කවියේ හැඩය පොදු වෙන්නේ ලියන අයගේ කම්මැලිකම හා බය නිසයි – උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක

ලංකාවේ සාහිත්‍යයට කවි ඇති කියල හිතෙන්නේ නැද්ද ?

නෑ. තව මදියි කියලයි මට හිතෙන්නේ. හුඟක් අය එකම රාමුවකට කොටු වෙනවා. ඒ රාමුවෙන් පිටට යන්න බය වෙනවා. නොයෙකුත් අත් හදා බැලීම් කරමින් කවිය තව දියුණු වෙන්න ඕනි කියන එකයි මගේ හැඟීම

කවි නම් දකිනවා බොහෝ තැන්වල ඒත් ඒවා කවිද කියලත් හිතෙනවා. ඔයාටත් එහෙමද ?

සමහර වෙලාවට එහෙම හිතෙනවා. එකම අනුභූතිය විවිධ වචනවලින් ලියලා තියෙනවා. කවියේ වචන වෙනස් කල පමණින් ඒක කවියක් වෙන්නෑ..
කවි ලියන්න හුරු වෙන කාලෙදි සමහර විට තේරුමක් නැති දේවල් ලියවෙන්න පුලුවනි. ඒත් ඒක මාරයි කියලා ඒ තේරුමක් නැති දේ තුල හිර නොවී එෆ් බී එකේ නම් ලයික් කමෙන්ට් වලට යට නොවී ඉදිරියට යන්න ඕනි.
සැබෑ කවියක් ලියවෙනකම් සතාභ්‍යාසයේ යෙදිය යුතුමයි.

ඔබ නිශ්චිතවම අදහස් දක්වනවා නම් කවියට රීතියක්, ක්‍රමයක් අවශ්‍යමද ?

කවියට නිශ්චිත රීතියක් අවශ්‍යයි කිව්වොත් කවිය කොටු වෙනවා . උදාෙහරණයක් විදිහට ජපන් ආකෘති හයිකු කවි ගත්තොත් ඒකේ 5 7 5 වශයෙනුයි කවිය ලිය වෙන්නේ. ලංකාවේ විදිහට ගත්තොත් ඒ ආකෘතියටම කවි ලියන්න අමාරුයි. අපි ඒ කවි ලියන්නේ අපේම විදිහකට.
රීතීන් සම්ප්‍රදායන් වෙනස් කලාට කමක් නෑ. ඒත් ඒ කවි රසවත් වෙන්නොනෙ.

කවියේ ආකෘතිය කාලාන්තරයක් තිස්සේ පොදු හැඩයක් ගන්නවා නේ. ඇයි ඒ ? ප්‍රේමය , විරහව වැඩි නැද්ද කවි තුළ

ඔව්. අපි හැමෝටම ශැනෙන දෙයක් ප්‍රේමය සහ විරහව. ඒක විඳ නැති කෙනෙක් මිහිපිට නැතුව ඇති. ඉතින් ඒ මාතෘකා දෙක හැමෝටම තම තමන්ගේ අත් දැකීම් අනුව දැනෙනව වැඩියි. ඒ නිසාම කවියා අතින් කවි ලිය වෙනවත් වැඩීයි.
ප්‍රේමය ලොවි ගෙඩියක් නම් එහි කහට රසය තමයි විරහව. දෙක එකිනෙකට ගැලපිලා රසවත් වෙලා තියෙනවා.

කවියේ හැඩය පොදු වෙන්නේ ලියන අයගේ කම්මැලිකම හා බය නිසයි .ලෝකය මහ විසාලයි. ඒ ලෝකෙ ඇතුලේ විවිධාකාර කවි රටාවන් ඇති කවීන් ලක්ෂ ගනන් ඉන්නවා. සමහරු කවි කියලා ලියන්නෙ පේලි දෙකයි. ඒත් ඒකේ මහානර්ඝ හැඟීම් කැටිවෙලා තියෙනවා.
අපි සමාජ මාධ්‍ය ජාලා තුල දකින කවිය එකම රාමුවක් ගන්නේ එක්කෙනෙක් ලිව්ව කවියක් ජනප්‍රිය වුනාම ඒ අනුව තවත් අය ඒ අනුභූතියෙන්ම කවි ලියනවා.එතකොට අපිට පේන කවි සියල්ල එක සමාන වෙනවා.

ඉතිං මෙවර  පොත කවරාකාර ගන්නවාද

මෙය කෙටි කතා පොතක්. නම රුයිත හාරත කතන්දර. ස්ටෝරීස් ප්‍රකාශනයක්. මේ පොත අත් හදා බැලීමක ප්‍රතිඵලයක් කියල කියන්න පුලුවන්

උපේක්ෂා කවිය තුළ නව ආරක් ගොඩ නගනවාද නැතිනම් මේ ක්‍රමයේම දිගුවක්ද ?

මං වෙනස් දෙයක් කරන්න උත්සහ දරණවා. ඒක කවි කෙටි කතා කියලා වෙනසක් නෑ. නව මානයන් හොයන්න ඒවා අත් හදා බලන්නයි මං කැමති

මෙතෙක් කළ නිර්මාණ එළි දැක්වීම් වලින් මෙවර එළි දැක්වීම වෙනස් වෙනවාද ?

ඇත්තවශයෙන්ම ඔව්. මේක මං කලින් කිව්වා වගේ කෙටිකතා පොතක් . අත් හදා බැලීමක්.

ඉතිං කියමු අලුත් පොත ගැන විස්තර නම, එළිදක්වන දිනය මේවා ගැන ?
පොතේ නම රුයිත හාරත කතන්දර .මෙය වෙනස් ආකෘතිමය කෙටි කතා පොතක්. එලිදක්වන්න නියමිතව තියෙන්නේ සැප් 13 වන ඉරිදා, තරංගනී ශාලාවේ දී, හවස 3 ට.
මේ පොත ස්ටෝරීස් ප්‍රකාශනයක්. එදිනම ඉරෝෂන් ප්‍රනාන්දුගේ නන්නාඳුනන සැරිසරන්නා කවි පොතත් එළි දක්වනවා. එදිනට එන්න කියලා හැමෝටම ආරාධනා කරන්න මං මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඉදිරි නිර්මාණ තුළ වන විශේෂත්වයන් තිබෙනවාද ?

තවම ඉදිරි නිර්මාණ ගැන හිතලා නැ. ඒ ඒ කාලවලදී සිදුකෙරෙන අත් හදාබැලීම් තමයි පොතක් ලෙස නිකුත් වෙන්නෙ. ඒ නිසා මට දැම්මම ඉදිරියේදී එන්න නියමිත නිර්මාණ ගැන මුකුත් කියන්න අමාරුයි..

 

සාකච්ඡා කලේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *