක්ෂය තහනම්. අපි කළේ ඡන්දය වර්ජනය කළ එක. අපේ රාජකාරිය මිනිස්සුන්ව ඡන්ද පොළට නොයවන එක. ඡන්දය නොදෙවන එක. ඒකත් සාර්ථකව කළා. ඊටපස්සේ 1989 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය . එතැනදීත් මං උන්නේ ඡන්ද වර්ජනයේ.

අකලංචි හුඟකට පස්සේ මට තිබ්බ ඊළඟ මැතිවරණය ආවේ 1994 මහමැතිවරණය. ඒ තමයි තහනම් ජනතා විමුක්ති පෙරමුණ මහා විනාශයකින් පස්සේ ඡන්දය ඉල්ලන පළවෙනි පාර.
අපි ‘හිරු’ පත්තරයේ වැඩ.

මුලු හය්යෙන්ම අපි ඒ ඡන්දෙදී ‘ මල්බඳුන’ ලකුණින් ප්‍රගතිශීලී පෙරමුණ නමින් ඡන්දේ ඉල්ලපු ජවිපෙ දිනවන්න වැඩ කළා. අපිත් එක්ක හිටපු බොහෝ උදවිය ඒකට විරුද්ධ උනා. පස්සෙන් පහු ජවිපෙ ජාතික ලැයිස්තුවේ උන්න බොහෝ උදවිය එදා කිව්වේ ජවිපෙ ඒ කරන්නේ වැරැද්දක් කියලා. එයාලා කිව්වේ 17 වසරක් බලයේ උන්නූ යූඑන්පීය පරද්දන්න චන්ද්‍රිකාට සහය නොදී ජවිපෙ ඡන්දෙ ඉල්ලන එක වැරදියි කියලයි.
මම ඒ ඡන්දය මල්බඳුනට දුන්නා.

ඒ පාර මල් බඳුනට හම්බන්තොටින් එක ආසනයක් ආවා. ලිස්ට් එකම ඉල්ලා අස්වුනාට පස්සේ නිහාල් ගලප්පත්ති සහෝදරයා පාර්ලිමේන්තුවට පත්කළා.

ඊට පස්සේ ආවේ ජනාධිපතිවරණය. ඒක එච්චර වැදගත් නැතිනිසා උදේම ගිහින් ඡන්දය අවලංගු කළා.
ඊටත් පස්සේ ආපු ජනාධිපතිවරණය ට පස්සේ අපිව පක්ෂයෙන් පැන්නුවා.
ඒත් ඊට පස්සේ තිබ්බ ඡන්ද කිහිපයකදී සීනුව ඉස්සරහ කතිරේ ගහලා ගෙදර ආවා.
ඔයින් පස්සේ තමයි 2005 නොවැම්බර් මහින්ද රාජපක්ෂ දිනපු ජනාධිපතිවරණය ආවේ. ඒ වෙනකොට මම ඩිලාන් පෙරේරාගේ මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්. ඒපාර ජවිපෙ වැඩ කළේ මහින්ද දිනවන්න.
ඒපාර හිතේ සතුටින් ඡන්දය කටුගෑවා.

ඊළඟ පාර මහින්ද – ෆොන්සේකා ජනාධිපතිවරණය.
මම මතී පාර්තිපන්ගේ (Mathi K Parthipan) BT Option ආයතනෙයේ කරපු මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක වැඩකට සම්බන්ධ වුනා. මහින්ද වෙනුවෙන් කරපු ‘රට පෙරට’ අතිරේකය කළේ මම. සත පහක් ගත්තේ නැහැ. එකම දේ මතී මට යන්න එන්න වාහනයක් දුන්නා. දවල් කෑම එක්ක තේ වේල් දෙකක් දුන්නා.
ඒපාරත් ඡන්දය දවසේ උදේම ගිහින් ඡන්දය කටු ගෑවා.
ඊටත් පස්සේ ආපු මහමැතිවරණයේදී සීනුවට ඡන්දේ දුන්නා, මනාප ලකුණු නොකර.
2015 ජනාධිපතිවරණය තමයි මට ආපූ ඊළඟ ඡන්දේ.
එතකොටත් මම ඩිලාන්ගේ මාධ්‍ය සම්බන්ධීකරණය ලේකම්. දැන් ‘කඩුල්ල’ පොත් කරන ප්‍රියන්ත රණසිංහගේ (Priyantha Kumara Ranasinghe) ඉල්ලීමට මහින්දගේ කැම්පේන් එකට පෝස්ටර් තුනක් පැය කිහිපයක් ඇතුලත් කරලා දුන්නා.
ඒ පෝස්ටර් තමයි 2015 ජනාධිපතිවරණයේ අලවපු පෝස්ටර්. ‘මව්බිමේ තීන්දුව මහින්ද’, ‘හෙටත් ජනපති මහින්ද’, ‘ජය ශ්‍රි මහින්ද’ ඒ පෝස්ටර් තුන. ෆෝන් එකෙන් මහ රෑ දෙගොඩහරියේ මම කිව්ව විදිහට පෝස්ටර් ඩිසයින් කළේ සම්පත් චන්දන (Sampath Chandana)
ඒ වැඩේට මංවත් සම්පත්වත් සත පහක් ගත්තේ නැහැ.
ඒ ජනාධිපතිවරණයේ දී මම ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට.
ඊට පස්සේ පළාත් පාලන ඡන්දේ දුන්නේ සීනුවෙන් ඉල්ලපු ජවිපෙ ට. ඒ වෙනක්ම්ම මම ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්. ඩිලාන් දැනගෙන හිටියා මම ඡන්දය දෙන්නේ කාටද කියලා. හැබැයි 2005 ඉඳන් කවදවත් මගේ ඡන්දයට බලපෑම් කළේ නැහැ. ඒක ඩිලාන්ට ගෞරවයක් විදිහට කියන්න ඕන දෙයක්.

අන්තිමට තිබුණේ මේ පහුවුණු ජනාධිපතිවරණ ය. මම ඡන්දය දුන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට. මගේ මිත්‍ර අනුර කුමාර දිසානයකට. එහෙම බැලුවොත් මම 3% ජවිපාවෙක්. මම ඒ ගොඩේ හිදිමින් අනුර කුමාර දිසානායක ට ඡන්දයක් දීම ගැන දැනුත් ආඩම්බර වෙනවා.

දැන් මගේ ජීවිතයේ ලැබෙන ඊළඟ මැතිවරණය. 2020 මහමැතිවරණය.
1977න් පටන් ගත්ත මගේ මැතිවරණ කතාවේ තවත් එක මැතිවරණයක් නෙමෙයි මේක. ඡන්දය දානවට වඩා ඡන්දය කටුගාපු මට මේ මැතිවරණය වැදගත්. මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මේ සැරේ යූඑන්පියෙන් පොහොට්ටුවෙන් වගේම මාලිමාවෙනුත් ඡන්දය ඉල්ලනවා. ඒ හැමෝම පෞද්ගලිකව ඉතාමත් යහපත් මිනිස්සු.

මගේ තේරීම මාලිමාව.
ඒකට හේතු තියෙනවා.

අපි ජවිපෙ න් එලෙව්වේ අපිට ‘කොටි’ කියන හංවඩුව ගහලා. ජවිපෙ අපිට ‘NGO කාරයෝ’ කිව්වා. අද මම ලියන ‘ලංකා’ පත්තරයෙන් කොළඹ නවනගර ශාලවේ අපි කරපු ‘සිහල – දෙමළ කලා උළෙල’ පොංගු තමිල් කියලා පතුරු ගැහැව්වා. එක සැරයක් ‘ලංකා’ පත්තරය මගේ අත් අකුරු උපුටා පළකරලා මට පස්පඩංගුවේ බැන්නා.
අපිව ජවිපෙන් ඉවත් කළේ ජාතීන්ගේ ප්‍රශ්නය ගැන අපි නඟපු ප්‍රශ්න කිරීම් නිසා. පක්ෂයෙන් එලියට වැටුනට පස්සේ ජයතිලක බණ්ඩාර, වසන්ත දිසානායක, ලයනල් බෝපගේ( Lionel Bopage), ජයතිලක කම්මැල්ලවීර , ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන(Sunil Wijesiriwardena), ආචාර්ය නිර්මාල් රංජිත්දේවසිරි( Nirmal Dewasiri)…. වගේ මිනිස්සු මුණගැහුණා. පුළුල් මිනිස් ඇසුරක පහස ලැබුණා. වෙනස් මතත් සමඟ පොදු අරමුණකදී එකට වැඩකරන ආකාරය ගැන අත්දැකීම් ලැබුණා.

ඒ හමුවුණු බොහෝ දෙනෙක් වෙනස්කම් රැකගනිමින් මේ වෙනකොට ජාතික ජන බලවේගයත් එක්ක වැඩ. සමහරු ඒකෙන් ඡන්දෙත් ඉල්ලනවා. සමහරු ජාතික ලැයිස්තුවේ ඉන්නවා. සමහරු ක්‍රියාශීලිව සහය දෙනවා. ලයනල් බෝපගේ, අනුරුද්ධ ලොකුහපුආරච්චි (Anuruddha Lokuhapuarachchi)වගේ උදවිය විදෙස්ගතව ඉදිද්දීත් මේ ඡන්දය මාලිමාවට දෙන්න කියලා කියනවා. අඩුවැඩි වශයෙන් පෝද්දලත් ( Poddala Jayantha) වෙනස් විදිහකට ඒකම කරනවා.
එහෙම කියද්දී අපිව පක්ෂයෙන් පන්නපු ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාත් මේ වැඩේ පිටිපසේ ඉන්නවා. පක්ෂය එක්ක අපි නඟපු ප්‍රශ්නය අතින් පයින් විසදන්නම් කියපු වානේ ශාන්තත් මේ වැඩේ එක්ක ඉන්නවා.

ඒ අරුතින් ගත්තොත් මේක විශේෂ ඡන්දයක්. කටුගාන්න බැරි ඡන්දයක්. නොදා ඉන්න බැරි ඡන්දයක්.
ජවිපෙ එක්ක කෝටියක් ප්‍රශ්න තියෙද්දී මම මෙදාපාර ඡන්දය දානවා.
මොකද මම මගේ ඡන්දය නොදා උන්නොත් ජවිපෙට වඩා ප්‍රශ්න තියෙන, ජවිපෙට වඩා ප්‍රශ්න හදන අයට ඒක වාසිවෙයි කියලා මට හිතෙනවා.

ජවිපෙ විතරක් නොවුන ජවිපෙත් ඉන්න ජාතික ජන බලවේගය මම විශ්වාස කරනවා.ඒ විශ්වාසය රකින එක මගේ ඡන්දය ගන්න අයගේ වැඩක්.

මම මගේ වැඩේ කරනවා. ඒ මට හිතෙන හැටි.  ඒ හින්දා ඇදයක්, කුදයක්, වංගුවක් නැතුව මම මගේ ඡන්දය අගෝස්තු 5 උදේ ජාතික ජන බලවේගයට දෙනවා.

සිසිර යාපා .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *