ඇමති ජොනීගෙන් වනඅලි ගැටලුවට විසදුම්

පසුගිය දින කිහිපය තුල නිකවැරටිය පලුගොල්ල හා දොඩම්ගොල්ල ප්‍රදේශ වලට වන අලින් 80-100 අතර ප්‍රමාණයක් ගම්වැදී විශාල වගා හානියක් කල බවට වාර්තා විය.මේ පිලිබදව දැනගත් වහාම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින එනම් 2020.08.15 එම ප්‍රදේශයට පැමිණ වන අලි ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කොට කඩිනමින් සහන ලබාදීමට පියවර ගත්තේය.

මෙහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා

අපේ කොට්ඨාසයේ තියෙන දැවෙන ප්‍රශ්නය තමයි වන අලි උවදුර.ඒකට හේතු කිහිපයක් මුල් වෙලා තියෙනවා.එක කාරණයක් තමයි ඉගිණිමිටිය වැව් තාවුල්ල ප්‍රදේශයේ කරන අනවසර වගාකරුවන් නිසා මේ තර්ජනය දිනෙන් දින වැඩි වීම.

දෙවෙනි කාරණය තමයි මේ කොට්ඨාසයේ යම් යම් තැන්වල ලදු කැලෑ ගොඩක් තියෙනවා.ඒවා ගොඩක් දීමනා පත්‍ර ලබා දුන් ඉඩම්.මෙම දීමනා පත්‍ර හිමිකරුවන්ට මෙම ඉඩම් සුද්ධ කිරීමේ හැකියාවක් නෑ.අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් එක්ක කතා කරලා මේ ඉඩම් ඉතාම කඩිනමින් එළි පෙහෙළි කරලා ස්ථීර විසදුමක් ලැබෙන තෙක් ප්‍රදේශයේ ජනතාවට තාවකාලිකව හෝ විසදුමක් ලබා දෙන්න.ඒ නිසා අපි හෙට (2020.08.16) දිනම මේ කටයුත්ත ආරම්භ කරනවා.

වන අලි 100ක් 80කට කිට්ටු සංඛ්‍යාවක් වන අලි ගොවිතැන් විනාශ කරගෙන යනවා.මේකේදි අපි ප්‍රාදේශිය ලේකම්තුමත් එක්ක සහ පොලිස් අධිකාරිතුමත් එක්ක අපි සාකච්ඡා කරා.විශේෂයෙන්ම ගොවි මහත්වරු සහ වන ජීවී නිළධාරීන් එක්ක කරපු සාකච්ඡාවේදී ගොවියෝ කිව්වේ අක්කර 150ක විතර තියෙනවා ගොවිතැන් කරන්නේ නැති.අපි හෙට දවසේ බැකෝ දාලා ඒ ලදු කැලෑ සුද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.අලි නතර වෙන්න ඒක එකක්.

ඊළගට තවත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ අලි ටික එලෙව්වට ආපහු එන එක.ඉගිනිමිටිය ජලාශයේ රක්ශිතය තුල අනවසර වගාවන් පවත්වගෙන යනවා කියලා ගොවි මහත්වරු කිවුවා.අනවසර වගාවන් නිසා වන අලින්ට ඔවුන් ඉන්න තැන් අහිමි වෙනවා.එතකොට ඔවුන් ගම් වලට එනවා.හුගක් අය කියන්නේ බදින තුවක්කු කැලේ ඇතුලේ හයි කරලා තියෙනවා ඒ නිසා කැලේට ඇතුළු වෙන්නත් බෑ.ගැටලු ගණනාවක් තියෙනවා.හෙට දවසේ පොලිස් මෙහෙයුමකුත් ආරම්භ කරන්න පොලිස් අධිකාරිතුමත් එක්ක අපි සාකච්ඡා කරලා පොලිසියට අපි ඉල්ලීමක් කෙරුවා ඒ ප්‍රශ්නෙත් අපිට විසදලා දෙන්න කියලා.

ඒ වගේම ලොකු ගැටලුවක් තිබුණා.වන අලි එලවන්න අවශ්‍ය අලි වෙඩිවල තියෙන හිගකම.ඒ වගේම පෞද්ගලිකව අපේ හිතවතුන් සමග එකතුවෙලා අලි වෙඩි 300ක් ගෙනල්ලා දුන්නා.අනිත් දවස් ටිකේ තවත් අලි වෙඩි 300ක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවා.මේක සාමාන්‍යයෙන් ගොවිකම්වලට වී පූදින කාලේ එන ගැටලුවක්.අතිගරු ජනාධිපතිතුමා මේකට ස්ථිර විසදුමක් දෙන්න වෙනම රාජ්‍ය ඇමතිවරු පත් කරලා තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා දවස් 10ක් ඇතුළත ඒ ඇමතිතුමත් ගෙනල්ලා සාකච්ඡා කරලා ස්ථිර විසදුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබා දෙන්න.

ඒ වගේම පොල්ගස් ගත්තහම පැලයි,ගසුයි හත් අටසීයක් විනාශ වෙලා තියෙනවා.එක ගොවි මහත්තයෙක් කියලා තියෙනවා රාජ්‍ය නිළධාරීන් විශ්‍රාම ගියහම විශ්‍රාම වැටුප ලැබෙනවා වගේ තමයි ඔවුන්ට මේ පොල් ඵලදාව,ඔවුන්ගේ විශ්‍රාම වැටුප පොල් ඵලදාවෙන් ලැබෙන ආදායම කියලා.ඇත්තටම ශෝචනීය තත්වයක්.මේකට අපි ස්ථිර විසදුමක් එනකම් තාවකාලික විසදුම් ගණනාවක් දෙනවා.මං හිතනවා දැනට තියෙන ප්‍රශ්නය තාවකාලික විසදුම්වලින් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා.හැබැයි ඉදිරි කාලයේදී ස්ථිර විසදුමක් රජයක් හැටියට ලබා ගන්නවා කියන එක පැහැදිලිව අපි ප්‍රකාශ කරනවා

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *