සුනඛාත්ම හා ප්‍රකෘතිය මත අසුචි විසුරුවන page කලාව – නාමලී පෙරේරා

මේ ලෝකෙට ජීවමාන වසන්තය අරන් එන්නෙ ගැහැණිය. ඒ කියන්නෙ අම්ම. ඒ නිසා ගැහැණියක් කියන්නෙ මේ ලෝකෙට සම්පතක්. කෙල්ලක් මල්වර වුණු දවසෙ ඉදන් විදින්නේ පුදුමාකාර දුක් ගැහැටක්. මාස් ශුද්ධියෙන් ශාරීරිකව හා මානසිකව දැනෙන පීඩාවන් විදදරාගෙන දරුවෙක් වැදීමේ ඉදන් ආරම්භ වන්නේ ඇයගේ දුෂ්කරක්‍රියා සමය . අප අම්මා යන නාමය ගෞරවයෙන් පුදන්නේ ගැහැණියක විදින දුක් දරා ඇග ලේ කිරි කර පෝෂණය කරවීමත්, සතර බ්‍රහ්ම විහරණයෙන් පිරුණු හදවතින් ආදරය සෙනෙහස දක්වමින් දරුවන් රැකීමත් නිසා. ඒ අම්මා ගෙදර බුදුන් වෙද්දි තම බිරිඳ , සහෝදරිය, දියණිය ඇතුළු අනෙකුත් කාන්තාවන්ට අද සමාජයෙන් එම ගෞරවයම ලැබෙනවාද….

මාසික ඔසප් වේදනාව අපේ සමාජයේ හදුන්වන්නෙ කිළි කියල . ඒ අපිට බ්‍රාහ්මණ මතවාද වලින් ලැබිච්ච කියවීම්. අදටත් ඒ වේදනාවල් දරාගෙන බත් මුට්ටිය උයල දෙනකල්, රෙදි ටික හෝදල දෙනකල්, දරු මල්ලන්ගෙ ගෙදර දොරේ වැඩ ටික කෙරෙනකල් ඇද උඩ බලන් ඉන්න පිරිමි අනන්ත ඉන්නව . එහෙම හිතන සමාජයක සමහර මානසික අසහනයන් තියෙන ගෝත්‍රයක් බිහිවෙන එක සාමාන්‍ය දෙයක් .

කාන්තා විමුක්තිය , කාන්තා නිදහස, කාන්තා හිංසනය ගැන කයිවාරු ගහන වගකිවයුත්තන්ගේ ඇස් ඇරෙන්නෙ මේ කියන අසහනකාරයින්ගෙ පේජ් එකක තමන්ගෙ බිරිදගෙ, දුවගෙ චායාරූපයක් දකින්න වෙන දවසකද .. ?? අධ්‍යාපනය , ආගම , තනිව යැපීමෙ නිදහස කියන හැම තැනදිම අන්ත අසාධාරණයන්ට පත් වෙන්නෙ ගැහැණු.

ලෝකයේ ඕනම කෙනෙක් ලස්සන කාන්තාවකගෙ රූපයක් දැක්කම එය විදිනවා. ඒ විදීම් කවි, සිතුවම්, කතන්දර වගේ සුන්දර නිර්මාණයන් විදිහට එළිදකිනවා. ඒ සුන්දරත්වය තුළින් මිනිස්සු තමන්ගේ හදවත පෝෂණය කරගන්නවා. ඒත් ඒ වෙනුවට අද මහමග යන කාන්තාවන්ගේ චායාරූප ලිංගික අසහනයෙන් සිටින උන්ගේ අතින්, මුවින්, හිතින් දහස් වාරයක් දූෂණය වෙනවා. එතකොට කොහෙද මේ කාන්තා නිදහස. තමන් වදපු ලෝකෙ ලස්සන දකින්න ඇස් දෙක දීපු අම්මව ලිංගික ආශාවන් සන්තර්පණය කරන භාණ්ඩයක් විදිහට දකිනවනම් කොහෙද මේ බෞද්ධ රටේ තියෙනව කියන හැදියාව තියෙන්නෙ … ??

පොර කකා, කුලල් කකා සංවර්ධනය කරනව කියල කියන රටේ ගැහැණියකට පාරෙ යන්න නිදහසක් නැත්තම් රටක නීතියෙන් , නීතිය පාලනය කරන උන්ගෙන් මොනවද අපි බලාපොරොත්තු වෙන්නෙ… ? මේ වගේ අසහනකාරී කාමාතුරයන්ගෙ ඇස කය පිනවන රූපය හෙට මම වෙන්න පුළුවන් , සමහර විට ඔබ වෙන්න පුළුවන් , ඔබේ බිරිඳ දියණිය වෙන්න පුළුවන් . එහෙම වෙනකල්ම අපි තවත් නිහඩහම ඉන්නව ද කියන එක තීරණය කරන්න කාලය ඇවිත් .

බලධරයනි, මුලින්ම හදන්න දරුවන්ගෙ මනස සංවර්ධනය වෙන අධ්‍යාපන ක්‍රමයක්. දරුවන්ට දෙන්න ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් කිරීමක්. කාන්තාවන්ගෙ නිරුවත විකුණන සෑම අයෙකුටම එක සමානව ක්‍රියාත්මක කරන්න දඩුවම් . සංස්කෘතිය විනාශ කරන , දරුවන්ගෙ මනස විනාශ කරන බීජ වපුරන හැම තැනකටම ක්‍රියාත්මක කරන්න නීතිය . එහෙම නොවුනොත් phornhub වලින් දකින දේ තමන්ගෙ අම්මගෙන්, සහෝදරියගෙන් පිරිමසාගන්න අසමත්ජාතීන් පිරිසකගෙන් අපේ මල් කැකුළු විනාශ වන තුරුම අනේ අපොයි කියමු…

” යුගයේ දරුණුතම ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ ක්‍රියා කලාපය නොව යහපත් මිනිසුන්ගේ නිහඩතාවය ”

හැමෝටම තියෙනව මේ අරගලය වෙනුවෙන් වගකීමක් . ගැහැණියකට ගරු කරන්න කුඩා කාලයේ ඉදන්ම දරුවෙකුට ඉගැන්වීමේ වගකීම සමාජයේ හැමෝගෙම උරමත තියෙනව . කාන්තාවකට අසාධාරණයක් සිද්ධ වෙන ඕනම තැනකදි ඒ වෙනුවෙන් පෙනී ඉන්න වගකීමක් අපි හැමෝටම තියෙනව . ස්වයං විනයක් ඇතිවෙනතාක් වැරදි වැරදි විදිහටම සමාජයේ තියේවි. වැරදි නිවැරදි කරන්න පියවර නොගන්නාතාක් වරද සාමාන්‍යකරනය වේවි. ඉතින් තවත් මේ අමුතු ඇටේ මේ වගේ අමුතු දේවල් සිද්ධ වේවි….

කාන්තා අයිතිවාසිකම් යනු, කාන්තාවක් ලෙස උපත ලබන අයෙකුට ගෞරවාන්විත සහ යහපත් ලෙස සිය ජීවිතය ගත කළ හැකි වන පරිදි නෛතික රාමුවක් පැවතීමයි.
එය එසේ වෙන දවසක අපි කාන්තා දිනය සමරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *