නිර්මාණයක් බෙදාහදාගන්න උප්පැන්නයේ ලියපු නමක් ඕනම ද ? – “එතැන මා තනිවම නිදන තැන” ලියූ දඩබ්බරයා කතා කරයි

කවුද මේ දඩබ්බරයා..

පිළිම නෙලා නැති විරුවන් ලෝකේ ඉන්නවා. නිර්ණාමික ඝාතකයිනුත් ලෝකේ ඉන්නවා.
වැඩක් කරලා අයිතිය පවසන්න යටින් අත්සන් තබත්දී, එහෙම නොකරන ආරූඩ නම්වලින් වැඩ කරන අයත් ලෝකයේ ඉන්නවා.

අනන්‍යතාවය කියන්නේ ‘වැඩ’ නම් දඩබ්බරයෙකුට., “දඩබ්බරයා” ට එහා විශේෂන නාම ඕනද ?

නිදහසේ ලියන්න, කියන්න, අදහස්, මතවාද, සංකල්පනා වපුරා හලා පැළ කරන්න, විසංවාදීව තර්ක විතර්ක මතින් හැප්පෙන්න, කවියක් කතාවක් නිර්මාණයක් බෙදාහදාගන්න උප්පැන්නයේ ලියපු නමක් ඕනම ද ?

එහෙම හිතත්දී මට හිතෙනවා, කෙනා නොවෙයි වැදගත්, කුමක්ද කරන්නේ යන්න විතරයි වැදගත්.

කවුද මේ දඩබ්බරයා ? උත්තරය සරළයි. කාටවත්ම හානියක් කරදරයක් නැති, ලියන්නෙක්. එච්චරයි.

 

නිර්නාමික ලිවීම් මගින් කියා පාන්නේ ලියන්නාට සමාජයේ ආරක්ෂාව මදි බවද

නැහැ කිසිසේත්ම නෑ. සමානුපාතිකවම නැතත් යම් යම් අඩු වැඩියන් අතරේ, සමාජ අනාරක්ෂණය අනෙත් අයට තරම්මම දඩබ්බරයාටත් බලපානවා.

නමුත්, මෙතන අරමුණ, ප්‍රශ්ණයෙන් වෙනස්. නිර්නාමික බාවය යටතේ දඩබ්බරයාගේ බලාපොරොත්තුව සීමා විරහිත නිදහස විතරයි.

උදාහරණයක් කියන්නද ?

ඉලක්ෂ කියන්නේ අපිට ඉන්න දක්ෂතම කවියෙක්. නමුත් ඔහුගේ නාමයත් සමගම සමාජ තරාතිරම රැකියාව විදාහරණය වෙනවා.
ඒකත් එක්කම එන අවාසිය තමයි ඇතැම් නිර්මාණ වලදී ඔහුට, ඔහුටත් නොදැනීම යම්යම් සම්භාදකයන් පනවාගන්න වෙනවා. මොකද ඔහු පුද්ගලික ජීවිතය, රැකියාව ගැනත් ටිකක් අමතර අවදානයක් යොමුකරන්න ඕන නිසා.

එහෙම බැලුවොත් දඩබ්බරයා නිදහස්. හරියටම වලාකුළක් වගේ.

දඩබ්බරයා කියන්නේ පවතින ගතිකත්වයන් කුමන හෝ තත්වයකින් වෙනස් කරමින් යන්නෙකුට ඔබගේ නාම කරණයේ පවතින්නේ ඒවැන්නක්ද?

මෑතකදී හරි සුන්දර මිතුරු හමුවක, කතිකාවතක් අතරේ කේෂත්‍රයේ ප්‍රවීනයන් කීප දෙනෙකුත් එතන ඉන්නවා. එදාම දඩබ්බරයාව අඳුනගත් මිතුරෙක්, දඩබ්බරයාට දුම්වැටියක් දිගු කරනවා. ඒක මිතුරන් අතරේ සාමාන්‍ය දෙයක්. නමුත් දඩබ්බරයා දුම්පානය කරන්නෑ. (කරන අයව විවේචනය හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්නෙත් නෑ) ඉතින් සුහදව “එපා” කියනවා.
එතැනදී ඊළඟට මතුවන ප්‍රකාශය තමයි වැදගත් !

“කවුද මූට ‘දඩබ්බරයා’ කියලා නම තිවුවෙි ? මූට තියන්න තිබුනේ ‘අහිංසක’ ! ”

හැමෝම කතා කරන්නේ වෙනසක් ගැන. නමුත් සමාජය මත නොවන්නේත් වෙනස්වීම. අපි ගතානුගතිකව යම් තැන් වල එල්ලී ඉඳිමින් පිටත මුහුනුවර විතරක් වෙනස් කරනවා.

වර්ථමාන තාරුණ්‍ය ඔවුන්ගේ රැඩිකල් බාවය / පොෂ් කම පෙන්නුම් කරන්න වගේ සමහර ප්‍රසිද්ධ සමාජමාධ්‍යයන්ගේ ඇතුලේ ඉඳන් කුණුහරුප වපුරනව. විශේශයෙන් මෑත කාලීන ප්‍රවනතාවය ගෑනු ළමයි. අමු කුණුහරුපයක් ප්‍රසිද්ද මාධ්‍යයක ලියූ පමනින් ඔවුන් ඔවුන්ගේ අමුතු කැපීපෙනීම සමාජගත කරන්න උත්සාහයක යෙදෙනවා.

පවතින ගතිකත්වයන් කුමන හෝ තත්වයකින් වෙනස්කිරීම යන්න., සාමාන්‍ය මිනිසෙකුගෙන් වෙනස්ව “සුපර් මෑන්” යට කලිසම උඩින් ඇඳීමක්නම්, සමාවෙන්න මම එතැන නෑ.

 

ඔබ ජීවත් වෙන ප්‍රදේශය ලෝකේ පාරිසරික තත්වයන් ආරක්ෂා විය යුතු ප්‍රදේශයක්.. මේ නිර්ණාමික බව පරිසර සුරැකීමට උපයෝගි කොට ගත හැකියි නේද

පැහැදිලිවම !
සමහර වෙලාවට ඒක සමහරෙක් මෙහෙම කියවගන්නත් පුළුවන්. “මූන පෙන්නන්න කොන්දක් නැති කම !”

ඒත් මට හිතෙන්නේ මගේ පැහැය අවර්ණිතයි. එහෙම අදහස් කරන්නේ රතු නිල් සහ කොල වශයෙන්.

ඉතින් නිදහස් දඩබ්බරයා දැනටත් බොහෝ නිහඬ අරගලයන්හී ගැටෙමින් ඉන්නවා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන්.

එතනදී විනාශිකයන් සමග විතරක් නොවේ සමහර මත ප්‍රකාශකයන් අතරත් ගැටෙන්න වෙනවා. දඩබ්බරයා හුඟක් කාලෙකට කලින් කරපු නිර්මාණයක මෙහෙම තියනවා.

කජු ගොට්ටක් කන ගමන්
පොතු වීසි කර කර
බස් එක හතර අතටම..

මූසල ගෑනි

ස්මාර්ට් ෆෝන් එකෙන්
ලයික් එකක් දැම්මා.,

“විල්පත්තුව” වනසපු උන්ට
හෙනගහපන් කියපු,
පෝස්ට් එකකට..!

දන්නවද වඩාත්ම හාස්‍යජනක දෙය ? මගේ බලාපොරොත්තුව උනේ තරාතිරම කුමක් උවත් වැරදිකරුව හෙලා දැකීම. ඒත් අන්තිමට සමහර මිනිස්සු දැක්කේ දිගුකල ඇඟිල්ල මිසක් අවධානය යොමුකලව යුතුව තිබුනු හඳ දිහාව නොවෙි !

“ගෑණු විතරද එහෙම කරන්නේ ?”
“ගෑනියෙකුට එහෙම කියන එක සාධාරණද ?”

ඔන්න ප්‍රශ්න.

ඉතින් නිර්ණාමික වීම පහසුවක්.

“එතැන මා තනිවම නිදන තැන” පොතට පාදක වෙන තත්වයන් ගැන කිව්වොත්

යම් කිසි නිර්මාණකරුවෙකුට එය විදාහැරීම සඳහා මාධ්‍යයක් අවශයයි. කාලයක් තිස්සේ සමාජ මාධ්‍යයන් තුලින් නිර්මාණකරනයේ නියුතුවෙමින් පසුවෙද්දී ඒ තුලින්ම පැනනැගුනු ඉල්ලීමක් මත තමයි මුලින්ම දඩබ්බරයාට පොතක අදහස එන්නේ. ඒ අදහසම තමයි පතොක් ගහක මලක් වෙලා පිපෙන්නේ.

 

මෙම ප්‍රශ්තුතය අතීතාවර්ජනයක් කිව්වොත්

අනිවාර්යයෙන්ම. මොකද අතීතයකින් තොරව වර්ථමානයක් නෑ. වර්ථමානයකින් තොරව අතීතයක්ද නෑ මේ දෙකම එකම කාසියක දෙපැත්තවගේ බද්දයි.

ගහක් උනත් මුල වෙන්නේ ඒකේ අතීතය. මුල් මතින් පිළිපන් පත්‍රයක් අතු එකිනෙක දිග හැරලා මහා ගසක් වෙනවා. හොඳ හෝ නරක අතීතය යම්කිසි විදියකට වර්ථමානය නිර්මාණය කරමින් පවතිනවා.

කවියෙක් බොහෝවිට බිහිවන්නේම යම්කිසි වේදනාවකින් ( දඩබ්බරයා කවියෙක් කියලා එතනින් කොහොමවත් අදහස් කරන්නෑ. මොකද කවිය ගත්තොත් දඩබ්බරයා එහි ළදරුවෙක් )

ඉතින් බොහෝ සේ කර්කෂ අතීතය මතින් නැගී සිටීම මගේ කවිකම කියලා මම නම් තබනවා. එහෙම බැලුවොත්, ඔවු අනිවාර්යයෙන්ම මෙම ප්‍රශ්තුතය අතීතාවර්ජනයක්.

 

ඔබ විශ්වාස කරන අන්දමට නොස්ටැජියානු ප්‍රශ්තුතයන් සමාජයට සාහිත්‍යමය ලෙස සිදුකරන කාර්යය කුමක්ද ?

නිවසක් ගොඩනැගීමක මූලික තලය කුමක් ද ? දඩබ්බරයා හිතන්නේ එහි පාදමය. මොකද ඒ තුල තමයි සම්පූර්ණම නිවසක් ගොඩ නැගෙන්නේ.

කටු මැටි ගෙපැලක් හෝ වේවා, සුව පහසු මන්දිරයක් හෝ වේවා කුමන ආකාරයේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණයක උනත් මූලික හැඩය පාදමය මත පිහිටනවා. එතනින් එහාට එක එක හැඩතල, වර්ණ මෙන්ම ලක්ෂනයන් මතුකරනවා.

මම ඒ කතාවම ආදේශකරනවා සාහිත්‍යය කියන කරුණටත්. එයත් අතීතය පදනම් කරගෙන බිහිවෙනවා එසේ බිහිවෙමින් සමාජයේ ප්‍රගමනය සදහා උරදෙනවා.

පහර දරාගනිමින් ප්‍රතිපහර එල්ලකරමින් ආකල්පමීය වෙනසකට නිර්මාණකරනය, සාහිත්‍යය මොන තරම් උරදෙනවාද ?, එයට අඩිතාලම වෙන්නේ අතීතය මතින් මතුවෙන යම් යම් ලක්ෂණයන්මයි.

අපිට දැනගන්න පුළුවන්ද දඩබ්බරයාගේ ජීවත් වීමේ වටපිටාව

දඩබ්බරයා කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම “ගොඩයෙක්” ! ඔබ කොළඹ පාරවල් දහයක් නම් වශයෙන් ඇහුවොත්, බොහෝදුරට ඉන් කීපයක් ගැනම දඩබ්බරයා දන්නෑ.
ෆෝන් එකේ බැට්රි ඩෙත් වෙනවා කියන්නේ දඩබ්බරයා කොළඹ තුල වර්ණාන්දතාවයෙන් පෙලීමේ මූලික අවදිය ! ගූගල් දෙවියන් ඇස් පියාගත්තොත් සොරිම තමයි.

කොන්ක්‍රීට් කියන්නේම දඩබ්බරයාගේ හුස්ම අපහසු කරන කාරන.

ඔවු එහෙම බැලුවම දඩබ්බරයා ගොඩයෙක්. හැබැයි ගහකොල සතා සිවුපාවුන් ලඟ දඩබ්බරයාගේ හුස්ම තියනවා.
කූඩැල්ලෝ දැක්කම ඊයියාා කියලා කෑගැසිමේ අවශ්‍යතාවයක් දඩබ්බරයාට නෑ. දාඩිය ගඳ ගහන මිනිස්සු ලග බොහෝදුරට අව්‍යාජත්වය තියනවා. එතකොට අමුතුවෙන් බොරු මවාපෑම් අවශ්‍යවෙන්නේ නෑ.

ඉතින් දඩබ්බරයාගේ උපන් බිම කොළඹින් බොහෝ ඈත දුර දෙණියාය කියන එක කොනක්. දඩබ්බරයා ඒ ගමේ ආඩම්බරකාර ගම්වැසියෙක්.

 

සැබෑ නම , පාසල, ගම, යහලුවන්, දෙමාපියන්, විවාහක බව දරුවන් .. පිළිබද කැමති නම් මේ අවාකශය එයට ඉඩක්

පලවෙනි, දෙවැනි සහ තුන්වැනි ප්‍රශ්ණ වලදී පිළිතුරු වශයෙන් යම් නිශ්චිත හැඩයක් දඩබ්බරයා ගැනම දඩබ්බරයා විසින් හඳුන්වාදෙනවා. ඒත් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී දෙවැනි ප්‍රශ්නයේ පිළිතුරු වශයෙන් ගොඩනගපු කරුනේ වටිනාකම දඩබ්බරයගෙන් ගිලිහී යනවා.

ඉතින් තව දුරටත් දඩබ්බරයා නොහඳුනන්නෙකු වශයෙන් ජීවත් වීමට කැමතියි.

ඉතින් මෙතනදි මම ඔබේ ප්‍රශ්නය මගහැර යනවා. ඔවු මම ටිකක් දඩබ්බරයි තමයි.

ඉදිරියේදී කවරාකාර සාහිත්‍යමය ඵලයක්ද දායාද කරන්නේ

පැහැදිලි සැකිල්ලක් හෝ හැඩයක් එයට නැහැ. සාමාජීය අවශ්‍යතාවය මතුවෙන යම්යම් හැල හැප්පීම් වලදී දඩබ්බරයා ඒ මත, එයට අනිවාර්යයෙන්ම කුමන හෝ පදනමක්මත කොටස්කරුවෙකු වේවි.

 

“එතැන මා තනිවම නිදන තැන” එළිදැක්වීම හා පොත ලබාගත හැක්කේ කෙසේද ?

ඇත්තටම සීමිත කාලය හා පදනම්වූ ගැටලුවක් මත එය සාමාන්‍ය දියත්කිරීමක් ලෙස මුලින් ඔබට හමුවෙන එකක් නෑ.

නමුත් එළඹෙන සැප්තරම්බරයේ දිගහැරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2020 හී දී , සන්ථව ප්‍රකාශනයක් ලෙසින් එහි සමාරම්භක දිනය වන සැප්තැම්බර් 18 දින සිට 27 දක්වා දිනයන්හී කවිපොත් සල්පිලෙන් මුලින්ම ඔබට එය ලබාගත හැකියි.

ඉන් පසුව දිවයින පුරා විසිරුනු සියලු පොත්හල් වලින් සහ සියලුම අන්තර්ජාලික විකුනුම්කරුවන් හරහා ඔබට මේ පොත මිලදීගත හැකියි.

ඒ අතරතුර කාලය තුල, පොතක් එළිදැක්වීමක් වෙනුවට පොතක් ගැන කතිකාවකට යන සුන්දර තවත් හමුවක වෙනස්ම අත්දැකීමක් එක්ක ඔබ සියළු දෙනාම මුනගැසීමේ ආසාවක් දඩබ්බරයා හිතතුල දරාගෙන ඉන්නවා.

මොකද දඩබ්බරයා කොතෙක් ලිවුවත්, එය කියවන ඔබ නැත්නම් දඩබ්බරයා කියා චරිතයක් නැතැයි මම දැඩිව වාශ්වාස කරනවා.

ලයික් එකක්, කමෙන්ට් එකක් හෝ පට්ට පතුරු ගලවන ඔබේ බැනවැදීමක් දඩබ්බරයාගේ පැවැත්මේ අඩිතලෙම කියලා නවත්න්නම්.

සාකච්ඡා කළේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *