අපි ආයේ හමුවෙමු ඈත දවසක ජීවිතේ – මේනුකා දම්සරණී

අවසානයේ අපි සමුගන්න තීරණය කළෙමු. හමුවෙන්න, ළංවෙන්න මග බලා සිටි හදවත්වලට එය නුහුරු වන්නට ඇත. දරාගන්නට අසීරුම වන්නට ඇත. එහෙත් අත්හළ යුතු ම තැනදීත් බදා වැළඳ ගත්තත් කිසිවක් නොදැනෙන මොහොතක සියල්ල නොරිදීම අතහැරෙන බව දැන් අපි දනිමු. අත් නොහරිමියි අල්ලා ගත්, අත් නොහැරේවායි පැතූ සිත් නොදැනීම ගිළිහෙන්නට පෙර හදවතට දැනෙන්නට රිදුම් දී ගිළිහීම ම පේ‍්‍රමයට අබිමනක් යැයි සිතමි.

අත්හැර, එතැන් සිට පේ‍්‍රම කරන්නට හදවත අමුතුවෙන් පුහුණු කළ යුතු නැත. ඔබට පෙම් කළේම කවදාක හෝ ඔබ අත්හැරෙන බව දැන දැන ය. ඔබ කියවමින් විඳිමින් ඔබ සමග ඇවිදිමින් යන විට රහත් ඵල නොලත් සිත ඔබ හිමිකරගන්නට පැතීමත් ඔබේ පේ‍්‍රමයේ ම හාස්කමක් මිස මා පේ‍්‍රමය හිමිකරගැනීමට ගත් වෙහෙසක් නොවේ.

ගැළපුම් නොගැළපුම් කිරා මැන තවත් දවසක් හෝ ඔබ ළඟින් රැඳෙන්නට ඉල්ලා සිටින්නට නොසිතුණා ද නොවේ. පෙරත් එවන් දවස් විය. එහෙත් මා පෙම් කළ, මා හැඳිනූ, මා කියවූ ඔබ දැන් නැත. ඒ අලූත් මිනිසා ළඟ මට මා නොදැනෙනු ඇත. ණයට ඉල්ලා ගත් සිහිනයක, කිසිදාක නොවිඳි ආදරයක් කෙලෙස නම් විඳින්නද? ඉදින් අපි සමු ගමු. එහෙමත් නොහැකි නම් අපි ආයෙමත් හමු නොවී ඉමු.

සමුනොදෙන්නට අපට හේතුවක් ඇත්තේ ම නැද්දැයි මම තවමත් කල්පනා කරමි. එවිට යළිත් හැරී ඔබ දෙස බලා දිව එන්නට හේතූ හදවතට ගලා එයි. එහෙත් මම නිසොල්මන්ව හිඳ ඔබ නොරැඳෙන බව දැන දැනම ඔබ නොපෙනී ගිය පසු හැරී බලමි. එවිට ඔබ අතැර යන්නට අලූත් හේතුවක් ඇත.

ඔබ සමග යන්නට පැතූ මාවත තනිව යා හැකිදැයි මා සිතිය යුතුව ඇත. එහෙත් ඔබ තරම් මා පියවර සමව ඇවිද යන්නට අයෙකු සිටීයැයි නොසිතමි. හදවත කියන්නේ ම තව දුරක් තනිව යන්නය. කුමන හෝ මොහොතක ඔබ නොකියාම යළිත් පිටුපසින් විත් මා වැළඳගනු ඇතැයි හදවත මුමුණයි. මා එවැනි සිහින ද මවමි. එබැවින්ම අපි යළි කිසිදාක හමු නොවෙමුයැයි මුවින් පැවසුව ද හදවත කියන්නේ වෙනකකි. අපි ආයේ හමුවෙමු ඈත දවසක ජීවිතේ. මා වසන්තය යැයි කීවේ ඔබට ය. ඔබ සමග ගෙවෙන තප්පරවලටය. එබැවින් ම මග බැලීම මට අසීරු නැත. අප සමුගන්නා වසන්තය වුවත් ඊටත් වඩා ජීවිතේ ඈත කෙලවරක හෝ ඔබ යළි පැමිණෙන මොහොතක උදාවන වසන්තය වඩා පේ‍්‍රමණීය වනු ඇත.

ඔබ මට මිහිමත සියළු ආශ්චර්යයන් ඉක්මවාලූ ආශ්චර්යයකි. ඔබේ මතකය එදා මෙන් හෙටත් මා මනස තුළ සුළඟක් ලෙසින් නිරන්තරයෙන් සැරිසරනු ඇත. විටෙක ඔබ මහා පිරිසක් අතර මා හුදෙකලා කළ සේ තවත් විටෙක කිසිවෙකුත් නොමැති හුදෙකලාවක මා සොඳුරු සැණකෙලියක් මැද අතරමං කළ සේ ඒ මතකය තවත් වසරක් දෙකක් නොව මියෙනා තෙක්ම මා වට සරනු ඇත. ඔබ මා දිවියේ සැරිසැරූ තැන් කරා මා රැගෙන යනු ඇත. ඉදින් ඔබ ජීවත් වූ මා හදවත යළිත් කිසිදිනෙක හිස් නොවනු ඇති බව පමණක් මම දනිමි.

අප හමුවූ දින ගණන් හුස්මක වේගයෙන් ගිණිය හැකි තරම් අඩු වුවත් හදවතින් අප ඇවිද ගිය දුර මේ දිවිය තුළ යළි කිසිදා ගෙවා නිමා කළ නොහැකි දුරකි. එහෙත් හෙට මා තනිව යන මග දිග ඔබ මා කිසිදාක හමුනොවුණු වෙරළ කොන, උයන් වතු, අවන්හල් අතර තුරු ගොමු සෙවණත ඔබ ගැන මතකයක් මා මනසේ සැරිසරනු ඇත. ඇතැම් විට ඒ අප දුටු සිහිනයක අප පැතූ පැතුමක මතකයක් විය හැකිය. ඒ මතකයන් තුළ මම දවසකට සියදහස් වරක් හෙටත් ඔබ හමුවෙමි.

සිනිඳු මල් පෙති පහසුවෙන් රිදවා කවි ලිවිය හැකි ය. එහෙත් මල් සුවඳ සමගම ඒ කවිත් මැකී යයි. එහෙත් පහසුවෙන් සීරිය නොහැකි ගල් පතුරු මත වෙහෙසෙන් කෙටූ කවි අකුරු බොහෝ කල් පවතී. ඔබ ගැන මගේ සෙනෙහස එවන් කවියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *