දුනු කඩු මොටදැයි ප්‍රේමෙට – නාමලී පෙරේරා

ඉස්සර නිතරම ගියත් දැන් ඉද හිටලවත් යන්නෙ නැති 450 පානදුර රත්නපුර පාරෙ අහම්බෙන් ගියත් කුරුස හංදිය පාස්වෙද්දි ඉබේම ඔළුව උස්සගෙන බලනවා. එක පැත්තක් ගරා වැටිච්ච පුංචි බස් හෝල්ට් එක ඉස්සර විදිහටම වැස්සට තෙමෙනවා.

” මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුණු බව දැන උන්නේ… “ කියල පුන්සිරි සොයිසා නොකිව්වත් මං කියනව. එතකොට එයා අළු පාට ඩෙනිමට ලා නිල් පාට ටී ෂර්ට් එකක් ඇදගෙන ඉන්නව මට මැවෙනවා.

” ඔයා අදත් පරක්කුයි… මං හැමදාම බලන් ඉන්නව මෙතන… “
මූණ කළු කරගෙන මං නෝක්කාඩුවක් කියනවා. එයා යටි තොළ හපාගෙන දිලිසෙන ඇස් පුංචි කරල හිනාවෙද්දි කොච්චරක් වෙලා මං හිටගෙන බලන් හිටියද කියලවත් මට මට මතක නැති වෙන තරමටම හිත පිරෙනවා.
” අපි සිංහබාහු බලමු… “ එයා අහනවා.
මං බෑ නොකිය හා කියන්න ඔළුව වනනව. එයා මගෙ අතකින් අල්ලගෙන පාරෙ අනිත් පැත්තට මාරු වෙනව. අපි බස් එකෙන් බැහැල තරුණ සේවා සභාවෙ ශ්‍රවණාගාරයට යනකල්ම කතා කරන්නෙ නෑ . පොළවට ඔරවගෙන එයා බිම බලන් යද්දි එයාගෙ අතේ එල්ලිලා මං හතර වටේම ඇස් කරකවනව. ඒ ඉතින් ගෑණු ගතියනෙ.. මගෙ හිත කියනව.

ඇස් පිල්ලන් ගහන්නෙත් නැතුව වේදිකාවට මූණ හරවන් ඉන්න එයාගෙ බෙල්ලට වැටිච්ච දිග කර්ල් කොණ්ඩ කෑලි දැක්කම මට එයාවත් සිංහය වගේ පේනව. සිංහය තාමත් මගෙ අතින් අල්ලගෙන ඒ අතේ රස්නෙ ඒ විදිහටම දැනෙනව .

“පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇටමිදුළු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා. . .” කියල ගායනය ඇහෙද්දි සිංහයගෙ මූණ කළු වෙනව.

” තාත්ත කවදාවත් මං සිංහල කෙල්ලෙක් බදිනවට කැමති වෙන්නෙ නෑ නංගි… ” සිංහය කියනව.
” මං දන්නව ඔයාට තාත්තට වරදක් කරන්න බෑ කියල … ” මං කියනව
” යුද්ධෙ කාලෙ අපිව පරිස්සම් කරගන්න බැරි කමට අතේ පිච්චියක් නැතුව හලාවත ආපු එයා සිංහයෙක් වගේ අපිව බලාගන්න පුදුම දුකක් වින්ද…. ” එයා කියනව. මං මුකුත්ම නොකිය වේදිකාවෙ සුප්පාදේවිය සිංහයට ආදරේ කරන හැටි බලනව.

සුකුමාර යුවතියක් වෙච්ච සුප්පාදේවිය වනයේ දුක් ගැහැට වලට මූණ දීල තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කැපවෙනව. දරුවන් එක්ක ගල් ලෙනක සිරවෙලා සිංහයාගේ අණසකට කීකරුව ජීවත් වෙනව. ගැහැණියක් ලග තියෙන්නම ඕනෙ ඉවසීම .

” සිංහයෙක් වේ මා පියා
ජන්මයෙන් ලත් මේ අරන්නේ
පුරුදු වූ වැසේ සදා. . .

කුමරියක් වේ මගේ මව්
උත්තරීතර ජන්ම ලද්දී
උරුම වූ යස ඉසුරටා
මටද හිමි වේ වංග රාජ්‍යය
ප්‍රබල නරවර පරපුරෙන්
කුමක් දෝ මේ පාපේ ලෙනේ
මේ විසීමේ සෙතක්දෝ. . .”

සිංහබාහු තමන්ගේ මව ගැනත් පියා ගැනත් කරුණු දැනගන්නව. ඒ මොහොතෙ ඉදන්ම සිංහබාහුට ඕන වෙන්නෙ තමන්ට හිමි සැප සම්පත්, බලය හිමිකරගන්න. ගල්ලෙන බිද දාල මවත් , නැගණියත් රැගෙන පලා යන්න ඔහු හිතන්නෙ ඒකයි. තාරුණ්‍යය සීමා මායිම් වලින් කොටු කරන්න පුළුවන් ද කියල එදිරිවීර සරචන්ද්‍ර මහත්තය නොකිය අහනව.

” ඔයාට පුළුවන් ද ගෙදර අය අත හැරල මං ලගට එන්න… ” එයා අහනව. මට ආයෙමත් එයාව පේන්නෙ සිංහය වගේ.
” මං එහෙම නාවොත් මට හැමදාම ජීවත් වෙන්න වෙන්නෙ ඒ අදුරු ගුහාවෙ හිරවෙලා.. ” මං කියනව.
” ඔයාට දුක් විදින්න වෙයි… “
” ඔව්… මට විතරක් නෙවෙයි හැමෝටම . ඔයාට , මගෙ තාත්තට … එයාගෙ පපුව පිච්චිලා යයි මං එහෙම කළොත්… ”
සිංහය පුදුම අනුකම්පාවකින් මං දිහා බලනව. එයාගෙ ඇස් ඇතුලෙ කදුළු දිලිසෙනව මට පේනව.

” අපිට කවදාවත් ගල් ලෙන බිදින්න බැරිවෙයි .. ” සිංහය මහ පරාජිත කමකින් කියනව. මං හිත ගලක් කරගෙන අහන් ඉන්නව .

” ලෙන තුළ නොවෙති – පෙරලා නොයෙති
මම දැන ගතිමි – මම සැක කළෙමි
සුරතල් දියණිය මොළකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නිය . . . පොවන්නිය. . .
මා ගැන. . . බිය වන්නිය
වනයේ දුකක් වෙද. . . අසන්නිය. . . සොයන්නිය
ඈත් ගොසින්ය. . . ඈත් ගොසින්ය…”

සිංහය විලාප දිදී ඔවුන් තමන්ව හැර ගිය වේදනාවෙන් හඩනව. සුප්පාදේවියට හරි ඉන්න තිබුණ කියල මට හිතෙනව . එයා සම්මතයට පිටුපාල ගිය ගැහැණියක් . එයාටත් නිදහස ඕනනෙ. සිංහය හිතුවෙ හැමදාම ඒ ලෙනෙන් පිට සැපක් නෑ කියල . සිංහය උනත් පටු විදිහට සීමා නොදා හිටියනම් එයාල දාල යන්නෙ නෑ කියල මං හිතෙන් ඒ මොහොත සාධාරණීකරණය කරනව.

” ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ… ” කියල සිංහය අහද්දි මට තාත්තගෙ මූණ මැවෙනව. තාත්ත අසරණ කමින් මං දිහා බලන් ඉන්නව පේනව . අම්මත් නැතුව මාව හදාගත්තු මගෙ තාත්ත . මං කොහොමද සිංහ සීවලී වගේ , සුප්පාදේවිය වගේ එයාට ද්‍රෝහියෙක් වෙන්නෙ. ගල් කරගෙන ඉදපු හිත අස්සෙන් පිච්චි පිච්චි තිබිච්ච කදුළු ගුලියක් කම්මුල් දිගේ බේරිලා වැටෙනව.

” මට මේක ඇති … අපි යමුද … ” මං අහනව.
සිංහය තද කරල අල්ලගත්තු අත තවත් තදට අල්ලගෙන ශ්‍රවණාගාරයෙන් එළියට බහිනව. කෑ ගහල කියන්න බැරි වේදනාවක් සිංහයගෙ මූණෙ තියෙනව . ඒ විදිහෙම වේදනාවක් මගෙ පපුව අස්සෙ හිරවෙලා තියෙනව . එයාගෙ වේදනාව දෙමළෙනුත්, මගෙ වේදනාව සිංහලෙනුත් කියවන්න එකම කෙනෙක්ට පුළුවන් උනානම් ඒ දෙකේම කිසිම වෙනසක් නෑ කියල දැනෙනව .

” දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඩරු සදිසි උණුවෙන සිත් මිස… “
කියල වෙරලියද්ද කෑ ගහල කියනව එතැනින් ගිය ත්‍රීවිලර් එකකින් අපිට ඇහෙනව .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *