වෙනස් විය යුත්තේ උප්පැන්නයද මිනිසුන්ගේ ආකල්පයන්ද – චතුරි මහේෂිකා

පරිණාමවාදයට අනුව වානරයාගෙන් පැවත එන බව පවසන මිනිසා එසේ පරිණාමීය වූ සියවස් ගනනාවක් පසු කරගෙන මානවයායැයි හඳුන්වාදීමට හැකි යුගයකට පැමිණි පසු ඔවුන් මෙතෙක් ආ ගමන්මගේ ඔසවන ලද සෑම පියවරක්ම ශිෂ්ටත්වය කරා යන්නක් විය , මුලදී තමන්ගේ සුරෂිතභාවය තහවුරු කරගැනීමට වෑයම් කළ ඔහු කොල අතු වලින් විලි වසාගන්නට සිතූ මොහොතේදීම ශිෂ්ටත්වයට යන ගමන ආරම්භවන්නට ඇතැයි සිතේ .
මෙසේ සුරක්ෂිත බවද ශිෂ්ටසම්පන්න බවද දිනෙන් දින තහවුරු කරගනිමින් වත්මන් යුගයට පා තැබූ මිනිසාගෙ උපත ලියාපදිංචි ගත තැනකට ගෙන ඒමට හැකිවීම ඔවුන් ලද විශේෂ ජයග්‍රහණයක් වූවාට සැක නැත

නමුත් වර්තමානය හා සසඳා බැලීමේදී අප ලබන විශාලම ජයග්‍රහණය වන්නේ කාලයෙන් කාලයට උප්පැන්නයේ කෑලි ගලවා ඉවත් කිරීම යැයි මට සිතේ ..
‘මව් පියන් විවාහක අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත් කිරීම’ ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සිදුවූ සාධණීය වෙනසකි , එනයින් උප්පැන්නයට අනුව අවජාතක දරුවන් ලංකාවෙ මතු බිහිනොවෙනු ඇත , එය නැවත කියවන්න “උප්පැන්නයට අනුව” පමණකි ..

තවත් පැහැදිලිව කියන්නේනම් එම තීරුව ඉවත් නොකළද පලක් නැත , එය තිබියදී වුවද පියාගෙ නමට ඉදිරියෙන් ඉරක් නොගැසී පුරුෂයකුගේ නාමයක් තිබ්බා වුවද සමාජය ඉල්ලන්නේ ඇසට පෙනෙන පියෙකි , සමාජය කියන පරිදි නීතියෙන් විවාහ වී බිහිවෙන්නා වූ “සුජාත” දරුවෙකගේ වුවද පියා නිතර දෙවේලේ සමාජයේ ඇස ගැටෙන්නට සිටිය යුතුය , නොඑසේනම් පියා කොහෙදැයි දරුවාටත් වඩා ප්‍රශ්න ඔවුන්ටය .

මවට කසාදයක් නොවුණ නිසා පමණක් නොව මරණය නිසා පියවරු අහිමි වුණ දරුවන්ද , විදේශයන්හී සේවය කරන නිසා කාලයකට පමණක් පිය සෙනෙහස විඳින දරුවන්ද , වෙනත් හේතු නිසා පිය සෙනෙහස අහිමි වූ දරුවන්ද ලංකාවේ බොහෝය . නමුත් මව සමඟ පමණක් දරුවන් දකින විට “මහත්තයා කෝ” “තාත්ත කෝ” යැයි මිනිස්සු අසන්නේ තාත්තෙක් නැත්නම් තාත්තෙක් සොයාදෙන්නට නොවෙති , ඒ ඕපදූපයක් සෙවීමටය , නැතිනම් දැන දැන රිදවීමට හෝ අඩු පාඩුවක් ඇති බව පෙන්වාදීමටය ..

ඇතැම්විට කුඩාකලම පියා මැරුණු දරුවන්ට ඒ බව නොපවසා පියා රට යැයි පුංචි සිත් නොරිද්දනු පිණිස මව බොරු කියා තිබෙන්නට පුලුවන . පියා විදේශයක නිසා හෙට ඒවි , ඊලඟ නිවාඩුවට ඒවියැයි කියා බොහොම ආයාසයෙන් දරුවන්ගේ සිත සනසමින් සිටිනවා විය හැකිය . පියාව මතක් වන විට සංවේදී වන සිත් වලට එය අමතකකරවා දමා සිටිනවා වියහැකිය . නමුත් දකින වාරයක් පාසා පියා කොහෙදැයි අසමින් සමාජයේ මිනිසුන් කරන්නේ සුවපත්කරන්නට සහ සුවපත්කරගන්නට දතකන සිත් පෑරීම නොවේද ?
මව එහාට මෙහාට වනතෙක් සිට පියා කොහෙදැයි හය හතර නොතේරෙන දරුවන්ගෙන් අසන වැඩිහිටියන් යැයි කියාගන්නා නාමික වැඩිහිටියන් කොතෙකුත් මා දැක ඇත . බහුතරක් දෙනා අසන්නේ සියල්ල දැන දැනමය …

ඉතින් උපැන්නය තවත් වෙනස් කරන්නේනම් එය හැඳුනුම් පතක ප්‍රමාණයට කුඩා කර බෙල්ලේ එල්ලාගෙන ගිය හැකි ආකාරයට සාදනවානම් කළහැකි ලොකුම වෙනස එයයි …
ලංකාවේ මිනිසුන්ගේ දූපත් මානසිකත්වය වෙනස් නොවන තාක්කල් උප්පැන්නය කෙසේ වෙනස් වුවද , එය නිකුත් කිරීම අහෝසි කළද පලක් නොවනු ඇත ,

මිනිසුනි , අල්ලපු ගෙදර දරුවාගෙ තාත්තා පේන්නට නැත්නම් , තම දරුවාගෙ පංතියේ ඉන්න වෙනත් දරුවෙක්ගේ තාත්තා පාසලට නොඑන්නේනම් පියා කොහෙදැයි අසා නොඉන්නට තරම් ශිෂ්ටසම්පන්න වන්න , පියෙක් සිටියානම් ඔහු පේන්නට සිටිනු ඇත , නුඹලා පියාව සොයන්නේ ඔහු කළුවර අඳුන ගල්වාගෙන අහල පහලක සැඟවී ඇත්දැයි සැකහැර දැනගැනීමටද ?

W.චතුරි මහේෂිකා-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *