පියස්සා දෙල්ලා සිඤ්ඤොරීයා ( සිඤ්ඤාරියා චතුරස්‍රය)-රෝමයට ලඟ පාර – 12 – පියුමි ජයකලණි ලියයි

ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වන ‘ෆිරෙන්සෙ’ නගරයේ ‘දුඕමෝ දේවස්ථානයට හා ‘උෆීසි ගැලරි’ ට නුදුරින් ඇති 18 වන ශතවර්ෂයේ ඉදිකෙරුණු ‘පියස්සා දෙල්ලා සිඤ්ඤොරීයා’ දේශපාලනික හා නගර සභා බල ප්‍රදේශයකි. මෙය අතීතයේ දී ‘පියස්සා දි ප්‍රියෝරි’ , ‘පියස්සා දෙල් ග්‍රන්දූකා’ යන නම් වලින් හඳුන්වා ඇත. මෙම චතුරස්‍රය ෆිරෙන්සෙ නගරයේ ඓතිහාසික උත්සව පැවැත්වූ ස්ථානයක් වන අතර ඓතිහාසික වශයෙන් ඉතා වටිනාකමක් ඇති ස්ථානයක් වශයෙන්ද හැඳින්විය හැක. වර්ෂ 1872 සිට මෙහි ඇති ‘පලස්සො වැක්කියො’ නගර ශාලාවක් මෙන්ම නගරාධිපතිගේ නිල නේවාසිකාගාරය ද විය. බල පැවැත්මෙන් හා විශාලත්වයෙන් යුත් ‘පලස්සො වැක්කියො’ පිහිටි මෙම අලංකාර භූමියට ‘ලොජ්ජා දෙල්ලා සිඤ්ඤොරීයා’ යන නමින්ද හඳුන්වනු ලබන අතර ‘ලොජ්ජා දෙයි ලන්සි’ යන කෙටි නාමයෙන් ද හඳුන්වනු ලබයි. මක්නිසාදයත් ‘කෝසිමෝ’ නම් මහා වංශාධිපති වරයාගේ පළමු ජර්මානු ආරක්ෂකයින් මෙහි වාසය කළ බැවිනි.

‘පියස්සා දෙල්ලා සිඤ්ඤාරීයා’ හි ඉතා වැදගත් සිතුවම් හා මූර්ති නිර්මාණ රාශියක් වේ.

ජම්බොලෝඤ්ඤා’ ගේ ‘කෝසිමෝ’ ප්‍රතිමාව

* වර්ෂ 1594 දී ‘ජම්බොලෝඤ්ඤා’ විසින් නිර්මාණය කරන ලද අශ්වාරෝහක ප්‍රතිමාවක් වන පළමු මේඩිචි පරම්පරාවේ කෝසිමෝ නම් මහ වංශාධිපති වරයාගේ ප්‍රතිමාව.

* වර්ෂ 1565 දී ‘ බර්තොලමොඕ අම්ම’නාති’ විසින් නිර්මාණය කරන ලද නෙප්චූන්ගේ ජල උල්පත. මෙම ජල උල්පත් ඒ අශ්වයන් හා සුදු පැහැ විශාල දේහයක් සහිත ( ‘ෆිරෙන්සෙ විකට නාමය ‘බියංකෝනෙ’) ප්‍රතිමාවක් ද එය වටා දර්ශනීය ලෝකඩ ගැහැණු දේහ ප්‍රතිමා ද ඇත.

* වර්ෂ (1530 – 1534) දී ‘බාච්චො බන්දිනෙල්ලි’ විසින් නිර්මාණය කරන ලද ‘එර්කොලේ’ හෙවත් ‘හර්කියුලිස්’ හා ‘කාකො’ ගේ ( එර්කොලේ විසින් කාකො ව යටත් කරගෙන සිටින) බලසම්පන්න ප්‍රතිමාවක් ඇත.

* වර්ෂ (1545 – 1554) දී මූර්ති හා රන් කරුවෙකු වූ ‘බෙන්වෙනූතො චෙල්ලීනි’ විසින් නිර්මාණය කරන ලද ‘ පෙර්සෙයො කොන් ලා දි මෙදූසා’ ( සෙයුස් ගේ පුත් ‘පෙර්සෙයො’ විසින් ‘මෙදූසා’ ගේ ගෙළ සිඳලන) අගනා ලෝකඩ ප්‍රතිමාවක් හා එදෙස බලා සිටින්නන්ගේ ගලින් කරන ලද ප්‍රතිමා ද ඇත.

(2) ‘බන්දිනෙල්ලි ගේ ‘එර්කොලේ ඒ කාකො’ ප්‍රතිමාව
(3) ‘අම්මනාති’ ගේ ‘බියංකෝනෙ’ ප්‍රතිමාව

අනූපමේය මාණික්‍යයක් බඳු මෙම ‘ලොජ්ජා දෙයි ලන්සි’ හෙවත් ‘ පියස්සා දෙල්ලා සිඤ්ඤාරීයා’ඉදිකරන ලද්දේ ‘ බෙන්චි දි චෝනෙ’ සහ ‘සිමෝනෙ තලෙන්ති’ විසින් වර්ෂ 1380 දීය. මෙය ෆිරෙන්සෙ නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංකේතය වේ. මක්නිසාද යත් මෙය ‘ ප්‍රියෝරි’ නම් පළමු මහේස්ත්‍රාත්වරයා දවි ප්‍රාප්තිය ලැබූ ස්ථානය වීම නිසාත් පළමුව මහේස්ත්‍රාත්වරු තුන්දෙනෙක් ද ඉන් අනතුරුව සය දෙනෙක් ද අවසාන වශයෙන් දොළොස් දෙනෙක්ද වශයෙන් මාස දෙකේ සිට ඉහලට වූ ධූර කාලයක මහේස්ත්‍රාත්වරු ජීවත් වූ රජයේ නිල නිවාස හා කාර්යාලයක් ව පැවත තිබූ ස්ථානයක් වීමත් නිසාය.

(4) ‘බෙන්වෙනූතො චෙල්ලීනි’ ගේ ‘පෙරේසෙයො’ ප්‍රතිමාව

‘L’ අකුර හැඩති මෙම චතුරස්‍රය අද වන විට කාණ්ඩය අනුව වෙන් කරන ලද එළිමහන් කෞතුකාගාරයකි.

මෙම ‘පියස්සා සිඤ්ඤාරීයා’ අසල ( ‘ පියස්සා දෙල්ලා රිපූබ්ලිකා’ ) 14 වන ශතවර්ෂයේ සෑදූ ෆිරෙන්සෙ නගරයේ වෙළෙඳ සංකීරණය තිබී ඇත. මෙය ‘ ලොජ්ජා දෙල් මෙර්කාතො’ නමින් හඳුන්වනු ලැබීය. එකල ධනවත් වෙළඳ පාන්තිකයන් විසින් වෙළඳුන් වෙළඳාම සඳහා යොදවනු ලැබූ අතර එම වෙන දුන් විසින් දිනය අවසානයේ දී වැඩි මුදලක් මෙම ධනපති වෙළඳ පාන්තිකයන්ට පෙන්විය යුතුවේ. මෙම ස්ථානය එකල විශාල ගනුදෙනු කරුවන්ගේ සහ තැරැව්කරුවන්ගේ ස්ථානයකි. අද වන විට මෙහි සිහිවටනයක් ලෙස ඌරෙකුගේ ප්‍රතිමාවක් සාදා ඇති අතර මේ අවට රත්රන්, විවිධ ඇඳුම්, ගමන්මලු යන දෑ ඇති නවීන පන්නයේ වෙළඳ සැල් දැක ගත හැක. මෙම ඌරාගේ ප්‍රතිමාව ඇති මෙම ස්ථානය ‘ මෙර්කාතො දෙල් පොර්චෙල්ලීනො’ හෝ ‘piglet market’ යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම ස්ථානයට එන බොහෝ සංචාරකයින් මෙම ඌරු ප්‍රතිමාව මතට කාසි දමනු ලබන අතර එයින් අතමිට සරු වේ ය යන විශ්වාසයක් ජනතාව අතර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *